ආණ්ඩුව මහජන්දෙදි ගහන්න යන අලුත්ම ගේම් එක! විපක්ෂයම එකතු වෙන්න සාකච්ජා!

බලයට පත්ව වසර 2ක ගතවන මේ මොහොතේ ආණ්ඩුව පත්ව ඇත්තේ ලංකා ඉතිහාසයේ වෙනත් කිසිදු ආණ්ඩුවක් මුහුණ නොදුන් තරමේ අර්බුද රාශියකටය. කොරෝනා අර්බුදය, ආර්ථික අර්බුදය, ඩොලර් අර්බුදය, ජිනීවා ප්‍රශ්නය, බඩු මිල ඉහළ යෑමේ අර්බුදය, ගොවි ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න ආදිය මුල්කරගෙන ආණ්ඩුව මේ වන විට හෙම්බත්ව සිටිනවා යැයි කිවහොත් එහි කිසිදු වැරැද්දක් නැත.

ආණ්ඩුවේ පාදම හෙලවෙන්න ගනී!

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ තත්ත්වය යටතේ ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව ආණ්ඩුවේ ප්‍රධානීන්ට පවා ඇත්තේ බරපතළ දෙගිඩියාවකි. විශේෂයෙන්ම ඉහත කී සියලු ප්‍රශ්න මැද ආණ්ඩුව මේ වන විට ආණ්ඩුව ඇතුළෙන්ම පැනනැඟී ඇති බරපතළ දේශපාලන ප්‍රශ්නයකටද මුහුණ දී සිටීම හේතුකොට ගෙන ආණ්ඩුවේ සංයුතිය පිළිබඳවද දෙවරක් සිතිය යුතු මට්ටමට අද ආණ්ඩුව පත්ව ඇත. ඊට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් බලයට ගෙන ඒම සඳහා තීරණාත්මක දායකත්වයක් සැපැයූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු කැරැලිකාර පක්‍ෂ 11 ආණ්ඩුව ඇතුළේ සිටම ආණ්ඩුවට එරෙහිව යුද ප්‍රකාශ කර සිටීමය. මේ තත්ත්වය යටතේ තුනෙන් දෙකක් සහිත ජව සම්පන්ත ආණ්ඩුවේ පාදමේ සෙලවීම මේ වන විට ආරම්භ වී ඇති බව කාටත් පැහැදිලිව පෙනෙන කරුණක් බවට පත්ව ඇත.

ආණ්ඩුව මහජන්දෙදි ගහන්න යන අලුත්ම ගේම් එක

කෙසේ වෙතත් මේ තත්ත්වය යටතේ ආණ්ඩුවේ ඉදිරි ගමන කෙසේ සකස් වනු ඇත්ද, ඉදිරි මහ මැතිවරණය තෙක් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය සහිතව ඉදිරියට යා හැකි වනු ඇතිද, ආණ්ඩුව ඇතුළේ සිදුවිය යුතු වෙනස්කම් මොනවාද, ලබන වසරේ මුල පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය පවත්වනවාද, හදිසි මහ මැතිවරණයකට යනවාද යන්න සම්බන්ධයෙන් මේ දිනවල ආණ්ඩුව ඇතුළේ විශාල සංවාදයක් මතුව තිබේ. මේ පිළිබඳව ආණ්ඩුවේ ප්‍රධානීන් අතර පසුගිය සති කිහිපය පුරාම දීර්ඝ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුණු ආකාරයක් දැකගත හැකි විය. ඉතා රහසිගතව සහ සීමිත පිරිසක් පමණක් සහභාගි වූ මෙම සාකච්ඡාවන්වලදී ආණ්ඩුවට දැනට මුහුණ දීමට සිව ඇති ආර්ථික, දේශපාලන, ජාත්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වූවා පමණක් නොව ඇතැම් කරුණු සම්බන්ධයෙන් අවසන් තීන්දු පවා ගැනීමට පිරිස කටයුතු කර තිබිණි. එමෙන්ම ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යෑමේදී අනුගමනය කළ යුතු උපාය උපක්‍රම සම්බන්ධයෙන්ද පිරිස අතර අවසන් එකඟතාවක් ඇතිකරගත් ආකාරයක් දැකගත හැකි විය.

