පාදඩ නීතිය: ‘අස්වාභාවික ලිංගික ක්‍රියා’ : “මට ඇඳුම් ගලවල නටන්න කිව්වා”

“දවසක් මම බස් හෝල්ට් එකේ ඉන්නකොට මහ දවාලේ පොලිසියෙන් අරන් ගියා, කිසිම චෝදනාවක් නැතුව. රෑ 11 වෙනකල් මාව පොලිසිය ඇතුලේ නිකම්ම තියාගෙන හිටිය. රෑ 11ට තමයි කටඋත්තරයක් ලියාගන්න පටන් ගත්තේ. ඊට පස්සේ අයාලේ යාම කියන චෝදනාව යටතේ මාව උසාවියට දැම්ම.”

“පස්සේ තමයි මම දැන ගත්තේ, කටඋත්තරයක් ලියන්න රෑ වෙනකල් හිටියේ ඇයි කියල. එතකොට උසාවියේදී කෑගහල කියන්න පුළුවන්නේ මහ රෑ අයාලේ ගිහින් අහුවුනා කියල. පොලිසියට නඩු මදි වුනත් අපිව තමයි හොයාගෙන එන්නේ.”

‘ඔහු’ ලෙස ඉපිද ‘ඇය’ ලෙස ජීවත් වන මාධවී හෙළි කළේ තමන් මුහුණ දුන් කටුක අත්දැකීම් දහසකින් එකක් පමණි.

ඇය සංක්‍රාන්ති සමාජභාවී ස්ත්‍රියකි. තිස් දෙහැවිරිදි ඇය දැන් ජීවත් වන්නේ තනිවමය. දෙමාපියන්ගෙන් වෙන්වී ගමෙන් පලායාමට සිදුවූයේ ද ඇයගේ ලිංගිකත්වය වෙනස්වීම නිසාම ය.

“මේ වගේ නීති දැන් පාවිච්චි කරන්නේ අපි වගේ අහිංසකයන් දඩයම් කරන්න ම විතරයි,” මාධවී මඳක් නිහඬව සිට කීවාය.

මේ නීතිය කුමක්ද?

මෙය ගැමි වහරේ හඳුන්වන්නේ ‘පාදඩ නීතිය’ යනුවෙනි. බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් පාදඩ ආඥා පනත මගින් මීට අවශ්‍ය නීතිමය පදනම සකස් වී ඇත.

ඉන්දියාවේත් මෙහෙමද..?

ඈත අතීතයේ කෙටුම්පත් වූ ඉපැරණි නීති තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම ගැන ක්‍රියාධරයන් කනස්සල්ල පළ කරමින් සිටියදී, සම ලිංගික විවාහ පවා බොහෝ රටවල නීතිගත වෙමින් පවතී.

මීට ආසන්නතම උදාහරණය ලෙස පසුගියදා ස්විට්සර්ලන්තයේ පැවති ජනමත විචාරණය දැක්විය හැකිය. එරට ඡන්ද දායකයන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් සමරිසි විවාහය නීතිගත කලයුතු බව කියාපෑහ.

මේ අනුව සමරිසි විවාහ නීතිගත කෙරෙන ලොව 30වැනි රාජ්‍යය ලෙස ස්විට්සර්ලන්තය ඉතිහාසගත වනු ඇත.

මෙම තත්ත්වය බටහිර රටවලට පමණක් සීමා වූ ප්‍රවනතාවයක් ලෙස කෙනෙකුට පෙනෙන්නට හැකිය. නමුත් එය එසේ නොවන බව ආසියාතික රටවල් දෙස බලන කල පෙනී යයි.

ගතානුගතික පවුල් සංකල්පය මුල් බැසගෙන පවතින අසල්වැසි ඉන්දියාව, නේපාලය භූතානය සහ තායිලන්තය වැනි රටවල් ද සමරිසිභාවය නීතියෙන් පිළිගෙන හමාරය.

