ජනතාවට දුන් සහන පැකේජය ගැන විරුද්ධ පක්ෂය වැරැදි අර්ථකථන කරනවා – අගමැති

ජනතාවට සහන පැකේජයක් දීමට ආණ්ඩුව කටයුතු කළ විට විරුද්ධ පක්ෂය එය වැරැදි ආකාරයෙන් අර්ථකථනය කරමින් සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

කුරුණෑගල, මාවතගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව මාවතගම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවති උත්සව සභාව අමතමින් අගමැතිවරයා පෙරේදා (6) මේ බව කීවේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජනතාවට සහන දීමට පියවර ගත්තේ ඡන්දයක් බලාපොරොත්තුවෙන් නොවන බව පැවසූ රාජපක්ෂ මහතා, මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තිබෙන සියලු පීඩා එකින් එක දුරු කිරීමට ආණ්ඩුව ලෙස සූදානම් බවත් කීවේය.

ජනතාවට සහනයක් දුන්නම සමහරු ඡන්දයක් ළඟ එනවා ද අහනවා. අපි මේ ව්‍යාපෘති කරන්නෙ ඡන්දයක් බලාගෙන නෙමෙයි. පානීය ජලය දෙනකොට මේ ඉන්න ජනතාවගේ පක්ෂය මොකද්ද කියලා කවුරුහරි ඇහුව ද? සමහරු අද මේ සියලු දේ පටලවා ගන්නවා. ජනතාවට අමාරුයි කියලා සහන පැකේජයක් දුන්නමත් අහන්නෙ ඔය දේමයි. අපි ජනතාවගේ අමාරුකම් තේරුම් ගත්ත ආණ්ඩුවක්. භාණ්ඩ මිල ඉහළ යනකොට ජනතාවට අමාරුයි. ඒ නිසා තමයි අපි සහන දෙන්න යෝජනා කරන්නෙ. හැබැයි අද විරුද්ධ පක්ෂය ජනතාවට සහන දෙනවට කැමති නැහැ. ඒ අය ඒකටත් මොනවා හරි කියනවා. අපි දුන්නත් කැමති නෑ. එයාලා දෙන්නෙත් නෑ. ජනතාව දැන ගන්න ඕන ඇත්ත ඕක යැයි ද අගමැතිවරයා කියා සිටියේය.