එක රටක් එක නීතියක් කරා පා තබන ශ්‍රීලංකාව ! එක රටක් – එක නීතියක් යනු කුමක් ද?
එක රටක, එක නීතියක් යනුවෙන් සරළව අදහස් කරන්නේ රාජ්‍යයක සියලු පුරවැසියන් කෙරෙහි පොදු නීති ක්‍රමවේදයක් බලපැවැත්වීමය. එනම් යම් නිශ්චිත දේශසීමාවක් සහිත, ස්ථිර ජනතාවක් සහ වෙනත් ස්වෛරීය රාජ්‍යයන් සමග සබඳතා පවත්වා ගත හැකි රජයක් සහිත භූමියක් තුළ ජීවත් වන සියලු ජනතාවට අදාළව ක්‍රියාත්මක විය යුත්තේ එකම නීති ක්‍රමයක් බවයි මින් අදහස් වන්නේ. එවිට නීතිය ඉතා පැහැදිළි හා උත්තරීතර ස්වභාවයකින් පවතින අතර විශේෂයෙන් පවත්නා පොදු නීතියෙන් වෙනස් වූ විශේෂ (ව්‍යාතිරේක) අවස්ථා නොපැවතීම හඳුනාගත හැකියි. එනම් එක රටක් – එක නීතියක් යන සංකල්පය, නීතියේ ආධිපත්‍යය උපරිම මට්ටමෙන් ක්‍රියාකෙරෙන අවස්ථාවකි. එහිදී පුද්ගලයෙකුගේ ජාතිය, ආගම, කුලය හෝ වෙනත් කිසිඳු සාධකයක් මත නීතියේ වෙනස් වීමක් හෝ විශේෂ වරප්‍රසාදයක් හෝ විශේෂ හානියක් සිදු නොවීම තහවුරු කෙරෙන අතර නීතිය ඉදිරියේ සියලු දෙනා 100%ක්ම සමාන ලෙසින් සැළකෙනු ඇත.
ශ්‍රීලංකාවට එකම නීතියක් ගෙන ඒමේ වැදගත්කම
ශ්‍රී ලංකාවට අදාළව සැළකීමේ දී මෙම සංකල්පය හරහා උඩරට නීතිය, මුස්ලිම් නීතිය හා තේසවලමේ නීතිය.. ආදී පෞද්ගලික නීති අහෝසි කර දැමීම අපේක්ෂා කරන අතර ජාති, ආගම්, කුල මල භේදයකින් තොරව සැමටම සමාන පොදු නීතියක් ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කෙරේ.
එසේම එමගින් නීතිය අවභාවිතා කිරීමට ඇති අවස්ථාවන් මෙන්ම සුළු ජාතිකයින්ටත්, මහා ජාතිකයින්ටත් ලෙස වෙන වෙනම සැළකීමක් සිදු නොවන අතර එමගින් ජාතීන් අතර ඇති අනවබෝධය, සැකය, අවිශ්වාසය සහ නොසන්සුන්තාවයන් ද සමනය වී මෙරට ජීවත් වන සියලු ජනතාව එකම ජන ප්‍රජාවක් ලෙස සැළැකීමට ලක්වේ.
ශ්‍රී ලංකාවේ පවතින තේසවලමේ නීතිය නිසා උතුරු නැගෙනහිර දෙපළාතේ ඉඩම් මිල දී ගැනීම හා ජීවත් වීමට වෙනත් පළාතක පුරවැසියන්ට බොහෝ බාධාවන් ඇති වී තිබෙනවා. එහෙත් මෙම එකම රටක් එකම නීතියක් සංකල්පය මගින් මෙරට පුරවැසියෙකුට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක පදිංචි වීමට ඇති අයිතිය ද එමගින් තහවුරු කෙරෙන අතර ජනවර්ග අතර සාමය, සංහිඳියාව හා යහපැවැත්ම තහවුරු වනු ඇත.
එක රටක් එක නීතියක් මෙරට ක්‍රියාත්මක කිරීමේදී ඇති මතවාද
පසුගිය වසරේ මේ පිළිබදව සමඟි ජනබලවේගයේ අපේක්ෂක, අජිත් පී. පෙරේරා හිටපු ඇමැතිවරයා දැක්වූ අදහස දිනමිණ පුවත්පත වාර්තා කර තිබුණේ මෙසේය.
