පාස්කු ඉරිදා ප්‍රහාර නඩුවෙන් මාව නිදහස් කරන්න!

– මෛත්‍රීපාල සිරිසේන අධිකරණයෙන් ඉල්ලයි

අධිකරණය ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් පවරා ඇති නඩුවෙන් තමන් නිදහස් කරන්නැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ඊයේ (7) ප්‍රතික්ෂේප කළේය. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතිඥවරුන් මඟින් නොවැම්බර් 29 දා විශේෂ මෝසමක් ගොනු කරමින් මේ ඉල්ලීම කළේය. පැමිණිලිවල පළමු වගඋත්තරකරු ලෙස නම් කර සිටින තමන් මුදා හරින්නයි හිටපු ජනාධිපතිවරයා එම මෝසම මඟින් ඉල්ලා තිබිණි.

කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා සිල්වා මහත්මිය හිටපු ජනපතිවරයාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පිටු 5කින් සමන්විත මේ නියෝගය නිකුත් කළාය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හා නීතිපතිවරයා විත්තිකරුවන් කරමින් පැවරූ නඩු 101 සඳහා හිටපු ජනපතිවරයා මේ ඉල්ලීම කළේය.

මේ ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා මතු කළ ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා අධිකරණය කරුණු දක්වමින් මෙසේ සඳහන් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ අවින්ද සිල්වා නීතිඥ චමත් ප්‍රනාන්දු පෙනී සිටියේය.විත්තිකාර හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිස සිය ප්‍රති පුරුෂ වගකීම පැහැර හැරීම හා රාජකාරිය පැහැර හැරීම නිසා පැමිණිලිකරුවන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් බවට පත් වෙලා. ඊට වන්දි අය කර දෙන ලෙසත් ඉල්ලා මේ නඩු පවරා තිබෙනවා.

එක් එක් පැමිණිලිකරුගේ ස්භාවය අනුව රුපියල් ලක්ෂ සියයේ සිට ඉන් ඉහළට වන්දි අය කර දෙන ලෙසට ඉල්ලමින් මේ නඩු පවරා තිබිණි.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ‍ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටයේ මේ නඩු සියල්ල සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව නඩු නිමිත්තක් නැතිව පවරා ඇති බවය. නඩුව පවරන ලද අවස්ථාවේ සිරිසේන මහතා ජනාධිපතිවරයා නොවන බවත්, ප්‍රහාරය සම්බන්ධයෙන් දැන සිටියාය යන උපකල්පනය මත නඩු පැවරීම කළ නොහැකි බවත් සඳහන් කළේය. එසේ නඩු පවරන්නේ නම් මීට පෙර ත්‍රස්ත ප්‍රහාර රට තුළ සිදුව ඇති බැවින් පෙර සිටි ජනපතිවරුන්ටත් නඩු පැවරිය යුතු බව සඳහන් කළේය. පළමු වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් මේ ඉල්ලීම් කළ අතර, සෙසු විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරියේදී කරුණු දක්වන බව නොවැම්බර් 29 දා නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වූවන් වෙනුවෙන් නීතිඥ සඳුන් නාගහවත්ත මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා අධිකරණයේ කරුණු දක්වමින් හිටපු ජනපතිවරයා වෙනුවෙන් කරනු ලැබූ ඉල්ලීම සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව වැරැදි සහගත බව ද සඳහන් කළේය.