විසුරවන්නේ 2023 පෙබරවාරි 05

මෙහිදී පිරිස අතර පළමුව සාකච්ඡාවට බඳුන් වූයේ ඉදිරියේදී පවත්වන මහ මැතිවරණය පිළිබඳවත්, ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවත්ය. දැනට පවතින නීතිමය තත්ත්වය යටතේ ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමි වීමට නියමිතව ඇත්තේ 2023 පෙබරවාරි 05 වැනි දිනය. මේ දක්වා කාලය තුළ ආණ්ඩුව පවත්වාගෙන යන ආකාරය පිළිබඳවත්, මහ මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවත් මෙහිදී විවිධ යෝජනා ඉදිරිපත් වූ ආකාරයත් දැකගත හැකි විය.

කොරෝනා මුලට! පුංචි ජන්දය පස්සට!

එහිදී මුල්ම යෝජනාව ලෙස ඉදිරිපත් වූයේ ලබන පෙබරවාරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, නැතිනම් පුංචි ඡන්දය ජනාධිපති බලතල උපයෝගී කරගෙන තවත් වසරකින් කල් දැමීමටය. මේ වන විට මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ පුංචි ඡන්දය පැවැත්වීමට ගියහොත් එය නිසැකවම සියතින්ම ආණ්ඩුවේ ගෙල සිඳගැනීමක් වනු ඇති බව සාකච්ඡාවට රැස්ව සිටි බොහෝ දෙනාගේ ස්ථාවරය විය. ඒ අනුව පුංචි ඡන්දය වසරකින් කල්දැමීමටත්, කොරෝනා පැතිර යෑම ඊට හේතුව ලෙස රටට පෙන්වීමටත් එහිදී තීන්දු විය.

ජන්ද මැෂිම දිගෑරපු ප්ලෑන් එක!

කෙසේ වෙතත් සාකච්ඡාව ආරම්භයේ සිටම දැකගන්නට ලැබුණු තවත් විශේෂ කරුණක් වූයේ අදහස් දැක්වූ සියලු දෙනාම පාහේ ලබන මහ මැතිවරණය ආණ්ඩුවට අවාසි සහගත වනු ඇති බවට වූ ස්ථාවරයේ සිට අදහස් දැක්වීමය. එම නිසා ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම පොහොට්ටුවට බරපතළ අභියෝගයක් වනු ඇති බව එහිදී බොහෝ දෙනාගේ අදහස වී ඇති ආකාරයක් දැකගන්නට ලැබිණි. එම තත්ත්වය අවම කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග රැසක්ද එහිදී යෝජනා වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී ආණ්ඩුවේ ඡන්ද මැෂිම ලෙස ප්‍රකටව සිටින අයකු ඉදිරිපත් කළ තර්කය දෙස බොහෝ දෙනාගේ අවධානය යොමු විය. ඔහු පෙන්වා දුන්නේ ඉදිරි මහ මැතිවරණයේදී පොහොට්ටුව තනි පක්‍ෂයක් ලෙස ස්ථාවරයක තබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමට නම් විපක්ෂයේ එක් පක්‍ෂයකට පමණක් ඡන්ද වැටීම වළක්වා ඡන්ද ප්‍රමාණය විපක්‍ෂයේ සියලු පක්‍ෂ අතර බෙදී යෑමට සැලැස්විය යුතු යැයි කියාය.

ජවිපෙට 20ක් දෙන්න සූදානම්!

උදාහරණයක් ලෙස ආණ්ඩුවෙන් කලකිරී ඉවත් වන ඡන්ද ගෙඩි පිටින් ප්‍රධාන විපක්‍ෂය වන සමගි ජනබලවේගයට වැටුණහොත් එය ඉතා අවාසිදායක වන බැවින් විපක්‍ෂයේ අනෙකුත් පක්‍ෂ අතරේ එම ඡන්ද බෙදී යන ලෙස කටයුතු කළ යුතු බව එම ප්‍රබලයාගේ අදහස විය. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට යම් ඡන්ද ප්‍රමාණයක් ලබා දිය යුතු බවත්, ඔවුන්ගේ මන්ත්‍රිවරු කණ්ඩායම 15ත්, 20ත් අතර ප්‍රමාණයක් බවට පත් කළ යුතු බවත්, එය ආණ්ඩුවට වාසිසහගත බවත් මෙම ප්‍රබලයාගේ තර්කය විය. එම නිසා ජනතා විමුක්ති පෙරමුණට පහර දී ඔවුන් වට්ටනවා වෙනුවට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් ජවිපෙ වර්ණනා කොට ඔසවා තැබිය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය. එවිට සමගි ජනබලවේගයට වැටෙන ඡන්ද ප්‍රමාණය අවම කළ හැකි බවත්, ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව අහිමි කළ හැකි බවත් ඔහුගේ අදහස විය.