අයාලේ යාම

“මේක අයාලේ යාමේ ආඥා පනත කියලත් හඳුන්වනවා. මේක ඉංග්‍රීසින් අපේ රටට ගෙනාවේ 1841දී,” පාදඩ ආඥා පනත ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට මුලික වූ ඉතිහාස කතාව සිහිපත් කරමින් ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා පැවසීය.

“ඒ දවස්වල වරායට නැව් ආවම ඉංග්‍රීසි නාවිකයෝ ගොඩබිම ඇවිදින්න යනවා. ඔය කාලේ වරාය අද්දර පාරවල් දෙපස ගෙවල් තිබුන. නාවිකයෝ නිතර ගැවසෙන පාරවල් දෙපස තියෙන ගෙවල් ඉස්සරහ නගර ශෝභිනියෝ සැරිසරන්න පුරුදු වෙලා හිටියලු. නාවිකයෝ වෙලාවට ආපහු නැවට ගෙන්වා ගැනීම ටිකක් අමාරු වෙලා තියෙනවා. ඔන්න ඉතින් මේ පාදඩ පනත ගෙනැල්ල අයාලේ ගියා, අශෝභන ලෙස හැසිරුනා කියල අර කාන්තාවන් අත්අඩංගුවට ගන්න පටන් අරගෙන තියෙනවා,” ඔහු විස්තර කළේය.

මෙම ආඥා පනත හා බැඳුනු තවත් ඉතිහාස කතාවක් තිබේ. නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ මීට ඉහතදී එය බීබීසීයට පැහැදිලි කළේ මේ ආකාරයට ය.

“බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවට ගෙනාපු වතු කම්කරුවන් වතුවලින් පැනලා ගිහින් තැන් තැන්වල සැරිසරන්න පටන් ගත්තා. ඒ මිනිස්සු කොටු කරලා නැවත වතුවලට යවන්න තමයි පාදඩ පනත ගෙනාවේ.”

කෙසේ නමුත් ඉන් පැහැදිලි වන්නේ පාදඩ ආඥා පනත යනු ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නටත් කලින් ලියැවුණු නීතියක් බවය.

“බොහෝ විට මොවුන් ගණිකාවන් කියල චෝදනා ගොනු කරනවා” ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා                                                                                                             (DR PRATHIBHA MAHANAMAHEWA)

නිදහස ලැබී දැන් බොහෝ කල් ය. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කර ඇත. මේ නීතිය හඳුන්වා දුන් බ්‍රිතාන්‍යය දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ බොහෝ දුරක් ගොස් තිබේ. නමුත් ශ්‍රී ලංකාව තවමත් මෙවැනි ‘යල්පැන ගිය’ නීති කරපින්නාගෙන යන බවට නීති විශාරදයන් මෙන්ම මානව ක්‍රියාධරයෝ ද පවසති.

“මේ පාදඩ නීතිය පාවිච්චි කරලා තමයි පාරේ ඉන්න කාන්තාවන් අත්අඩංගුවට ගන්නේ. ඊට පස්සේ ඒ අයට එරෙහිව චෝදනා ගොනු කරන්න පුළුවන් අශෝභන ලෙස හැසිරුනා, කලහකාරී ලෙස හැසිරුනා, පිරිමි වසඟයට ගන්න උත්සාහ කළා කියල,” කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැහැදිලි කළේය.

“බොහෝ විට මොවුන් ගණිකාවන් කියල චෝදනා ගොනු කරනවා. සාක්ෂි හැටියට ඉදිරිපත් කරන්නේ බෑග් එකේ කොන්ඩම් එකක් තිබුනා, පවුඩර් ලිප්ස්ටික් තිබුනා, ලේන්සුවක් තිබුනා … ඔන්න ඔය වගේ දේවල්. උසාවියට දැම්මම බොහෝ වෙලාවට HIV සඳහා ලේ පරීක්ෂා කරන්න දානවා. සමහ‍ර අය නිතරම ලේ පරීක්ෂාවට ලක්වීම මගිනුත් හිරිහැරයට ලක්වෙනවා.”

