ලබන වසරේ රජයේ වියදම බිලියන 33 කින් අඩුවෙයි – වැඩිම වියදම ආරක්ෂාවට – ජනපතිට, සෞඛ්‍යයට මුදල් අඩුවේ
ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3ක් ලෙස සටහන් වනවා.
ඉන් බිලියන 1,776කට වැඩි ප්‍රමාණයක් පුනරාවර්තන වියදම්.
මෙම වසරේ වියදම වන රුපියල් බිලියන 2,538කට සාපේක්ෂව ලබන වසරේ රජයේ වියදම් රුපියල් බිලියන 33 කින් අඩු කර තිබීම විශේෂත්වයක්.
ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එහි පොදු සේවාවන් සඳහා වෙන් කර ඇති මුළු මුදල ලෙස දක්වා ඇත්තේ බිලියන 12.6 ක්.
ඊට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, අධිකරණය, පාර්ලිමේන්තුව, කොමිසන් සභා ඇතුලු ආයතන ඇතුලත්.
ලබන වසරේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 2.78 ක් ලෙස දැක්වෙනවා. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව ජනාධිපතිවරයාගේ වියදම් රුපියල් බිලියන 6.6 කින් අඩුකර තිබෙනවා.
ලබන වසරේද ඉහළම අගයක් ගන්නේ ආරක්ෂක වැය ශීර්ෂයයි. මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 18 කින් එය ඉහළ ගොස් තිබෙනවා.
මෙම වසරේදී රුපියල් බිලියන 355ක් ආරක්ෂක වැය ශීර්ෂයට වෙන්වුණු අතර, මෙවර එහි අගය බිලියන 373 ක්.
ආරක්ෂාවට පසු වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යාංශයටයි.
මෙවර බිලියන 286.7 ක් එම අමාත්‍යාංශයට වෙන් කර ඇති අතර, ඉන් බිලියන 286 ක්ම පුනරාවර්තන වියදම්.
ඊට පසු වැඩිම මුදලක් මහාමාර්ග අමාත්‍යාංශයට වෙන් කර ඇති අතර, එය බිලියන 250.1 ක්. ඉන් 250 ක්ම ප්‍රාග්ධන වියදම් වනවා.
මෙම වසරේදී බිලියන 126.5ක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය ලබන වසර සඳහා බිලියන 127.6ක් ලෙස ඉහළ දමා තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයට බිලියන 153.5 ක් වෙන් කර ඇති අතර, එය මෙම වසරට සාපේක්ෂව බිලියන 6ක පමණ අඩුවීමක්.
මුදල් අමාත්‍යාංශය සඳහා බිලියන 185.9ක් වෙන් කර තිබෙනවා. එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 28ක වැඩිවීමක්.
අයවැය දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව මුදල් අමාත්‍යවරයා විසින් නොවැම්බර් 12 වනදා පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
අයවැය ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වනදායි.