18 ශ්‍රීලනිපය ආණ්ඩුවන් යයිද? : ජනපති දෙමළ සන්ධානයට යළි අතවනයි!

18 ශ්‍රීලනිපය ආණ්ඩුවන් යයිද?

ජනපති දෙමළ සන්ධානයට යළි අතවනයි!

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

තෙෂාර හමුවන්න ජනපති කවදාවත් නැතිව ආටිගල එක්කගෙන ගියේ ඇයි?

ඔසද ගියේ ස්වරණවාහිනී බලපෑමකින්ද?

මේ දිනවල ලංකාවේ දේශපාලනය එළිපිට සිදුවීම් වෙනවාට වඩා තිරය පිටුපස සිදුවන සිදුවීම් වැඩිවෙමින් ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ, විවිධ කරුණු මුල් කරගෙන ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතරද විවිධ සාකච්ඡා, රහස් කතා, සතරකන් මන්ත්‍රණ ආදිය පැවැත්වෙමින් තිබෙන නිසාය. ආණ්ඩුව ඇතුළේ නම් මේ දිනවල සිදුවන රහස් කතා බොහෝය. විශේෂයෙන් රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු තැන් තැන්වල සිදුකරන මේ රහස් සාකච්ඡා වැඩිවී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එමෙන්ම ආණ්ඩුව ඇතුළේ සිටින හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු සුළු පක්ෂද මේ වන විට විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා ආරම්භ කොට ඇත්තේ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න තේරුම් බේරුම් කරගැනීමටය.

18 ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් යයිද?

මෙහිදී ශ්‍රීලනිපය නම් යම් නොනිල තීන්දුවක් ගෙන ඇති ආකාරයක් එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, තවදුරටත් ආණ්ඩුවේ නොසිට හැකි ඉක්මනින් ආණ්ඩුවෙන් ඉවත් වීමටය. පසුගිය සති කිහිපය පුරාම පක්ෂයේ අභ්‍යන්තරයේ පැවැති සාකච්ඡාවලදී මේ බව දැඩිව සාකච්ඡා කෙරී ඇති අතර එහිදී බහුතරයක් දෙනා ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට අදහස් දක්වා ඇති බවක් දැනගන්නට ඇත. නමුත් අමාත්‍ය ධුර දරන ඉතාමත්ම සුළු ප්‍රමාණයක් පමණක් තවදුරටත් ආණ්ඩුව සමග ඉදිරියට යා යුතු බව අදහස් කර තිබුණද පක්ෂ සභාපතිවරයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු තීරණාත්මක චරිත රැසක්ම ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන තීරණයේ පිහිටා අදහස් දක්වා තිබීම විශේෂිතය. ඒ බව මේ දිනවල පැවැත්වෙන ශ්‍රීලනිපයේ දිස්ත්‍රික් සමුළුවලදී පැහැදිලිවම දැකගන්නට ඇති අතර මෛත්‍රි ඇතුළු කථිකයන් රැසක්ම එහිදී ආණ්ඩුව පමණක් නොව රාජපක්ෂවරුන්ද දැඩිව විවේචනය කරන ආකාරයක් දැකගන්නට පුලුවන.

ඒ අනුව දැනට වාර්තා වන නොනිල ආරංචිමාර්ගවලින් කියැවෙන්නේ පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන ලබන 18 වැනිදා ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි කියාය. එදින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය නිල වශයෙන් විවෘත කර රාජාසන කතාව පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රීලනිපය අණ්ඩු පක්ෂයෙන් ඉවත් වනු ඇති බව මෙම නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

තුනෙන් දෙක අහිමි වීමේ අවදානමක්!

ඒ අනුව ලබන 18 වැනිදා ආණ්ඩුවට ඉතා තීරණාත්මක දිනයක් වී තිබේ. මන්ද යත් එක් අතකින් ලබන 18 වැනි දිනට ආණ්ඩුව මෙම වසරේ ගෙවනු ලබන පළමු ණය වාරිකය ගෙවීමට නියමිතව ඇත. මේ වන විටත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්, මූඩීස්, ෆිච් වැනි ආයතන සිය ශ්‍රේණිග තකිරීම්වලදී ලංකාව පහතට ඇද දමා තිබීම නිසා ජාත්‍යන්තර ණය දෙන ආයතනවලින් සහ රටවලින් ණය ලබාගැනීමේ අර්බුදයකට ආණ්ඩුව මුහුණ පා තිබේ. ඒ හේතුව මත ණය ගෙවීම සඳහාත්, දිගින් දිගටම පහත වැටෙමින් පවතින විදෙස් සංචිත ඉහළ නංවා ගැනීම සඳහාත් ආණ්ඩුව මේ දිනවල ඉන්දියාව සහ චීනය සමග සාකච්ඡා කරමින් ණය මුදල් ලබාගැනීමට කටයුතු කරමින් සිටින ආකාරයක් දැකගන්නට තිබේ. දැනටමත් ඉන්දියාව ඒ සඳහා ඩොලර් මිලියන 900ක් ලබාදීමට කටයුතු කර ඇති අතර චීනයෙන්ද සැලකිය යුතු මුදලක් ලැබීමට නියමිත බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව ණය ගෙවාගත නොහැකිව රට බංකොලොත් වීමේ අවදානම මේ වන විට පහව ගොස් ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.