බ්‍රිතාන්‍ය පාලන සමයේ ලියැවුණු තවත් නීති වගන්ති දෙකක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමරිසි පුද්ගලයන් ද හිරිහැරයට ලක්වන බවට චෝදනා එල්ල වේ.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ (1883) 365 සහ 365 (අ) වගන්තිවලට අනුව ‘ස්වභාව ධර්මයට එරෙහි ලිංගික සංසර්ගය’ සාපරාධී වරදකි. එමෙන්ම, එවැනි ක්‍රියා ‘තදබල අශෝභන ක්‍රියා’ ලෙස හඳුන්වා තිබේ.

‘ඔහු’ ලෙස ඉපිද ‘ඇය’ ලෙස ජීවත් වන්නෝ…

මෙහිදී ‘ස්වභාව ධර්මයට එරෙහි’ ලිංගික ක්‍රියා මොනවාදැයි පැහැදිලිව නිර්වචනය කර නොමැත.

එබැවින් පුරුෂයන් දෙදෙනෙකු අතර හෝ ස්ත්‍රීන් දෙදෙනෙකු අතර සිදුවන ලිංගික ක්‍රියාවක් ‘අස්වාභාවික’ ලෙස සලකා දඬුවම් පැමිණවීමට ඉඩ ප්‍රස්තාව ලැබී ඇති බව නීතිවේදීන්ගේ මතයයි.

බ්‍රිතාන්‍ය පාලන සමයේ පැනවූ මෙම නීති වගන්ති අනුව අදටත් සමලිංගික ඇසුරක් සාපරාධීකරණය කළ හැකිය. වරදකරුවා දස වසරකට සිරගත කළ හැකිය.

එවැනි ලිංගික ඇසුරක් අස්වාභාවික නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන බොහෝ කල් ය.

ඉහත සඳහන් නීති වගන්ති සියල්ල අවභාවිත කරමින් සමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ආදී ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් නොයෙකුත් ආකාරයේ හිරිහැර සිදුවන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

‘අස්වාභාවික ලිංගික ක්‍රියා’
“මේ වගන්තිය නිසා සමරිසි අපිව විතරක් නොවෙයි; විෂම ලිංගික කෙනෙකුව වුනත් හිරේ දාන්න පුළුවන්,” යනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් පැවසීය,

මෙම ‘යල්පැන ගිය නීතියේ’ ඇති තවත් “භයානක” පැත්තක් ගැන විස්තර කළේ ශ්‍රී ලංකාවේ සමරිසියෙකු ලෙස විවෘතව පෙනී සිටින (openly gay academic) විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් ය. ඔහු සමරිසි ප්‍රජාවගේ සුබ සාධනය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෙකි.


“බ්‍රිතාන්‍ය පාලන සමයේ ලියපු මේ වගන්තිය නිසා විෂම ලිංගිකයන්ට පවා දඬුවම් පැමිණවිය හැකියි. ඒ තරම් මේවා භයානකයි. ‘අස්වාභාවික ලිංගික ක්‍රියා’ කිව්වම එක එක විදියට එය අර්ථකථනය කළ හැකියි.”

“සිංගප්පූරුවේ එවැනි නඩුවක් තිබුන. එක් භාර්යාවක් තමන්ගේ සැමියාගෙන් වෙන්වීම සඳහා මේ වගන්තිය දඩමීමා කරගෙන නඩුවක් දැම්ම. එයා චෝදනා කරලා තිබුනේ සැමියා ඇය සමඟ මෞක සංසර්ගයේ යෙදුනා කියල. එතනදී ලිංගික ක්‍රියාව අර්ථ දැක්වුණේ ළමයි හදන්න පමණක් තියෙන දෙයක් හැටියට. ළමුන් ඇති නොවන ආකාරයේ සියලුම ලිංගික ක්‍රියා අස්වාභාවික ලෙස නීතීඥයෙකුට අර්ථ දැක්විය හැකියි. උසාවියෙන් ඒ සැමියාට දඬුවම් කළා,” කථිකාචාර්ය වරදාස් පැහැදිලි කළේය.

