ආණ්ඩුවේ සෙසු පක්ෂ 11ක් වෘත්තීය සමිති සමග කොළඹ විරෝධතා රැළියක්..දින දෙකක් රට අදුරේ
ඇමෙරිකානු සමාගමකට යුගදනවි බලාගාරය පවරාදීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ බලධාරීන් අවස්ථාවක් නොදීම නිසා ප්රසිද්ධ රැළියක් පවත්වා ඊට විරෝධය පළ කිරීමට ආණ්ඩුවට සහාය ලබා දෙන දේශපාලන පක්ෂ එකොළහක් තීරණය කර තිබේ.
ඒ අනුව මෙම ජන හමුව එළැඹෙන 29දා පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා වෘත්තීය සමිති වල සහභාගිත්වයද ලැබීමට නියමිතව ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ ආණ්ඩුවේ සෙසු දේශපාලන පක්ෂවල නායකයන් පාර්ලිමේන්තු මන්ත්රී ටිරාන් අලස් මහතාගේ නිවසේ දී හමුවී පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදීය.
එමෙන්ම මෙම ගිවිසුමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ ප්රකාශයක් නිකුත් කිරීමට ද තීරණය වී තිබේ.
අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් දිනයක් ඉල්ලා සැප්තැම්බර් මස 21 වැනි දින ලිපියක් යොමු කළ ද ජනාධිපතිවරයා එම අවස්ථාව ලබාදී තිබුණේ නැත.
ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ මෙම ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් වෙලාවක් ඉල්ලීම ප්රතික්ෂේප කිරීම මත ජනතාව සමඟ සාකච්ඡා කිරීමට ඒකමතිකව පක්ෂ සියල්ල තීන්දු කළ බවයි.
ජනාධිපතිවරයා සාකච්ඡා කිරීම ප්රතික්ෂේප කළ නිසා ඔහු සමඟ බලෙන් සාකච්ඡා කිරීමට හැකියාවක් නැතැයිද නානායක්කාර මහතා පැවසීය.
ගිවිසුම අත්සන් කර අවසන් වූවද සියල්ල අවසන් වන්නේ දේශපාලන බලය මත බවද ඔහු තවදුරටත් පැවසීය.
ආන්ඩුවේ සෙසු පක්ෂ 11ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් සමග බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකින් පසු මේ අදහස් පල කරන ලදී.
එහිදී වෘත්තීය සමිති නායකයන් කියා සිටියේ තම සටනට ආණ්ඩුවේ මෙම පක්ෂ සියල්ල සහයෝගය දෙන බවටත් එකහෙළා ප්රතිඥා දුන් බවයි.
දින දෙකක් රට අදුරේ තබමින් වැඩ වර්ජනයකට යන බවද වෘත්තීය සමිති නායකයන් එහිදී කියා සිටියහ.