පී.බී. රහස් හෙළි කිරීම අරඹයි! ජනපතිගෙන් විමල්ලාට ප්‍රසිද්ධියේම ප්‍රහාරයක්! වටේ ගිය විමල් යළි ජවිපෙටම!

පී.බී. රහස් හෙළි කිරීම අරඹයි! ජනපතිගෙන් විමල්ලාට ප්‍රසිද්ධියේම ප්‍රහාරයක්! වටේ ගිය විමල් යළි ජවිපෙටම! මහින්ද ගෝඨාගේ වැරදි මූණටම කියයි! සජිත් සියල්ල නවත්වයි!

 

ජුබිලි කණුවේදී ඇත්තටම වුණේ මොකද්ද!

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කැරලිකාර පිල දෙකට කැඩෙයි!

වියත් මගට මහින්දගෙන් ප්‍රහාරයක්!

පසුගිය සති කිහිපය පුරාම ආණ්ඩුව ඇතුළේ ප්‍රධානම චරිතය බවට පත්ව සිටියේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ මුදල් අමාත්‍යවරයා හෝ නොව ජනාධිපති ලේකම්වරයා වන ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාය. ඊට හේතු වී තිබුණේ ආණ්ඩුවේම ප්‍රබල ඇමැතිවරුන් රටේ සියලු ප්‍රශ්නවලට මුල පී.බී. යැයි කියමින් පී.බී.ට වටකොට පහර ගැසීමත්, ඔහුව තනතුරෙන් ඉවත් කළ යුතු බවට ජනාධිපතිවරයාට බලපෑම් කිරීමත්ය. නමුත් අනෙක් කිසිදු පුවත්පතක් පී.බී. සම්බන්ධ මේ ප්‍රශ්නය පිළිබඳ අකුරක් හෝ ලියන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. එවැනි පසුබිමක ‘රාජ්‍ය රහස්’ තීරය පසුගිය සතියේ පී.බී. සම්බන්ධ ප්‍රශ්නයේ මුල සිටම සියලු තොරතුරු පාඨකයන් වෙත ගෙන ඒමට කටයුතු කළෙමු. එහිදී අපි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පී.බී. සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කළ බරපතළ පැමිණිල්ලේ සිට පී.බී. සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල ඇතුළේ පැවැති සාකච්ඡාවේ තොරතුරු පවා ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළමුවරට රටට අනාවරණය කිරීමට පියවර ගත්තෙමු. එමෙන්ම මෙම බලපෑම ඔස්සේ පී.බී. සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ ආකාරයත්, පී.බී. සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ බැසිල් ගනු ලැබීමට නියමිත තීන්දු තීරණ පිළිබඳවත් අප එහිදී රටට අනාවරණ කළෙමු. මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පී.බී. සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු මාධ්‍යයක හෙළි නොවුණු තවත් තොරතුරු රැසක්ම හෙළිකිරීමට සූදානම්ය.

පී.බී. දිනය ඈතට දැම්මේ ගේමක් ගහන්නද?

මෙවර පී.බී. ජනාධිපතිවරයාට යොමු කළේ සිය දෙවැනි ඉල්ලා අස්වීමේ ලිපියය. ජනාධිපතිවරයා ඇමෙරිකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව ලංකාවට පැමිණි වහා සිය පළමු ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකිරීමට පී.බී. පියවර ගත්තද, ජනාධිපතිවරයා හැරෙන තැපෑලෙන් එම ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය. ඒ අනුව පී.බී. තවදුරටත් ජනාධිපති ලේකම්වරයා වශයෙන් සිය රාජකාරිය ඉදිරියටම කරගෙන ගියේය. කෙසේ වෙතත් මෙවර පී.බී. ජනාධිපතිවරයා වෙත යොමුකළ සිය දෙවැනි ඉල්ලා අස්වීමේ ලිපියෙහි විශේෂ කරුණු කිහිපයක්ම දැකගත හැකි විය. එහි පළමු විශේෂ කරුණ ලෙස දැකගන්නට ලැබුණේ සිය ඉල්ලා අස්වීමේ දිනය වශයෙන් 2022 ජනවාරි 31 දාතම යොදා තිබීමය. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයකු මසක් කල් ඉදිරියට තියා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ආයතන ප්‍රධානියා වෙත භාරදුන්නද, පී.බී. මාස එකහමාරකට අධික කාලයක් සිය ඉල්ලා අස්වීම දාතම යොදා ජනාධිපතිවරයා වෙත භාරදීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් ලෙස සැලකිය හැකිය.

පිටු 4ක ලියුමෙන් ‌වටේටම ගහලා!

අනෙක් විශේෂ ලක්ෂණය වූයේ පිටු හතරක ඉල්ලා අස්වීමේ ලිපියක් පී.බී. විසින් සකස් කර තිබීමය. මෙම ඉල්ලා අස්වීමේ ලිපිය අප තවම දැක නැතත්, පිටු හතරක් පුරා කරුණු ලියවුණු ඉල්ලා අස්වීමේ ලිපිය මගින් පී.බී. තමන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා පිළිබඳ යම් උත්තරයක් හෝ යම් පැහැදිලි කිරීමක් ජනාධිපතිවරයා වෙත සිදුකර ඇති බවට සැක නැත. එමෙන්ම එම ලිපියෙහි බොහෝ ආන්දෝලනාත්මක කරුණු ගැබ්ව ඇති බවටද කිසිදු සැකයක් නැත. කෙසේ වෙතත් නිල නොවන ආරංචි මාර්ගවලින් අපට දැනගන්නට ලැබී ඇත්තේ ඉතා සූක්ෂ්ම රාජ්‍ය තාන්ත්‍රික භාෂාවක් උපයෝගී කරගනිමින් පී.බී. වර්තමානයේ රට තුළ මතුව ඇති ආර්ථික ගැටලුවට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවය. තමන් ඒ කිසිදු කරුණකට වගකිව යුතු නැති බවත්, තමා ආර්ථිකය සම්බන්ධයෙන් ගත් කිසිදු තීන්දුවකට දායක වී නැති බවත් එම ලිපියෙහි පී.බී. සඳහන් කොට ඇති බව එම නිල නොවන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් අපට දැනගන්නට ලැබී ඇත.

ව්‍යාපාරික මාෆියාවේ නම් 3ක් හෙළිකරයි!