”මේ ආණ්ඩුව බලයට පත් වුණේ එක රටක්, එක නීතියක් කියන තේමාව යටතේ. හැමෝටම නීතිය එක ලෙස ක්‍රියාත්මක විය යුතුයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙන මූලික අයිතිවාසිකමක්. නමුත් එය ක්‍රියාත්මක වනවාද යන්න ගැටළුවක් ”
එමෙන්ම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ පිලිබදව දැක්වූ අදහස් පසුගිය වසරේ ” ද ලීඩර් ” වෙබ් අඩවිය සදහන් කර ඇත්තේ මෙසේය,
“මේ රටේ සිවිල් නීතිය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු දෙනාටම පොදුයි. මේ රටේ අපරාධ නීතිය සිංහල, දෙමළ, මුස්ලිම් කාටත් පොදුයි. එතකොට මේ රටේ තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ රටේ ඉන්න හැම පුරවැසියෙක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වෙනවා. එතකොට මේ රටේ තවම තියෙන්නේ එකම නීතියයි. උඩරට නීතිය තියනවා, තේසවලාමේ නීතිය තියනවා, මුස්ලිම් විවාහ නීතිය කියලා එකක් තියනවා. ඒ එක් එක් ජනවර්ගවලට ආවේනික වු යම් යම් නීති තිබෙනවා. ඒ නීති තුලින් කවදාවත් මේ රටේ ව්‍යවස්ථාවට අභියෝගයට ලක් වෙලාවත් නෑ. මේ රටේ ඒකීයභාවයට ඒ නීති අභියෝගයක් වෙලාවත් නෑ. ඒ නීති මේ රටේ ජනවර්ග අතර ගැටුම් ඇති කරන්න කවදාවත් අභියෝගයක් වෙලත් නෑ. මේ රටේ ත්‍රස්තවාදය ඇති වෙන්න ඒ නීති කවදාවත් බල පවත්වලත් නෑ. බලපාන්නෙත් නෑ ”
පසුගියදා ස්වාධින රුපවාහිනී ඉදිරිපත්කරනු ලබන තුලාව සංවාද මණ්ඩපයට එක් වෙමින් රයිට්ස් නව් එන් .ජි. ඕ සංවිධානයේ සභාපති සුදර්ශන ගුණවර්ධනද මේ පිළිබද අදහස් පළකළේ මෙලෙසය,
”එක රටක එක නීතියක් කියන එක තියනවා කියන්නත් පුළුවන්. සමහර තැන් වල වෙනස්කම් තියනවා කියන්නත් පුළුවන්. ඒ සමහර වෙනස් කම් තියෙන්නේ සංස්කෘතිකමය තත්වයන් මත. දැන් ප්රශ්නය තියෙන්නේ ඒ වෙනස් කම් නිසා තව කෙනෙකුට වෙනස් කොට සැලකීමක් හෝ වෙනවද අසාධාරණයක් වෙනවාද ? අන්න එතන තමයි අපි විමසන්න ඕන…මේ එක රටක් එක නීතියක් කියන එක කුමන පදනමකින් ගේනවා වුණත් එය ක්‍රියාත්මක කරන්න යද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ දැනට තියන නීති වලින් වෙනස්කොට සැලකීමක් වෙනවානම් කිසිවකුට හරි එතැනදී ඒ නීති වෙනස්කමකට ලක් කළ යුතුයි”
මේ පිළිබදව මිට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි නැගූ ප්‍රශ්නයකට අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මෙසේ සදහන් කළේ,
”ලංකාවේ පුද්ගලික නීතින් රාශියක් ක්‍රියාත්මක වෙනවා. උදාහරණ වශයෙන් උඩරට විවාහ දික්කසාද නිතීය ක්‍රියාත්මක වෙනවා, උඩරට අනුප්‍රාප්ත නීතිය ක්‍රියාත්මක වෙනවා. යාපනය විවාහ අනුපාප්ති නීතිය ක්‍රියාත්මක වෙනවා. තේසවලාමේ නීතිය ක්‍රියාත්මක වෙනවා. මුස්ලිම් විවාහ දික්කසාද නිතිය ක්‍රියාත්මක වනවා. මුස්ලිම් අනුප්‍රාප්තික නිතිය ක්‍රියාත්මක වනවා.
