රටේ නීතිය එකක් කරන්න ජනපති , ඥානසාර හිමි පත්කරයි

ජනාපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතු ගැසට් නිවේදනයක් මගින් එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කර තිබේ.

එම ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කර ඇති අතර එහි ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත්කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහචාර්ය සුමේධ සිරිවර්ධන, එන්.ජී සුජිත් පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානී වෑවල, මවුලවි මොහෙමෙඩ්, කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, කලීල් රහුමාන් සහ අසීස් නිසාර්දීන් යන මහත්වරුන් පත්කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව තුළ එක රටක් සහ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරි තිබේ.

ඊට අමතරව අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වනවිට මෙයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් සහ සංශෝධනයන් අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන ඇත්නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරී ඇති තවත් කාර්යය බව සඳහන් වේ.

කමිටුව විසින් මසකට වරක් ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර මෙහි අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි 28 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

කෙසේවුවද, අදාළ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස අධිකරණයට අපහාස කළ බවට වරදකරුවී සිර දඬුවම් විඳි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත් කිරීම සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇතිව තිබේ.

අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වැනිදා වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කෙරිණි.

නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්‍රය ඉදිරිපත් කරනු ලැබ තිබුණේ හෝමාගම අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත්වරයෙකු මෙන්ම වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුවය.

එම චෝදනාවලින් සඳහන් කර තිබුණේ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී, අධිකරණ භූමිය තුළ කලහකාරී ආකාරයෙන් හැසිරීම මගින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම සහ රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කර ඇති බවය.

වගඋත්තරකාර ඥානසාර හිමි සඳහන් කර තිබුනේ තමන් වහන්සේ එම චෝදනාවලට නිවැරදිකරු බවය.

2019 වසරේ මැයි මස 23 වැනිදා එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුට පැවරී තිබූ බලතල මත ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කළේය.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.