අනෙක් අතට 18 වැනිදා ආණ්ඩුවට තීරණාත්මක වන්නේ එදිනට ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය අහිමි වීමේ පසුබිමක් ආණ්ඩුව ඇතුළෙන්ම මතුවෙමින් පැවතීම නිසාය. දැනටමත් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමේ දැඩි තීන්දුවක සිටින තවත් කිහිප දෙනකුම එදිනට ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගනු ඇති බවත් නිල නොවන ආරංචි මාර්ගවලින් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

රාජාසන කතාවේදී විපක්ෂයට ජයක්!

මේ අතර 18 වැනි දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිදුකිරීමට නියමිත රාජාසන කතාව සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා සිටීමට සමගි ජන බලවේගය පසුගිය සතියේ පියවර ගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය අඟහරුවාදා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක හමුවක් පැවැත්විණි. මේ වසරේ පැවැති පළමු පක්ෂ නායක රැස්වීම මෙය වූ අතර එහිදීද උණුසුම් තත්ත්වයක් දැකගන්නට ලැබුණේ ආණ්ඩුව විවාදය සඳහා දෙදිනක් පමණක් ලබාදිය හැකි බවට තර්ක කිරීම නිසාය. විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට දින 3ක් ඉල්ලා සිටි නමුත් ආණ්ඩුව පැත්තෙන් සහභාගි වී සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු, දිනේෂ් ගුණවර්ධන පෙන්වා දුන්නේ දින 3ක් ඒ සඳහා ලබාදිය නොහැකි බවත්, එක් දිනක් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනුවෙන් ශෝකය පළකිරීමට වෙන්කොට ඇති බවත්ය. එහිදී කිරිඇල්ල යළිත් වතාවක් ආණ්ඩුවට පෙන්වා දුන්නේ මංගල වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදිය හැකි බවකි. නමුත් ඊට ආණ්ඩුවෙන් ලැබුණු පිළිතුර වූයේ දැනටමත් මංගලගේ පවුලේ ඥාතීන්ට ඒ බව දැනුම්දී තිබීම හේතුකොට ගෙන එම දිනය වෙනස් කළ නොහැකි යැයි කියාය. ඒ අනුව අවසානයේදී 19,20 යන දෙදින ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් විවාද කිරීමටත්, 21 වැනි දින මංගල වෙනුවෙන් වෙන් කිරීමටත් තීරණය කෙරිණි.

නමුත් කිරිඇල්ල මීට එකඟ වූයේ නැත. කිරිඇල්ල කියා සිටියේ එසේ නම් ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට විරෝධය පළ කරන බවකි. ඒ අනුව කතානායකවරයා ආණ්ඩුවේ නියෝජිතයන් සමග වෙනම සාකච්ජා කොට විපක්ෂයට දින තුනේම විවාදය සඳහා අවස්ථාව ලබා දීමට පියවර ගත්තේය. එය එක්තරා ආකාරයකට විපක්ෂය ලැබූ ජයක් විය.

සජිත් නැති තැනට රනිල් ඇවිත්

කෙසේ වෙතත් වසරේ පළමු වරට පැවැති පක්ෂ නායක රැස්වීමේදී තවත් විශේෂ සිදුවීමක්ද දැකගන්නට ලැබිණි. ඒ, පළමු වතාවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද මෙම පක්ෂ නායක රැස්වීමට එක්ව සිටීමය. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ මාස කිහිපයක් ගතව තිබුණද ඒ එකදු වතාවකවත් රනිල් පක්ෂ නායක රැස්වීමට සහභාගි වීමට කටයුතු කර තිබුණේ නැත. නමුත් මෙවර රනිල් සහභාගි වී සිටියද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට සහභාගි වීමට පියවර ගෙන තිබුණේ නැත. ඒ, ඉකුත් සතිය පුරාම සජිත් උතුර-නැගෙනහිර සංචාරයක නිරත වීම හේතුකොට ගෙනය.

ජනපතිට හිසරදයක් වෙලා!

පසුගිය කාලය පුරාම ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට විවිධ චෝදනා එල්ල වීම හේතුවෙන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් මීට සති කිහිපයකට පෙර සැලසුම් කර තිබුණේ අලුත් අවුරුද්දේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකොට අලුත් මුහුණුවරකින් නව වසර ආරම්භ කිරීමටය. ඒ අනුව ඊට අදාළ සාකච්ඡා ආණ්ඩුව ඇතුළේ යද්දී ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදුවූයේ තරමක කරදරකාරී අත්දැකීමකටය. ඒ, ආණ්ඩුවේ සිටින කැබිනට් ඇමැතිවරුන්ගෙන් පමණක් නොව රාජ්‍ය අමාත්‍යවරුන්ගෙනුත්, ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙනුත් දිගින් දිගටම විවිධ ඉල්ලීම් ගලා ඒම නිසාය. එහිදී ඇතැම් කැබිනට් ඇමැතිවරුන් තමන්ට වෙනත් කැබිනට් අමාත්‍ය ධුර ලබා දෙන ලෙසටත්, රාජ්‍ය අමාත්‍යවරුන් තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදෙන ලෙසටත්, මන්ත්‍රීවරුන් තමන්ට කුමන හෝ අමාත්‍ය ධුරයක් ලබාදෙන ලෙසටත් දිගින් දිගටම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට කටයුතු කිරීම හේතුවෙන් කැබිනට් සංශෝධනය ජනාධිපතිවරයාට හිසරදයක් බවට පත්ව තිබිණි. ඇතැම් මැති ඇමැතිවරුන් ඍජුවමත්, ඇතැම් මැති ඇමැතිවරුන් තුන්වැනි පාර්ශ්වයන් හරහාත් මෙම ඉල්ලීම් කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා පසුගිය සතියේ සිටියේ තරමක් කෝපයට පත්වය.