මීට අමතරව සිය ඉල්ලා අස්වීම භාරදීම සඳහා බලපා ඇති විශේෂ කරුණු කිහිපයක්ද පී.බී. සිය ලිපියේ ඇතුළත් කොට ඇති බව වාර්තා වේ. ඊට පාදක වූ කරුණු අතර කිසියම් ව්‍යාපාරික මාෆියාවක් සිටින බවටද මෙහිදී පී.බී. ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවද ආරංචිය. එම ව්‍යාපාරික මාෆියාවේ නම් තුනක්ද පී.බී. විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අතින් බලන විට පී.බී.ගේ දෙවැනි ඉල්ලා අස්වීමේ ලිපිය එසේ මෙසේ ලිපියක් නොව, අනාගතයේදී බොහෝ ගැටුම්වලට තුඩුදිය හැකි ආන්දෝලනාත්මක ලිපියක් බව පැහැදිලිය.

පී.බී. ආරක්ෂා කරමින් ජනපති පළමුවරට කතා කරයි!

ඊළඟ ගැටලුව වී ඇත්තේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් පමණින්ම පී.බී. ඉල්ලා අස්වී ගෙදර යෑමට සූදානම්ද යන කරුණය. මේ සම්බන්ධයෙන් පළමු වතාවට ජනාධිපතිවරයාගේ කටින්ම පී.බී. ගැන නිල ප්‍රකාශයක් එළියට ආවේ පසුගිය සඳුදා (27) කර්තෘවරුන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදීය. තෝරාගත් කර්තෘවරුන් 15 දෙනකුට පමණක් මෙම සාකච්ඡාවට ආරාධනා කර තිබූ අතර, එහිදී දැනට රට තුළ මතුව ඇති ගැටලු පිළිබඳ ප්‍රශ්න ඇසීමේ අවස්ථාවද එම කර්තෘවරුන්ට ලැබී තිබිණි. ඒ අනුව එක් කර්තෘවරයකුගෙන් ජනාධිපතිවරයාට යොමු වූ ප්‍රශ්නයකින් විමසීමක් කර තිබුණේ ජනාධිපතිවරයාගේම ලේකම්වරයාට අමාත්‍යවරුන් විසින් ප්‍රසිද්ධියේම පහරදීම පිළිබඳ ජනාධිපතිවරයාගේ මතය කුමක්දැයි කියාය. මෙහිදී පළමු වතාවට පී.බී. සම්බන්ධයෙන් සිය අදහස ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ ජනාධිපතිවරයා පී.බී.ව ආරක්ෂා කරමින් ඉතා සංවේදී කතාවක් කර්තෘවරුන් හමුවේ තැබීමට කටයුතු කළේය.

ජනපතිගෙන් විමල්ලාටත් ප්‍රහාරයක්!

‘ඒක හරි වැරැදි වැඩක්. සමහර ඇමැතිවරු පී.බී.ව ඉලක්ක කරලා ගහන්නේ මේ සේරම වගකීම් පී.බී.ගෙ පිට පටවන්න. හැබැයි තනි මිනිහෙක්ට විතරක් මේ විදියට වැරැද්ද දාන්න බෑ. මේවා අපි ඔක්කොම එකතු වෙලා ගත්ත සාමූහික තීන්දු. පුද්ගලික ප්‍රශ්න මුල් කරගෙන එක මිනිහෙක් ඉලක්ක කරගෙන මේ විදියට ගහන එක හරි වැරැදියි…’ යනුවෙන් කියමින් පී.බී. සම්බන්ධයෙන් සිය නිල අදහස කර්තෘවරුන් හමුවේ තැබීමට එහිදී ජනාධිපතිවරයා පියවර ගත්තේය.

ගෝඨා අනුර තෝරාගනී! මහින්ද ‌ගාමිණීව දෙයි!

ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් කර්තෘවරුන්ට දිවා භෝජන සංග්‍රහයක් ලබා දුන් අතර එහිදී ජනාධිපතිවරයාගේ මේසයේ ආහාර ගනිමින් සිටි කර්තෘවරුන් තිදෙනකු සමග පී.බී. සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡාවක් සිදුව ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී එක් කර්තෘවරයෙක් දිවා ආහාරය ගනිමින් සිටියදීම බොහෝ සුහදව ජනාධිපතිවරයා සමග කතාබස් කරමින් පී.බී.ගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් භාරගත්තේද යන්න විමසා ඇති බවක් ආරංචිය. එහිදී ජනාධිපතිවරයා ලබාදුන් පිළිතුර ලෙස එහි කියැවෙන්නේ එම ඉල්ලා අස්වීම භාරගැනීමට පියවර ගෙන ඇති බවකි. දෙවැනි වතාවටත් ඉල්ලා අස්වීමක් භාරදීමෙන් අනතුරුව එම ස්ථානයේ රාජකාරි කිරීමට අදාළ නිලධාරියාට අපහසු බැවින් පී.බී.ගේ ඉල්ලා අස්වීම භාරගැනීමට තමන් කටයුතු කළ බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කොට ඇති බවක්ද ආරංචිය. ඉන් තවත් පියවරක් ඉදිරියට තබමින් ජනාධිපතිවරයා සිය අලුත් ලේකම්වරයා පිළිබඳ යම් ඉඟියක් ලබාදී ඇති බවක්ද එළියේ කතාබහට ලක්වන තොරතුරුවලින් දැනගන්නට තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා සිය නව ලේකම්වරයා වශයෙන් වාරිමාර්ග අමාත්‍යාංශයේ දැනට ලේකම් ධුරය දරන ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන අනුර දිසානායක මහතා තෝරාගෙන එය අගමැතිවරයාට දැනුම්දී ඇති බවත්, අගමැතිවරයා එම යෝජනාව සම්බන්ධයෙන් වෙනත් යෝජනාවක් ඉදිරිපත් කොට ඇති බවත් දැනගන්නට ඇත. එහිදී අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම ලේකම්වරයා ලෙස තමාගේ ලේකම් ලෙස කටයුතු කරන ගාමිණී සෙනරත් මහතා පෙන්වා දිය හැකි බවත්, ඔහුට අසාධාරණයක් නොවන පරිදි ජනාධිපති ලේකම්වරයා වශයෙන් ඔහු පත් කරගත යුතු බවත්, එසේ නොවන්නේ නම් ඔහුගේ වෘත්තීයභාවයට අසාධාරණයක් සිදුවන බවත්ය. ඒ අනුව ගාමිණී සෙනරත්ට ජනාධිපති ලේකම් ධුරය ලබාදෙන ලෙසත්, අනුර දිසානායක මහතා තමාගේ ලේකම්වරයා වශයෙන් පත් කරගත හැකි බවත් එහිදී අගමැතිවරයා තමන්ට දැනුම් දී ඇති බවත්, ජනාධිපතිවරයා අදාළ කර්තෘවරයාට දැනුම් දී ඇති බවත් ආරංචිය.