නිදන කාමරයට එබී බැලීම

THIYAGARAJA WARADAS                                                                                                                                        “ඉන්දියාවට, භූතානයට, නේපාලයට මොනවද අහිමි වෙලා තියෙන්නේ” කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස්

“ඇත්තටම මේ වගන්තිවලින් කෙරෙන්නේ කෙනෙකුගේ නිදන කාමරයට පවා එබී බැලීමක්. මේ යල්පැන ගිය නීති අවභාවිත කරලා ඕනෑම කෙනෙකුට එරෙහිව නඩු පවරන්න පුළුවන්,” ඔහු තවදුරටත් පැවසීය.

යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය පාලනය විසින් මෙම නීති වගන්ති කෙටුම්පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පමණක් නොවේ. ඔවුන් පාලනය කළ සෑම රටකම පාහේ මේවා ක්‍රියාත්මක විය. ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ ද මෙවැනිම වගන්ති පැවතුනි.

මේ වන විට ඉන්දියාව මෙම නීති ඉවත ලා සමරිසි හා සංක්‍රාන්ති ලිංගිකත්වය පමණක් නොව LGBTIQ යන සියලුම ලිංගිකත්වයන් පිළිගෙන හමාරය. නේපාලය සහ භූතානය ද ඒ සියලු දෙනාගේ හිමිකම් තහවුරු කරමින් නීති සංශෝධනය කළහ.

නමුත් ශ්‍රී ලංකාව තවමත් “අධිරාජ්‍යවාදීන්ගේ යල්පැන ගිය නීති රීති කරපින්නාගෙන” යන බවට ඇතැමෙක් චෝදනා කරති.

“ඡන්ද අඩුවෙයි”
මෙම නීති සංශෝධනය කිරීමට නොහැකි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින “කුහක දේශපාලනය නිසා” යැයි මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා පවසයි.

“පාර්ලිමේන්තුවට තමයි මේ නීති සම්පාදනයට බලය තියෙන්නේ. 225ම දන්නවා LGBTIQ පිළිගත යුතුයි කියල; පාදඩ ආඥා පනත වෙනස් කළ යුතුයි කියල. කැබිනට් මණ්ඩලයට පුළුවන් එක රැයකින් ඕව වෙනස් කරන්න. ඒකට පෙළඹෙන්නේ නැහැ, ඡන්ද අඩුවෙයි කියල.”

“කිසිවෙකුට හිංසාවක් නොමැති ප්‍රජාවක් හිංසනයට ලක් කිරීමට” ඉඩ ප්‍රස්තාව සලසන එවැනි නීති බල රහිත කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ “ආගමික සංස්ථාවල බලපෑම” ද බාධාවක් වී ඇති බව ආචාර්ය මහානාමහේවා පවසයි.

“ආගමික සංස්ථාවල බලපෑමත් මේකට හේතුවක්. ඒ වුනාට අපිට වඩා බුද්ධාගම තියෙන තායිලන්තය පවා LGBT අයිතීන් තහවුරු කරලා ඒ අයව නීතියෙන් පිළිගෙන තියෙනවා. ලංකාව කියන්නේ බහුභාර්යා සේවනය, එකගෙයි කෑම වගේ දේවල් තිබුණු රටක්,” ඔහු ප්‍රකාශ කළේය.

සමරිසි ලිංගිකත්වය හෝ සංක්‍රාන්ති ලිංගිකත්වය ආගමික ස්ථානවලින් ප්‍රතික්ෂේප කිරීම නිසාම එම ප්‍රජාවට ආගම දහම අහිමි වී ඇති බව චත්‍ර සමරිසි සාමුහිකයේ කැඳවුම්කරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් අවධාරණය කරයි.

සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව පිළිබඳව විශේෂ දැනුමක් සහිත ඔහු මා සමඟ සාකච්ඡාවට එක්වූයේ සිය ආචාර්ය උපාධියේ අධ්‍යයන කටයුතු සඳහා එංගලන්තයට පැමිණ සිටියදී ය.

තම ආචාර්ය උපාධිය සඳහා ඔහු තෝරාගෙන ඇත්තේ ද සමරිසි සහ සංක්‍රාන්ති සමජභාවී පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ විෂය පථයයි.

“ආගමට හානියක් වෙන්නේ නැහැ අපිව පිළිගත්තා කියල. සමරිසිබව පිලි නොගන්නා නිසාම මේ ප්‍රජාව ආගම දහම අතහැරලා. පන්සලකට පල්ලියකට කෝවිලකට මේ වගේ උදවියට යන්න බැරි තත්වයක් උදා වෙලා. රටට වැඩදායක උගත් සමරිසි පිරිස රට දාල යනවා. කවුරුවත් කැමති නැහැනේ තමන්ට පිළිගැනීමක් නැති තැනක ඉන්න.”

මානසික ලෙඩක්?
“ඉන්දියාවට, භූතානයට, නේපාලයට මොනවද අහිමි වෙලා තියෙන්නේ. භූතානයේ තමයි වැඩිම සතුටකින් ජීවත්වන මිනිස්සු ඉන්නේ. ඔවුන් ආගමටත් හරිම ලැදියි. ඉන්දියාවේ ආගම් සහ සංස්කෘතීන් කීයක් තියෙනවද?” කථිකාචාර්ය වරදාස් පෙරළා මගෙන් ප්‍රශ්න කළේය.

“ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමරිකාවේ මනෝවිද්‍යාඥයන්ගේ සංගමය පවා පිළිඅරගෙන තියෙනවා සමලිංගිකත්වය හෝ සංක්‍රාන්ති සමාජභාවී තත්ත්වය මානසික ලෙඩක් නොවෙයි, එය ස්වාභාවිකයි කියල,” ඔහු තවදුරටත් විස්තර කළේය.

සංක්‍රාන්ති සමාජභාවී ස්ත්‍රියක ලෙස දිවි ගෙවන ෆාතිමා වසර කීපයකට පෙර මුහුණ දුන් කටුක අත්දැකීමක් මා හා පැවසුවාය.

මුස්ලිම් පවුලක උපන් ඇය මඩකලපුවෙන් කොළඹට පලා ආවේ ගමේ උදවියගෙන් සැඟවී ජීවත්වීමටය.

“මගේ අයිඩී කාඩ් එක බලද්දී දැන් පෙනුම වෙනස් නිසා මාව කීප වතාවක් පොලිසියට අරගෙන ගියා. ඒ ගොල්ලෝ ඇඳුම් ගලවල බලනවා. එක දවසක් ඇඳුම් ගලවල මට නටන්නත් කිව්වා.”

සමාජයෙන් සිදුවන පීඩා විඳ ගැනීමට නොහැකිව දිවිනසා ගත් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් පිළිබඳව ද තමන් දන්නා බව ෆාතිමා පැවසුවාය.

පොලිසියේ ප්‍රතිචාරය
මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා පොලිස් ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව ඇමතූ අවස්ථාවේදී ඔහු බීබීසීයට කියා සිටියේ ලිංගිකත්වය පදනම් කරගනිමින් නිකරුණේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බවය.

යම් හිරිහැරයක් හෝ අසාධාරණයක් සිදුවී ඇත්නම් නිශ්චිත දිනය සහ ස්ථානය සහිතව පැමිණිලි කළහොත් ඒ පිළිබඳව නීත්‍යානුකුලව සහ විනයානුකුලව කටයුතු කළ හැකි ක්‍රමවේදයක් පොලිසිය තුළ ස්ථාපනය කර ඇති බව ද ඔහු අවධාරණය කරයි.