බෞද්ධ විහාර හා දේවාලගම් නීතිය ක්‍රියාත්මක වනවා. හින්දු සංස්කෘතික පනත ක්‍රියාත්මක වනවා. මුස්ලිම් වකුබ් පනත ක්‍රියාත්මක වනවා. චර්ච් එෆ් සිලෝන් පනත ක්‍රියාත්මක වනවා එවැනි පනත් රාශියක් ක්‍රියාත්මක වනවා පුද්ගල නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ඒවා. ඉදිරියට එය වෙන්කර පොදුවේ එක රටක් එක නීතිය යටතේ සියලු දෙනාටම එක නිතිය ක්‍රියාත්මක විය යුතු නම් එය මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් කරන්නට බැහැ.
සියලුම පුද්ගලික නීති එහෙනම් අහෝසි කරලා දාන්න. ඒක ඇරුනම මේක සටන් පාඨයක් කරගෙන වොයිස්කට් දිදි ජාතින් අතර විරසකත්වය ඇතිකිරීම සදහා කටයුතු කිරීම සුදුසු නැහැ කියන එකයි ගරු කථානායකතුමනි මම ප්‍රකාශ කර සිටින්නේ. එතකොට මුස්ලිම් නීතිය යටතේ මුස්ලිම් කාන්තාවන්, පොඩි දරුවෝ ඔවුන්ගේ කැමැත්තෙන් තොරව බලහත්කාරයෙන් විවාහ කරලා දෙන බවට මත ප්‍රකාශ කරලා තිබුණා. ඒක වැරදි ප්‍රකාශයක් එහේම ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ.
සිද්ධ වෙන්නේ ඔවුන්ගේ කැමැත්ත ලබාගෙන පියා අත්සන් කිරීම එහි වෙනසක් කරන්නට ඕනේ නම් ඒ සම්බන්ධයෙන් අපි සාකච්චා කරගෙන ඒක වෙනස කරන්නට පුලුවන්.2020 නොවැම්බර් මාසයේ කැබිනට් පත්‍රිකාවක් මේ වනවිටත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අනුව අපි යෝජනා කරලා තියෙනවා. මේ රටේ අනෙකුත් අයට වගේම මුස්ලිම් දරුවෝත් විවාහ වෙන්න බැහැ. මේ දේවල් සංශෝධය කිරීමට කටයුතු කරගෙන යනවා”
එක රටක් එක් නීතියක් යනු මුස්ලිම් විරෝධයක්ද ?
එක රටක් – එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම රටකට අත්කර ගත හැකි ඉහළම ප්රජාතන්ත්රවාදී තත්ත්වයයි. එහිදී එය ජාතිවාදී ලෙස හෝ වර්ගවාදී ලෙස හඳුනාගැනීම අතිශයින් වැරදි හා නොමග යවන සුළු තත්වයකි.
මේ යටතේ ඉවත් කිරීමට නියමිත නීති පද්ධතීන් අතර උඩරට නීතිය, මුස්ලිම් නීතිය හා තේසවලමේ නීතිය යන පෞද්ගලික නීති ක්‍රම ත්‍රිත්වයම පවතී. එයින් මුස්ලිම් නීතිය ඉවත් කිරීම ප්‍රබලම ගැටළුවක් ලෙස යමෙක් හඳුනා ගන්නේ නම් එය ප්‍රජාන්තවාදී සංකල්පයන්ට විරුද්ධ තත්වයකි.
එහෙත් මෙම සංකල්පය සම්බන්ධයෙන් කතා කිරීමේ දී ඉන් වැඩි හානියක් මුස්ලිම් ජාතික පිරිමින්ට සිදුවන බව පෙනී යයි. ඔවුන්ට මුස්ලිම් වීම නිසා ලැබී ඇති අධික වරප්‍රසාද සම්භාරය “එක රටක් – එක නීතියක්” සංකල්පය හරහා අහෝසි වී යනු ඇත.
