සහරාන් බිරිය එළියට එයි! මරාගෙන මැරුණු කාත්තන්කුඩියේ සිරුරු ගොඩගනී! අතුරුදන් සාරා හමුවෙයි! තවත් බෝම්බයක් අතළඟ! EXCLUSIVE

එල්.ටී.ටී.ඊ. යුද්ධය කාලෙ නිතර නිතර පෙනී හිටපු මහාචාර්ය රොහාන් ගුණරත්න පසුගිය කාලෙ දකින්න ලැබුණෙ නෑ. එල්.ටී.ටී.ඊ. යුද්ධයත් ඉවර වුණා. යුද ජයග්‍රහණය සැමරුවා. නමුත් ඔහුව දකින්න ලැබුණේ නෑ. හැබැයි දැන් මහාචාර්ය රොහාන් ගුණරත්න නැවත එළියට එනවා. පාස්කු ප්‍රහාරය සිදුකරපු ත්‍රස්ත කල්ලිය ගැන රටේ විශාල කතාබහක් ගොඩනැගිලා තියෙන අවස්ථාවක ඔහු ලොකු හෙළිදරව්වක් කරනවා.

මොකක්ද මහාචාර්ය රොහාන් ගුණරත්නට පහුගිය කාලෙ සිදුවුණේ? ඇයි මේ එකපාරටම මේ සිද්ධියත් සමග එළියට ආවේ?

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

‘ඉස්ලාමික් ස්ටේට්’, ඒ කියන්නේ ‘ඉස්ලාම් රාජ්‍යය’ කියන ත්‍රස්ත සංවිධානය පිළිබඳ මම බොහොම රහසිගතව මේ කාර්යය ක්‍රියාත්මක කළා. අත්අඩංගුවෙ ඉන්න ඔක්කොම ත්‍රස්තවාදීන් සමග මම සාකච්ඡා කළා. නවුෆර් මවුලවිත් එක්ක කතා කළා. එයා තමයි මහ මොළකරු. එයා තමයි මූලධර්මවාදය සහ ඉස්ලාමික් ස්ටේට් අන්තවාදය ලංකාවට අරගෙන ආවෙ. එයා කටාර්වල අවුරුදු 20ක් ඉඳලා ලංකාවට ඇවිල්ලා සහරාන්ව ඉස්ලාමික් ස්ටේට් පැත්තට හරවලා, එයා තමයි ඉස්ලාමික් ස්ටේට් සංවිධානයෙ ඔක්කොම බඳවාගැනීම්, පුහුණුකිරීම් සියල්ල කළේ. මම එයත් එක්ක මාස ගාණක් සාකච්ඡා කළා. ඊළඟට සහරාන්ගෙ බිරිය වන හාදියත් එක්කත් මම මාස ගාණක් සාකච්ඡා කළා. අයි.එස්. සන්නද්ධ අංශයේ නායක මිල්හාන් එක්කත් මාස ගාණක් කතා කළා. ඉතින් ඒ කතා කරපු දේවල් පිළිබඳ අපි දැන් වෙනකන් එළියට දැම්මේ නෑ. ඒ වගේම ඒගොල්ලන්ගෙ පරිගණක යන්ත්‍ර, දුරකතනවල තිබුණු විස්තර ඔක්කොම මම විමර්ශනය කළා. නමුත් මට හිතුණා මේ අවස්ථාවෙදි මම මේ පිළිබඳ දැනගත්ත තොරතුරු හෙළිදරව් කරන්න ඕනෙ කියලා. මොකද මේ අවස්ථාවෙදි හෙළිදරව් කළේ නැත්නම් අපේ නූගත් සමාජයක් ලංකාවෙ ඇතිවෙන්නේ. ඒක ඇත්ත. ලංකාවෙ 95%කට වැඩි ප්‍රමාණයක් සාක්ෂරතාව තියෙනවා. නමුත් ඒ අයව මේ එක් එක් විෂයන් පිළිබඳ අපි දැනුවත් කරන්න ඕනෙ. එහෙම නොකළොත් එක එක මතවාද හැදෙනවා. ලංකාවෙ 70%ක විතර පිරිසක් තාම අහනවා මේ පාස්කු ඉරිදා ප්‍රහාරය ඇත්තටම කවුද කළේ කියලා. මොකද රජයක් වශයෙන් මේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පස්සේ හැම සුමාන දෙකෙන් දෙකටම මාධ්‍ය සාකච්ඡාවක් කරලා මහජනයා දැනුවත් කරන්න තිබුණා. ඒක විතරක් නෙවෙයි හැම සුමානෙම ගිහිල්ලා කාදිනල් හිමියන්ව දැනුවත් කරන්න තිබුණා. නමුත් ඒවා නොකරපු නිසා හිස්තැනක් ඇතිවුණා. අපේ කට්ටිය බොහොම නිර්මාණශීලී අයනෙ. ඉතින් ඒ කට්ටිය ඒ හිස්තැනට එක එක කතා දාලා තියෙනවා. ඉතින් දැන් ලංකාවෙ සමහර බුද්ධිමත් අයත් අහනවා මේ පාස්කු ප්‍රහාරය අපේ හමුදාවෙන්ද කළේ, අපේ ස්පෙෂල් මිලිටරි යුනිට් එකක්ද කළේ, නැත්නම් ඔත්තු සේවාවකින්ද කළේ කියලා. ඉතින් මේක ගැන අපි අපේ සාමාන්‍ය ජනතාවට බැණලා වැඩක් නැහැ. අපට මේක කරන්න තිබුණා පාස්කු ප්‍රහාරයට පස්සේ. ඒ කියන්නේ මේ හම්බවෙන හැම රිපෝර්ට් එකටම ‘සීක්‍රට්’ කියලා ගහලා සේප්පුවෙ දානවට වඩා ජනතාව දැනුවත් කළේ නැත්නම් ඒ ජනතාව කවදාවත් රටක් දියුණු කරන්න ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඉතින් මම හිතුවා මේ අවස්ථාවේදි මේ රටේ ජනතාව දැනුවත් කිරීම අතශ්‍යාවශ්‍යයි කියලා.
සහරාන් ගැන ලැබිච්ච බොහෝම සුවිශේෂ සාක්ෂියක් තමයි, සහරාන්ගෙ කටින්ම සහරාන් කියනවා ඇයි එයා මේ ප්‍රහාරය කළේ කියලා. මේක කොහොමද කළේ, ඇයි මේ ටාගට්ස්වලට ගැහුවේ, ඇයි පල්ලිවලට ගැහුවේ, ඇයි සුපිරි හෝටල්වලට ගැහුවේ කියලා. එයා ඔත්තු සේවයට කියන්නේ ‘බල්ලො’ කියලා. ඉතින් ඇයි එයා ඒ වගේ කතා කරන්නේ. මම ඒක පිළිබඳ වීඩියෝ පටයක් බැලුවා. පැය දෙකහමාරක් ඒක.

කොහෙන්ද ඒ වීඩියෝ පටය ලැබුණේ?

සහරාන්ට තිබුණා සේෆ් හවුසස් (ආරක්ෂිත නිවාස) හතක් අම්පාර දිස්ත්‍රික්කයේ. අම්පාර දිස්ත්‍රික්කය තමයි ඔවුන් පාවිච්චි කළේ දෙවැනි ප්‍රහාරය එල්ල කරන්න. ඒකෙ තමයි ඒගොල්ලො අදහස් කළේ ඇසළ පෙරහැරට සහ තවත් පල්ලිවලට ගහන්න. විශේෂයෙන්ම තේතාතිව් කියන පල්ලියට. මේ වීඩියෝව ලැබුණේ අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චේනෙ කියන ගම්මානයෙන්. එහෙන් ලැබිලා තිබුණා පෙන් ඩ්‍රයිව් එකක්. ඒක ‘සයිනි මවුලවි’ගෙ. සයිනි මවුලවි තමයි සහරාන්ගෙ සහෝදරයා. සයිනි මවුලවි 2017 මාර්තු මාසෙදි අසූෆියා එක්ක කාත්තන්කුඩිවල අන්ඩර් ග්‍රවුන්ඩ් සටනක් වෙලා තියෙනවා. ඊට පස්සේ එයා තමයි එන්.ටී.ජේ. එක භාරව සිටියේ. ඊට පස්සේ සහරාන් පාස්කු ප්‍රහාරයට යනකොට එයා සයිනි මවුලවිට නායකත්වය දුන්නා. දීලා තමයි එයා ගියේ.