ජනාධිපතිවරයාගේ මේ කෝපය පසුගිය සතියේ එළියට පැන්නේ සියඹලාණ්ඩුවේ කළ සංචාරය අතරතුරදීය. එහිදී ජනාධිපතිවරයා ජනතාව අමතමින් ප්‍රසිද්ධියේම කියා සිටියේ මැති ඇමැතිවරුන් කැබිනට් ඇමැති ධුර සම්බන්ධයෙන් තමන්ගෙන් විවිධ ඉල්ලීම් කරන නමුත් කැබිනට් අමාත්‍ය ධුර එසේ ලබාදිය නොහැකි බවය. තමන් කිසිම ලෙසකින්වත් කැබිනට් අමාත්‍ය ධුර 30 ඉක්මවා ලබා නොදෙන බවට සහතිකයක්ද ජනාධිපතිවරයා මෙහිදී ලබා දුන්නේය.

කුට්ටම ඇනිල්ල නවතී!

මේ ආකාරයට ජනාධිපතිවරයාට පමණක් නොව අගමැතිවරයාටද, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටද කැබිනට් සංශෝධන කතාවෙන් පසු කිසිදු ඉස්පාසුවක් නොවීය. ඊට හේතු වී තිබුණේද විවිධ මැති ඇමැතිවරුන් ඇමැති තනතුරු ඉල්ලමින් අගමැතිවරයාත්, මුදල් ඇමැතිවරයාත් පස්සේ වැටී සිටීම නිසාය. මෙය කරදරයක් වන තැනටම ඔඩුදිවීම නිසා අවසානයේදී ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, මුදල් ඇමැතිවරයාත් තීන්දු කළේ පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු නොකොට ඇමැතිවරුන්ගේ ආයතන පමණක් වෙනස් කොට සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සිදුකිරීමටය.

පීබී හිතවතකුට යැවූ ආන්දෝලනාත්මක වට්ස්ඇප් පණිවුඩය!

පසුගිය දින කිහිපයේ ආණ්ඩුවේ ඊළඟ ප්‍රධාන මාතෘකාව බවට පත්ව සිටියේ ජනාධිපති ලේකම්. පී.බී. ජයසුන්දර මහතාය. ආණ්ඩුව පැත්තෙන් එන ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ ලබන 19 වැනිදා නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනරත් මහතා වැඩ භාරගැනීමට සූදානමින් සිටින බවකි. නමුත් ඇත්ත ගැටලුව ඇත්තේ එහි නොව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ සිටම දශක දෙකකට වැඩි කාලයක් රටේ ආර්ථිකය මෙහෙයවමින් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඇත්ත තත්ත්වය හොඳින්ම දැන සිටින පී.බී. රට මෙවැනි අසීරු අවස්ථාවකට වැටී සිටියදී තනතුරින් ඉවත් වීමට තීන්දු කර තිබීමය. ඒ සම්බන්ධයෙන් විමසමින් පසුගිය සතියේ විදෙස් රටක සිටින පී.බී.ගේ එක්තරා මිත්‍රයකු පී.බී,ට වට්ස්ඇප් පණිවුඩයක් එවීමට පියවර ගෙන තිබිණි. එම පණිවුඩය මගින් එම විදෙස්ගත මිතුරා පී.බී.ගෙන් විමසා තිබුණේ, ‘දැන් ඔබතුමාත් අයින් වෙනවා. මට හරිම කනගාටුයි. මොකක්ද රටට වෙන්න යන්නේ…?’ යනුවෙනි. ඊට පී.බී. ලබාදී තිබුණේ වචන 6ක ඉතා කෙටි උත්තරයකි. වචන 6ක් පමණක් වුවත් එහි ගැබ්ව තිබුනේ ඉතා බරපතළ ආර්ථයකි. ‘Only god can save our country’ යනුවෙන් එහි සඳහන්ව තිබූ අතර එහි සිංහල තේරුම වනුයේ, ‘අපේ රට බේරගන්න පුළුවන් දෙවියන්ට පමණයි…’ යන්නය. ඒ අනුව පී.බී.ගේ මේ උත්තරයෙන් පැහැදිලි වන්නේ මෙම ආර්ථික අර්බුදයෙන් රට බේරාගැනීම පහසු නොවන බව පී.බී.ටද වැටහී බවය.

පීබී රහස් හෙළිකරන්න සූදානමින්!

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් ධුරයෙන් සමුගන්නා පී.බී. මේ දිනවල තවත් වැඩකටද අත ගසා තිබේ. ඒ, සාමාන්‍යයෙන් ලංකාවේ සිදුවන දෙයකට වඩා සමහර රටවල සිදුවන සම්ප්‍රදායක් අනුගමනය කරමින් තමන්ගේ රාජකාරි කාලය අලලා පොතක් රචනා කිරීමට තීන්දු කොට තිබීමය. මේ වන විටත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ‘විජය’ නමින් එක් පොතකුත්, ‘චන්ද්‍රිකා’ නමින් තවත් පොතකුත් රචනා කරමින් අතීත දේශපාලනයේ රහස් ගොන්නක් හෙළිදරව් කිරීමට කටයුතු කර ඇති නිසා යම් හෙයකින් චන්ද්‍රිකාගේ සමයේ සිටම රටේ ආර්ථිකය හැසිරවූ පී.බී. පොතක් ලියන්නේ නම් එය මහත් ආන්දෝලනාත්මක තොරතුරුවලින් ගහන එකක් වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