හකීමි-රිෂාඩ් වෙනම යවයි!

මීට අමතරව විපක්‍ෂයේ ඡන්ද ප්‍රමාණය තවදුරටත් බෙදිය හැකි ආකාරය පිළිබඳවත් ඔහු දීර්ඝ විස්තරයක් පිරිස හමුවේ කළේය. ඔහු පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්‍ෂය වෙනමමත්, සමගි ජනබලවේගය සමග සිටින සුළු පක්‍ෂ වෙනමමත් මහ මැතිවරණයට යොමු කිරීමට කටයුතු කළ යුතු යැයි කියාය. විශේෂයෙන්ම රවුෆ් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ රිෂාඩ් බදුර්දීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජනබලවේගයෙන් ඉවතට ගෙන වෙනම සන්ධානයක් ලෙස තරග කරවීමද මෙම ප්‍රබලයාගේ සැලැස්මේ කොටසක් වී තිබිණි. එසේ වුවහොත් සමගි ජනබලවේගයට වැටෙන මුස්ලිම් ඡන්ද ප්‍රමාණය තවදුරටත් අවම කළ හැකි බවත්, නව ආණ්ඩුවක් පිහිටුවීමේදී එම මුස්ලිම් සන්ධානයේ සහාය පොහොට්ටුවට ගත හැකි බවත් ඔහුගේ තර්කය විය.

දිගම්බරන් එළියට ගනී!

මීට අමතරව සමගි ජන බලවේගය සමග සිටින වතුකරයේ ප්‍රබලයා වන පලනි දිගම්බරම්වද වෙනම එළියට ගෙන වතුකරයේ ආණ්ඩුවේ ප්‍රබලයා වන ජීවන් තොණ්ඩමාන් සමග හවුලක් සාදා තරග කරවීමද මෙම සැලැස්මේ එක් උපායක් විය. ඒ හරහා වතුකරයෙන් සමගි ජනබලවේගයට වැටෙන ද්‍රවිඩ ඡන්ද ප්‍රමාණය අවම කරගත හැකි වනු පමණක් නොව පොහොට්ටුවේ ඡන්ද ප්‍රමාණය වර්ධනය කරගත හැකි වනු ඇති බවද මෙම ප්‍රබලයා පිරිසට පෙන්වා දුන්නේය.

ටීඑන්ඒ් වෙනමම! ඩග්ලස්ට කොටසක්!

එමෙන්ම දෙමළ සන්ධානයද සුපුරුදු පරිදි උතුරු නැඟෙනහිර වෙනමම තරග කරනු ඇති බව පෙන්වා දුන් මෙම ප්‍රබලයා උතුරු නැඟෙනහිර ආණ්ඩුවට හිතවත් අනෙකුත් දෙමළ පක්‍ෂ ප්‍රවර්ධනය කොට දෙමළ ජාතික සන්ධානයට වැටෙන ඡන්ද කැඩිය යුතු බවද හෙතෙම පිරිසට පෙන්වා දුන්නේය.

රනිල්ට උපරිම දෙක තුනක්!

එහිදී එක් අයකු විමසා සිටියේ මේ දිනවල දේශපාලන ක්‍ෂේත්‍රයේ පැතිර යන කටකතාවක් වූ රනිල්ගේ එජාපය ආණ්ඩුව සමග සන්ධානගත වීමට සූදානම්ව සිටින බවටත්, ඉදිරි මහ මැතිවරණයේදී ආණ්ඩු සමග එක්ව ඡන්දය ඉල්ලීමට සූදානමින් සිටින බවටත් වන කතාවේ ඇත්ත නැත්ත කුමක්ද කියාය. එවිට ප්‍රබලයා කියා සිටියේ රනිල්ගේ සහාය මේ මොහොතේ ආණ්ඩුවට ලැබෙන නමුත් ඉදිරි මහ මැතිවරණයේදී රනිල්ගේ එජාපය වෙනම තරග කරවීමට කටයුතු කළ යුතු යැයි කියාය. ඊට ආණ්ඩුවේ සියලු සහාය ලබා දී ඊළඟ මහ මැතිවරණයෙන් රනිල්ගේ යූඑන්පීයටද ආසන 2ක් හෝ 3ක් ලබා දිය යුතු බව ඔහුගේ ස්ථාවරය විය.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානය කොහොමත් උතුරු නැගෙනහිර තනිවම තරග වදින නිසා එම ඡන්ද විපක්ෂයේ ප්‍රධාන පක්ෂයකට නොලැබීම අමතර වාසියක් බවද මෙම ප්‍රබලයා පිරිසට පෙන්වා දුන්නේය.

