ගෝඨා අරගත්තු තීන්දු තීරණ සහ කහ ඇහැ!
2020 අවුරුද්ද ආරම්භයේදී කොරෝනා රට ඇතුළේ ව්‍යාප්ත වීමත් සමග ගෝඨා තීන්දු තීරණ කිහිපයක්ම අරගත්තේය. ඒ ගත් එක් තීන්දුවක් වූයේ කහ ලංකාවට ආනයනය කිරීම අත්හිටුවීමය. ගෝඨා ඒ තීන්දුව ගත්තේ රට ඇතුළේ වගා කළ හැකි සියලුම භෝග වගාකොට ඒවා පිටරටින් ගෙන්වීමට යන විදේශ විනිමය රට ඇතුළේ ඉතිරි කර ගැනීමය. ඊළඟට මෙරට ගොවීන්ට හොඳ ආදායමක් ලබාදීමටය. එමෙන්ම නීති විරෝධී මාර්ග ඔස්සේ කහ තොග රටට ඇතුළු වීම වැළැක්වීමටය.
හැබැයි ගෝඨා මෙසේ කහ ගෙන්වීම අත්හිටුවීම තීන්දු කිරීමත් සමග රට ඇතුළේ විශාල කහ හිඟයක් නිර්මාණය විය. කහ කිලෝව රුපියල් 5,000 ඉක්මවා ගියේය. ඇතැම්හු ඉන්දියාවෙන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ කහ ගෙන්වීමට උත්සාහ කළහ. සමාජ මාධ්‍ය ජාලවල විපක්ෂයත්, ආණ්ඩු විරෝධීනුත් එක්ව කහ තහනම් කිරීමට එරෙහිව විශාල රැල්ලක් ආණ්ඩුවට එරෙහිව රැගෙන ගියහ. එකල සමාජ මාධ්‍ය ජාලවල පමණක් නොව ගමේ ගොඩේ හැම තැනම ප්‍රධාන මාතෘකාව බවට පත්වුණේ මේ කහ තහනමය.
‘ඇද්ද දුන්නා ගෝඨට, දැන් කහ කීයද? දැන් කහ තියෙනවද? දැන් ඔක්කොටම කහගන්න තමයි වෙන්නේ. හොද්දට දාන්නවත් කහ ටිකක් නෑ. කහ හොයනවා කියන්නේ කළුනික හොයනවාටත් වඩා අමාරු දෙයක්…’
විපක්ෂයේ අය සමාජ මාධ්‍ය ජාලවල ගෝඨාටත් ආණ්ඩුවටත් ඔච්චම් කරමින් පෝස්ටු පළකර තිබුණේ එහෙමය.
නමුත් කොච්චර ආණ්ඩුවට ගැහුවත් ගෝඨා කහ ගෙන්වීම තහනම් කිරීමේ තීන්දුව ආපස්සට ගත්තේ නැත. ගෝඨා කීවේ එම තීන්දුව සමග කෙටි කලක් අසීරු වුවත් ඉන් පසු කහ වගාවෙන් රට ස්වයංපෝෂිත කළ හැකි යැයි කියාය. විදේශ විනිමය ඉතිරි කරගත හැකි යැයි කියාය. ගොවීන්ගේ අතට හොඳ මුදලක් ලබාගත හැකි යැයි කියාය.
ගෝඨා මේ කහ තහනම පනවා දැන් වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇත. දැන් කවුරුත් කහ ගැන කතා කරන්නේ නැත. මොකද ඒ තීන්දුවත් සමග ගොවීන් කහ වගාකිරීම ආරම්භ කොට වසරක් ඇතුළත රටට අවශ්‍ය කහ ප්‍රමාණය නිෂ්පාදනය කර දීමට පියවර ගත්තේය. එදා 5,000ට 6,000ට ගිය කහ කිලෝව අද වන විට සාමාන්‍ය ජනතාවට මිලදී ගත හැකි මට්ටමට පත්ව තිබේ. ගෝඨා ගත් මේ කහ තීන්දුවෙන්ම ගෝඨාගේ දැක්ම හෙවත් විෂන් එක පිළිබඳ ඕනෑම කෙනකුට තේරුම් ගැනීමට පුළුවන. හැබැයි ඒ විෂන් එක තේරුම් නොගත් විපක්ෂයත්, සමාජ මාධ්‍ය ජාලාකාරයොත් ගෝඨාටත්, ආණ්ඩුවටත් සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන පළු යවන්න කටයුතු කළහ. අද ඒ සියලු දෙනාම සිටින්නේ ගලේ පැහැරූ බළලුන් ගානට වැටිලා මොනවත් කියාගන්න බැරුවය.
