පළිගන්නවා – ඉරානය පවසයි
ජෙනරාල් කසීම් සුලේයිමානි ඝාතනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු විභාගයකට මුහුණ දියයුතු බව ඉරානය පවසයි.
එරට ජනාධිපති, ඒබ්රහිම් රයිසි පැවසුවේ නැතහොත් එම ඝාතනය සම්බන්ධයෙන් ඉරානය පළිගන්නා බවය.
ඉරානයේ “විප්ලවවාදී ආරක්ෂකයින්” (Revolutionary Guards) නම් ප්‍රබල හමුදා කණ්ඩායමේ විදෙස් කටයුතු සම්බන්ධ බල ඇණිය වූ “Quds Force” ප්‍රධානියා වූ ජෙනරාල් කසීම් සුලේයිමානි ව ඉරාකයේදී අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විණි.
2020 ජනවාරි 3 වනදා සිදුකළ එම ප්‍රහාරය එවකට අමෙරිකානු ජනාධිපති ලෙස කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නියෝගයක් මත සිදුකර ඇති බව සඳහන් විය.
ඔහුව අනුස්මරණය සඳහා පැවති උත්සවයේදී ඉරාන ජනාධිපති පැවසුවේ, “සාධාරණ අධිකරණයකදී ට්‍රම්ප් සහ පොම්පිඕ ගැන නඩු විභාගයක් සිදු නොකළහොත් දිවිපුදලා හෝ මුස්ලිම්වරු පළිගන්නවා,” යනුවෙනි.
මේ අතර ඉරාන හමුදා නිලධාරියාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 127 දෙනෙක් හඳුනාගෙන ඇති බවත් ඉන් 74 දෙනෙක් අමෙරිකානුවන් බවත් එරට බලධාරීන් පැවසීය.
ඒ සමබන්ධයෙන් ඉරාන අධිකරණ බලධාරීන් රටවල් 9යක බලධාරීන් ව දැනුවත් කර තිබේ.