“සංක්‍රාන්ති ලිංගික හෝ සම ලිංගික පුද්ගලයෙකු කියල නිකම්ම පාරේ යනකොට හඳුනාගන්න බැහැනේ. එයා යම්කිසි සැකකටයුතු චර්යාවකට හෝ සිද්ධියකට අදාලව තමයි පරීක්ෂා කිරීමකට ලක් වෙන්නේ. එහෙම නැතුව නිකම්ම පොලිසිය මැදිහත් වෙන්නේ නැහැනේ. ඒ වගේ අවස්ථාවක එයා සංක්‍රාන්ති සමාජභාවී කෙනෙකු ලෙස හඳුනාගැනීමට ඉඩ තියෙනවා. එහෙම වුනත් එයාගේ ලිංගිකත්වය පදනම් කරගෙන හිරිහැරයකට ලක්කරන්න බැහැ.” ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්වදූ පැවසීය.

විශේෂයෙන් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් අත්අඩංගුවට ගත හැකි තවත් නීති වගන්තියක් පිළිබඳව කථිකාචාර්ය වරදාස් සිහිපත් කළේය.

“ඒක තමයි දණ්ඩනීති සංග්‍රහයේ 399 වැනි වගන්තිය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය වසන් කිරීම, මේ වගන්තිය මගින් සාපරාධි ක්‍රියාවක් බවට පත්කරලා තියෙනවා. සමහර සංක්‍රාන්ති පුද්ගලයන් ඉන්නවා දැන් පෙනුම වෙනස්. නමුත් අනන්‍යතාවය වෙනස් කරලා තවම ලේඛන සකස් කරගෙන නැහැ. ඒ වගේ කෙනෙක්ව ඕනෑම වෙලාවක අත්අඩංගුවට අරගන්න පුළුවන් මේ 399 වගන්තිය යටතේ,” ඔහු පැවසීය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවාගෙන් මේ පිළිබඳව විමසුවෙමි. ඉහත කී නීති මගින් සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවීන් ඇතුළු LGBTIQ ප්‍රජාවට හිරිහැර සිදුවන බව ඔහු ද පිළිගත්තේය.

“ඉන්දියාවත් මේ අයව නීත්‍යනුකුලව පිළිගෙන ඉවරයි. නේපාලය වගේ රටවල් පවා පිළිගත්තා””ඒ අයව පොලිසියට ගෙනාවම නටන්න කියනවා, ඇඳුම් ගලවන්න කියනවා කියල මටත් පැමිණිලි කරලා තිබුණ. පොලිසියේ හැමෝම එහෙම නැහැ. මම මානව හිමිකම් කොමිෂන් සභාවේ ඉන්න කාලෙ එවකට හිටපු පොලිස්පතිතුමා එක්කත් කතා කරලා ලිපියක් සකස් කරලා දුන්න, සංක්‍රාන්ති ලිංගිකයන්ව අපහසුතාවයට ලක් කරන්න එපා කියල. ඊට පස්සේ ඒ වගේ සිදුවීම් අඩු වුනා.”

“LGBTIQ ප්‍රජාවට අයිති පුද්ගලයන්ටත් අනෙක් හැමදෙනාටම තිබෙන මානව හිමිකම් තිබිය යුතුමයි. ඔවුන් අපරාධකාරයෝ නොවෙයි. සාමාන්‍ය මිනිස්සු. උසුළු විසුළු කරලා හෑල්ලුවට ලක්කරන්න නරකයි,” ආචාර්ය මහානාමහේවා අවධාරණය කළේය.

අධිරාජ්‍යවාදයට එරෙහි ඇමතිවරුන්
නීතිය ඉදිරියේ සමරිසි හෝ සංක්‍රාන්ති ප්‍රජාව “අපරාධකාරයන්” බවට පත්වන ආකාරය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් තවදුරටත් පැහැදිලි කළේ මේ ආකාරයටය.