ලිට්‍රෝ සභාපති යළි බලය ඇල්ලූ හැටි

පසුගිය සතියේ තවත් අපූරු සිදුවීමක් දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවිය. ඒ, මේ දිනවල මහත් ආන්දෝලනයට තුඩුදී සිටින ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ පැය 2කට පමණ එම ධුරයෙන් ඉවත් කොට තැබීමය. පසුගිය සති කිහිපය පුරාම එක දිගට ගෑස් පිපිරීම් වාර්තා වීම හේතුවෙන් ලිට්‍රෝ සභාපති තෙෂාර එම ධුරයෙන් ඉවත් කරනු ඇති බවටත්, නව සභාපතිවරයකු පත්කරනු ඇති බවටත් පුවත් වාර්තා වුණු අතර පසුගිය බ්‍රහස්පතින්දා උදේ ලැබුණු ආරංචියකින් කියැවුණේ තෙෂාරව සභාපති තනතුරින් ඉවත් කොට පොහොට්ටු පක්ෂයේ පාලක ලේකම්වරයා වූ රේණුක පෙරේරා එම තනතුරට පත්කර ඇති බවකි. රේණුක යනු තෙෂාරට පෙර ලිට්‍රෝ සභාපති ධුරය දැරූ අනිල් කොස්වත්ත මෙන්ම බැසිල්ට ඉතා හිතවත් අයෙකි. මේ නිසාම රේණුක පසුගිය කාලයේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළද පසුව ඔහුට එම තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. ජනාධිපතිවරයා තමන්ට හිතවත් දුමින්ද සිල්වා එම තනතුරට පත් කළේ ඉන් පසුවය.

ආටිගල ලියුම ගහයි!

කෙසේ වෙතත් ලිට්‍රෝ සභාපතිවරයාගේ ප්‍රශ්නය මතුවීමත් සමග බැසිල් යටතේ පවතින මුදල් අමාත්‍යාංශය මගින් තෙෂාරව ලිට්‍රෝ සභාපති ධුරයෙන් ඉවත් කරන ලිපිය බදාදා රාත්‍රියේ නිකුත් කළ අතර එම තනතුරට රේණුක පෙරේරා පත්කරන ලිපියද නිකුත් කෙරිණි. ඒ, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ අස්සනින් යුතුවය. ඒ අනුව බ්‍රහස්පතින්දා පුවත්පත්ද ප්‍රශ්නාර්ථයක් යොදමින් එම පුවත වාර්තා කර තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.

ජනපති කවදාවත් නැතිව ආටිගලවත් එක්කගෙන යයි!

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මත දෙකක් ආණ්ඩුව ඇතුළේ කතාබහට ලක්වන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. ඉන් එක් මතයක් වූයේ ජනාධිපතිවරයා දැනුවත් කිරීමකින් තොරව මුදල් ඇමැතිගේ ලේකම්වරයා විසින් මෙම ලිපිය නිකුත් කොට තිබූ බවය. අනෙක් මතය වූයේ ජනාධිපතිවරයාට රාත්‍රියේ කළ දැනුම්දීමකින් පසුව මෙම ලිපිය නිකුත් කොට තිබූ බවකි. මෙම දෙකෙන් කුමක් හරිද යන්න තවම පැහැදිලි නැතත් පුවත පළවුණු බ්‍රහස්පතින්දා දිනයේ ජනාධිපතිවරයා හදිසියේම කෙරවලපිටිය ලිට්‍රෝ සමාගමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යෑමට පියවර ගත්තේය. එහිදී වෙනදා සිය ගමන් බිමන්වලට එක්කර නොගන්නා විශේෂ පුද්ගලයකුද ඊට එක්කර ගැනීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. ඒ, වෙන කවුරුවත් නොව ලිට්‍රෝ සභාපති එම ධුරයෙන් ඉවත් කරමින් ලිපිය නිකුත් කර තිබූ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගලය. ඒ අනුව ලිට්‍රෝ සමාගම නිරීක්ෂණ චාරිකාවට ජනාධිපතිවරයා සමග තනතුරින් ඉවත් කරනු ලැබුවේ යැයි කී තෙෂාරද, ඒ සඳහා ලිපිය නිකුත් කළ ආටිගලද එකවර එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය.

එස්.එම්.එස්. එකෙන් වැඩේ පත්තු වෙයි!

කෙසේ වෙතත් තෙෂාර තනතුරින් ඉවත් කර ඇති බවට වූ කෙටි පණිවුඩය ජංගම දුරකතනවලට ලැබුණේ මෙසේ ජනාධිපතිවරයා ලිට්‍රෝ සමාගමේ නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියදීය. ඒ පිළිබඳ කෙටි පණිවුඩය ලැබීමත් සමග තෙෂාර ජනාධිපතිවරයාට කියා සිටියේ, ‘සර්, මාව තනතුරින් ඉවත් කරලා…’ යැයි කියාය. තෙෂාරගේ එම ප්‍රකාශයත් සමග ආටිගල දෙසට හැරුණු ජනාධිපතිවරයා, ‘ලේකම්තුමා එහෙම ලියුමක් යැව්වද….?’ යනුවෙන් විමසා සිටියත් පළමු අවස්ථාවේ ආටිගල නිශ්ශබ්දව සිටිනු දැකගන්නට ලැබිණි. ඒ අනුව නැවත වතාවක් ජනාධිපතිවරයා ආටිගලගෙන් විමසද්දී ආටිගල කීවේ පෙර දින රාත්‍රියේ එවැනි ලිපියක් තමන් යොමුකළ බවකි. නමුත් ඊට පිළිතුරක් නොදුන් ජනාධිපතිවරයා නැවත තෙෂාර දෙසට හැරී, ‘ඔයා දිගටම චෙයාමන් කමේ ඉන්න ඕනෙ…’ යැයි කියමින් නැවත වතාවක් තෙෂාරව එම තනතුරේ පිහිටුවීමට පියවර ගත්තේය. මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමේ ලිපිය නිකුත් කර තිබියදීත් තෙෂාර යළි පැය 2කට පසු ජනපති නියමයෙන් ලිට්‍රෝ සභාපතිවරයා වශයෙන් එම පුටුවේ වාඩි වූයේ ඒ ආකාරයටය.