සයිනි මවුලවි අඩ්ඩාලච්චේනෙ සේෆ් හවුස් එකේ එයාගෙ බඩු ඔක්කොම තියලා තිබුණා. ‘අසද්’ කියලා සියොන් චර්ච් එකේ මරාගෙන මැරුණු කෙනාගෙ හාඩ් ඩ්‍රයිව් එකක් එතැන තිබුණා. ඒ වගේ බඩු කිහිපයක් එතැන තිබුණා. සයිනි මවුලවි අන්තිමටම අම්පාරෙ සේෆ් හවුස් හතේ ගොඩක් තැන්වලට ගිහිල්ලා තිබුණා. අප්‍රේල් 26 වැනිදා සයින්දමරුදු සේෆ් හවුස් එකේ එයයි තව 18 දෙනෙක් ඉන්නකොට මරාගෙන මැරෙන පිපිරීමක් කළා. සහරාන්ගෙ අම්මා තාත්තා, සහරාන්ගෙ අනෙක් සහෝදරයා රිල්වාන් හිටියා. අනෙක් සහෝදරිය හාදියා හිටියා. නියාස් හිටියා. එයා තමයි ඒ පළාතෙ අයි.එස්. සංවිධානෙ ලොක්කා. සාරා ජැස්මින් හිටියා. ඒ කියන්නේ මහේන්ද්‍ර පුලස්තිනී. හාදියා හිටියා. ෆෙරෝසා හිටියා. එයා තමයි සියොන් චර්ච් එකේ මරාගෙන මැරුණු කෙනාගෙ බිරිය. මේ කට්ටිය ඔක්කොම මාස් සූසයිඩ් එකක් කළා. ඒ මාස් සූසයිඩ් එකේදි සයිනිත් මියගියා. ඒ වීඩියෝ පටය ලැබුණෙ අඩ්ඩාලච්චේනෙන්. ඔවුන් මියගියේ සයින්දමරුදුවලදී.

එතකොට ඇයි ඒක හොයාගෙන මෙච්චර කල් ගතවෙලත් ඒ වීඩියෝ එක එළියට ආවෙ නැත්තෙ?

මේ වීඩියෝ එක පිළිබඳ සාකච්ඡාවක් වුණා. ඒ සාකච්ඡාවෙදි මගෙන් විමසීමක් කළා මේ වීඩියෝව සමාජගත කරන්න අවශ්‍යද කියලා. ඒ අවස්ථාවෙදි මම කිව්වා මේ වීඩියෝ එක අපි සමාජගත කළොත්, සිංහල අය බොහෝම තරහෙන් ඉන්නෙ මුස්ලිම් අයත් එක්ක. මොකද සිංහල අයට මතයක් තිබුණා බහුතර සාමාන්‍ය මුස්ලිම් ජනතාව මේ මුස්ලිම් අන්තවාදය පැත්තට ගිහිල්ලා කියලා. ඉතින් ඒ අවස්ථාවෙදි ඒ වීඩියෝ එක සමාජගත කළා නම් වෙන්නෙ තව සිංහල මිනිස්සු මේකෙන් කුපිත වෙන එක සහ සිංහල අපරාධකරුවන් මේක පාවිච්චි කරලා අහිංසක මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කරන එක. ඉතින් ඒක නිසා තමයි එය ඒ අවස්ථාවෙ සමාජගත නොකළේ. ඒ කාලෙ මම තීරණයක් ගත්තා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් හැටියට මේ වීඩියෝ එක දැන් සමාජගත කරන්න. මොකද ජනතාවගෙන් විශාල පිරිසක් දැන් විශ්වාස කරනවා මේ ප්‍රහාරය මුස්ලිම් අන්තවාදයෙන් ඇතිවෙච්ච ප්‍රහාරයක් නෙවෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් සහරාන් කියනවා ‘මම මේ ප්‍රහාරය එල්ල කළේ අල්ලා වෙනුවෙන් සහ මගේ ආගම වෙනුවෙන්’ කියලා. ඒක විතරක් නෙවෙයි සහරාන් විස්තර සහිතව කියනවා එයා පල්ලිවලට ගැහුවෙ ඇයි, හෝටල්වලට ගැහුවෙ ඇයි කියලත්. ඒ විතරක් නෙවෙයි එයාගෙ අයිඩියලොජි එක ගැනත් කියනවා. ඉතින් මේක මේ දේශපාලන කුමන්ත්‍රණයක් නෙවෙයි. ඒ දේශපාලන කුමන්ත්‍රණයක් කියන එක නිර්මාණය වෙන්නේ අර ජනතාව දැනුවත් නොකිරීමේ හිඩස ඇතිවුණු නිසයි. මම කියන්න යන්නෙ නෑ මේ හිඩස ඇතිවුණු නිසා තමයි එක එක අය මතවාද හැදුවෙ කියලා. මම හිතන්නේ ඒ අය නොදැනුවත්කම නිසා තමයි මේ එක එක කතා හදලා තියෙන්නේ. බොහොම සුළු පිරිසක් ඉන්නවා ඒ කට්ටිය මේ තොරතුරු පතුරුවන්නේ ඒ අයගෙ දේශපාලන වාසි තකා. මම කැමැති ඒ අයට පණිවුඩයක් දෙන්න. කරුණාකරලා අපේ හමුදාවට, පොලිසියට නැත්නම් ඔත්තු සේවාවලට චෝදනා කරන්න එපා, ඒ අය මේ ප්‍රහාරය එල්ල කළා කියලා. මේ රටේ සාමය තියෙන්නේ ඔවුන් කරපු දිවිපිදීම නිසයි. නැත්නම් අපට කවදාවත් මේ රටේ යන්න ලැබෙන්නෙ නෑ. නැත්නම් මේ රට ඇෆ්ගනිස්තානය, සිරියාව, ඉරාකය, පාකිස්තානය වගේ වෙනවා. මේ රටේ නියම දෙවිවරු තමයි හමුදාවයි, පොලිසියයි, ඔත්තු සේවයයි. ඒ අයට හැමදාම ඕගොල්ලො වඳින්න ඕනෙ. නැත්නම් ඒක පාපයක්.

දැන් මිනිස්සු අතර හැදිලා තියෙනවනෙ මතයක්. ඒ කොමිසමේ යම් යම් දේවල් මාධ්‍යවලින් උළුප්පලා පෙන්නුවා. ඒ හරහා ඇතිවෙච්ච සිද්ධීන් ගැන මිනිස්සු කතා වෙනවා. ඉන් එකක් තමයි ‘සාරා ජැස්මින්’ කෝ කියන එක සහ එයාට පොලිසියෙ රැකවරණය ලැබුණා, මෙහෙන් ගියා කියන එක?

මම ඔබට කියන්න කැමැතියි සාරා ජැස්මින්, නැත්නම් මහේන්ද්‍රා පුලස්තිනි කියන කෙනා ගැන මම විශේෂ විමර්ශනයක් කළා. ඒ විතරක් නෙවෙයි මම එයාගෙ පවුලේ අයත් එක්කත් නිතරම සාකච්ඡා කරනවා. මේ සිද්ධිය පිළිබඳ බොහෝ ගැඹුරු ලෙස ගවේෂණයක් කරලා තියෙනවා. මම කැමැති ඒ පිළිබඳ ඔබ සමග සාකච්ඡා කරන්න මොකක්ද වුණේ කියලා.

පළමු එක තමයි සාරා ජැස්මින්ගේ නියම නම තමයි මහේන්ද්‍රා පුලස්තිනී. එයා කලවංචිකුඩි ප්‍රදේශයේ කෙනෙක්. එයා පාසල් යනකොට ‘හස්තුම්’ කියලා මුස්ලිම් තරුණයකු සමග යාළු වුණා. හස්තුම් තමයි කටුවාපිටිය පල්ලියෙදි මරාගෙන මැරුණෙ. ඔහු තමයි මම හිතන විදියට සහරාන්ගෙ කණ්ඩායමේ තාක්ෂණය පැත්තෙන් දක්ෂම කෙනා. එයා තමයි ‘ඉස්ලාමික් ස්ටේට් කොමියුනිකේෂන් සිස්ටම්’ එක හැදුවේ. ඒ විතරක් නෙවෙයි පාස්කු ප්‍රහාරයට යොදාගත්ත බෝම්බ ඔක්කොම හැදුවෙත් එයා. එයා ඕලෙවල් සහ ඒලෙවල් කරපු කෙනෙක්. නමුත් ඔහුගෙ දැනුම ඊට වැඩිය බොහොම ඉහළයි. සාරාත් බොහොම දක්ෂ කෙනෙක්. හැබැයි ඒ දෙන්නම ඉගෙනගෙන තියෙන්නේ ඕලෙවල් සහ ඒලෙවල් විතරයි. හැබැයි ඒගොල්ලො ඉන්ටර්නෙට් එකෙන් ඒවා ගොඩක් රිසර්ච් කරලා තියෙනවා. හැබැයි හස්තුම්, මහේන්ද්‍රා පුලස්තිනීව අරගෙන යනවා අබ්දුල් රාසික්ව මුණගැහෙන්න. අබ්දුල් රාසික්ගෙ සංවිධානයෙ නම ‘සිලෝන් තවුහිද් ජමාත්’. මේක ‘සලාෆි වහබ්’ සංවිධානයක්. මොකද ඒ කාලෙ මුස්ලිම් නායකයො සලාෆි වහබ්වාදය මේ රටට එන එක නතර කළේ නෑ. ඒක ඒ අය කරපු ප්‍රශ්නයක්. ඒ නිසා තමයි මේ පාස්කු ප්‍රහාරය ඇති වුණේ. මොකද ‘සලාෆි වහබ්වාදය’ ගිය හැම රටකම ත්‍රස්ත ප්‍රහාර සිදුවෙලා තියෙනවා.