ශ්‍රීලනිපය තනි කරයි!

ඉන් අනතුරුව සාකච්ඡා වූයේ ආණ්ඩුව ඇතුළේ මතුව ඇති අර්බුදය ඉදිරි මහ මැතිවරණයේදී කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳවය. විශේෂයෙන්ම මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නේ ආණ්ඩුවෙන් එළියට බැසීමට අවසන් තීන්දුව රැගෙනය. එය නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැතත් ඔවුන් නොනිල වශයෙන් තීන්දු කර ඇත්තේ තීරණාත්මක අවස්ථාවකදී ආණ්ඩුවෙන් එළියට බැස ඕනෑම මැතිවරණයකට තනිවම තරග වැදීමටය. පොහොට්ටුවේද සැලැස්ම වී ඇත්තේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් එළියට තල්ලු කොට ඔවුන්ව වෙනමම තරග කරන තැනට රැගෙන යෑමටය.

විමල්ට මංගලට බෙදූ හැන්දම!

මීට අමතරව විමල්, වාසු, උදය ඇතුළු කැරැලිකාර පක්ෂ 11 සම්බන්ධයෙන්ද ගෙන ඇති තීන්දුව එම සාකච්ඡාවේදී ආණ්ඩුවේ ප්‍රබලයා පිරිසට විස්තර කර සිටියේය. එහිදී අතීත සිදුවීමක්ද උදාහරණයට ගනිමින් මෙම ප්‍රබලයා පෙන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේදී ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකුව සිටි මංගල සමරවීර මහතා කිසිවකුත් නොසිතූ පරිදි ආණ්ඩුවෙන් ඉවත් කළ ආකාරයෙන්ම විමල් ඇතුළු කැරැලිකාර පිල සම්බන්ධයෙන්ද කටයුතු කළ යුතු යැයි කියාය. එදා මංගල ආණ්ඩුව ඇතුළේ කෙතරම් ප්‍රබලයකු වුවද ඔහුව ආණ්ඩුවෙන් ඉවත් කිරීම හරහා ආණ්ඩුව ශක්තිමත් වූ ආකාරයත්, මංගල විපක්ෂයට වැටී දුර්වල වූ ආකාරයත් මෙහිදී ප්‍රබලයා විස්තර කරද්දී සියල්ලෝම ඊට සාවධානව ඇහුන්කන් දුන් ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව විමල්ලාද කිසිවකුත් නොසිතන වෙලාවක ආණ්ඩුවෙන් එළියට දැමීම හරහා ආණ්ඩුව ශක්තිමත් කරගත හැකි බවත්, ඔවුන් වෙනම තරග කරන තැනට පත් කළ යුතු බවත් මෙම ප්‍රබලයාගේ සැලසුම විය.

පොහොට්ටුව තනිවම ‌පිපෙයි!

මේ ආකාරයට සම්පූර්ණ විපක්ෂය සන්ධානගත වීමට ඉඩ නොදී වෙන් වෙන් වශයෙන් තරග කිරීමට සැලැස්වීම හරහා ඡන්ද බෙදී යෑම සිදුවන හෙයින් කිසිවකුටත් බහුතර බලයක් ලබාගත නොහැකි බව පැහැදිලි කර සිටි මෙම ප්‍රබලයා ඒ හරහා පොහොට්ටුවට තනි පක්ෂයක් වශයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත හැකි බවත්, යම් හෙයකින් එහිදී ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව නොලැබුණහොත් වෙනත් සුලු පක්ෂ සමග සන්ධානගත වීම හරහා පොහොට්ටුවට ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත් හෙතෙම පිරිසට පෙන්වා දුන්නේය.

120ක් ආණ්ඩුවට!