අලිරාජා යළි කරළියට!

අලිරාජා සුභාෂ්කරන් යනු යාපනයේ ඉපදී මේ වන විට එංගලන්තය හා ප්‍රංශය කේන්ද්‍ර කොට ක්‍රියාත්මක වන ‘ලයිකා මොබයිල්’ නමැති ලෝ ප්‍රකට සන්නිවේදන ආයතනය හිමි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාර රැසක හිමිකරුවකු වන අලිරාජා මේ වන විට තමිල්නාඩු සිනමාවේ සැලකිය යුතු කොටසක්ද අත්පත් කරගෙන සිටින්නකු ලෙස ප්‍රකටය. කෙසේ වෙතත් කාලයක් පුරා විදෙස්ගතව සිටිමින් ව්‍යාපාරවල ආයෝජනය කළ අලිරාජා ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී එවකට හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංල සමරවීර මහතා සමග සාකච්ඡා කොට මුල්‍ය අර්බුද හේතුවෙන් වසාදැමීමට සූදානම් වූ සවර්ණවාහිනී නාලිකාවේ බලපත්‍රය ලබාගැනීමට පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් එදා විපක්ෂය නියෝජනය කළ දේශ හිතෛෂී පිරිස් මේ සිදුවීම දඩමීමා කරගෙන යහපාලන ආණ්ඩුවට පහර දුන්නේ එල්.ටී.ටී.ඊ. හිතවාදියකු වන අලිරාජා හට සිංහල-බෞද්ධ පදනම නියෝජනය කරන රූපවාහිනී නාලිකාවක් පවරා දී ඇතැයි කියාය. මෙම ගනුදෙනුව හරහා මහා මුදල් වංචාවක් සිදුව ඇතැයි කියාය.

ප්‍රයිවට් ජෙට් එකෙන් වීරයා වගේ ලංකාවට එයි!

මේ චෝදනා නිසාම ආණ්ඩුව බලයට පත්වූ සැණින් ජනාධිපතිවරයා මෙම අලිරාජා-ස්වර්ණවාහිනී ගනුදෙනුව පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට පියවර ගත්තේය. නමුත් එම පරීක්ෂණ අවසන් වුවද එහි වාර්තාවක් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් එළියට පැමිණ නැත. කෙසේ වෙතත් නිල නොවන ආරංචිමාර්ගවලින් කියැවෙන්නේ අදාළ ගනුදෙනුවේ ටෙන්ඩර් පටිපාටියේ අක්‍රමිකතාවක් හේතුවෙන් නැවතත් එය ටෙන්ඩර් කළ යුතු බවටත්, එසේ නොමැති නම් ආයතනය යළි රජයට පවරාගත යුතු බවටත් එම වාර්තාව හරහා නිර්දේශ කොට ඇති බවකි. නමුත් වාර්තාව නිල වශයෙන් එළියට නොපැමිණි නිසා ඒ සම්බන්ධ මාතෘකාවද යට ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
නමුත් හිටිහැටියේ අලිරාජා යළි කරළියට පිවිසුණේ පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැත්වුණු එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය හරහාය. එහිදී ‘ජැෆ්නා කිංග්ස්’ කණ්ඩායම මිලදී ගනු ලැබුවේ මේ කියන සුභාෂ්කරන් අලිරාජාය. ඊට විශාල ප්‍රසිද්ධියක්ද ලැබුනු අතර අලිරාජා ලංකාවට පැමිණීයේද තමන්ට අයත් පෞද්ගලික ජෙට් යානයකින් වීරයකු ලෙස වීමද විශේෂ සිදුවීමක් විය. එසේ ලංකාවට පැමිණි වහාම අලිරාජා මුලින්ම කළේ යාපනයේ තමන් උපන් ගමට ගොස් ඥාති මිත්‍රාදීන් මුණගැසීමය. ඉන් අනතුරුව ගමේ කෝවිලට ගොස් පූජාවක් පැවැත්වීමටද අලිරාජා කටයුතු කළේය. අලිරාජා මෙසේ ලංකාවට පැමිණ නිදහසේ කටයුතු කිරීමත්, එදා අලිරාජාට චෝදනා කළ කිසිවකුත් මෙදා චෝදනා නොකිරීමත් නිසා අලිරාජා පිළිබඳ මාතෘකාව එල්.පී.එල්. තරගාවලිය නිමවීමත් සමග යළිත් වතාවක් යට ගියේය.

මහින්ද තිරුපති ගිය ජෙට් එකත් අලිරාජාගේද?