සාරා ජැස්මින්ව ‘සලාෆි වහබ්’ ධර්මයට හැරෙව්වේ සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය. ඊට පස්සේ එයා හින්දු ආගමෙන් ඉස්ලාම් ආගමට හැරුණා. එහෙම ආගම මාරුකරපු අය සාමාන්‍යයෙන් ඒ ආගම අනවශ්‍ය විදියට වැලඳ ගන්නවා.

එතකොට මිනිස්සු අතර කතාවක් තියෙනවා ‘සිලෝන් තවුහිද් ජමාත්’ එකෙන් තමයි මෙයාව ගෙනාවෙ කියලා. එයාට ඇයි අද වෙනකන් මුකුත් කරදරයක් නොවුණේ?
ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. ඒ ගැනත් අපි කතා කරමු. සාරා ජැස්මින්, හස්තුම් එක්ක යාළු වෙලා ඒගොල්ලො කලවංචිකුඩියෙ ඉඳලා කාත්තන්කුඩිවලට ආවා. ඊට පස්සේ සහරාන්ගෙ යටතට ආවා. ඊට පස්සේ සාරා ජැස්මින් සම්පූර්ණයෙන්ම සහයෝගය දුන්නේ සහරාන්ගෙ කණ්ඩායමට. සාරා ජැස්මින් තමයි අන්තවාදීන්ගෙත් අන්තවාදියා. ඒ කියන්නේ අන්තිම මොහොතේ මේ ගොල්ලො හිටියා අම්පාර ‘නින්දූර්’ කියලා සේෆ් හවුස් එකක. ඒක එයාලගෙ සේෆ් හවුස් හතෙන් එකක්. එතැන ඉන්න කොට සාරා ජැස්මින් එයාගෙ ස්මාර්ට් ෆෝන් එක දිහා බලනකොට සහරාන්ගෙ බිරිය ඒක දැක්කා. දැන් හාදියා ජීවතුන් අතර ඉන්නවා. මම හාදියා එක්ක සාකච්ඡා කරනකොට හාදියා මට කිව්වා, සාරා ජැස්මින් එයාගෙ ෆෝන් එකෙන් ‘තේතාතිව්’වල තියෙන ‘සෙන්ට් ජූඩ්’ කියලා පල්ලියක පින්තූර බල බල හිටියා කියලා. එතකොට හාදියා ඇගෙන් අහලා තියෙනවා ඒ පින්තූර කොහෙන්ද ආවෙ කියලා. එතකොට කිව්වලු හස්තුම් මට පීන්තූර දුන්නා, මට පොඩි වැඩක් කරන්න තියෙනවා කියලා.

ඉතින් මම ඒකයි කිව්වේ දෙවැනි ප්‍රහාරයට මේගොල්ලො ඇසළ පෙරහැර විතරක් නෙවෙයි, ඇසළ පෙරහැර ගැන විස්තර ආවෙ නවුෆර්ගෙන්. තේතාතිව් පල්ලිය ගැන ආවෙ හාදියාගෙන්. ඒගොල්ලො ෆෝන් එක තමයි පාවිච්චි කරන්නේ ඉනිෂියල් සර්වේලන්ස් කරන්න. ඊට පස්සේ තමයි ෆිසිකල් සර්වේලන්ස් කරන්නෙ. මේගොල්ලො ඉස්සෙල්ලාම ටාර්ගට්ස් හඳුනාගන්නේ ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා. මම ඔබට කියන්න කැමැතියි සාරා ජැස්මින් ඒ පැත්තෙ හිටියෙ. ඒක විතරක් නෙවෙයි මේ කට්ටිය ඔක්කොම සමූල ඝාතනයක් කරන්න ඒගොල්ලො ලෑස්ති වුණා අප්‍රේල් 26 වැනිදා. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයට දවස් පහකට පස්සේ. පොලිසියෙන් හමුදාවෙන් ඒගොල්ලන්ගෙ ආරක්ෂිත නිවාසය වැටලුවාට පස්සේ, ඒ අවස්ථාවෙදි සාරා ජැස්මින් තමයි හාදියාට වැඩිපුරම කිව්වේ. මොකද හාදියා මැරෙන්න බයයි. හාදියා මට කිව්වා මම මැරෙන්න හරි බයයි, ඒකයි මෙතැනට ආවෙ නැත්තෙ කියලා. එයා මට විතරක් නෙවෙයි හිටපු සී.අයි.ඩී., ඩී.අයි.ජී රවි සෙනෙවිරත්න මහත්තයටත් කිව්වා සර් මම මැරෙන්න බයයි. ඒකයි මේකට ගියෙ නැත්තෙ කියලා. මොකද අපි හාදියාගෙ මානසිකත්වය බැලුවාම එයා සහරාන්ගෙ බිරිය වුණාට එයා සලාෆි වහබ්වාදයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඒයා දැනුත් කළු අඳින්නෙ නෑ. එයා සාම්ප්‍රදායික මුස්ලිම් පැත්තට බර කෙනෙක්. එයා නිතරම සහරාන් එක්ක ප්‍රශ්නයක් තිබුණු කෙනෙක්. ඉතින් හාදියා කොයි වෙලෙත් එයාට කියලා තියෙනවා එන්න එන්න අපි දැන් ඔක්කොම ස්වර්ගයට යන්නේ කියලා. මොකද මෙතැන හිටියා තුන්දෙනෙක්. එක්කෙනෙක් තමයි සහරාන්. හස්තුම් කටුවාපිටියෙදි මැරුණා. අනිත් එක්කෙනා තමයි ෆෙරෝසා. එයාගෙ මහත්තයා තමයි සියොන් පල්ලියෙදි මැරුණේ. තුන්වැනි එක්කෙනා තමයි හාදියා. සහරාන් මැරුණා ෂැන්ග්‍රිලා හෝටලයෙදි. එතකොට රිල්වාන්, රිල්වාන් කියන්නේ සහරාන්ගෙ සහෝදරයා. එයා වීඩියෝ එකේදි කියනවා මේ තුන්දෙනාගෙ ස්වාමිපුරුෂයො දැන් ස්වර්ගයට ගිහිල්ලා ඉන්නේ. දැන් ඔවුන්ගේ බිරින්දෑවරු තුන්දෙනාත් ස්වර්ගයට යනවා කියලා. ඒ වීඩියෝ එක දැන් තියෙනවා සමාජගත වෙලා. එහෙම කියලා හාදියාට එන්න කිව්වා. නමුත් හාදියා පුතාවත් අරගෙන යන්න හිටියෙ. සහරාන්ගෙ අම්මා තාත්තාත් සලාෆි වහාබ්වාදියො. රිල්වානුයි මේ කට්ටිය පුතාව තියාගත්තා. එතකොට හාදියාට අමාරු වුණා පුතාව අරගන්න. හැබැයි දුවව අරගෙන වැසිකිළියට යන්න ඕනෙ කියලා ගිය වෙලාවෙ තමයි පිපිරීම සිදුවුණේ. ඒකෙන් හාදියා තුවාල වුණා. ඊට පස්සේ එයා අම්පාර රෝහලට ඇතුළත් කළා.
මම හාදියාට කිව්වා මට ඇඳලා පෙන්වන්න කියලා මේ ප්‍රහාරය එල්ල වෙද්දි සාරා කොහෙද හිටියෙ කියන එක. හාදියා කිව්වා සාරා එතැන හිටිය බව. ප්‍රහාරයෙන් පස්සේ මළ සිරුරු හයක් විතරයි හමුවුණේ. අනෙක් සියලු මළ සිරුරු සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙලා. ඒ සිරුරු කොටස්වලින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පළමු ඩී.එන්.ඒ. එක කරද්දි එක ඩී.එන්.ඒ. එකක්වත් මැච් වුණේ නෑ. දෙවැනි පරීක්ෂාවෙදි සාරාගෙ ඩී.එන්.ඒ. එකත් මැච් වුණේ නෑ. දැන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා ඒ මළ සිරුරු කොටස් නැවත ගොඩ අරගෙන ඩී.එන්.ඒ. එකක් කරන්න සියලු මළ සිරුරු කොටස්වලින්. දැන් ඒ අවසරය ලැබෙනකන් ඉන්න ඕනෙ. මොකද ඩී.එන්.ඒ. කියන්නේ 99.999%ක්. අන්තිම ප්‍රතිඵලය වෙනකම් කාටවත් කියන්න බෑ සාරා මෙතැන 100%ක් මැරුණාද නැද්ද කියලා.