කෙසේ වෙතත් මේ ආකාරයට ආණ්ඩුවේ ඉදිරි සැලසුම් සහ උපාය උපක්‍රම පැහැදිලි කිරීමෙන් පසු මෙම ප්‍රබලයා සාකච්ඡාවෙන් ඉවත්ව ගිය අතර, ඉන් අනතුරුව රැස්ව සිටි පිරිස තවදුරටත් මෙම සැලසුම පිළිබඳ කරුණු විග්‍රහ කරන ආකාරයක් දැකගත හැකි විය. එහිදී සියලු දෙනාම පෙන්වා දුන්නේ එම සැලසුම අනුව 120ක පමණ මන්ත්‍රී සංඛ්‍යාවකින් යුත් ආණ්ඩුවක් පිහිටුවීමට පොහොට්ටුවට හැකිවනු ඇති බවත්, ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ යම්කිසි ජයග්‍රාහී මානසිකත්වයක් ඒ හරහා ලබාගත හැකිවනු ඇති බවත්ය. එහිදී සියලු දෙනාගේම අදහස වූයේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් බොහෝ දුරට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමේ ලකුණු මේ වනවිට පහළ වෙමින් පවතින බවකි.

බැසිල් ඉන්දියාවේ!

බැසිල්ගේ හදිසි ඉන්දීය සංචාරය සැලසුම් වන්නේ මේ සියල්ල අතරවාරයේදීය. අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු බැසිල් ඉන්දීය සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බවත්, එහිදී ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට බැසිල් සූදානමින් සිටින බවත් විවිධ කටකතාවලින් කියවුණද ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් කිසිදු අවස්ථාවක නිල ප්‍රකාශයක් නිකුත් වුණේ නැත. නමුත් තිරය පිටුපස බැසිල්ගේ ඉන්දීය සංචාරයේ සියලු හමුවීම් සංවිධාන කිරීමට පැවරුණේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වන මිලින්ද මොරගොඩටය. ඒ අනුව මිලින්දද ඉන්දීය රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පවත්වමින් ඉන්දීය අගමැති මෝදි ඇතුළු ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන් බැසිල්ට මුණගැස්සවීම සඳහා විශාල මෙහෙයුමක් ආරම්භ කර තිබිණි. ආණ්ඩුව පැත්තෙන්ද මෝදිගේ හමුව තහවුරු වන තෙක් බැසිල්ගේ ගමන කල් දමමින් සිටි අතර, සංචාරය සඳහා දින තීන්දු වූයේ මෝදි හා බැසිල් අතර හමුවක් සිදුවන බවට ඉන්දීය රජයෙන් කොළ එළිය දැල්වීමෙන් අනතුරුවය.

අරන් ගිය සංඥාව!

කෙසේ වෙතත් බැසිල්ගේ මේ හදිසි ඉන්දීය ගමන තවත් ලොකු දේශපාලන සංඥාවක් නිකුත් කරන ගමනක් බවට මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ සාකච්ඡා වෙමින් තිබේ. ඊට හේතුවී ඇත්තේ අතීතයේ සිටම ලංකාවේ ආණ්ඩු පිහිටුවීමේදීත්, ආණ්ඩු බිඳවැට්ටවීමේදීත්, නායකයන් බිහි කිරීමේදීත් තීරණාත්මක සාධකයක් බවට නවදිල්ලිය පත්ව තිබීමය. සාමාන්‍යයෙන් බැසිල් සැලකෙන්නේද ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමග මෙන්ම ඉන්දියාව සමගද අතිශය හිතවත් සම්බන්ධයක් පවත්වාගෙන යන දේශපාලකයකු ලෙසටය. ඒ අනුව බොහෝ දෙනා පෙන්වා දෙන්නේ බැසිල් සිය ඉන්දීය සංචාරය හරහා පොහොට්ටුවේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා තමන් බව ඉන්දියාවට ඇඟවීම සඳහා මෙම සංචාරය යොදාගෙන ඇති බවය.

ගෝඨා ගහන්න යන ගේම!