කෙසේ වෙතත් නැවත වතාවක් පසුගිය දවසක මෙම ප්‍රශ්නය එළියට ආවේ අගමැතිවරයාගේ තිරුපති සංචාරයත් සමගය. එහිදී අගමැතිවරයාට තිරුපති බලා යෑමට පෞද්ගලික ජෙට් යානයක් එවූ බව මාධ්‍ය වාර්තා කර තිබූ අතර, පසුව සොයාබැලීමේදී දැනගන්නට ලැබුණේ එය උගන්ඩාවේ වත්මන් තානාපතිවරයා ලෙස කටයුතු කරන වේළුපිල්ලේ කනනාදන් විසින් එවා තිබූ බවකි. නමුත් ඊට දින කිහිපයකට පසු නැවත වතාවක් වාර්තා වූ තොරතුරකින් කියැවුණේ එම ජෙට් යානය කනනාදන්ට පමණක් අයිති වූවක් පමණක් නොව, අලිරාජාටද එම ජෙට් යානයේ යම්කිසි හිමිකමක් පවතින බවය. මන්ද යත් අලිරාජා සහ කනනාදන් යනු ව්‍යාපාරික සගයන් බවද එහිදී වැඩිදුරටත් කියැවිණි.

ඔසද ගියේ අලිරාජගේ පැත්තෙන් ආපු බලපෑම හින්දද?

මීට අමතරව අලිරාජාට අයත් ස්වර්ණවාහිනිය සම්බන්ධයෙන්ද මීට දින කිහිපයකට ඉහතදී කිසියම් ප්‍රශ්නයක් පැනනැඟිණි. ඒ, අදාළ නාලිකාවේ බලපත්‍රය දීර්ඝ කරන ලෙසට ලිපියක් මගින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම්දී තිබීමය. සාමාන්‍යයෙන් ඕනෑම නාලිකාවක බලපත්‍රය දීර්ඝ කිරීමේ හිමිකම ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයාටත්, එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාටත්ය. මේ වන විට එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ ඔසඳ සේනානායකය. ඔසඳ ක්ෂේත්‍රයේ ප්‍රකටව ඇත්තේ ඍජුව වැඩ කරන, නීත්‍යනුකූලව කටයුතු කරන පුද්ගලයකු ලෙසටය. ඔසඳ ජනාධිපතිවරයාට සමීප වූයේ පසුගිය කාලයේදී ‘වියත් මගේ’ කටයුතු කිරීම හරහාය.
මේ ආකාරයට පසුගිය කාලය පුරා විදුලි සංදේශ නියාමන කොමිසම හරි පාරේ රැගෙන යෑමට කටයුතු කළත්, හදිසියේම මීට දින කිහිපයකට ඉහතදී ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට කටයුතු කළේය. ඒ සඳහා හේතු කාරණා මොනවාද යන්න පිළිබඳ ඔහු ප්‍රසිද්ධියේ සඳහන් නොකළත්, නිල නොවන ආරංචි මාර්ගවලින් අපට දැනගන්නට ලැබී ඇත්තේ ස්වර්ණවාහිනියේ බලපත්‍රය ලයිකා මොබයිල් ආයතනය වෙත ලබාදීමේ ගිවිසුම දීර්ඝ කරන ලෙස නීත්‍යනුකූල නොවන ආකාරයට ඔසඳට එල්ලවී ඇති දැඩි බලපෑමක් හේතුවෙන් මෙලෙස ඔහු ඉල්ලා අස්වී ඇති බවකි. නමුත් එහිදී ඔසඳ පෙන්වා දී ඇත්තේ එවැන්නක් කිරීම නීත්‍යනුකූල නොවන බවකි. එමෙන්ම ස්වර්ණවාහිනී ගනුදෙනුව පිළිබඳ නිකුත් කළ වාර්තාවේද එම බලපත්‍රය දීර්ඝ කළ නොහැකි බව සඳහන් කර ඇති බවද මෙහිදී ඔසඳ තමන්ට බලපෑම් කළ පුද්ගලයන්ට පෙන්වා දී තිබේ.
නමුත් කුමන තත්ත්වයක් යටතේ හෝ අදාළ බලපත්‍රය දීර්ඝ කරන ලෙසට එල්ලවූ බලපෑම හේතුවෙන් අවසානයේ ඔසඳ සඳහන් කොට ඇත්තේ තමන් ඊට අස්සන් කළ නමුත් තවදුරටත් තමන් එම තනතුරේ නොසිටින බවය. ඒ අනුව ඔසඳ අදාළ ලිපියට අස්සන් තබා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බලධාරීන්ට යොමුකිරීමට පියවර ගෙන ඇත. නමුත් වෙනත් ආරංචිමාර්ගයකින් කියවෙන්නේ ඔසද එසේ අස්සන් තබා ඇත්තේ තාවකාලික බලපත්‍රයකට යැයි කියාය. ඒ කෙසේවෙතත් මෙම සිදුවීම හරහා අලිරාජා සුභාෂ්කරන් තවත් ජයග්‍රහණයක් අත්පත් කරගෙන ඇති බව පැහැදිලිය.

ජීවන් දැම්මට වැඩේ වුණේ නෑ!

මීට අමතරව අලිරාජා හා දෙමළ ඩයස්පෝරාව අතර විශාල සම්බන්ධයක් පවතින බවට ලොකු පිළිගැනීමක්ද ජාත්‍යන්තරයේ පවතී. ජනාධිපතිවරයා අවසන් වතාවට නිව්යෝර්ක් බලා පිටත්ව ගිය ගමනේදී ප්‍රසිද්ධියේම කියා සිටියේ තමන් දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම් යැයි කියාය. එහිදී ජනාධිපතිවරයාගේ සැලැස්ම වී තිබුණේ උතුරට පත් කළ නව ආණ්ඩුකාරවරයා වූ ජීවන් ත්‍යාගරාජා මහතා හරහා දෙමළ ඩයස්පෝරාව සමග සබඳතා ඇතිකර ගැනීමටය. මන්ද යත් ජීවන් එම තනතුරට පත්කිරීමේදී බොහෝ දෙනා ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේ ජීවන් හට දෙමළ ඩයස්පෝරාවේ ලොකු පිළිගැනීමක් පවතින බවත්, ජීවන් හා දෙමළ ඩයස්පෝරාව අතර විශාල සබඳතාවක් පවතින බවත්ය. ඔහු හරහා ඩයස්පෝරාව සමග පහසුවෙන් ගනුදෙනු කළ හැකි බවද එහිදී කියැවී තිබිණි. ජනාධිපතිවරයා ජීවන්ව එම තනතුරට පත් කළේද ඩයස්පෝරාව සමග කිසියම් ගනුදෙනුවක් ආරම්භ කිරීමටය.