දැනට අපේ ඔත්තු සේවා සහ විමර්ශන අංශවලින් ඒගොල්ලන්ගෙ සියලු කවුන්ටර් පාට්ස්ලාට කතා කරලා අහලා තියෙනවා සාරා ජැස්මින් වගේ කෙනෙක් ඕගොල්ලන්ගෙ රටට ගියාද කියලා. විශේෂයෙන්ම ඉන්දියාවෙන්. ඒ අය කියලා තියෙනවා ආවෙ නෑ කියලා. දෙන්නෙක් පාස්කු කොමිසමට ගිහිල්ලා කිව්වා ඒගොල්ලො සාරා ජැස්මින්ව දැක්කා කියලා. හැබැයි දැන් පොලිස් විමර්ශනවලින් හෙළිවෙලා තියෙනවා ඒ දෙන්නාම යම් යම් පෞද්ගලික හේතු නිසා තමයි ඒ වගේ දෙයක් කොමිසමට කියලා තියෙන්නේ කියලා. ඒ අනුව ඒ දෙන්නගෙ සාක්ෂි පොලිසිය විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. හැබැයි මේ කතාව ඇතිවුණේ ඒ දෙන්නා දුන්න සාක්ෂියෙන්. ඒ නිසා මම ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා, මේක පිළිබඳ කලබල වෙන්න එපා කියලා. තුන්වැනි ඩී.එන්.ඒ. පරීක්ෂණයෙන් පසුව අපට 100%ක් විශ්වාසයෙන් කියන්න පුළුවන් සාරා ජැස්මින් එතැන හිටියද නැද්ද කියලා.

නමුත් හිටියා කියන එක හාදියා තහවුරු කරනවා?

ඔව්. ඒක විතරක් නෙවෙයි සාරාගෙ හැඳුනුම්පත සහ පසුම්බියත් එහි තිබිලා හමුවුණා. කොහොම නමුත් අර දෙන්නාගේ සාක්ෂි දෙක දැන් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ.

ඊළඟ ප්‍රශ්නය තමයි අබ්දුල් රසාක්ව අත්අඩංගුවට නොගන්නේ ඇයි කියන එක?

මම ඔබතුමාට මේකෙ පසුබිම කියන්නම්. ලංකාවෙ ඉන්න මුස්ලිම් මිනිස්සු, ක්‍රිස්තියානි මිනිස්සු, හින්දු මිනිස්සු, බෞද්ධ මිනිස්සු පරම්පරා ගානකට පෙර ආදරෙන් ජීවත් වෙච්ච අය. මේ වගේ රටක් නෑ. නමුත් 1977ට පස්සේ සලාෆි වහාබ්වාදය මැදපෙරදිග ගල්ෆ් රටවලින් ආවා. ආවට පස්සේ ඒ කට්ටියට වෙනම ඇඳුම්, වෙනම පල්ලි, වෙනම කෑම, වෙනම වෛද්‍යවරු, ඉස්පිරිතාල, හෝටල් ඇතිවුණා. මේකෙන් වුණේ බෙදීමක්. බෙදුම්වාදයක් සමාජයෙත් ඇතිවුණා. ඒක ඇතිවුණේ මේ ‘සලාෆි වහබ්වාදය’ කියන අයිඩියලොජි එක ආපු නිසා. ඒක විතරක් නෙවෙයි, සලාෆි වහබ්වාදය කියන අයිඩියලොජි එකේ පළමු නීතිය තමයි Al-Wala wal-Bara (අල් වලා – වල් බරා). ඒ කියන්නේ Loyalty to the Muslims and hate Non Muslims සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයෙ නායකයා කිව්වේ බුදුහාමුදුරුවො මිනී මස් කෑවා කියලා. බුදු හාමුදුරුවො මිනී මස් කෑවත්, ඒ වගේ දෙයක් කියනවද? මම බෞද්ධ. මම ඒත් අපේ කාදිනල් හිමියන්ට මම කොයි තරම් ගෞරව කරනවද? ඒ.සී.ජේ.යූ. එකේ නායකයා අර්කම් නුරාමි. මම එයාටත් ගෞරව කරනවා. ඉතින් අපි හැදිලා තියෙන්නේ මේ රටේ ඔක්කොම ආගම්වලට ගෞරව කරන්න. මම පල්ලියකටත් ගිහිල්ලා තියෙනවා. මම පල්ලියෙ වැඳලත් තියෙනවා මම බෞද්ධ වුණාට. හැබැයි මේ තිබුණු ආදරය අනෙක් ලාංකිකයන්ට තිබුණු එක නැතිවුණා. මොකද ඒ මූලධර්මවාදය මේ රටට සුදුසු එකක් නෙවෙයි. ඒකයි දැන් සංවිධාන 11ක් තහනම් කරලා තියෙන්නේ. තහනම් කරපු සංවිධානය තමයි සිලෝන් තවුහිද් ජමාත්, ඕල් සිලෝන් තවුහිද් ජමාත්, යුනයිටඩ් තවුහිද් ජමාත්, නැෂනල් තවුහිද් ජමාත්, ජේ.ඒ.එස්.එම්. කියන මේ ඔක්කොම සලාෆි වහාබ් සංවිධාන. ඒ හැර අල්කයිඩා සහ ඉස්ලාමික් ස්ටේට් තහනම් කළා. මේවා කරන්න තිබුණේ මේ ආණ්ඩුව නෙවෙයි. ඉස්ලාමික් ස්ටේට් සංවිධානය පටන් ගත්තම 2014 කැලිෆේට් එකක් ප්‍රකාශයට පත් කළා. අපිටත් එවෙලෙම ඒක තහනම් කරන්න තිබුණා. 2014 තහනම් කරන්න තිබුණා, 2015, 2016, 2017, 2018 හෝ 2019 තහනම් කරන්න තිබුණා. හැබැයි මේක මේ අවුරුද්දෙ විතරයි තහනම් කළේ. ඒ කියන්නේ මේ රිලීජස් ස්පේස් එක (ආගමික හිඩැස) නියාමනය කිරීම. අපි ඒක හරියට කරලා නෑ රටක් වශයෙන්. මම කියන්නේ මුස්ලිම් රිලීජස් ස්පේස් එක විතරක් නෙවෙයි හින්දු රිලීජස් ස්පේස් එකත් නියාමනය කරන්න ඕනෙ. නැත්නම් ආර්.එස්.එස්., ශිව සේනා වගේ සංවිධාන මේ රටට එයි.

ඊළඟට ක්‍රිස්තියානි රිලීජස් ස්පේස් එකත් නියාමනය කරන්න ඕනෙ. බලන්න ක්‍රිස්තියානි ටෙරරිස්ට් කෙනෙක් ගිහිල්ලා නවසීලන්තයෙ පල්ලියකට ගැහුවනෙ. බෞද්ධ රිලීජස් ස්පේස් එකත් නියාමනය කරන්න ඕනෙ. ජපානෙ ‘ඌම් ෂින් රිකියෝ’ කියලා බෞද්ධ ආගම පාවිච්චි කරලා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළා. මේ රිලීජස් ස්පේස් කියන එක බොහොම වටිනා වස්තුවක්. ඒක අපි ආරක්ෂා කළේ නැත්නම් ත්‍රස්තවාදය, අන්තවාදය, මූලධර්මවාදය මෙතැනට ඇවිල්ලා කාටවත් ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ සාමයෙන්.

ප්‍රහාරයට කලින් ඉන්දියාවෙන් ඒ ගැන ඔත්තුව දෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම බුදුපිළිමවලට හානි කරපු අයව අල්ලන එක හරියට කරන්නෙත් නෑ. ඔහොම ඔහොම ඇවිත් ඔත්තුව දෙනවා මෙන්න මේ දවස වෙද්දි මෙතැනට ගහනවා කියලා. මෙච්චර තොරතුරු ලැබිලා තියෙද්දි කොතැනද වැරැදුණේ? මේක හිතාමතාම වැරැද්දුවා. ඕක තමයි සමාජයේ යන කතාව. කලින් කිව්වා, කියපු දවසටම ගැහුවා. ගහන දවසෙත් උදේ කිව්වා. ඒත් මුකුත් කළේ නෑ. මේ වගේ කුමන්ත්‍රණයක් ගැන කොමිසම හරහා සමාජගත වෙලා තියෙනවා. එතකොට ඔබතුමා කරපු මේ රිසර්ච් එකට අනුව කොහොමද මේ ඔත්තුව ඔච්චර කලින් ආවෙ? හරියටම එදා උදේ ප්‍රහාරය සිදුවෙනවා කියලා කියන්න තරමට කොහොමද ඒ තොරතුර ලැබුණේ?