පී.බී. ඊගාවට යන්න ඉන්න තැන!

ඉන් අනතුරුව මෙම කර්තෘවරයා ජනාධිපතිවරයාගෙන් පී.බී. මුදල් අමාත්‍යාංශයේ ඉහළ තනතුරකට පත්වීමට නියමිතව ඇත්තේද යන්න පිළිබඳ විමසා ඇති බවක්ද එළියේ කතාබහට ලක්වන තොරතුරුවලින් දැනගන්නට තිබේ. ඊට ජනාධිපතිවරයා ලබාදී ඇති පිළිතුර ලෙස කියැවෙන්නේ තමන්ද එය පී.බී.ගෙන් ඇසූ බවත්, එවිට පී.බී. යළි කිසිසේත්ම මුදල් අමාත්‍යාංශයේ තනතුරක් භාර නොගන්නා බවට තමන්ට පිළිතුරු දුන් බවත්ය.

ඒ අනුව පී.බී. සම්බන්ධයෙන් මෙම පුවත සඳුදා දින වෙබ් අඩවිවලත් එදින රාත්‍රියේ දෙරණ ප්‍රවෘත්ති තුළත්, ඊට පසු දින පුවත්පත්වලත් විවිධාකාරයෙන් වාර්තා කිරීමට පියවර ගෙන තිබිණ. නමුත් ඒ කිසිදු පුවතක් සම්බන්ධයෙන් මේ වන තෙක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් හෝ ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් හෝ පී.බී.ගේ පාර්ශ්වයෙන් හෝ පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදුව නොතිබීමද විශේෂ සිදුවීමකි. ඒ අනුව සතිය මැද වන තෙක්ම පී.බී. සම්බන්ධයෙන් විවිධ පුවත් වාර්තා වූ නමුත් මේ වන විට දැකගන්නට ලැබී ඇත්තේ පී.බී. මාතෘකාවද කරළියෙන් ඉවත්ව යන ආකාරයකි.

ගාමිණීත් යන්න ලෑස්ති වෙයි!

කෙසේ වෙතත් මෙම තොරතුරු වාර්තා වීමත් සමග බොහෝ දෙනා අගමැති ලේකම් ගාමිණී සෙනරත්ටද කතා කොට ලැබීමට නියමිත අලුත් තනතුර සම්බන්ධයෙන් ඔහුට සුබපැතුම් එක් කිරීමට පියවර ගෙන තිබිණ. එහිදී ගාමිණී සෙනරත් ඒ සියලු දෙනාට කියා තිබුණේ අගමැතිවරයාද තමන්ට මේ පිළිබඳ දැනුම්දීමක් කර ඇති බවකි. නමුත් මෙතෙක් තමන්ට ඒ පිළිබඳ නිල දැනුම්දීමක් සිදුකොට නැති බවද ගාමිණී සෙනරත් එහිදී සිය හිතවතුන්ට දැනුම් දීමට පියවර ගෙන ඇත.

බැසිල් පී.බී. ගැන ගන්න යන තීන්දුව!

පී.බී.ගේ මෙම ආන්දෝලනය හමුවේ පසුගිය සතියේ අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ හෙළිකර සිටි තවත් කාරණාවක් වූයේ පී.බී. සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගෙන තිබූ ස්ථාවරයය. රාජපක්ෂවරුන් අතර පැවැති සාකච්ඡාවේදී ඒ බව පැහැදිලිවම පෙන්වා දී තිබූ බැසිල්, පී.බී. මේ අවස්ථාවේදී ඉවත් නොකළ යුතු බවත්, එසේ ඉවත් කරන්නේ නම් මුදල් අමාත්‍යාංශයේ ඉහළ තනතුරකට තමන් පී.බී.ව පත්කරන බව කියා සිටි බවත් අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කිරීමට පියවර ගත්තෙමු. මෙම සාකච්ඡාවෙන් පසු බැසිල් ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබූ අතර එහිදී මාධ්‍ය විවිධ තොරතුරු වාර්තා කරමින් බැසිල් අමනාපව ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බවත්, ඔහු යළි ලංකාවට නොපැමිණෙන බව දැනුම්දී ඇති බවත් වාර්තා කොට තිබිණ. එසේ දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය කටකතා වරින් වර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කිරීමටද අපි පියවර ගත්තෙමු.

ඒ අනුව පී.බී. ජනවාරි 31 වැනිදා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් පසු කුමක් සිදුවනු ඇද්ද? බැසිල් ලංකාවට පැමිණ පී.බී. සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නය කෙසේ විසඳනු ඇද්ද?

පී.බී. යන්නත් පුලුවන්…නොයන්නත් පුලුවන්…!

අපට ඇති ආරංචිවලට අනුව නම් බැසිල් දැනටමත් ලංකාවට පැමිණීම සඳහා ඉකුත් 29 වැනි දින ලොස් ඇන්ජලීස්වලින් පිටත්ව ගොස් තිබේ. ඒ අනුව බැසිල් ලොස් ඇන්ජලීස්වලින් ඩුබායි බලා පැමිණ, ඉන් අනතුරුව යළි ලංකාවට පැමිණීමට නියමිතය. එසේ පැමිණි වහාම බැසිල් පළමුවෙන්ම සාකච්ඡා කිරීමට නියමිත මාතෘකාව වී ඇත්තේ පී.බී.ගේ ප්‍රශ්නයය. මෙහිදී බැසිල් පී.බී.ව ආරක්ෂා කරගැනීම සඳහා දැඩි තීන්දුවක් ගැනීමට සූදානමින් පසුවන බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ නිසා අපට කීමට ඇත්තේ පී.බී.ගේ ප්‍රශ්නය අවසන් බව බොහෝ දෙනා එළිපිට කියා සිටියත් තවමත් එම ප්‍රශ්නය නිල වශයෙන් අවසන්ව නොමැති බවකි. එම නිසා පී.බී. සිය ඉල්ලා අස්වීම දෙවැනි වතාවටත් භාරදුන්නද දැනට සිදුවෙමින් පවතින සිදුවීම් ඔස්සේ පී.බී. ඉවත් වීමටද පුළුවන. එසේම ඉවත් නොවීමටද පුළුවන.

