අසාද් සාලි චෝදනාවලින් නිදොස් කොට නිදහස් : පැමිණිලි කළ මන්ත්‍රීවරුන්ට නොතීසි
ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එම තීන්දුව ලබා දුනි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ, විත්තිකරු විසින් ජාතීන් හෝ ආගම්වලට පවතින සංහිඳියාව බිදී යන ආකාරයෙන් හා ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකර ඇති බව ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇති බවය.
ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා තීන්දු කළේය.
ඉකුත් මාර්තු මස 09 වනදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අසාද් සාලි මහතා විසින් “අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ හදිසියයි හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ” යනුවෙන් ප්‍රකාශයක් සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් අසාද් සාලි මහතාට එරෙහිව ගොනුකළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කොට තිබුණි.
මෙම ප්‍රකාශය තුළින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අසාත් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ එම අධිචෝදනා ගොනු කර තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට පෙබරවාරි මස 21 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (02) නොතීසි නිකුත් කළේය.
අසාද් සාලි මහතාට එරෙහිව පැමිණිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ජයනන්ද වැල්ලබඩ යන අයට එරෙහිව එලෙස නොතීසි නිකුත් කර තිබේ.
අසාද් සාලි මහතා නිදොස් කොට නිදහස් කරමින් තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් එම නඩුවේ පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනා තම සේවාදායකයාට එරෙහිව ද්වේශසහගත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(2) වගන්තිය යටතේ වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ පැමිණිල්ල සලකා බැලීම සඳහා නඩුව පෙබරවාරි මස 21 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මොහොමඩ් මුසම්මිල් ඇතුළු පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනා වෙත නොතීසි නිකුත් කළේය.