අලිරාජා එන්නේ පාලම හදන්නද?

නමුත් අපට ඇති තොරතුරුවලට අනුව නම් ජීවන්ට ඩයස්පෝරාවේ කිසිදු පිළිගැනීමක් නැත. එමෙන්ම ජීවන්ට ඩයස්පෝරාව සමග කිසිදු ගනුදෙනුවක්ද නැත. එම නිසා ඩයස්පෝරාව සමග ජීවන් හරහා ගනුදෙනු කිරීමේ ජනාධිපතිවරයාගේ උත්සාහය මේ වන විට බිඳවැටී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. හිටිහැටියේම අලිරාජාගේ ලංකා සම්ප්‍රාප්තිය වෙන්නේ මෙසේ ජීවන් හරහා ඩයස්පෝරාව සමග ගනුදෙනු කිරීමේ ජනාධිපතිවරයාගේ උත්සාහය අසාර්ථක වන තැනය. ඒ අනුව අපට දැනගන්නට ඇත්තේ ජනාධිපතිවරයා මේ වන විට ඩයස්පෝරාව සමග විශාල ගනුදෙනුවක් ඇති අලිරාජා හරහා ඩයස්පෝරාව සමග ගනුදෙනු කිරීමට උත්සාහ කරමින් සිටින බවය.

යළි දෙමළ සන්ධානයට ආරාධනා!

එමෙන්ම ලබන මාර්තුවේ ආරම්භ වන ජිනීවා මානව හිමිකම් කොමිසමේ රැස්වීමේදී ලංකාවට යම් අහිතකර තත්ත්වයක් මතුවන ආකාරයක්ද මේ වන විට පෙළගැසෙමින් පවතින සිදුවීම්වලින් පැහැදිලිවම දැකගන්නට තිබේ. මෙවර ඇමෙරිකාවද මානව හිමිකම් කොමිසමේ අසුන්ගන්නා බැවින් තත්ත්වය තවත් බරපතළ වීමට නියමිත බව ඇමෙරිකාවෙන් ලැබෙන ආරංචිවලින් දැනගන්නට ඇත. ඒ අනුව මේ වන විට ආණ්ඩුවේ උත්සාහය වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානය සමග අලුත් සාකච්ඡා වටයක් ආරම්භ කොට උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු ආරම්භ කිරීමටය. ඒ අනුව ජනවාරි මස අවසන් සතියේ සාකච්ඡා සඳහා දෙමළ ජාතික සන්ධානයට නිල වශයෙන් ආරාධනා කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවක් ආරංචිය. වට කිහිපයක් එම සාකච්ඡා පැවැත්වීමට යෝජනා වී ඇති බවක්ද දැනගන්නට තිබේ.

මීට අමතරව අලිරාජාගෙන් ලැබී ඇති සුබවාදී ප්‍රතිචාර සමග දෙමළ ඩයස්පෝරාවේ කණ්ඩායමකටද සාකච්ඡා සඳහා ආරාධනා කිරීමේ දොරටුවක් ආණ්ඩුව වෙත විවෘතව ඇති බවක්ද දැකගන්නට ඇත.

මේ සියලු කරුණු කාරණා මැද්දේ මේ වන විට ආණ්ඩුව පැත්තෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ප්‍රබල පණිවුඩයක් යොමුකොට ඇති බවක්ද දැනගන්නට ඇත. එම පණිවුඩය ඔස්සේ එල්ලවී ඇති මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් ලංකාව කටයුතු කරන ආකාරය පිළිබඳ කිසියම් පැහැදිලි කිරීමක් සිදුකොට ඇති බවක්ද දැනගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නැතත් ඉදිරි කලාපයකදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ එම තොරතුරුද පාඨකයන් වෙත ඉදිරිපත් කිරීමට අප සූදානම්ය.

දෙමළ මුස්ලිම් පක්ෂ එක්වෙයි

මීට සති කිහිපයකට ඉහතදී උතුර නැගෙනහිර නියෝජනය කරන සියලුම දෙමළ මුස්ලිම් පක්ෂ මෙන්ම දකුණේ සියලු දෙමළ මුස්ලිම් පක්ෂ එක්ව සාකච්ඡා වටයක් ආරම්භ කළේ වාර්ගික ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් සොයාගත යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. මෙම සාකච්ජාවලදී ප්‍රධාන යෝජනා දෙකක් ඉදිරිපත් වූ අතර ඉන් එක් යෝජනාවක් වූයේ උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා 13 වැනි සංශෝධනය ඉක්මවා ගිය දේශපාලන විසඳුමක් අවශ්‍ය යැයි කියාය. දෙවැනි යෝජනාව වූයේ පළාත් සභා මැතිවරණය ඉතාමත් ඉක්මනින්ම පැවැත්විය යුතු යැයි කියාය. මෙම යෝජනා දෙක ඇතුළත් කොට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට ලිපියක් යොමුකිරීමටත්, එය මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට භාරදීමටත් එහිදී වැඩිදුරටත් යෝජනා විය.