ගෝඨා මහින්ද තීරණාත්මක සාකච්ජාවක!

මේ සියල්ල අතරවාරයේ දැනට මතුව ඇති අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඉකුත් සති අන්තයේ විශේෂ සාකච්ඡා කිහිපයක්ම පැවැත්විණ. ඉතා රහසිගතව පැවැති මෙම සාකච්ඡා මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවෙසේ පැවැති අතර දෙදිනක් පුරා මෙම සාකච්ඡා සිදුව ඇති බවක්ද ආරංචිය. මෙහිදී නිල නොවන ආරංචිවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා පසුගිය කාලසීමාව තුළදී තමන්ගේ අතින් සිදුවූ අත්වැරැදීම් සම්බන්ධයෙන් කිසියම් පාපොච්ඡාරණයක් අගමැතිවරයා ඉදිරියේ සිදුකොට ඇති බවකි. එමෙන්ම මෙම සාකච්ඡාවේදී වැඩි වශයෙන් අගමැතිවරයා අදහස් දක්වා ඇති අතර ජනාධිපතිවරයා ඊට ඇහුන්කම් දී ඇති බවක්ද ආරංචිය.

මහින්දගෙන් ගෝඨාට දේශපාලන ටියුෂන්! පෝලිම් වහාම නවත්වන්න!

මෙහිදී අගමැතිවරයා 70-77 මැතිනියගේ ආණ්ඩු සමයේ පැවැති තත්ත්වයත්, වත්මන් ආණ්ඩු සමයේ පවතින තත්ත්වයත් සන්සන්දනය කරමින් ජනතාවට මැතිනියගේ ආණ්ඩුව එපාවූ ආකාරය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කිරීමට පියවර ගෙන තිබේ. එහිදී මැතිනියගේ ආණ්ඩුව ඉතා හොඳ ආණ්ඩුවක් බව සඳහන් කොට ඇති අගමැතිවරයා, එසේ වුවත් එම ආණ්ඩු සමයේ ජනතාවට මිලදී ගැනීම සඳහා බඩු භාණ්ඩ හිඟවීමත්, පෝලිම් ක්‍රමය ඇතිවීමත් එම ආණ්ඩුවේ කඩාවැටීමට හේතුවී ඇති බව පෙන්වා දී ඇත.
‘මේ වගේ තත්ත්වයක් මැතිනියගෙ ආණ්ඩු කාලෙත් ඇතිවුණා. එදත් ආනයන ගොඩක් සීමා කරලයි තිබුණේ. එන්.එම්.ලා වගේ ආර්ථික දක්ෂයොත් ඒ ආණ්ඩුවේ හිටියා. හැබැයි මැතිනියට වැරැදුණේ ජනතාවට පෝලිම්වල ඉඳල බඩු ගන්න සිද්ධ වෙච්ච එක. වැඩි ගානක් දීලා හරි ජනතාවට මිලදී ගන්න බඩු ටික මාකට් එකේ තිබුණා නම් මැතිනියගෙ ආණ්ඩුව වැටෙන්නෙ නෑ. දැන් අපටත් තියෙන්නේ ඒ ප්‍රශ්නම තමයි. පෝලිම් ක්‍රමය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක දරුණු ප්‍රශ්නයක්. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඉස්සෙල්ලම මේ තියෙන පෝලිම් නැති කරලා දාන්න. මොකද මිනිස්සු පෝලිම්වල ඉන්න ගියාම ආණ්ඩුවට නැති ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මිල වැඩිකරලා හරි කමක් නෑ මිනිස්සුන්ට ගන්න බඩු ටික හරියට රට ඇතුළෙ තියෙන්න ඕනේ…’ යනුවෙන් මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති අගමැතිවරයා ජනාධිපතිවරයාගේ වියත් මග සම්බන්ධයෙන්ද විවේචනාත්මකව කරුණු දැක්වීමට කටයුතු කොට ඇත.

වියත් මගටත් ප්‍රහාරයක්!

‘හැම ආණ්ඩුවකම දේශපාලනයක් තියෙන්න ඕනෙ. ඒ දේශපාලනය නොතිබුණාම ආණ්ඩුවයි නිලධාරීනුයි අතර තියෙන සම්බන්ධය නැතිවෙනවා. දැන් වියත් මගෙන් කියලා හැම තැනටම සභාපතිවරුනුයි, ලේකම්වරුයි පත්කළා. හැබැයි ඒ අය දේශපාලනය කරන්නේ නෑ. ඒ අය ඇමැතිවරුන්ව ගණන්ගන්නේ නෑ. මේකත් ලොකු ප්‍රශ්නයක්…’ යනුවෙන් අගමැතිවරයා කියද්දී ජනාධිපතිවරයා සාවධානයෙන් යුතුව එම කරුණු අසා සිටි බව ආරංචිය.

ජනපති වෙච්ච වැරැද්ද පිළිගනී!

කෙසේවෙතත් ජනාධිපතිවරයා ඒ පිළිබඳ තමන්ගේ ස්ථාවරය එළියට දැම්මේ සඳුදා දිනයේ කර්තෘවරුන් සමග පැවැත්වූ සාච්ඡාවේදීය. එහිදී ජනාධිපතිවරයා වියත් මගේ සිටි වියතුන් සභාපති ධුරවලට පත්කිරීම සම්බන්ධයෙන් තමන් අතින් වැරැද්දක් සිදුවූ බව ප්‍රසිද්ධියේම පිළිගැනීමට පියවර ගත්තේය. ඒ සම්බන්ධයෙන් එක් කර්තෘවරයකු කළ ප්‍රශ්න කිරීමකදී ජනාධිපතිවරයා කියා සිටියේ එම තීන්දු සම්බන්ධයෙන් තමන්ට වැරැද්දක් සිදුවූ බවය.