පළමුවැනි එක තමයි ලංකා රජය බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනෙ ඉන්දියානු රජයට මේ වගේ ඔත්තුවක් දුන්න එක ගැන. මොකද බොහොම කලාතුරකින් තමයි ඕනම රටක ඒ වගේ විස්තර සහිත ඔත්තු එන්නේ. කවුද ප්‍රහාරය එල්ල කරන්නේ, ඒ අයගෙ නම් මොනවද, කොහොමද පහර දෙන්නේ, මොනවද ගහන ඉලක්ක, මොකක්ද ගහන දිනය, මොකක්ද වෙලාව. මේ වගේ විස්තර බොහොම කලාතුරකින් ලැබෙන්නේ. ඉතින් පාස්කු ප්‍රහාරය කියන්නේ බුද්ධි තොරතුරු පැත්තෙන් සම්පූර්ණ වූවක්. මේක බුද්ධි තොරතුරුවල දුර්වලකමක් නෙවෙයි. මේක ඒ පිළිබඳ විමර්ශන කිරීමේ දුර්වලතාවක්. මේ අතින් ඔත්තුව ආවා නම්, අනික් අතින් ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නොකර ඒ ප්‍රහාරය වළක්වාගන්න බැහැ. දැන් අපේ රටේ තියෙන ආරක්ෂක සංකල්පය හැදුවේ 1979දී. මම මේක පිළිබඳ ගැඹුරු රිසර්ච් එකක් කරලා තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ත්‍රස්තවාදය දිගටම එනවා කියලා දැනගත්තා. එතුමා 1978දි ඉල්ලීමක් කළා බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා බි්‍රතාන්‍ය රජයෙන්, අපට අලුත් ආරක්ෂක ක්‍රමවේදයක් සකස් කරන්න උදව් වෙන්න කියලා. ඒ අනුව බි්‍රතාන්‍ය බුද්ධි අංශයෙන් එව්වා ජේ.පී. මෝර්ට්න් කියලා කෙනෙක්ව. එයා මැලේසියාවෙ වැඩකරපු කෙනෙක්. ඔහු ආසියානු සංස්කෘතිය ගැන දන්න කෙනෙක්. එයා තමයි කිව්වේ අපි හදන්න ඕනෙ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළේ තනතුරක් Director General Inteligence & Security (බුද්ධි සහ ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්’ කියලා.Director General Inteligence & Security කියන කෙනා එකතු වෙනවා බුද්ධි තොරතුරුවලට. ඊළඟට ආරක්ෂාව. එක පුද්ගලයෙක් ඉන්න ඕනෙ බුද්ධි තොරතුරු ගන්න සහ ක්‍රියාත්මක කරන්න. බුද්ධි තොරතුරු අනුව ආරක්ෂාව සලසන්න. දැන් මේකෙ බුද්ධි තොරතුරු ආවා. මේ Director General Inteligence & Security තමයි ඊට පස්සේ Chief of National Inteligence (ජාතික බුද්ධි ප්‍රධානී) වුණේ. යම් බුද්ධි තොරතුරක් ලැබුණාම ජාතික බුද්ධි ප්‍රධානියා ඒක යවන්න ඕනෙ පොලිස්පතිට, වහාම මේ ගැන පියවර ගන්න කියලා. ආරක්ෂක ලේකම්ට යවන්න ඕනෙ. සමහර විට හමුදාවෙ විශේෂ ඒකකයකට යවන්නත් පුළුවන්. ජාතික බුද්ධි ප්‍රධානියාට තමයි ඒ බලය තියෙන්නේ.

දැන් රාජ්‍ය බුද්ධි සේවයට මේ තොරතුර ආවට පස්සේ නිලන්ත ජයවර්ධන මේ විස්තර යවලා තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට, ජාතික බුද්ධි ප්‍රධානියාට සහ පොලිස්පතිට. මම දැන් ඒ සියලු වාර්තා කියවලා තියෙන්නේ. හමුදා බුද්ධි අංශයෙන්, නාවික බුද්ධි අංශයෙන් සහ රාජ්‍ය බුද්ධි සේවයෙන් 2015 ජනවාරි මාසයේ ඉඳලා පාස්කු ප්‍රහාරය දිනය දක්වාම නිකුත් කරපු වාර්තා 350කට අධික සංඛ්‍යාවක් මම කියවලා තියෙනවා. ඒවායෙ එක්කො සහරාන්ගෙ නම කියැවෙනවා. නැත්නම් නවුෆර්ගෙ නම කියැවෙනවා. නැත්නම් රිල්වාන්ගෙ නම කියැවෙනවා. මේ කට්ටිය පිළිබඳ රජයේ බුද්ධි අංශ බොහොම දක්ෂ ලෙස ඒ විස්තර එකතු කරලා තිබුණා. මුස්ලිම් රැඩිකල්කරණය ගැන කියනවා. ඒ විතරක් නෙවෙයි මුස්ලිම් ප්‍රචණ්ඩත්වය, මුස්ලිම් මූලධර්මවාදය කියන මේ සියල්ල පිළිබඳ 2015 ජනවාරි මාසයේ ඉඳලා අප්‍රේල් 21 වෙනකන් වාර්තා 350කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මම ඒ සියල්ල කියවලා තියෙනවා.

ඒ වාර්තාවලට අදාළව අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද?

ඒ ක්‍රියාමාර්ග ගැනීම තමයි සිදුවෙලා නැත්තේ. ඇයි ඒ ක්‍රියාමාර්ග අරගෙන නැත්තේ. මම දැන් ඔබගෙන් මේ ප්‍රශ්නය අහනවා. මොකද, යම් බුද්ධි තොරතුරක් ලැබුණාම ඒකට පියවරක් ගන්න සුදුසු වාතාවරණයක් තියෙන්න ඕනෙ. නමුත් ඒ කාලෙ හිටපු රජය සංහිඳියාව අනුගමනය කළ රජයක්නෙ. සංහිඳියාව ක්‍රියාත්මක කරන්න ඕනෙ. මොකද මේ රටේ එක එක ජන කොටස් ඉන්නවනෙ. එක එක ආගමික කොටස් ඉන්නවා. ඒ නිසා සංහිඳියාව කියන එක මේ රටේ නොනවත්වා යන්න ඕනෙ. නමුත් ජාතික ආරක්ෂාව කියන එක පාගල සංහිඳියාව කියන එක කවදාවත් කරන්න බෑ. මෛත්‍රී රනිල් මංගල කියන කට්ටියට ජාතික ආරක්ෂාව ගැන දැනුම බොහොම දුර්වලයි. ඒගොල්ලො ජාතික ආරක්ෂාව පිළිබඳ දැනගත්තා නම් කවදාවත් එල්.ටී.ටී.ඊ. සංවිධාන 15න් 17ක් ලැයිස්තුවෙන් ඉවත් කරන්නෙ නෑ. අල්කයිඩා සහ ඉස්ලාමික් ස්ටේට් සංවිධාන ඒගොල්ලො තහනම් කරනවා ඒ කාලෙ. මම කියන්නේ මේ පොඩි ප්‍රශ්න දෙකෙන් බලන්න පුළුවන්නෙ ඒගොල්ලො තහනම් කළාද කියලා. සහරාන් ගැන මෙච්චර වාර්තා තියෙනවා. ඉතින් රටේ නායකයො මේවට නායකත්වය දෙන්න ඕනෙ. පොලිස්පති මේවට පියවර ගන්නවද නැද්ද කියලා කෝල් එකක් දීලා අහන්න ඕනෙ රෑ 12 වෙනකොට. අද මේ වගේ ඔත්තුවක් ලැබිලා තියෙනවා, ඔයා මොකක්ද ඒ වෙනුවෙන් කළේ කියලා. නිදාගන්න ඉස්සෙල්ලා ජනාධිපතිතුමා දුරකතන ඇමතුමක් දෙන්න ඕනෙ. අගමැතිතුමා දුරකතන ඇමතුමක් දෙන්න ඕනෙ. ආරක්ෂක රාජ්‍ය ඇමැති දුරකතන ඇමතුමක් දෙන්න ඕනෙ, ආරක්ෂක ලේකම් දුරකතන ඇමතුමක් දෙන්න ඕනෙ.

ඔබ කියන්නේ කාටද දුරකතනයෙන් කතා කරන්න ඕනෙ කියලා?

පොලිස්පතිට කතා කරන්න ඕනෙ, ජාතික බුද්ධි ප්‍රධානියාට කතා කරන්න ඕනෙ. ආරක්ෂක ලේකම්ට කතා කරන්න ඕනෙ. ඒ අයට කතා කරලා බලන්න ඕනෙ. ජාතික ආරක්ෂාව සම්බන්ධ උපදෙස්, මාර්ගෝපදේශ එන්න ඕනෙ ජනාධිපති සහ අගමැතිගෙන්. ඒක වුණේ නෑනෙ. ඒකයි පාස්කු ප්‍රහාරය ඇතිවුණේ. මේකට වගකියන්න ඕනෙ නායකයො. ඒ නායකයො ජාතික ආරක්ෂාව නොසලකා හැරියා නම් ඒක අධිකරණයෙන් ගන්න තීරණයක්නෙ. අධිකරණයෙන් ඒක ඔප්පු වුණොත් ඔවුන් ඒක විමර්ශනය කරලා ඒ සාධක බලලා ඒ පිළිබඳ ක්‍රියාත්මක කරන්න ඕනෙ. මම හිතන්නේ ඒක අපි කළොත් ඒක අපේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හොඳ සහතිකයක් වේවි කියලා.
ඒ සම්බන්ධයෙනුත් සැකයක් ඇතිවෙලා තියෙනවා. විශේෂයෙන්ම කතෝලික පල්ලිය තුළ. ඒ ගැන ඇයි ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ කියලා.

