පස්වරක් IPL ශූරයින් වූ මුම්බායි ඉන්දියන්ස් තරගාවලියෙන් ඉවතට

මෙවර අයි.පී.එල්. තරගාවලියේ අවසන් කණ්ඩායම් 04ට ඇතුළත්වීමට තිබූ අවස්ථාව ශූරතාව පස් වරක් දිනූ මුම්බායි ඉන්දියන්ස් පිලටගිලිහී ගියා.

ඒ, අබුඩාබි හිදී ඊයේ පැවති මූලික වටයේ අවසන් තරඟයෙන් හයිද්‍රාබාද් පිල පරදවා ලකුණු 42 ක ජයග්‍රහණයක් ලබා සිටියදීයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අවසන් කණ්ඩායම් 04 ට ඇතුළත්වීම සඳහා ඔවුන් එම තරඟය ලකුණු 171 කින් ජයග්‍රහණය කළ යුතු වුණා.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් පිල සිය පන්දුවාර විස්ස තුළදී කඩුළු 09 ක් දැවී ලකුණු 235 ක් රැස්කරගනු ලැබුවා.

එහිදී ඉෂාන් කිෂාන් පන්දු 32 කින් ලකුණු 84 ක් ලැබූ අතර, සූරියකුමාර් යාදව් පන්දු 40 කින් ලකුණු 82 ක් රැස්කළා.

මුම්බායි පිලට ඉදිරියට යෑමට ප්‍රතිවාදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල ලකුණු 65කට සීමා කළ යුතු වූවද, ඔවුන් සිය පන්දුවාර විස්ස තුළ කඩුළු 08ක් දැවී ලකුණු 193ක් ලබාගත්තා.

ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් පිල තරඟ ලකුණු සටහනේ 04 වන තැන හිමිකර ගන්නා අතර, ඔවුන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල සමඟ තරඟ වදිනු ඇති.

ලකුණු සටහනේ පළමුවන සහ දෙවන ස්ථාන හිමිකරගත් දිල්ලි කැපිටල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අවසන් වටයේ අනෙක් තරඟයට සහභාගිවීමට නියමිතයි.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල අවසන් කණ්ඩායම් 04 ඇතුළට එක්වූයේ ඊයේ ඩුබායි හි පැවති තරඟයකදී දිල්ලි කැපිටල්ස් පිල කඩුළු 07 කින් පරාජයට පත්කරමින්.

දිල්ලි පිල සිය පන්දුවාර විස්ස තුළ කඩුළු 05 ක් දැවී ලකුණු 164 ක් රැස් කළ අතර, බැංගලෝර් පිල අවසන් පන්දුවාරයේ, අවසන් පන්දුවේ එල්ල කළ හයේ පහරත් සමඟ කඩුළු 03 ක් දැවී රැස්කළ ලකුණු 166 ත් සමඟ තරඟයේ ජය හිමි කර ගත්තා.