අනෙක් අතට බැසිල්ගේ මෙම ඉන්දීය සංචාරය පසුපස ජනාධිපතිවරයාගේ සෙවණැල්ල වැටී ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මන්ද යත් ඉදිරි මාස තුන හතරක කාලය ජාත්‍යන්තර වශයෙන් ලංකාවට ඉතාමත්ම අවදානම්සහගත කාලසීමාවක් වන බැවින් ඉන්දියාව ‘බැලන්ස්’ කරගැනීම ආණ්ඩුවේ ප්‍රධාන උපායමාර්ගයක් බවට පත්ව තිබීම ඊට හේතුවය. එක් පැත්තකින් ලබන ජනවාරිය වන විට යුරෝපා කොමිසම ජී.එස්.පී. ප්ලස් සහනය අහෝසි කරනු ඇති බවට දැනටමත් ඉඟි පළවෙමින් තිබේ. මීට අමතරව ලබන මාර්තුව වන විට ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් ලංකාවට එරෙහිව බරපතළ තීන්දු තීරණ කිහිපයක්ම ගැනීමට සූදානමින් සිටින ආකාරයක්ද ආණ්ඩුවට වාර්තා වී ඇත. එහිදී ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ ඉදිරියේදී එන මේ ජාත්‍යන්තර පීඩනය යම් තරමකින් හෝ අවම කරගැනීමට නම් ඉන්දියාව සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක හිඳ කටයුතු කළ යුතු යැයි කියාය. එහිදී ඉන්දියාව බැලන්ස් කරගතහොත් ජිනීවාවලදී ආණ්ඩුවට එරෙහිව ගැනීමට නියමිත තීන්දු තීරණ තවත් වසරකින් පමණ කල්දමාගත හැකි බව ජනාධිපතිවරයාගේ විශ්වාසය වී තිබේ. මීට අමතරව ආණ්ඩුව විසින් ඉදිරි මහ මැතිවරණයේදී සිදුකිරීමට නියමිත සැලැස්ම ක්‍රියාත්මක කිරීමට තවත් වසරක පමණ කාලයක් අවශ්‍යව ඇති නිසා එම කාලසීමාව ලබාගැනීමද බැසිල්ගේ මෙම ඉන්දීය ගමනේ තවත් අරමුණක් වී තිබේ.

නමුත් අවසන් මොහොතේ බැසිල් සහ මෝඩි අතර පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවලංගු කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය. ඒ සඳහා නිශ්චිත හේතු දැක්වීමක් ඉන්දීය පාර්ශ්වයෙන් නොකෙරෙනුද අවසානයේ බැසිල්ට යළි ලංකාවට පැමිණීමට සිදුවූයේ මෙහෙයුමේ අඩක් පමණක් සාර්ථක කරගැනීමෙන් අනතුරුවය.

ගුටරේස් එවූ නියෝජිතයාගේ රහස් හමු!

ලබන මාර්තුවේ පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කොමිසමේ රැස්වීම මේ වන විට ලංකාවට ඉතා තීරණාත්මක බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. එය තහවුරු කරමින්දෝ පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදපෙරදිග, ආසියානු සහ පැසිෆික් කලාප භාර සහකාර ලේකම්වරයා වන කලීඩ් කිහාරි මහතා ශ්‍රී ලංකාවේ හදිසි සංචාරයක නිරත වීමට පියවර ගත්තේය. මෙය හදිසි සංචාරයක් ලෙස සඳහන් වුවද ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකසුණේ ජනාධිපතිවරයා ඉකුත් සැප්තැම්බර් මාසයේ සිදුකළ ඇමෙරිකානු සංචාරය අතරතුරදීය. එහිදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් හමුවී කළ සාකච්ඡාවකින් අනතුරුව ලංකාවේ තත්ත්වය සොයාබැලීම සඳහා විශේෂ නියෝජිතයකු ලංකාවට එවන ලෙස කළ ඉල්ලීමකට අනුව කිහාරිගේ මෙම ලංකා ගමන සැලසුම් විය. ඉකුත් 23 වැනිදා ලංකාවට පැමිණි කිහාරි මෙරට ප්‍රධාන පෙළේ සියලු පුද්ගලයන් හමුවී සාකච්ඡා කළද, ඒ කිසිදු හමුවක කිසිදු තොරතුරක් මේ දක්වාම මාධ්‍යයට අනාවරණ නොවීම විශේෂ කරුණක් ලෙස සැලකිය හැකිය.

කිසිම දෙයක් එළියට ඇවිත් නෑ…!

මෙහිදී මුලින්ම කිහාරි හමුවූයේ ජනාධිපතිවරයාය. ඉන් අනතුරුව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාද, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද, අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර මහතාද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද, දෙමළ ජාතික සන්ධානයේ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයන්ද මුණගැසීමට කිහාරි කටයුතු කළත් එහිදී සාකච්ඡා කළ කරුණු කිසිවක් දෙපැත්තෙන්ම මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කෙරුණේ නැත. එපමණක් නොව මෙම සංචාරයේදී කිහාරි සිවිල් සංවිධාන නියෝජිතයන්, ආගමික නියෝජිතයන් සහ තානාපති ප්‍රජාව පමණක් නොව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිත කණ්ඩායම පවා හමුවී සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය.

