ගල්, බියර්, වයින් හා රට බීම වැඩිවීම් අද (13) සිට ක්‍රියාත්මකයි!

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (12) ඉදිරිපත් කළ “2022 අයවැය” යෝජනාවලිය අනුව සංශෝධනය සුරාබදු වැඩිවීම් අද (13) සිට ක්‍රියාත්මක වන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතා පවසයි.

අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා පැවසුවේ ඊට අදාළ දැනුම් දීම ඊයේ දිනයේම මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් නිකුත් කළ බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම බදු සංශෝධනය අනුව විශේෂ අරක්කු සඳහා පනවා තිබුණු බද්ද රුපියල් 3,800 සිට 4,180 දක්වා රුපියල් 380කින් ඉහළ දමා තිබේ.

ඊට අමතර, මොලෑසස්, තල් අරක්කු, පොල් අරක්කු සහ පදම් කළ අරක්කු මත බද්ද ද 410කින් ඉහළ දමා ඇත.

දේශීයව නිෂ්පාදනය කරන විදේශීය අරක්කු වන විස්කි, බ්‍රෑන්ඩි, ජින් සහ රම් වැනි අරක්කු සඳහා පනවා තිබෙන බද්ද 4,150 සිට 4,570 දක්වා රුපියල් 420කින් ඉහළ ගොස් තිබේ.

මෙලෙස බදු මිල වෙනස් වන්නේ ඒ ඒ අරක්කු ලීටර් 1ක සැබෑ ලෙසම පවතින පිරිසිදු මධ්‍යසාර ප්‍රමාණය මත වන අතර ඒ අනුව මධ්‍යසාර අධිකව තිබෙන අරක්කු භාවිතාව අධෛර්යමත් කිරීම මෙම බදු සංශෝධනයෙන් සිදුකර ඇති බවද කුමාරසිංහ මහතා පැවසීය.

මීට අමතරව, විදේශ රටවලින් ආනයනය කළ වයින් වර්ග සඳහා බද්ද 3,300ක් දක්වා වැඩි කර ඇති අතර 5%ක් වැනි අඩු සැර ප්‍රමාණයක් තිබෙන බියර් සඳහා රුපියල් 100කින්ද 5%ට වැඩි සැර සහිත බියර් සඳහා රුපියල් 250කින්ද බදු වැඩි කර ඇත.

මෙහිදී “විශේෂ අරක්කු” මිලි ලීටර් 750 බෝතලයක් සඳහා බදු රුපියල් 96.14කින් ඉහළ ගොස් තිබේ.

සෙසු අරක්කු සඳහා රුපියල් 103.73 බදු වැඩි වීමක් සිදුව ඇත.

දේශීය වශයෙන් නිෂ්පාදනය කළ විදේශ වයින් මිලි ලීටර 750ක බෝතලයක් සඳහා බදු අය කිරීම රුපියල් 126.84කින් ඉහළ නංවා ඇත.

බියර් මිලි ලීටර 625 බෝතලයක් (5%ට වඩා සැර අඩු) රුපියල් 3.10කින් ද 5% ට වැඩි සැර බියර් බෝතලයක් සඳහා රු.14.00ක බදු වැඩිවීමක්ද සිදු වේ.

මෙහිදී මෙම සමාගම් නිෂ්පාදනය කරන මත්පැන් අලෙවි වුවත් නැතත් නිෂ්පාදනය කරන ප්‍රමාණය සඳහා බදු ගෙවිය යුතු වන හෙයින් වැඩි වන බදු මුදල් ඉහත සඳහන් කර ඇති පරිදි සිදුවන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

එම නිසා සිල්ලර මිල තීරණය කිරීමේ දී තවදුරටත් මිලෙහි යම් වැඩි වීමක් සිදුවිය හැකි අතර ඒ සඳහා නීතිමය අවසරය එම සමාගම් වෙත තිබෙන බවත් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

මේ අතර වැඩි වශයෙන් භාවිතා වන්නේ මිලි ලීටර් 250 බෝතල් වන අතර ඒවා නිසි ලෙස මුදානොහැරීම නිසා පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ප්‍රතිචක්‍රීයකරණය හෝ නැවත භාවිතා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවද කුමාරසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.