ඊළඟ ප්‍රශ්නෙ තමයි සහරාන්ගෙ බිරිය. පාර්ලිමේන්තුව සහ ඉන් පිටත විශාල සැකයක් මතුකරලා තියෙනවා ඇයි ඒ බිරියගෙ කටඋත්තරය ප්‍රසිද්ධ නොකරන්නේ කියලා. මොකද ඒක රටම බලාගෙන ඉන්න දෙයක්. එතකොට එයා දැන් කෝ. ඒක උඩ විවිධ කතා නිර්මාණය වෙලා තියෙනවා. මෙයා අරයගෙ නම් කිව්වා. මෙයා කිව්වා බුද්ධි අංශයෙන් ඇවිල්ලා සහරාන් එක්ක ගනුදෙනු කළා කියලා, එයා දැක්කා කියලා. ඇගේ කටඋත්තරේ එහෙම තියෙනවා කියලා තමයි කියන්නේ?

හාදියා ඔක්කොම කටඋත්තර 5ක් දීලා තියෙනවා. මම ඒ පහම දැකලා තියෙනවා. මම කියවලත් තියෙනවා. හාදියා 2018 සහ 2019 පෙබරවාරි මාසෙදි පොලිසියට කටඋත්තර දෙකක් දුන්නා එයා කැකුණගොල්ලෙ ඉන්නකොට. එයා තුවාල වෙලා අම්පාර ඉස්පිරිතාලෙ ඉන්නකොට පිටු 22ක ප්‍රකාශයක් දීලා තියෙනවා. සී.අයි.ඩී. එකට දීලා තියෙනවා පිටු 100ක ප්‍රකාශයක්. පිටු 300ක ප්‍රකාශයක් දීලා තියෙනවා පාස්කු කොමිසමට. ඉතින් සහරාන්ගෙ බිරිය කවදාවත් බොරු කියන්නෙ නැති කෙනෙක්. එයා මාත් එක්කත් සාකච්ඡා කරලා තියෙනවා. මම එයා දුන්නු තොරතුරු අනෙක් දත්තත් එක්ක සසඳලා බලලා තියෙනවා. ඒ අනුව බලද්දි මෙයා සාක්ෂිකාරයෙක් විදියට අයිඩියල්. මොකද මෙයා කවදාවත් බොරු කියලා නෑ. මම හිතන්නේ ඒක එයාගෙ ආගමෙන් එන එකක්. ඉස්ලාම් ආගම අනුව බොරු කියන්න බෑ. ඉතින් මම කියන්න කැමැතියි මෙයාගෙ වාර්තා පහේම කොහෙවත් සඳහන් වෙලා නෑ මෙයා සහරාන්ගෙ ඔත්තු සේවයට සම්බන්ධකමක් තිබුණු බවක්. මම ඔබතුමාට වීඩියෝපටයක් දෙන්නම්. ඒකෙ තියෙනවා සහරාන් ලංකාවෙ ඔත්තු සේවය ගැන කියන්නෙ මොනවද කියලා. සහරාන්ගෙ පළමුවැනි හතුරා ඔත්තු සේවය. එයා ඔත්තු සේවයෙ අයට කියන්නෙ ‘බල්ලො’ කියලා. සහරාන් විතරක් නෙවෙයි වෙනත් රටවල ඉස්ලාමික් ස්ටේට් අය කියන්නෙත් එහෙම තමයි.

එතකොට හාදියාව ඇයි හංගගෙන ඉන්නේ? එයා කොහෙද ඉන්නේ?

එයා ඉන්නේ ආරක්ෂිත තැනක. උසාවියට ඉදිරිපත් කළාම එයා කතා කළා. ඒ වෙලාවට ඕනෙ කෙනකුට ගිහිල්ලා හාදියාව බලන්න පුළුවන්. උසාවියට ආවා නම්. නැවතත් ළඟදි දවසක එයාව උසාවියට ගෙනේවි.

එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ලෝයර්ස්ලා එයාගෙන අහයි නේද?

ඔව්. හාදියාගෙන් ඕනෙ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මගේ මතය අනුව හාදියා කියන්නේ වඩාත්ම විශ්වසනීය සාක්ෂියක්.

එයා ගොඩක් විස්තර දීලා තියෙනවද මේ සම්බන්ධව?

ඔව්. එයා සහරාන්ගෙ බිරියනෙ. එයා ඔක්කොම විස්තර කියලා තියෙනවා. එයා කියනවා සහරාන් කොහොමද ඉස්ලාමික් ස්ටේට් පැත්තට ගියෙ කියලා.

නියෝගය ආපු තැන් එහෙමත් දන්නවද?

ඔව්. ඔක්කොම විස්තර දන්නවා. එයාගෙ මනස ඉතාමත් පැහැදිලි මනසක්. ඇයට හොඳ මතකයක් තියෙනවා පුද්ගලයො ගැන, වෙච්ච සාකච්ඡා සම්බන්ධයෙන්.

එතකොට මේ ප්‍රහාරය ජාත්‍යන්තරව කරපු කුමන්ත්‍රණයක්ද?

මේක ආවෙ මෙහෙමයි. නවුෆර්ගෙ සහෝදරියකගෙ දුව තමයි හාදියා. නවුෆර් මද්‍රසා එකකට ගිහින් තියෙනවා කාත්තන්කුඩියෙ. සහරානුත් ජමෙයිතුල් සලා මද්‍රසා එකට ගිහින් තියෙනවා. ඒ විදියට තමයි ඔවුන් හඳුනාගෙන තියෙන්නේ. එකට පාඩම් කරලාත් තියෙනවා. ඊට පස්සේ සහරාන් ඇවිල්ලා තියෙනවා කැකුණගොල්ලට. නවුෆර් කැකුණගොල්ලෙ නිසා. එතකොට මෙයා හදියාව දැකලා තමයි දෙන්නගෙ සම්බන්ධය ඇතිවෙලා තියෙන්නේ. හාදියාව හම්බවෙනකොට එයාගෙ වයස අවුරුදු 12යි. බඳිනකොට අවුරුදු 14ක් වගේ. අඩු වයසින් බැඳලා තියෙන්නේ. ඊට පස්සේ සහරාන් ජපානයට ගිහින් තියෙනවා. හාදියාට තෑගිත් අරගෙන ඇවිල්ලා දීලා තියෙනවා. හාදියා මේ විවාහයට එච්චර කැමැති වෙලා නෑ. නමුත් මවුපියන්ට විරුද්ධ වෙන්න බැරි නිසා සහරාන්ව බැඳලා තියෙන්නෙ.

එතකොට මේක වෙන්නෙ මෙහෙමයි. නවුෆර් අවුරුදු 20ක් ඉඳලා තියෙනවා කටාර්වල. එයා වැඩ කරලා තියෙන්නේ කටාර්වල ලෝ ෆර්ම් එකක. මෙයා ට්‍රාන්ස්ලේෂන් පැත්තෙ තමයි වැඩ කරලා තියෙන්නේ. නවුෆර්ට එහෙදි තමයි ඉස්ලාමික් ස්ටේට් මූලධර්මවාදය ගැන දැනගන්න ලැබිලා තියෙන්නෙ. ඊට පස්සේ ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. එයා තමයි ඉස්ලාමික් ස්ටේට් පිළිබඳ ලෝකෙ ලොකුම වෙබ් අඩවිය හදලා තියෙන්නේ ද්‍රවිඩ භාෂාවෙන්. තමිල්නාඩුවෙ කෝටි ගානක් දෙමළ අය හිටියත්, ලංකාවෙ එක්කෙනෙක් තමයි ඉස්ලාමික් ස්ටේට් වෙබ් සයිට් එක හදලා තියෙන්නේ දෙමළ භාෂාවෙන්. නවුෆර් තමයි ඒ මූලධර්මවාදය ලංකාවට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. නවුෆර් එක්ක කටාර්වල ඉඳලා තියෙනවා මිල්හාන්. මිල්හාන් තමයි තස්ලිම්ට මාවනැල්ලෙදි වෙඩිතිබ්බේ සහ වවුනතිව්වලදි පොලිස් නිලධාරින් දෙන්නෙකුට වෙඩි තිබ්බේ. නවුෆර් සහ මිල්හාන් තමයි ලංකාවට ඇවිත් ඉස්ලාමික් ස්ටේට් මූලධර්මවාදය ලංකාවට දීලා තියෙන්නේ. හාදියා කිව්වා මෙයා පෙන් ඩ්‍රයිව් එකකට ඉස්ලාමික් ස්ටේට් වීඩියෝ සහ ලියකියවිලි දාලා සහරාන්ට දුන්නා කියලා කාන්තන්කුඩි වෙරළෙදි. හාදියා කියනවා සහරාන් නිතරම බෙලි කපන, මිනී මරණ වීඩියෝ බැලුවා කියලා. නමුත් හාදියා ඒකට කැමැති වෙලා නෑ, දරුවොත් ඒවා බලන නිසා. ඊට පස්සේ සහරාන් ඉස්ලාමික් ස්ටේට් අන්තවාදය වැලඳගෙන තියෙනවා. ඊට කලින් ඉඳලම සහරාන් සලාෆි වහබ් කෙනෙක්. ඒකනෙ සහරාන්ල කියන්නේ ජාතික ගීය ගායනා කරන්න එපා, ජාතික ගීයට නැගිටින්න එපා, ලංකාවෙ නායකයන්ට ගෞරව කරන්න එපා කියලා. ඊට පස්සේ සහරාන් මූලධර්මවාදයෙන් අන්තවාදයට යොමුවෙලා තියෙනවා. ඒකයි අපි කියන්නේ මහ මොළකාරයා නවුෆර් කියලා. නවුෆර්ගෙන් තමයි මේ මූලධර්මවාදය ආවෙ.