මෝඩිට දෙන්න වෙනවෙනම ලියුුු දෙකක්!

කෙසේ වෙතත් මෙම යෝජනා දෙකටම අස්සන් තැබීමට වතුකරයේ දෙමළ පක්ෂත් දකුණේ මුස්ලිම් පක්ෂත් වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන් කියා සිටියේ පළාත් සභා ඡන්දය පැවැත්වීමේ ලිපියට තමන්ට අස්සන් තැබීමට හැකි වුවත්, 13 වැනි සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදීමකට අස්සන් තැබීමට තමන්ට නොහැකි යැයි කියාය. ඒ අනුව අවසානයේ තීන්දු වූයේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට එක් ලිපියකුත්, 13 සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදීමක් සඳහා තවත් ලිපියකුත් සකස් කොට වෙන වෙනම ඒ දෙකට අස්සන් තැබීමටය. මෙම ලිපි දෙක ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා වෙත පසුගිය සඳුදා දිනයේදී භාරදීමට සූදානම් කොට තිබිණ.

සාකච්ජා අන්තිම මොහොතේ නවතී! ඉන්දියාවෙන් ජෙට් එකක් එයි!

නමුත් සාකච්ඡාවට පැයක් තබා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේ හදිසියේම මහ කොමසාරිස්වරයාට දිල්ලියෙන් කැඳවිමක් ලැබී ඇති බවත්, එම නිසා සාකච්ඡාව අවලංගු කිරීමට සිදුව ඇති බවත්ය. ඒ අනුව ඉන්දියාවෙන් විශේෂ ගුවන් යානයක් ලංකාවට පැමිණි අතර එම යානයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයාත්, නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාත් වහාම ඉන්දියාව බලා පිටත්ව යෑමට පියවර ගෙන තිබිණි.

මේ ආකාරයට දෙමළ පක්ෂ සඳහා ලබාදී තිබූ වේලාව අවසන් මොහොතේ අවලංගු කිරීමට ඉන්දියාව හදිසියේම පියවර ගත්තේ ඇයි? විශේෂ ගුවන් යානයක් එවා මහ කොමසාරිස්වරයා ඉන්දියාවට ගෙන්වා ගැනීමට කටයුතු කළේ ඇයි?

චීන ඇමැතිගේ ලංකා ගමනින් ඉන්දියාව රත්වෙලා!

අපට වාර්තා වී ඇත්තේ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ ශ්‍රී ලංකා සංචාරය මුල් කරගෙන මෙම කැඳවීම සිදුකර ඇති බවය. විශේෂයෙන්ම චීන විදේශ අමාත්‍යවරයා හා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවට ඉන්දියාව පමණක් නොව ඇමෙරිකාවද ඇහැ ගහගෙන සිටි බව රහසක් නොවේ. චීනය හා ඉන්දියාව අතර කලාපයේ පවතින දේශපාලන යුද්ධය මේ සඳහා හේතුවී ඇති අතර චීනය ලංකාවේ කරන්නේ කුමක්ද, ඒ සියල්ලටම වහ වහා ප්‍රතිචාර දැක්වීම ඉන්දියාවේ සැලැස්ම බවට මේ වන විට පත්ව තිබේ.

මෙහිදී ජනාධිපතිවරයා හා චීන විදේශ අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවේදී විශේෂ කරුණු 3ක් සාකච්ඡා වී තිබිණි. ඉන් පළමුවැන්න වූයේ චීනයෙන් ලංකාවට ලබාදි ඇති ණය නැවත ප්‍රතිව්‍යුහගත කිරීමය. ඊට චීනය පැත්තෙන් ක්ෂණික පිළිතුරක් නොලැබුණත් චීනය ඊට හා කිව්වේවත් බෑ කිව්වේවත් නැත. ඒ වෙනුවට චීන විදේශ අමාත්‍යවරයා පෙරළා ජනාධිපතිවරයාට යෝජනා කළේ චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් අස්සන් තැබීමට මෙය හොඳම අවස්ථාවක් බවත්, එවිට චීන වෙළෙඳපොළ ලංකාවට විවෘත වනු ඇති බවත්ය. ඒ හරහා දිගුකාලීනව විශාල ඩොලර් වෙළෙඳපොළක් ලංකාවට නිර්මාණය කරගත හැකි බවද චීන විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයාට පෙන්වා දී තිබිණි.

ආරක්ෂක ගිවිසුමෙන් පත්තු වෙයි!

කෙසේ වෙතත් මේ සාකච්ඡාවල තීරණාත්මක මාතෘකාව වී තිබුණේ චීන ව්‍යාපෘතියක් වන සේද මාවත මුල් කරගෙන ආරක්ෂක ගිවිසුමක් ලංකාව සමග අස්සන් තැබීමය. මේ වන විට ඉන්දියාව ත්‍රිකුණාමල තෙල් ටැංකි පර්යන්තය තවත් වසර 50කට අත්පත් කරගෙන තිබීම හේතුවෙන් මෙම චීන ආරක්ෂක ගිවිසුම වාර්තා වීමත් සමග ඉන්දියාව මහත් කලබලයට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාට වහාම ඉන්දියාවට පැමිණෙන ලෙසට දිල්ලියෙන් කැඳවීමක් ලැබුණේ චීනයේ මෙම යෝජනාව එළියට පැමිණීමත් සමගය. ඒ අනුව ඉන්දියාව ඉදිරියේදී කරන්නට සූදානම් වන දේ කුමක්ද යන්න බලාගැනීමට තවත් දින කිහිපයක් බලා සිටීමට සිදුව ඇත.

කපිල පුංචිමාන්නගේ