‘ඔව් මට වැරැදුණා. මේ ආණ්ඩුව ආපු වෙලාවෙ මම සභාපතිවරුන්, ආයතන ප්‍රධානීන් වියත්මගෙන් පත්කරන්න වෙනම කමිටුවක් පත් කළා. ඒකෙන් තමයි මේ අය තෝරගත්තේ. ඒ කරපු පත්කිරීම් ගැන මම අගමැතිතුමාගෙන්වත් ඇහුවෙ නෑ. සභාපතිලා 400ක් විතර මම ඒ කමිටුව හරහා පත්කළා. ඒ තැන්වලට උගතුන් වියතුන් දැම්මට දැන් තේරෙනවා උගත්කම තිබ්බට විතරක්ම ප්‍රශ්න විසඳන්න බෑ කියලා. ප්‍රායෝගික පැත්තෙන් ගත්තම ඒ අය ඇත්තටම ෆේල්. ඒ අයගෙන් බහුතරයක් ෆේල් කියලා මටත් පිළිගන්න වෙනවා…’ යනුවෙන් කී ජනාධිපතිවරයා නොකියා කීවේ ආයතනවල සභාපතිකම් දරද්දී කිසියම් දේශපාලනයකුත් පැවැතිය යුතු යැයි කියාය. ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය ඇතුළත ආණ්ඩුවේ ඉහළ තනතුරුවල වෙනස්කම් රැසක් සිදුකිරීමටද සැලසුම් සකස් කර ඇති බව දැනගන්නට ඇත.

විමල්ලා ගැන ජනපති කෝපයෙන්!

ආණ්ඩුවේ කැරැලිකාර පිල නියෝජනය කරන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම පසුගිය කාලසීමාව පුරාම ආණ්ඩුවේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ පමණක් නොව ආණ්ඩුවෙන් එළියේදීද විශාල විරෝධයක් ගෙන ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. විශේෂයෙන්ම යුගදනවි ගිවිසුමේදී කැබිනට් මණ්ඩලය තුළදීම එය විවේචනය කිරීමට විමල්, වාසු, උදය කටයුතු කළා පමණක් නොව, ආණ්ඩුව අස්සන් කළ එම ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට පවා යෑමට මෙම ඇමැතිවරු පියවර ගත්හ. එහිදී ආණ්ඩුවේ විවිධ මැති ඇමැතිවරුන් විමල්, වාසු, උදය යන තිදෙනා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකොට ඇති බව කියමින් විවිධ ප්‍රකාශ නිකුත් කළද ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තැනක ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරන ආකාරයක් දැකගන්නට නොලැබිණි.

විමල්ලා කරපු වැ‌ඩේ වැරදියි!

නමුත් පසුගිය සඳුදා පැවැති කර්තෘවරුන්ගේ රැස්වීමේදී ජනාධිපතිවරයා පළමු වරට විමල්, වාසු සහ උදය සම්බන්ධයෙන් තම නිල ස්ථාවරය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගත්තේය. එහිදී කර්තෘවරයකු විමල්ලා සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා සඳහන් කොට සිටියේ ඔවුන් කළ ක්‍රියාව සම්පූර්ණයෙන්ම වැරැදි යැයි කියාය.

‘ඒක සම්පූර්ණයෙන්ම වැරැදි වැඩක්. මම ඒක කැබිනට් එකේදිත් පැහැදිලිවම කිව්වා. අනෙක් අයටත් මම ඒක දැනුම් දුන්නා. අපි කැබිනට් මණ්ඩලයෙදි තීන්දුවක් ගත්තාම ඒක විවේචනය කරන්න හරි, ඒකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්න හරි බෑ. ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකුත් තියෙනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ කැබිනට් එකේ හිටපු ලලිත් ඇතුලත්මුදලියි, ජී.එම්. ප්‍රේමචන්ද්‍රයි ඒ ගත්ත තීන්දුවකට අත උස්සලා එළියට ඇවිත් විරුද්ධ වුණාම නඩුවක් ගියා. ඒකෙදි මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමා ඒ අය වැරැදිකරුවන් කරලා තීන්දුවක් දුන්නා. ඒ නිසා මේ ඇමැතිවරුන්ටත් එහෙම කරන්න ඕනෙ නම් කැබිනට් එකෙන් අයින් වෙලා ගිහින් එහෙම කළාට කමක් නෑ. ඇතුළෙ ඉඳන් එහෙම කරන්න බෑ…’ යනුවෙන් ජනාධිපතිවරයා එහිදී විමල්ලා සම්බන්ධයෙන් පළමු වරට සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කළේය.

විමල්ලා ගැන ජනපති නීති උපදෙසුත් අරන්!

මේ හරහා එකක් පැහැදිලිය. ඒ, ජනාධිපතිවරයා විමල්ලාගේ සිදුවීම සම්බන්ධයෙන් නීතිමය උපදෙස් විමසා ඇති බවය. අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයා විමල්ලාගේ මෙම ක්‍රියාකලාපය සහ හැසිරීම දැඩිව ප්‍රතික්ෂේප කරන ආකාරයක්ද මෙම ප්‍රකාශය හරහා පැහැදිලිය.

ගම්මන්පිල ජනපතිට අභියෝග කරයි!

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය එදිනම වෙබ් අඩවිවල පළකර තිබූ අතර ඊට ගම්මන්පිල පමණක් ප්‍රතිචාර දක්වා තිබීම විශේෂ සිදුවීමක් විය. අප එසේ සඳහන් කළේ සාමාන්‍යයෙන් විමල්, වාසු, උදය පිළිබඳ ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වන්නේ නම් ඔවුන් තිදෙනාම එක්ව සාකච්ඡා කොට එක ස්ථාවරයක සිට ප්‍රතිචාර දැක්විය යුතුව තිබුණත් ගම්මන්පිල පමණක් තනිවම ඊට ප්‍රතිචාර දක්වා තිබීම නිසාය. එහිදී ගම්මන්පිල ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අභියෝග කරමින් තමන් ඇතුළු කණ්ඩායම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකොට නැති බවත්, කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා නොවූ දෙයකට සාමූහිකත්වයේ වගකීම නොපැවරෙන බවත් කියා සිටියේය. එමෙන්ම ජනාධිපතිවරයාට අවශ්‍ය නම් තමන් ඇතුළු කණ්ඩායම අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කළ හැකි බවද, ඇමැති තනතුර පිළිබඳ තමන් එතරම් තැකීමක් නොකරන බවද ගම්මන්පිල එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

වාසුදේව ෂේප් වෙයි!