මේ පිපිරීම්වලට හෝටල් තෝරාගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේකෙදි ආණ්ඩුවෙ ඇමැතිකෙනෙක්ම ප්‍රශ්නයක් ගෙනාවෙ. හෝටල් කිහිපයක පිපිරීම් සිදුකළා. ටාජ් එකට ආපු කෙනා පිපිරීම සිදු නොකර බෝම්බත් අරගෙන දෙහිවලට ගියා. දෙහිවල සේෆ් හවුස් එකේදි බුද්ධි නිලධාරියෙක් එයාට කතා කරනවා. ඊට පස්සේ ඔහු බෝම්බය පුපුරුවා ගන්නවා. මේ වගේ සැකකටයුතු දෙයක් කොමිසමේදී එළියට එනවා. ඇතැම් අය කියනවා මේක රෝ ඔත්තු සේවයෙන් කළා කියලා. ඔය වගේ විවිධ කතා තියෙනවා. ඇත්තටම මොකක්ද සිදුවුණේ?

මම ඔබට කියන්නම් මේ කුමන්ත්‍රණකාරී කතාවත් ආවෙ කොහොමද කියලා. සහරාන් එයාගෙ වීඩියෝ එකේදි කියනවා පල්ලි තෝරාගන්නෙ ඇයි කියලා. නවසීලන්තෙ මුස්ලිම් පල්ලි දෙකකට ගැහුවා බ්‍රෙන්ටන් ටරන්ට් කියලා කෙනෙක්. අල්නූර් සහ ලින්බුඩ් කියලා පල්ලි දෙකක්. ඒ ප්‍රහාරයෙන් 50 මියගිහින් තවත් 50ක් පමණ තුවාල වුණා. ප්‍රහාරය එල්ල කළේ මාර්තු 15 වැනිදා. ඒ ප්‍රහාරයෙන් පස්සෙ තමයි සහරාන් තීරණය කරන්නේ අපි මේගොල්ලන්ගෙ පල්ලිවලට ගහන්න ඕනෙ කියලා. හෝටල්වලට ගහන්නෙ මොකද, සහරාන් 2019 ජනවාරි මාසෙ වනාතවිල්ලුව කඳවුරේ ඉන්නවා. සී.අයි.ඩී. එකට එන්න කලින්. සහරාන් සම්බන්ධතාව තියාගෙන ඉඳලා තියෙනවා ‘අරූස්’ කියලා කෙනෙක් එක්ක. එයා තමයි ලංකාවෙ ඉස්ලමික් ස්ටේට් සංවිධානයෙ 34 දෙනාගෙ කණ්ඩායමේ නායකයා. එයා ඉන්නේ බාගුස්වල. බාගුස් කියන ප්‍රදේශය තමයි ත්‍රස්තවාදීන්ගෙ අවසන් බළකොටුව. ඒකෙ තමයි ඒගොල්ලන්ගෙ ඔක්කොම නායකයො මැරෙන්නෙ. ඔවුන්ගෙන් කිහිප දෙනෙක් යුප්‍රටීස් ගංගාවෙ නිම්නය හරහා පලායනවා. ඒ යන අය අතර අබුබකර් අල් බග්දාදිත් ඉන්නවා. නමුත් ඔහු 2019 ඔක්තෝබර් 26 වැනිදා මියයනවා. අරුස් කියන කෙනා ජනවාරි මාසෙ වෙනකොට මැරෙනවා. සහරාන් අරුස් එක්ක ෆෝන් එකෙන් නිතර කලා කරලා තියෙනවා. අරුස්ව සහරාන්ට අඳුන්වල දෙන්නේ ජමීල්. ජමීල් තමයි ටාජ් හෝටලයට ප්‍රහාරය එල්ල කරන්නේ යන්නේ. නමුත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය හරියට වැඩ කරන්නෙ නෑ. සී.සී.ටී.වී. දර්ශනවල තියෙනවා එයා ඒ ඇඳුම් කට්ටලය කීප පාරක් අඳිනවා. නමුත් ඒක පිපිරෙන්නෙ නෑ. ඊට පස්සේ ජමිල්ට උපදෙස් ලැබිලා තියෙනවා එබනීසන් පල්ලියට යන්න කියලා දෙහිවල තියෙන. ඒ අනුවයි එයා දෙහිවල එබනීසන් පල්ලියට යන්නේ. ඒ වෙද්දි අනෙක් පිපිරීම් සිදුවෙලා. ඒ පල්ලියෙ වැඩකරනවා මුස්ලිම් කෙනෙක්. එයා දකිනවා පල්ලියට ආපු කෙනෙක් අමුතු විදියට හැසිරෙන හැටි. දැක්කට පස්සේ ගිහින් ජමිල්ගෙන් අහනවා ඔයා කවුද, ඇයි මෙතැනට ආවෙ කියලා. එතකොටම ජමිල් ෆෝන් කෝල් එකක් ගන්නවා එයාගෙ බිරිඳට. බිරිඳ කතා කරලා අර කෙනාට කියනවා මේ මගේ මහත්තයා කියලා. එහෙම කරන්නේ පල්ලියෙ කෙනාට තහවුරු කරන්න ජමිල් කවුද කියන එක. ඒකෙන් පස්සේ පල්ලියෙ කෙනාගෙ සැකය ටිකක් අඩු වෙනවා. ඊට පස්සේ ජමිල් එතැනින් යනවා ‘ට්‍රොපිකල් ඉන්’ කියලා පොඩි හෝටලයකට. ඒකෙදි එයාගෙ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය සකස් කරද්දි තමයි ඒක පිපිරෙන්නේ.

එතකොට බුද්ධි නිලධාරියෙක් ජමිල්ට කතා කළා කියන එක බොරුවක්ද?

මේ ප්‍රහාරය එල්ල වෙන්න ඉස්සෙල්ලා හමුදා ඔත්තු සේවාවෙන් සහ රාජ්‍ය බුද්ධි සේවයෙන් මේ නම් ඔක්කොම ලැයිස්තුව දීලා තියෙනවා පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට. තව ජාතික ආරක්ෂක ප්‍රධානියාට දීලා තියෙනවා. නම් ලැයිස්තු දෙකක් දීලා තියෙනවා. එක ලැයිස්තුවක නම් 80ක් වගේ තියෙනවා, අනෙක් එකේ නම් 100ක් වගේ තියෙනවා. මම ඒ දෙකම බැලුවා. ඒ ලැයිස්තුවෙ පළමුවැනි නම ජමිල්ගෙ. එතකොට ජමිල්ව ටී.අයි.ඩී. එකෙන් ගෙන්නනවා මීට ඉස්සෙල්ලා. ජමිල් ටී.අයි.ඩී. එකේ අයත් එක්කත් කතා කරලා තියෙනවා. හැබැයි ටී.අයි.ඩී. එකෙන් ජමිල්ගෙ දුරකතන සංවාද විමර්ශනයක් කරලා නැහැ. එයා ගැන සොයාබැලීමක් කරලත් නෑ. එහෙම කළා නම් සහරාන්ව හම්බවෙනවනෙ. ඒකයි මම කියන්නේ ඒ කාලෙ ඒ විමර්ශන දක්ෂ ලෙස කෙරිලා නෑ කියලා. එක පාරක් නෙවෙයි දෙපාරක්ම ජමිල්ව ටී.අයි.ඩී. එකට ගෙන්නලා තියෙනවා. ජමිල් දීපු කටඋත්තරෙත් මම දැකලා තියෙනවා.

රාජ්‍ය බුද්ධි සේවයෙන් දෙන වාර්තා අනුව වෙන්න ඇති ජමිල්ව ගෙන්නන්න ඇත්තේ?