හැබැයි කරුමෙ කියන්නේ ආණ්ඩුවේ මාධ්‍යයටත්, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටත් මේ ඇත්ත රටේ ජනතාවට තේරුම් කර දීමට නොහැකි වීමය.
කහ වගේම ගෝඨා ගත් අනෙක් තීන්දුව වූයේ රසායනික පොහොර තහනම් කොට කාබනික වගාව රට තුළ ප්‍රචලිත කොට ගොවීන්ට හොඳ මිලක් ලබාදීමය. වස විස කෑමෙන් ජනතාව මුදාගැනීමටය. ඒ හරහා දැවැන්ත කෘෂි විප්ලවයක් රට ඇතුළේ ඇතිකිරීමය.
හැබැයි ලංකාවේ විපක්ෂයත්, කෘෂි බක පණ්ඩිතයොත් ගෝඨාගේ කෘෂි විප්ලවයට උදව් කළේ නැත. ඔවුන් කළේ ඒ කෘෂි විප්ලවයට එරෙහිව කැරැල්ලක් ගැසීමය. ඒකෙන් වුණේ ගෝඨාගේ දැක්ම යටගොස්, විපක්ෂයේ කෙටිකාලීන සටන් පාඨ උඩට ඇවිත් රට ඇතුළේ ලොකු අර්බුදයක් මතුවීමය.
ගෝඨාගේ දර්ශනය හෙවත් දැක්ම සහ එම දර්ශනය ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහය පිළිබඳ යුද්ධ කාලයේ ඉතා හොඳ පූර්වාදර්ශයක් තිබේ. ඒ, යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා පියවරෙන් පියවර ඉදිරියට යෑමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම හරහාය.
ගෝඨා යුද්ධය පටන් අරන් මුලින්ම නැගෙනහිර ඇල්ලුවාම විපක්ෂය කීවේ නැගෙනහිර අල්ලා වැඩක් නැතැයි කියාය.
තොප්පිගල ඇල්ලුවාම කීවේ තොප්පිගල කැලෑවක් යැයි කියාය.
අලිමංකඩ, කිලිනොච්චිය අල්ලන්න කීවේ ආණ්ඩුව අලිමංකඩ පෙන්වා පාමංකඩ යන බවත්, කිලිනොච්චිය පෙන්වා මැදවච්චි යන බවත්ය.
ඒ වෙලාවේ යුද විශ්ලේෂකයන් පමණක් නොව හමුදාවේ හිටපු ලොක්කන් පවා පත්තරවල පිටු ගණන් ලියමින් කීවේ මේ යුද්ධය දිනන්න බෑ කියාය. මෙහෙම යුද්ධ කරන්න ගිහින් විශාල පිරිසක් මියයනවා යැයි කියාය. ආර්ථිකය කම්බස්වෙලා යනවා යැයි කියාය. සල්ලිත් විනාශ වෙනවා යැයි කියාය.
හැබැයි නැගෙනහිරින් පටන්ගත් යුද්ධය ගෝඨා අවුරුදු හතරක් ඇතුළත නන්දිකඩාල් කළපුවෙන් නිමාකොට මේ රටට සාමය ගෙන ඒමට කටයුතු කළේය. දිනන්න බැහැ කී යුද්ධය දිනල පෙන්නුවේය. විපක්ෂය යළිත් වතාවක් ගලේ පැහැරූ බළලුන් ගානට ගෝඨා වැට්ටුවේ ඒ ආකාරයටය. කහ වැඩේදිත් වුණේ ඒකමය.
ඒ නිසා විපක්ෂයත්, සමාජ මාධ්‍ය ඔස්තාර්ලාත්, බකපණ්ඩිතයොත් මේ වෙලාවේ කට වහගෙන ගෝඨාට අවශ්‍ය විදියට රට ඉදිරියට ගෙන යෑමට උදව් කරනවා නම් ගෝඨා මේ රට වෙනස් කරනවා නියතය. නමුත් ප්රශ්නය තියෙන්නේ ගෝඨා යුද්ධයක් ජයග්‍රහණය කරන්න පුළුවන් විදියට හමුදාවක් වෙනස් කළත් මේ රටේ ඉන්න මිනිසුන්ගේ ඔළු රටක් ජයග්‍රහණය කරන තැනට වෙනස් කරගන්න බැරි එකය.
විමලසිරි ජයලත්