කෙසේ වෙතත් ගම්මන්පිල මේ ආකාරයට ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් අදහස් පළ කළද විමල් හා වාසුදේව අනුගමනය කළේ මීට හාත්පසින්ම වෙනස් ක්‍රියාමාර්ගයන් දෙකකි. එහිදී වාසුදේව, ගම්මන්පිල කී කතාවට වෙනස්ම ස්ථාවරයක් දරමින් තමන් ඇතුළු කණ්ඩායම කිසිසේත්ම ආණ්ඩුවෙන් ඉවත් නොවන බව ප්‍රසිද්ධියේම කියා සිටියේය. ජනාධිපතිවරයා සමග කිසිදු ගැටුමක් නොමැති බවත්, ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිදු හේතුවක් නොමැති බවත්, මෙම ආණ්ඩුව බිහිකිරීමට විශාලම කැපකිරීම සිදුකළේ තමන් ඇතුළු කණ්ඩායම බවත් වාසුදේව එහිදී කියා සිටියේය.

විමල් ආගිය අතක් නෑ!

මේ ආකාරයට ගම්මන්පිල හා වාසුදේව එකිනෙකට වෙනස් අදහස් දෙකක් ප්‍රකාශ කළත් විමල් නම් ආගිය අතක්වත් සොයාගැනීමට නොහැකි වීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව එයින්ද එකක් පැහැදිලිය. ඒ, ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීමෙන් පසු ඒ පිළිබඳ මොවුන් තිදෙනා අතර කිසිදු අදහස් හුවමාරුවක් හෝ සිදුව නැති බවය. එසේත් නැතිනම් විමල්, වාසු, ගම්මන්පිල සන්ධානය ඇතුළේ බරපතළ අර්බුදයක් මතුව ඇති බවය.

විමල් ‌පිලේ අර්බූදය මෝරයි!

අපි මේ පිළිබඳ පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේද තොරතුරු රැගෙන ඒමට කටයුතු කළෙමු. එහිදී අප කියා සිටියේ විමල්ලාගේ සන්ධානය ඇතුළේ කිසියම් මත ගැටුමක් මතුව ඇති බවත්, ඇහැලියගොඩ පැවැති යුගදනවි ගිවිසුමට එරෙහි දෙවැනි රැස්වීමට එහි ප්‍රතිඵලයක් ලෙස ගම්මන්පිල ඊට සහභාගි නොවූ බවත්ය. එමෙන්ම යුගදනවි ගිවිසුමට එරෙහිව පැවැති නඩු විභාගයේදී විමල්, වාසු, උදය වෙන වෙනම අධිකරණයට පැමිණි බවත්, ඔවුන් වෙන වෙනම ප්‍රකාශ ලබාදී අධිකරණයෙන් පිටව ගිය බවත් අපි අනාවරණ කර සිටියෙමු. අප කළ මෙම අනාවරණය ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව විමල්ගේ කණ්ඩායම ඊට දැක්වූ ප්‍රතිචාරයෙන්ද මේ වන විට තහවුරු වී තිබේ.
මේ තත්ත්වය යටතේ සියල්ලන්ම බලා සිටින්නේ මේ දිනවල දැඩි නිහඬතාවක ගිලී සිටින විමල් වීරවංශ දෙසය. පසුගිය කාලයේදී නම් විමල්, වාසු, උදයලා මාසයකට වතාවක් සිය කණ්ඩායමේ නියෝජිතයකුගේ නිවෙසේදී රැස්වී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සමාලෝචනයක යෙදුණත් දැන් මාස ගණනාවක සිට එයද පැවැත්වෙන ආකාරයක් දැකගන්නට නැත.

විමල් යළි ජවිපෙ පැත්තට!

කෙසේ වෙතත් විමල් මේ දිනවල තවත් විශාල දේශපාලන පෙරළියකට සූදානමින් සිටින ආකාරයක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මේ තත්ත්වය මතුවෙමින් පැවැතුණේ දයාසිරි ජයසේකර මහතා ජවිපෙ සම්බන්ධයෙන් කළ ප්‍රසිද්ධ ප්‍රකාශයකට පසුවය. එහිදී දයාසිරි කියා සිටියේ ජවිපෙ සමග එකතු වීමට ශ්‍රීලනිපය කැමැත්තෙන් පසුවනවා යැයි කියාය. නමුත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාත්, ප්‍රචාරක ලේකම් විජිත හේරතුත් හැරෙන තැපෑලෙන් ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ජවිපෙ දේශපාලන පක්ෂ සමග සන්ධානගත නොවන බවත්, පුද්ගලයන් සමග දේශපාලනය කිරීමට ඔවුන් කටයුතු කරන බවත්ය.

නමුත් මීට තරමක් වෙනස් මතයක් ප්‍රකාශ කරමින් ලාල්කාන්තත්, ජවිපෙ ඇතුළේ නැඟීගෙන එන තරුණයකු වූ වෛi නලින්ද ජයතිස්සත් කියා තිබුණේ ජවිපෙ ආණ්ඩු බලය ඇල්ලීමට නම් සියලු බලවේග එකතු කරගෙන ගමනක් යා යුතු යැයි කියාය. එහිදී ලාල්කාන්ත දැඩි මතයක සිටිමින් මෙවර ජවිපෙ කිසිදු අත්වැරැද්දක් වීමට ඉඩ නොතැබිය යුතු බවට ප්‍රකාශ කොට ඇති අතර සියලු දෙනා පක්ෂයට යළි එකතු කොට ගෙන දැවැන්ත බලවේගයක් නිර්මාණය කළ යුතු බව පක්ෂයට දැනුම්දී ඇති බව ආරංචිය. නලින්ද ජයතිස්සත් යූටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සියලු දෙනා එක්කර ගතයුතු බව ප්‍රකාශ කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී නලින්ද ජයතිස්ස විශේෂයෙන්ම විමල්ගේ නමද සඳහන් කිරීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය. මේ වන විට විමල් ජවිපෙ ප්‍රධාන සතුරකු බවට පත්ව සිටියත් යම් යම් කොන්දේසි සමග විමල්ද යළි පක්ෂයට එක් කරගත හැකි බව නලින්ද කී කතාවේ ප්‍රධාන හරය වී තිබිණි.

ජවිපෙ ඉහළ පෙළේ නායකයෙක් එක්ක සාකච්ජාවක්!