රාජ්‍ය බුද්ධි සේවයටත් බැණලා වැඩක් නෑ, එන්.අයි. එකටත් බැණලා වැඩක් නෑ. මොකද ඒගොල්ලො පොලිසියට අදාළ තොරතුරු දීලා තියෙනවා. නමුත් පොලිසියෙ අයත් නිතරම හිතන්නෙ මොකක්ද, මේ රජය සංහිඳියාව යටතෙ වැඩකරන රජයක්. ඒ නිසා මෙයාව අත්අඩංගුවට ගන්න ඕනෙ නෑ කියලා. ඒකයි මම කියන්නේ ජාතික ආරක්ෂාව කියන අරමුණට මූලික තැන දෙන්න අවශ්‍යයි. නමුත් ඒක සිදුවුණේ නැහැ.

මේ ප්‍රහාරය එල්ල වුණාට පස්සේ හමුදාවෙන් ක්ෂණිකව යනවා ජමිල්ගෙ ගෙදරට. ගිහින් ජමිල්ගෙ නෝනගෙන් අහනවා ජමිල් කෝ කියලා. එතකොට නෝනා ජමිල්ට කෝල් එකක් ගන්නවා. කෝල් කරන්නේ ජමිල් කලින් කතා කරපු ෆෝන් එකට. ඒ වෙද්දි ජමිල් මරාගෙන මැරිලා ඉවරයි. ඒකෙන් බොහොම පැහැදිලි වෙනවා මේ කට්ටිය යද්දි ජමිල් මැරිලා ඉවරයි කියලා. ඔය කතාව නිසා තමයි මේකත් කුමන්ත්‍රණයක් කියලා කතාවක් රටේ නිර්මාණය වුණේ.

දැන් ලොකුම ත්‍රස්තවාදියා විදියට කතා කරන්නේ සුරේෂ් සලෙයි. ඔහු සහරාන් එක්ක කතා කළා කියනවා, සම්බන්ධතා තිබුණා කියනවා. ඇත්තටම කවුද මේ සලෙයි?
දැන් ලංකාවෙ බුද්ධි අංශවලින් බොහොම දක්ෂම නිලධාරීන් තමයි මුස්ලිම් නිලධාරීන්. සුරේෂ් සලෙයිට කලින් මේකෙ හිටපු දක්ෂම නිලධාරියා තමයි කර්නල් නිසාම් මුතාලිෆ්. ඔහු අණදෙන නිලධාරියෙක්. එයා එල්.ටී.ටී.ඊ. එකෙන් ඝාතනය කළා. තවත් අණදෙන නිලධාරියෙක්ව එල්.ටී.ටී.ඊ. එකෙන් ඝාතනය කළා කර්නල් තුවාන් මීඩින්. මේකෙන් තේරෙනවා මේ තුවාන් මීඩින්, මුතාලිෆ් වගේ අයව රටට අනාවරණ වුණේ අතුරුගිරියෙ සිද්ධියෙන්නෙ. ඒකයි මම හැම වෙලාවෙම කියන්නේ අපේ බුද්ධි අංශයෙ අයව අපි ආරක්ෂා කරන්න ඕනෙ කියලා. රටක් වශයෙන් අපේ හමුදාව, බුද්ධි අංශ, පොලිසිය මේ තුනම අපි ආරක්ෂා නොකළොත් මේ රට ආරක්ෂා වෙන්නෙ නෑ. අපි ගත්තොත් ජෙනරල් සුරේෂ් සලෙයි කියන කෙනා බොහොම අවංක නිලධාරියෙක්. හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් වැඩකරන නිලධාරියෙක්. ඒ විතරක් නෙවෙයි එයා ලංකාවට කරලා තියෙන සේවය අනෙක් බුද්ධි නිලධාරීන් සියලු දෙනා එක්ක සසඳලා බැලුවොත් සුරේෂ් සලෙයි ඉහළින්ම ඉන්නවා. ඔහු ලංකාවෙ විතරක් නෙවෙයි පිටරටවලත් අවුරුදු ගානක් වැඩ කරලා තියෙනවා. සුරේෂ් සලෙයිට, කරුණාසේන හෙට්ටිආරච්චි කියන ආරක්ෂක ලේකම්වරයා කියනවා රටෙන් යන්න කියලා. මොකද දේශපාලන නායකයන්ට අදහසක් ඇතිවෙනවා සුරේෂ් සලෙයිට විරුද්ධව. සුරේෂ් සලෙයිව ආරක්ෂා කරන්න තමයි ඔහුව රටින් පිට කරන්නේ. මම ඒ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිත් සමග සාකච්ඡා කළා. එයා මට කිව්වා මම සුරේෂ් සලෙයිව මැලේසියාවට යවන්නේ ඔහුව ආරක්ෂා කරන්න ඕනෙ නිසා කියලා. මොකද ඒ වගේ දක්ෂ නිලධාරියෙක් නෑ කියලා. ඒ අනුව සුරේෂ් සලෙයි 2017-2018 මැලේසියාවට ගිහින් සේවය කළා. ඊට පස්සේ 2019දී ඉන්දියාවේ ජාතික ආරක්ෂක පාසලේ වැඩිදුර ඉගෙන ගත්තා.

මේ කුමන්ත්‍රණ කතා හදන අය හරිම නිර්මාණශීලී කියලා මම ඔබට කිව්වනෙ. ඒ කට්ටිය කියනවා සහරාන් මැලේසියාවට ගිහින් ඉන්දියාවට ගිහින් සුරේෂ් සලෙයිව හම්බවුණා කියලා. අපි සහරාන්ගෙ ගමන් වාර්තාව බලලා තියෙනවා. ඒ ගැන අනෙක් රටවලිනුත් අහලා තියෙනවා. නමුත් සහරාන් ගිහින් නෑ. එයා ගිහින් තියෙන්නේ ජපානයට විතරයි. එයා කවදාවත් ඉන්දියාවට ගිහිල්ලා නෑ. අඩුම තරමෙ ඉන්දියාවෙ ට්‍රාන්සිට් ඉඳලවත් නෑ. මැලේසියාවට ගිහිල්ලත් නෑ, මැලේසියාවෙ ට්‍රාන්සිට් ඉඳලත් නෑ. ඉතින් මේක අමූලික බොරුවක්නෙ. කවුරුහරි කියනව නම් සහරාන් පිටරටකට ගියා කියලා, තොරතුරු පෙන්නන්න. සහරාන් සමහර වෙලාවට වී.පී.එන්. එක මාරුකරලා කතා කරලා තියෙනවා. එතකොට කට්ටිය හිතනවා සහරාන් ඉන්දියාවෙ ඉන්නෙ කියලා. හැබැයි සහරාන් ඇත්තටම ගිහින් තියෙන්නේ ජපානයට විතරයි මාස කිහිපයකට.

ඉතින් සුරේෂ් සලෙයි කියන්නේ බොහොම අවංක පුද්ගලයෙක්. රට වෙනුවෙන් ඉතා කැපවීමෙන් වැඩකරන කෙනෙක්. සුරේෂ් සලෙයිට කෙනෙක් මුස්ලිම් වුණත්, ද්‍රවිඩ වුණත්, බර්ගර් වුණත්, ක්‍රිස්තියානි වුණත්, ජපන් කෙනෙක් හරි, අප්‍රිකන් කෙනෙක් හරි වුණත් කමක් නෑ ඔහු රට වෙනුවෙන් වැඩ කරන පුද්ගලයෙක්. ඉතින් ඒ වගේ කෙනකුට මෙහෙම අපහාස කරන එක ජාතික අපරාධයක්. මොකද මේ වගේ නිලධාරියෙක් හදන්න අවුරුදු 30ක් මේ රට දුක් විඳලා තියෙනවා. මේ වගේ අය අපි ආරක්ෂා කරන්න ඕනෙ. මේ වගේ දැනුම තියෙන නිලධාරීන් අපේ රටේ තියෙන ඔත්තු සේවා පහටම වැඩිම වුණොත් පස් දෙනෙක් ඇති. සාක්ෂි තියෙනව නම් ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න පුළුවන්. ගිහිල්ලා නඩු දාන්න පුළුවන්. සාක්ෂි නැතුව චෝදනා කරන්න එපා. මොකද ඒක ලොකු අපරාධයක්. මොකද මේ රටේ ඊළඟ අපරාධයක් වළක්වන්න ඉන්නෙ මේ ඔත්තු සේවාවන්. සුරේෂ් සලෙයිට මැලේසියාවට යන්න සිදුවෙන විදියට කටයුතු කරපු අය මේ වගකීම ගන්න ඕනෙ. ඔක්තු සේවා කියන්නේ බොහොම රහසිගතව රට වෙනුවෙන් වැඩ කරන අය. සුරේෂ් සලෙයි කියන කෙනා ඕනෑම රජයක් යටතේ රට වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. ඔහු අවුරුදු 30ක් තිස්සේ රජයන් කිහිපයක් යටතේ සේවය කරපු නිලධාරියෙක්. එයාගෙ පක්ෂපාතිත්වය තියෙන්නේ පවතින රජයට. එහෙම නැතුව පුද්ගලයන්ට නෙවෙයි.

විශේෂ වාර්තාකරුවකු විසිනි