ඉන්දීය විදේශ ලේකම්, දෙමල සන්ධාන හමුව අද

සිව් දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා අද දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සාමාජිකයින් හමුවීමට නියමිත ව තිබෙනවා.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී දෙමළ ජාතික සන්ධානය සමඟ අද පස්වරු පහට අදාළ සාකච්ඡාව ආරම්භ කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව පස්වරු 5.30ට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සාමාජිකයින් හමු වී ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

එහිදී දෙමළ ජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳ ව සහ වතුකරයේ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ද ඉන්දීය විදේශ ලේකම් සමඟ සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බවයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් සඳහන් කළේ.

එසේම ඔහු ඊයේ පස්වරුවේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

ඒ, පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව යි.

අනතුරු ව ඉන්දීය විදේශ ලේකම්වරයා යාපනයේ ද සංචාරයක නිරත වුණා.

මේ අතර, වීරකේසරී පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමින් ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා ප්‍රකාශ කර ඇත්තේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළයුතු බවයි.

නො බෙදුණු ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, සාමය, සාධාරණත්වය සහ දමිල ජනතාව තුළ පවතින අභිලාෂයන් ඉටුකිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇති බවට ඉන්දියාව අපේක්ෂා කරන බව ද ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම හින්දු පුවත්පත සඳහන් කළේ, ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරට සිදු කරන සංචාරය අතරතුර කොරෝනා මර්දන කටයුතු සහ එන්නත්කරණ කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වන බවයි.

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින හා එක් ව ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ද පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

එසේම ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා හමු වී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.