ඒ අනුව අපට නිල නොවන මට්ටමේ ආරංචිමාර්ගවලින් පැවැසෙන්නේ විමල් හා ජවිපෙ අතර මේ වන විට කිසියම් සාකච්ඡාවක් ආරම්භ වී ඇති බවය. ජවිපෙ ඉහළ පෙළේ නායකයකු මේ සාකච්ඡාවට සහභාගි වී ඇති අතර එක්තරා රහස් තැනක මෙම හමුව සිදුවී ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඉතා රහසිගතව මෙම සාකච්ඡාව පැවැත්වී ඇති බැවින් මේ මොහොතේ එහිදී සාකච්ඡා වී ඇති කරුණු සම්බන්ධයෙන් අපට කිසිදු තොරතුරක් නැතත්, බැලූ බැල්මට එය දෙපාර්ශ්වය අතර කිසියම් එකඟතාවක් ඇතිකර ගැනීමේ සාකච්ඡාවක් වී ඇති බවට නිල නොවන මට්ටමින් තොරතුරු දැනගන්නට තිබේ. මෙය නිල සාකච්ඡාවක්ද, එසේත් නැත්නම් නොනිල සාකච්ඡාවක්ද, එසේත් නැත්නම් අහම්බයකින් සිදුවූවක්ද යන්න මෙතෙක් පැහැදිලි නැතත් ඉදිරියේදී අප ඒ පිළිබඳ සියලු තොරතුරු පාඨකයන් හමුවට ගෙන ඒමට සූදානමින් සිටින බව මෙහිදී පැහැදිලිවම සඳහන් කළ යුතුව ඇත.

බැසිල් යළි එයි!

ඇමෙරිකාව බලා පිටත්ව ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණීමෙන් අනතුරුව ආණ්ඩුව ඇතුළේ විශාල වෙනස්කම් රැසක් සිදුකිරීමට සූදානමින් සිටින බව පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළමු වරට අපි අනාවරණය කර සිටියෙමු. එහිදී අප කියා සිටියේ ආණ්ඩුව ඇතුළේ කැරැලි ගසන විමල් ඇතුළු කණ්ඩායම වහාම ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බවට බැසිල් දැනටමත් ජනාධිපතිවරයා වෙත දැනුම්දීමක් කර තිබෙන බවය. මේ හරහා බැසිල් ජනාධිපතිවරයාට කියා ඇත්තේ ඉදිරියේදී මුහුණ දීමට සිදුව ඇති ආර්ථික අර්බුදය හමුවේ මෙම කණ්ඩායම සමග ගමන් කළහොත් බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත්, එම නිසා තුනෙන් දෙකේ බහුතර බලය අහිමි වුවත් සරල බහුතරයකින් හෝ මෙම පිරිස නොමැතිව ආණ්ඩුව ඉදිරියට රැගෙන යායුතු බවත්ය. අනෙක් පැත්තෙන් බැසිල් මේ වන විට සැලසුම් කර ඇත්තේ කෙසේ හෝ ඉන්දියාව සමග පවතින සම්බන්ධය වැඩිදියුණු කරගෙන ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා විශාල වශයෙන් ඉන්දියාවේ සහයෝගය ලබාගැනීමටය. ඉකුත් ඉන්දීය සංචාරයේදී බැසිල්ගේ ගමන සම්පූර්ණයෙන්ම සාර්ථක නොවුණත් යම් මට්ටමකට එය සාර්ථක කරගැනීමට බැසිල්ට හැකියාව ලැබී තිබිණ. විශේෂයෙන්ම ඉන්දියාව එහිදී ආණ්ඩුව විසින් ඉටු නොකළ පොරොන්දු රැසක් එකින් එක පෙන්වා දීමට පියවර ගෙන තිබුණද සාකච්ඡා අවසානයේදී ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමටත්, ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 400ක ණය මුදලක් ලබාගැනීමටත්, විදෙස් සංචිත සඳහා ඩොලර් මිලියන 500ක ස්වැප් පහසුකමක් ලබාගැනීමටත් බැසිල් සමත් විය.

ආ සැණින් යළි ඉන්දියාවට!

ඒ අනුව සති අන්තයේ ලංකාවට පැමිණීමට නියමිත බැසිල් මේ වන විට තීන්දු කොට ඇත්තේ යළිත් වතාවක් ඉන්දීය සංචාරයක නිරත වීමටය. ඒ, ලබන 10 සහ 11 දෙදින තුළ ගුජරාටයේ පැවැත්වෙන සමුළුවකට සහභාගි වීම සඳහාය. එහිදී බැසිල්ට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමේ අවස්ථාවක් පවතින බවද මෙහිදී ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. කෙසේ වෙතත් මෙම ගමනේදී ඉන්දියාවේ ඉහළ නිලධාරීන් හමුවී ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය සහාය සහතික කරගැනීම බැසිල්ගේ අරමුණ වී තිබේ. ඒ හරහා අලුත් අවුරුද්දේ පළමු මාසය අවසන් වන විට මුල්‍ය අර්බුදයෙන් රට ගලවාගෙන ආණ්ඩුවේ ගැලවුම්කාරයා බවට පත්වීම බැසිල්ගේ සැලසුම වී ඇති බවද ආරංචිය.

ගෝඨාගෙන් සාද රැසක්!

වසර අවසන් වන විට ආණ්ඩුවේ ප්‍රධානීන් කාර්යබහුල වී ඇත්තේ විවිධ කණ්ඩායම් සමග පවත්වනු ලැබූ දිවා භෝජන සංග්‍රහයන් සහ රාත්‍රී භෝජන සංග්‍රහයන් මුල් කරගෙනය. ජනාධිපතිවරයාද පසුගිය සතිය ආරම්භ කළේම පුවත්පත් කතුවරුන් සමග දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වෙමිනි. ඒ, ඉකුත් සඳුදා දිනය. එදින රාත්‍රියේ ජනාධිපතිවරයා තවත් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඒ, මෙරට සිටින ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පහනකට ආරාධනා කරමිනි. ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් තවත් විශාල පිරිසකට ආරාධනා කරමින් දැවැන්ත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඊට ආණ්ඩුකාරවරුන්, දිසාපතිවරුන්, ලේකම්වරුන් පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන්ටද ආරාධනා කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි.

සජිත් සාද කැන්සල් කරයි!

