ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ලොව හොඳම සෞඛ්‍ය සේවයයි

මෙරට සෞඛ්‍ය සේවාව ලොව හොඳම සෞඛ්‍ය සේවාවක් බවට පත්ව ඇති අතර දකුණු ආසියාවේ ප්‍රමුඛ දර්ශක ශ්‍රී ලංකාව ළඟා කර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුවැල්ල පවසනවා.

රටේ රෝහල්ගත ක්‍රියාවලීන්වලින් 95%ක් සහ රෝග නිවාරණ සේවාවන්ගෙන් 99%ක් රජයේ සෞඛ්‍ය පද්ධතියෙන් සිදු කිරීම ආඩම්බරයක් බවයි  අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම්මන්ත්‍රණ ශාලාවේ අද (02) පැවති අලුතින් බඳවා ගැනෙන සීමාවාසික වෛද්‍යවරුන් සඳහා වන යහපත් සීමාවාසිකයා පුහුණු වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකලා.

පූර්ණ නේවාසික වෛද්‍යවරුන් සඳහා පැවැත්වෙන මෙම වැඩසටහන “යහපත් සීමාවාසිකයා වැඩසටහන” ලෙසින් නම් කර ඇත.

මෙමගින් වෛද්‍යවරුන්ගේ ගුණාත්මක බව දියුණු කිරීම අපේක්ෂාවයි.

මෙහි පළමු පියවර ලෙස සිංහල,දෙමළ , ඉංග්‍රීසි භාෂා පුහුණුව සති දෙකක කාලයක් ලබා දෙනවා.

2013 වසරේ සිට මේ දක්වා වෛද්‍යවරුන් 4400ට මෙලෙස දෙවන භාෂා පුහුණුව ලබා දී ඇති අතර රෝගී සත්කාරය සඳහා අත්‍යවශ්‍ය ප්‍රායෝගික සායන පුහුණු පාඨමාලාවද ලබාදීම විශේෂත්වයක්.

එමෙන්ම සායනික කුසලතා දියුණු කිරීම සඳහා වන පාඨමාලාවක්ද මෙයට ඇතුළත් වනවා.

මෙම සියලු පුහුණු වැඩසටහන් තුළ සීමාවාසික වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය, මහජන සන්නිවේදනය ආදිය ප්‍රගුණ කිරීම ද සිදු කෙරෙනවා.

විශේෂයෙන්ම මෙම ගෝලීය වසංගතය ඉලක්ක කර ගනිමින් කොවිඩ් හමුවේ වෛද්‍යවරුන් කටයුතු කළ යුතු ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන් ඔස්සේ පෙන්වා දීම මෙවර පාඨමාලාව තුළින් සිදුවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය සමගින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙය සංවිධානය කර තිබුණා.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

2018 ලෝක බැංකු වාර්තාවට අනුව, සජීවී දරු උපත් 100,000කට මාතෘ මරණ අනුපාතය 33.8ක් ද, උපත් 1000ක් සඳහා ළදරු මරණ අනුපාතය 9 ක් ද, උපතේ දී ජීවිත අපේක්ෂාව වයස අවුරුදු 75ක් ද බවට පෙන්වා දී ඇති බවයි ඔහු කියාසිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල,

“වසර එක හමාරක් පුරාවට ගෝලීය වසංගත තත්ත්වය හමුවේ දැඩි කැපවීමෙන් කටයුතු කළ ඉදිරි පෙළ සියලු සෞඛ්‍ය අංශ වෙත ජාතිය වෙනුවෙන් කෘතවේදීත්වය පිරිනමන්න කැමතියි. සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියම වෙනුවෙන් වෛද්‍යවරයෙකු තමාගේ කාර්යභාරයෙහි නිපුණතාවයකින් යුතු අයෙක් විය යුතුයි.එම නිසා වෛද්‍යවරුන්ගේ සංවර්ධනය ඉහළ නිපුණතාවයකින් පැවතීම අත්‍යවශ්‍යයයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එවකට සභාපති වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ සංකල්පයක් අනුව 2013 වසරේදී ආරම්භ කරන ලද යහපත් සීමාවාසිකයා වැඩසටහන මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී තත්ත්වයකි. වෛද්‍යවරයෙක් වීමේ ගමන රෝස මල් යහනාවක් නොවෙයි.කටුක ගමනකි. වෛද්‍ය ශිෂ්‍යයා දැඩි උපාධි අපේක්ෂක විෂය මාලාවක් විඳදරාගෙන ඇති අතර එය අනෙකුත් උපාධි හා සසඳන විට දෙගුණයක් පමණ වන අතර දැඩි සායනික පුහුණු ජයගෙන ඇත. සීමාවාසික පුහුණුව යනු එම දැනුම හා කුසලතා යෙදීම සහ වෘත්තිකයෙකු ලෙස වැඩ කිරීමයි. ”