වත්මන් ආණ්ඩුව මෙම නීතිය අතට ගැනීම
‘එක රටයි, එක නීතියයි’ යන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ වේදිකාවේ කැපී පෙනෙන සටන් පාඨයක් විය. එය ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ නම් වූ ජනාධිපතිවරණ ප්රකාශනයටද ඇතුලත් කරන ලදි.
ප්රජාතන්ත්රවාදය අගයන රටක් තුළ මෙම එක රටක් එක නීතියක් යන සංකල්පය නීතිරාමුවක් තුළින් ගෙන එම වටිනා ක්රියාදාමයකි. මේ පිළිබද විවිධ පාර්ශ්ව වලින් විවිධ චෝදනා ,පැසසුම් ගලා ආවද මෙය ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුවට අවශ්‍ය ශක්තිය තිබෙන බව කිව යුතුය. මේ වෙනුවෙන් ආණ්ඩුව පසුගියදා එක රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කෙරුණි. එහි සභාපතිවරයා ලෙස බොදු බල සේනා සංවිධානයේ මහලේකම් හිමියන් පත්කරන ලදී.
ශ්‍රී ලංකාව තුළ එක රටක් සහ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත සකස් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරි තිබෙන අතර ඊට අමතරව අධිකරණ අමාත්‍යාංශය මේ වනවිට මෙයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් සහ සංශෝධනයන් අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන ඇත්නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරී ඇති තවත් කාර්යය බව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
කමිටුව විසින් මසකට වරක් ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර මෙහි අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි 28 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුව ඇත.
රට තුළ එක නීතියක් ක්‍රියාත්මක කිරීම කැලයක් සුද්ධ පවිත්‍ර කරනවා වැනි කාර්යයක් බව ද පවසන උන්වහන්සේ මෙම තනතුරේ වැඩ කටයුතු සිදු වන ආකාරය පිළිබඳව ඉදිරියේදී දැනුවත් කිරීමට කටයුතු කරන බවද සඳහන් කළහ.
කෙසේ නමුත් එක රටක් එක නීතියක් මෙරට ඉතිහාසයේ සිට ක්‍රියාත්මක නොකිරීමේ පලවිපාක අප වර්තමානය වන තෙක් අත්විදිමින් සිටි. ඒ විෂම ක්‍රමවේදය තවදුරටත් මෙරටට අවැසි නීති ක්‍රමවේදය බවට පත්නොකිරීමට තරම් වත්මන් රජය ශක්තිමත්ව තිබේ. එමෙන්ම මෙය යථාර්ථයක් කිරීම පහසු කාරණයක් නොවෙනු ඇත. මේ වෙනුවෙන් කවර පාර්ශ්වයක් වෙතින් හෝ වේවා හඬ නැඟුනු සටන් පාඨ හෝ යෝජනා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තු විය ද නොහැක. මන්ද ඒ ඇතැම් ඉල්ලීම් පක්ශග්‍රාහී හෝ අනෙකා පීඩාවට පත්කරන ඒවා වීම නිසාය. මෙහිදී අනෙකාගේ නිදහස සහ අයිතිවාසිකම් රැකීම විය යුතුය. ප්රජාතන්ත්රවාදී මූල ධර්මයන් සුරක්ෂා වීම විය යුතුය. ජන කොටස් වල සංස්කෘතික අයිතීන් පිළිගැනීමද විය යුතුය. ඒ අනුව මේ සියල්ල තුලනය කරන සියලු දෙනාටම පිළිගත හැකි මහජන සම්මුතියක් ලෙස එකම රටක් එකම නීතිය බලපැවැත්වීම විය යුතුය.
ජනාධිපති කාර්යසාධක බලකාය අත් නොහරින බරපතල වගකීම වන්නේ එයය. කොහොම නමුත් මෙම වටිනා සංකල්පය යථාර්තයක් කරමින් ”එක රටක් එක් නීතියක් ” කරා රට ගෙන යාමට භාරගත් අභියෝගය ගැනත් , ඒ ශක්තිමත් පිම්ම ගැනත් ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස අප ආඩම්බර විය යුතුය.
– පංචාලි