දහම් පාසල් සඳහා නව ප්‍රතිපත්ති මාලාවක්

සියලු ආගම්වලට අදාළ දහම් පාසල් එකම ක්‍රමවේදයක් යටතේ රජය විසින් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය මත  දහම් පාසල් සඳහා නව ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම සදහා වූ මූලික සාකච්ඡාව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය  විජිත බේරුගොඩගේ ප්‍රදානත්වයෙන් ඊයේ ( 7දා) දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුනා.

එහිදී එම නව ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේදී සියලුම දහම් පාසල් සදහා පනතක් කෙටුම්පත් කර එම පනතේ ප්‍රතිපාදනයන්ට අනුව නෛතික රාමුවක් යටතේ දහම් පාසල් කටයුතු පවත්වාගෙන යාමට යෝජනා වී තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම සියලුම දහම් පාසල් ලියාපදිංචිය එකම ක්‍රමවේදයකට සිදුකිරිම මේ යටතේ කෙරෙන තවත් යෝජනාවක්.

ළමුන් බඳවා ගැනීම, ළමුන්ගේ වයස් මට්ටම සෑම දහම් පාසලකම එකම ක්‍රමවේදයකට සැකසීමත්, ගුරුවරුන් බඳවා ගැනීම, ගුරුවරුන්ට අවශ්‍ය සුදුසුකම් හඳුනා ගැනීම සහ ගුරුවරුන් පුහුණු කිරිම ක්‍රමවත් කිරීමත් මෙම යෝජනාවන්ට ඇතුලත්.

මීට අමතරව දහම් අධ්‍යාපනයේ විෂය නිරිදේශය සකස් කිරිම විද්වත් උපදේශක මණ්ඩලයක් වෙත ලබාදීමත්, පෙළපොත් මුද්‍රණය, පෙළ පොත්වල  සරළ බව හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩිකිරිමත්, දහම් පාසල් සහතිකයට ලැබෙන වටිනාකම ඉහල දමා රැකියා ලබාගැනිමේදි දහම් පාසල් සහතිකය සඳහා වටිනාකමක් ලබා දීමත් මෙම යෝජනාවන්ට ඇතුලත්.

දහම් පාසල් සඳහා නව ප්‍රතිපත්ති මාලා සකස් කිරීමේදී අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තු නිලධාරීන් හා ඒ ඒ ආගම් නියෝජනය වන පරිදි විද්වත් කමිටු පත් කිරීම මෙන්ම එම කමිටු තුළින් ඒ ඒ ආගම්වලට අදාළ දහම් පාසල් පවත්වා ගෙන යාමේදී විශේෂ අවධානය යොමු කළ යුතු අංශ කෙරෙහි ද ප්‍රමුඛතාවය ලබා දෙමින් අදාළ ප්‍රතිපත්ති මාලාව සකස් කිරීම වඩාත් යෝග්‍ය බව මෙහිදි යෝජනා වුනා.

මෙම සාක්ච්චාව සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව , මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ක්‍රිස්තියානි ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.