“ආදරය සහ සම්බන්ධතාවලදී ‘අස්වාභාවික’ ක්‍රියා කියල කිව්වම එතන හරියටම පැහැදිලි නැහැ. කෙනෙකුට ස්වභාවික දෙයක් තව කෙනෙකුට අස්වාභාවික වෙන්න පුළුවන්. ආදරය කරන ජෝඩුවක් අත් අල්ලාගෙන පාරේ යනකොට පොලිසියට අරන්ගිහින් අවවාද කරන ජාතියේ පසුගාමී අදහස් තියෙන නිලධාරීන් ඉන්න රටකට මේක ලොකු ප්‍රශ්නයක්.”

“ඒ වගේ නිලධාරීන් ඉදිරිපිට සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් අපරාධකාරයෝ. උඹලට විරුද්ධව ඕනෑම දෙයක් අපිට කරන්න පුළුවන් කියල හිතන්න පෙළඹෙනවා. උඹල නීතිය ඉදිරියේ සමානයෝ නොවෙයි කියල පෙන්වන්න හදනවා. ඒක තමයි ලංකාවේ තත්ත්වය.”

තමන් අධිරාජ්‍යවාදයට එරෙහි බවට “ලේබල් ගසාගෙන සිටින” ඇමතිවරුන් පාර්ලිමේන්තුව තුළ සිටිය ද “අධිරාජ්‍යවාදීන්ගේ යල්පැන ගිය නීති වගන්තියක් වෙනස් කරන්නට තරම් කොන්ද පණ ඇති ඇමතිවරයෙකු සොයා ගැනීම” අපහසු බව ද ඔහු පැවසීය.

“ඉන්දියාව, භූතානය, නේපාලය, තායිලන්තය වැනි ආසියාතික රටවල් පවා සමලිංගික ක්‍රියා අස්වාභාවික නොවන බව නීතියෙන් පිළිගන්න ප්‍රගතිශීලී වෙලා තියෙන්නේ. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් ඒක කියල තියෙනවා. ඒත් අපි තාම සුදානම් නැහැ සුද්ද ගෙනාපු දේවල් කරපින්නාගෙන යන එක නවත්වන්න. යටත් විජිත මානසිකත්වයෙන් තවමත් ඉන්නේ.” කථිකාචාර්ය වරදාස් ප්‍රකාශ කළේය.

සමාජයේ පවතින ගතානුගතික ආකල්ප සහ ආගමික ව්‍යුහයෙන් එල්ලවන බලපෑම හේතුවෙන් මෙවැනි නීති වෙනස් වීම පමා වූ බව ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ද පිළිගනී.

නමුත් අද පවතින ප්‍රධානතම ප්‍රශ්නය නම්, “තමන්ගේ ඡන්ද පදනම ගැන පමණක් හිතන දේශපාලකයා” බව ඔහු අවධාරණය කරයි.

යහපාලන ආණ්ඩුව

“අපි ගතානුගතික ආකල්ප ඔස්සේ යන සමාජයක් නිසා අතීතයේ මැලිකමක් දැක්වුවා මේ යල්පැන ගිය ආඥා පනත් වෙනස් කරන්න. නමුත් දැන් සමාජය ඉදිරියට ගිහින් ඉන්නේ.”

ඉන්දියාවත් මේ අයව නීත්‍යනුකුලව පිළිගෙන ඉවරයි. නේපාලය වගේ රටවල් පවා පිළිගත්තා. ලංකාව මේ තත්ත්වයට එන්නේ නැත්තේ ආගමික, සංස්කෘතික ආකල්ප නිසා දේශපාලකයාට අවාසි වෙයි කියල හිතන නිසා.”

“යහපාලන ආණ්ඩුව තියෙන කාලේ ඇතැම් ඇමතිවරු මේකට යම් උත්සාහයක් දරුවා. ඒ වුනාට එවකට ජනාධිපතිවරයා එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ.” ඔහු තවදුරටත් පැවසීය.

(අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා ඇතැම් නම්ගම් වෙනස් කර ඇත.)

 

  • අරවින්ද තිසර රතුවිතාන  (BBC)

 

 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!