මෙහිදී සාකච්ජා කළ කරුණු කිසිවක් මේ දක්වා එළියට නොපෙන්වුවද කිහාරිගේ ගමනේ ප්‍රතිඵල තව සති කිහිපයකින් ඔහු විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව හරහා සියල්ලන්ටම දැකගත හැකිවනු ඇත.

මධුසමය ඉවරයි! ගුටි කන කාලෙ ඇවිත්ද?

ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ගෙවූ මධුසමය අවසන් වී ඇති බවක් පෙනෙන්නට ඇත්තේ මේ වන විට ආණ්ඩුවට එරෙහිව නැගෙමින් පවතින ජනතා විරෝධය දෙස බලන විටය. පසුගිය කාලය පුරාම කිසිදු දේශපාලන බලපෑමකින් තොරව රසායනික පොහොර ප්‍රශ්නය මුල් කරගෙන ගොවි ජනතාව රට පුරාම විරෝධතා දියත් කරන ආකාරයක් දැකගත හැකිය. එහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පමණක් නොව, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් අනුරූවලට ගිනිතැබීමට තරම් මෙම ගොවි විරෝධය උග්‍ර අතට හැරී තිබිණි. වෙනකක් තබා විරෝධතා අතරින් යෑමට පැමිණි මැති ඇමැතිවරුන්ටද සිදුවූයේ මේ ගොවීන්ගේ දැඩි විරෝධයට මැදිවීමටය.

මෙම විරෝධයේ කූඨප්‍රාප්තිය පසුගිය සතියේදී දකුණේ ස්ථාන තුනකදීම දැකගන්නට ලැබිණි. ඒ තොරතුරු කිසිවක් මෙතෙක් මාධ්‍ය හරහා එළියට නොපැමිණි අතර, එම තොරතුරු පළමු වරට මාධ්‍ය මගින් අනාවරණ වන්නේද මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේය.

ලබුදූවේදී ඇගට ගොඩවෙලා!

මෙහිදී දකුණේ ජනතා විරෝධයට මුහුණ දුන්නේ ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් තිදෙනකු වීම විශේෂ සිදුවීමකි. එක් අයකු ගාල්ලේ ප්‍රබල අමාත්‍යවරයෙකි. මෙම ප්‍රබලයා ඉකුත් සතියේ සිය ආරක්ෂක නිලධාරීන් සමග යන විට ගාල්ල ලබුදූව හන්දියේ නැවැත්වූයේ එහි සිටි ත්‍රිරෝද රථ රියැදුරන් සමග සුහද කතාබහක් පැවැත්වීම සඳහාය. ඒ අනුව අමාත්‍යවරයා සිය නිල රථයේ සිටම වීදුරුව පහත් කර, ‘ආ මොකද මල්ලි’ කියා ඇසුවේ ඔවුන් සමග තවදුරටත් අදහස් හුවමාරු කරගැනීම සඳහාය. නමුත් සිදුවූයේ අමාත්‍යවරයා හීනෙකින්වත් නොසිතූ දෙයකි. අමාත්‍යවරයා ඇසූ දේට පිළිතුරු ලෙසින්, ‘ඇයි ඇයි මොකද මහත්තයා‘ යැයි කියමින් ත්‍රිරෝද රථ රියැදුරන් ඉදිරියට ඒමත් සමග එන පොට හෙඳ නැති බව ඇමැතිවරයාගේ රියැදුරාට වැටහිණ. ඒ අනුව රියාදුරා වහාම කළේ රථයෙ ඉදිරියට ගෙන එම ස්ථානයෙන් වේගයෙන් පිටව යාමය. එසේ නොවන්නට ඇමැතිවරයාට සිදුවන්නේ ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් හොඳ හැටි අහගන්නටය.

දෙවැනි සිදුවීමට මුහුණ දීමට සිදුවූයේ දකුණේ රාජ්‍ය අමාත්‍යවරයකුටය. මේ රාජ්‍ය අමාත්‍යවරයාට සිදුවූයේද ජනතාවගේ ‘හූ’ හඬ මැද්දේ ඉවත්ව යන්නටය.

හෙල්මට් එකෙන් ගුටි කෑ රාජ්‍ය ඇමැති!