මේ ආකාරයට ජනාධිපතිවරයා විවිධ පාර්ශ්වවලට භෝජන සංග්‍රහයන් පවත්වද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිටියේ රාජපක්ෂවරුන්ගේ බළකොටුව වූ හම්බන්තොට ප්‍රදේශයේ ජනතාව අතරට යමින් ඔවුන් සමග අදහස් හුවමාරු කරගනිමිනි. මෙහිදී ජනතාව දැක්වූ අදහස්වලින් මේ වන විට එදිනෙදා කෑම වේල සොයාගන්නේද ඉතා අපහසුවෙන් බව සජිත්ට වැටහිණි. ඒ අනුව හම්බන්තොට සිටම සිය පෞද්ගලික ලේකම්වරයා වූ රවි ජයවර්ධනට දුරකතන ඇමතුමක් ලබාදීමට සජිත් කටයුතු කළේය. එහිදී සජිත් කියා සිටියේ ජනවාරි පළමුවැනි දින සූදානම් කර ඇති සියලු භෝජන සංග්‍රහයන් සහ උත්සව වහාම නවත්වන ලෙසටය. ජනතාව කන්න නොමැතිව දුක් විඳිද්දී තමන්ට උත්සව , සාද, භෝජන සංග්‍රහ පැවැත්විය නොහැකි බවද සජිත් එහිදී රවිට දැනුම් දීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව රවිද ජනවාරි පළමු වැනි දින විපක්ෂ නායක කාර්යාලයේ සංවිධාන කර තිබූ කාර්යාල සේවක භෝජන සංග්‍රහය සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුව අවලංගු කිරීමට පියවර ගත්තේය.

හූව වටේටම යයි!

මේ දිනවල ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට තැන් තැන්වලදී ජනතාවගේ දැඩි ප්‍රතිචාරවලට මුහුණ දීමට සිදුව තිබීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. පළමුවෙන්ම මේ සඳහා ආරම්භය ලැබී තිබුණේ ගාල්ලෙනි. එහිදී ගාල්ලේ සිටින ප්‍රබලම ආණ්ඩුවේ මැති ඇමැතිරුවන් තුන්දෙනකුට ස්ථාන තුනකදී ජනතාවගේ විරෝධයට මුහුණ දීමට සිදුවිය. පළමු වරට එය රටට අනාවරණ කරමින් ‘මව්රට’ පුවත්පත ඇමැතිවරුන්ට පාරේ බැස යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව සිය මුල් පුවතෙන්ම අනාවරණ කිරීමට පියවර ගත්තේය. අප කළ එම අනාවරණය තහවුරු කරමින් ඊට දින කිහිපයකට පසුව තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකදී ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුට ජනතාවගේ විරෝධයට මුහුණ දීමට සිදුවිය. ඉන් අනතුරුව රාජගිරියේ පිහිටි සුපිරි වෙළෙඳසලකදී ආණ්ඩුවේ තවත් ප්‍රබල අමාත්‍යවරයකුටද කිසියම් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය. පසුව එල්.පී.එල්. තරගාවලියේ ජයග්‍රාහී කුසලානය ලබාදීමට පැමිණි ක්‍රීඩා අමාත්‍ය නාමල්ටද ජනතා ඔල්වරසන් මධ්‍යයේම කිසියම් විරෝධයක් මතුවන ආකාරයක් දැකගන්නට හැකි වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය. මේ නිසාම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බොහෝ දෙනකුට ගමට යෑමේ බියක් මතුවී ඇති ආකාරයක් පසුගිය සතිය වන විට දැකගන්නට ලැබිණි. මේ බව ඔවුන් ආණ්ඩුවේ නායක කාරකාදීන්ටද දැනුම් දීමට පියවර ගෙන තිබිණ.

ජනපතිත් හූව ගැන කතා කරයි!

කෙසේ වෙතත් මේ බව තහවුරු කරමින් ජනාධිපතිවරයාද ඉකුත් සඳුදා දින කර්තෘවරුන් සමග පැවැති රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සිය අදහස පළකිරීමට පියවර ගත්තේය.
‘මම දන්නෑ මම යන හැම තැනකදිම නම් මට ජනතාව හොඳ ප්‍රතිචාර දක්වනවා. ඔවුන් නැඟිටලා ඉස්සර වගේම මට ගරු කරනවා. ආචාර කරනවා. මෙතැන මැති ඇමැතිවරුන්ට තියෙන ප්‍රශ්නෙ තමයි ඔවුන් ගමට යන්නෙ නෑ. ආණ්ඩුවෙ පණිවුඩය හරියට ජනතාවට තේරුම් කරලා දෙන්නෙ නෑ. මිනිස්සු කෑකෝ ගැහුවත් මේ අය දැනගන්න ඕනෙ ජනතාව අතරට ගිහිල්ලා ඔවුන්ට ආණ්ඩුවෙ පණිවුඩය තේරුම් කරලා දෙන්න. එහෙම නැති වුණොත් වෙන්නේ ජනතාව අතරට වැරැදි පණිවුඩ යන එක…’ යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියේය.

ජුබිලි කණුවේ සිද්ධිය ගැන සිරස කියපු කතාව!

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකොට දින කිහිපයක් ගිය පසු නුගේගොඩ ජුබිලිකණුව ප්‍රදේශයේදී ජනාධිපතිවරයාටද මෙවැනි සිදුවීමකට මුහුණ දීමට සිදුවූ බව සිරස රූපවාහිනිය වාර්තා කළේය. එහිදී ඔවුන් කියා සිටියේ ජුබිලිකණුවේ පිහිටි කිරිපිටි අලෙවිසලක කිරිපිටි මිලට ගැනීමට ජනතාව පෝලිමේ සිටි බවත්, ඒ අසලින් ජනාධිපතිවරයා ගමන් කරන අවස්ථාවේදී පෝලිමේ සිටි ජනතාව කෑකොස්සන් ගැසූ බවත්ය. පසුව පොලිසිය පැමිණ මෙම අලෙවිසලේ ප්‍රධානීන් සමග සාකච්ඡා කොට තිබූ බවද සිරස නාලිකාව වාර්තා කළේය.

ජොනී-ප්‍රසන්න බය නැතිලු!

තත්ත්වය මෙසේ තිබියදී අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දුත්, ප්‍රසන්න රණතුංගත් මේ හූතැබීම් පිළිබඳ පසුගිය සතියේ ප්‍රසිද්ධියේම කතා කිරීමට පියවර ගත්හ. ඔවුන් කියා සිටියේ තමන් නිතරම ජනතාව සමග සිටින බවත්, ඒ කිසිදු තැනකදී ජනතාවගෙන් තමන්ට කිසිදු විරෝධයක් එල්ලවී නොමැති බවත්ය.

කපිල පුංචිමාන්නගේ