‘අතුරුගියේ චන්ඩි’ අනවසරයෙන් කුඹුරක් ගොඩ කර නිවාස සංකීර්ණයක පුද්ගලික ප්‍රවේශ මාර්ගය බලහත්කාරයෙන් අයිතිකරගෙන

අතුරුගිරිය, සමනල මාවත අවසන් වන ස්ථානයෙන් ප්‍රවේශය ලබන, ඉඩම් වෙන්දේසි ආයතනයක් විසින් කොටස් කර විකුණා ඇති, නිවාස සංකීර්ණයේ ඇති ප්‍රවේශ මාර්ගය, එම නිවාස සංකීර්ණයේ පදිංචි කරුවන් සදහා වන පුද්ගලික මාර්ගයකි.

මෙම මාර්ගයේ අවසන් කොටස පිට ඇල දෙසට විවෘතව පවතින අතර එමගින් නිවාස සංකීර්ණයේ මායිමට බැම්මක් බැද නොමැති බැවින් විශාල ටිපර් රථ යොදා යම් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් කුඹුරක් ගොඩකිරිම නිසා නිවැසියන්ට මහත් හිරිහැරයක් වී තිබේ. එමෙන්ම මෙම ගොඩකරන කුඹුරේ සවස් කාලයේ විවිධ කණ්ඩායම් පැමිණ අපචාර කටයුතුවල නිරතවිම නිසා නිවැසියන්ගේ ආරක්ෂාවටද තර්ජනයක් වී තිබේ. මෙම තත්වය නිසා මායිම තහවුරු කිරිමට බැම්මක් බැදිමේ අවශ්‍යතාවය දන්වා , 2020.10.23 දින අධ්‍යක්ෂ,මහා කොළඹ ප්‍රදේශ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පදිංචිකරුවන්ගේ අත්සන් සහිතව ලිපියක් යොමුකල අතර එයට ප්‍රතිචාර වශයෙන් අංක 05/02/Kadu/Gen/08/2020 හා 2020.10.28 දිනැති ලිපිය මගින් බැම්මක් බැදිමේ අවහිරතාවයක් නොමැති බව දන්වා අධිකාරියෙන් දන්වා ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම ලිපියට අනුව පදිංචිකරුවන් විසින් 2020.10.29 දින සවස පයින් ගමන් කරන අයට අවහිර නොවන පරිදි අදාල කෙටි බැම්ම බැදීමට කටයුතු කරමින් සිටියේය. ඒ අතරතුර එහි පැමීණි පුද්ගලයන් කිහිප දෙනකු වැඩ නවතා දමන ලෙස තර්ජනය කර ඇත. ඔවුන්ගේ හැසිරීම කලහාකාරී වු බැවින් වැඩකටයුතු තාවකාලිකව නතර කර, මෙහි නීතිමය තත්වය පහදාදීමට උත්සහ ගත්තද ඔවුන් තව තවත් කලහකාරි ලෙස හැසිරෙමින් ඔවුන්ගේ ජංගම දුරකථන මගින් විවීධ පුද්ගලයන්ට කථාකර පිරිස් රැස් කරවීය. මේ අතර එහි පැමිණි තැනැත්තෙකු හා නොහදුනන මැර පිරිසක් කුඹුර ගොඩකරමින් හදන ඉඩම තමාගේ බවත් පවසා ඉදිකරමින් සිටි බැම්මේ ආධාරක සියල්ල කඩා දමන ලදි.

මෙම තත්වය පිළිබදව නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් විසින 119 අංකයට දන්වන ලදී. ඒ අනුව එහි පැමිණ පොලිස් නිලධාරීන් දෙදෙනකු තත්වය පාලනය කර පසුදා අතුරුගිරිය පොලීසියට පැමිණෙන ලෙස දෙපාර්ශ්වයටම දන්වන ලදී.අතුරුගිරිය පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක විසින් දෙපාර්ශ්වයේ කරුණු විමසන ලදී. කෙසේ වෙතත් තත්වය තවදුරටත් පැහැදිලි කරගැනීම මහා කොළඹ ප්‍රදේශ නාගරික සංවර්ධන අධිකාරියට හා කඩුවෙල නගර සභාව මගින් ලිපියක් යොමු කර සිදුකර ගන්නා ලෙස දන්වන ලදි.