තුන්වැනි සිදුවීම තරමක් බරපතළ සිදුවීමකි. එයද දකුණෙන් වාර්තා වූ අතර එහිදී සිදුව තිබුණේ ආණ්ඩුවේ මන්ත්‍රිවරයකුට සිදුවූ ප්‍රහාරයකි. රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇති තොරතුරුවලට අනුව මෙහිදී මන්ත්‍රිවරයාට හෙල්මට් ප්‍රහාරයක් පවා එල්ල වී ඇති බව දැනගන්නට තිබේ. මෙම ප්‍රහාරයෙන් පසු අදාළ සිදුවීම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වළක්වා ගැනීම සඳහා පහරදුන් පුද්ගලයාගේ නිවෙස වටා ආරක්‍ෂක අංශ සාමාජිකයන් කිහිපදෙනෙකු දින කිහිපයක් තබා තිබූ බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය.

බය නැති රාජපක්ෂලා!

රාජපක්‍ෂලා එදා සිටම ප්‍රසිද්ධව සිටින්නේ ඡන්ද තියන්න රුසියන් ලෙසය. ඡන්දවලට බය නැති දේශපාලකයන් ලෙසය. ඒ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවා අවස්ථා කිහිපයකදීම ප්‍රසිද්ධියේ සඳහන් කරමින් කියා සිටියේ රාජපක්‍ෂලා ඡන්දවලට බය අය නොවේ යැයි කියාය. ඒ බව මනාව තහවුරු කරමින් 2005 – 2015 කාල සීමාවේදී මහින්ද අවුරුදු 10ක් පුරාම කඩින්කඩ පළාත් සභා ඡන්ද තිබ්බේය. උතුරු පළාත් සභාව පරදින බව දැන දැනත් මහින්ද බය නැතිව ඒ ඡන්දයත් තිබ්බේය. ඒ කාලයේදීම විපක්‍ෂ නායක ධුරය දැරූ රනිල් වික්‍රමසිංහට සිදුවූයේ මහින්ද තියන තියන ඡන්දයට මුහුණ දී පරාජයට මුහුණ දෙන්නටය.

ඒ නිසාමදෝ යහපාලන ආණ්ඩුව පැමිණි සැණින් මේ ඡන්ද පැවැත්වීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගැනිණි. පළාත් සභා ඡන්ද වසර කිහිපයක්ම කල් දැමීමට යහපාලන නායකයෝ පියවර ගත්හ. අන්තිමේදී පුංචි ඡන්දය පවත්වා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුව පරාජයට පත්වී ආණ්ඩුව වැටීමේ ආරම්භය සටහන් කරගැනීමට යහපාලන නායකයෝ සමත් වූහ. අන්තිමේදී ජනාධිපතිවණය පමණක් නොව මහමැතිවරණයද ජයගත්තේ රාජපක්‍ෂවරුන්ය.

මේ පාර බයවෙලාද!

නමුත් ඒ ජයග්‍රාහී මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් ඉතිහාසයේ පළමු වතාවට මැතිවරණයක් කල් දැමීමට රාජපක්‍ෂවරුන් සැලසුම් කර තිබේ. ඒ ලබන පෙබරවාරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දයය. ඒ අනුව ආණ්ඩුව සැලැසුම් කර ඇත්තේ කොරෝනා වසංගතය පිට දමා පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමටය.

කෙසේ වෙතත් ආණ්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී වෑයමට එරෙහිව දැනටමත් විපක්‍ෂය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීමට සැලැසුම් සකස් කරමින් සිටී. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ විපක්‍ෂයේ ලොබිය පැත්තේ සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන්ද, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන්ද එක්ව කතාබහ කරමින් ඊට එරෙහිව වැඩපිළිවෙළක් දියත් කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින ආකාරයක් දැකගත හැකි විය. ඒ සියලු දෙනාම කියා සිටියේ නිසිකාලයට ඡන්ද පැවැත්වීම සඳහා ආණ්ඩුවට බලපෑම් කළ යුතු බවකි.

විපක්ෂය එකතු වෙන්න සූදානමින්!

එපමණක් නොව ඉකුත් බදාදා දින ආණ්ඩුව පැත්තේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ද මෙම සංවාදයට සහාය පළ කරමින් විපක්‍ෂය වෙත පණිවුඩ එවා තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ඉදිරියේදී මැතිවරණ පැවැත්වීම කල්දැමීමට එරෙහිව පක්‍ෂ, විපක්‍ෂ බේදයකින් තොරව දැවැන්ත සන්ධානයක් නිර්මාණය වෙමින් පවතින ආකාරයක් දැකගත හැකිය.

කපිල් පුංචිමාන්නගේ