මහින්දානන්ද කෙළවගත්තේ ඇයි?

‘ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක්’ කෘෂිකර්මාන්තය විසින් දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය 7%ක් දක්වා අඩුවී තිබෙන වර්තමානයේ පවා අපි මහත් අභිමානයෙන් කියනවා. පුදුමයකට වාගේ මේ ප්‍රකාශය අභියෝගයට ලක්කරන්න හෝ එහි ඇති සාවද්‍ය බව පෙන්වා දෙන්න කිසිවෙකු ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ඒ නිසාම ලංකාව අදත් ‘කෘෂිකාර්මික රටක්’.

ඒ වගේම තමයි ලංකාවේ කෘෂිකර්මාන්තය ගැන කතා කරන විට, මහත් රුචියෙන් උපුටා දැක්වීම් කරන විට කරන තවත් සුවිශේෂ උපුටා දැක්වීමක් තිබෙනවා. ඒ තමයි මහා පරාක්‍රමබාහු රජු කළ බව කියන පහත දැක්වෙන ප්‍රකාශය,

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

‘මගේ රාජ්‍යයේ අහස් දියෙන් වගාකරනු ලබන කුඹුරු කෙත් රාශියක් ඇත. එහෙත් බහු වාර්ෂිකව ජලය සපයා ගත හැකි ඇළ වේලිවලින් හා විශාල වාරි කර්මාන්තවලින් වගාකරනු ලබන කුඹුරු කෙත් ප්‍රමාණය ඉතාමත් අඩුය. මගේ රාජ්‍යයේ භූමිය ගල්, පර්වත, ඝන වනාන්තර හා විශාල මඩ ගොහොරුවලින් ආවරණ වී ඇත. එවැනි රටක වර්ෂාවෙන් ලැබෙන ජල බිඳුවකුදු මිනිසාගේ ප්‍රයෝජනය පිණිස නොයෙදී මුහුදට ගලා බැසීමට ඉඩදිය යුතු නොවේ. මැණික්, රන් හා අනෙකුත් වටිනා ඛනිජ ද්‍රව්‍ය ඇති ප්‍රදේශවල හැර අන් සියලු තැන්හිම වී කෙත් සකස් කළ යුතුය. මහජනතාවගේ අවශ්‍යතාව අමතක කොට ආත්මාර්ථයෙන් අප පමණක් සෞභාග්‍යයෙන් ජීවත් වීම මිනිසුනට තරම් නොවේ. එබැවින් අත්‍යාවශ්‍ය නමුත් දුෂ්කර කාර්යයක් ඉටුකිරීමට අවස්ථාව එළඹිවිට තොප අධෛර්යමත් නොවිය යුතුය. එය දුෂ්කර කාර්යයක් වශයෙන් නොසලකා මගේ උපදෙස් උල්ලංඝනය නොකොට අනුගමනය කර එය කාර්යය සම්පූර්ණ කළයුතු වේ – මහා පරාක්‍රමබාහු මහරජු, ක්‍රි.ව 1153-1186

මහා පැරකුම්බාවන් මෙවැනි ප්‍රවේශයකට ගියේ ඇයි? මේ ගැන අපට පැහැදිලි අදහසක් පහත ප්‍රකාශය මගින් ලබාගත හැකියි.

කෘෂිකර්මාන්තය, විශේෂයෙන් ආහාර නිෂ්පාදනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරවීමට ශ්‍රී ලංකාවේ අතීත පාලකයින් පොළොඹවන ලද තවත් විශේෂ හේතුවක් ඇත. එනම් බුදු සමයෙන් ඔවුන් ලද ආභාසයයි. ‘සබ්බේ සත්ථා ආහාරට්ටඨිතිකා’ යන බුදු වදන ඔවුන් අකුරටම පිළිපදිමින් රට වැසියන් බත බුලතින් සන්තර්පණය කිරීමට උත්සුක වූහ. මෙවැනි පරහිතකාමී අභිලාසයකින් මෙහෙවයවනු ලැබූ ඔවුහු ක්‍රිස්තු වර්ෂයෙන් දෙවැනි ශතවර්ෂයේ ආරම්භව දෙළොස්වැනි ශතවර්ෂය දක්වා, ශතවර්ෂ දහයක් පුරා විධිමත්ව ක්‍රියාත්මක වූ පෘථුල හා ප්‍රවීණ වාරිමාර්ග කෘෂිකාර්මික යටිතල ව්‍යුහයක් ගොඩනගා රටවැසියන් බතබුලතින් සන්තර්පණය කිරීමට පමණක් නොව පිටරටවලටද සෑහෙන තරම් ආහාර නිෂ්පාදනය කළහ.

මේ සුවිශේෂ උපුටා ගැනීම කළේ, 1979දී මහවැලි සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ පුරාතන වාරිමාර්ග කර්මාන්ත – ආර්.එල්. බ්‍රෝහියර් නම් කෘතියෙන්.

මහා පරාක්‍රමබාහු රජු සහ බ්‍රෝහියර් සිදුකළ බව කියන මේ ප්‍රකාශය පදනම් වන්නේ කෘෂිකර්මාන්තය මත නිසා ‘කෘෂිකර්මාන්තය යනු කුමක්ද?’ යන්න ගැනත් අපි පැහැදිලි හා නිරවුල් අවබෝධයක් ලබාගත යුතුයි. මන්ද ඒ ගැන නිතර නිතර ඇසෙන, කියවන්න ලැබෙන කතා ව්‍යාකූලත්වයෙන් පිරි ඒවා. ඔබට කෘෂිකර්මාන්තය ගැන විවිධාකාරයේ නිර්වචන පැහැදිලි කිරීම් හමුව ඇති. කියවා ඇති. එහෙත් ඔබ ඉහත දක්වා තිබෙන පැහැදිලි කිරීම මීට පෙර කියවා හෝ අසා තිබෙනවාද ?

‘කෘෂිකර්මය යනු බෝග වැවීමෙන් මුදල් ඉපැයීම පමණක් නොවේ. එය කර්මාන්තය හෝ ව්‍යාපාර මාත්‍රයක්ද පමණක්ද නොවේ. ඒ වූ කලී සාරාර්ථයෙන් බලන විට ජාතික යහපත පතා පුද්ගලයන් පොළොවට සාත්තු සම්පායම් කිරීමෙන් ඉටුකරනු ලබන මහජන සේවයකි. නැතහොත් පොදු කාර්යයකි. ස්වකීය ජීවනෝපාය සලසා ගැනීමට ද, පෞද්ගලික ලාභයක් ලැබීමටද ඒ මගින් ක්‍රියාකරන ගොවියා ජාතික ජීවිතයේ පදනම් භාරකරුවා වෙයි. මේ නිසා කෘෂිකර්මය මත පැහැදිලි වූද, නිසැක වූද, මහජන කාර්යයක් පැවරෙන අතර, ඒ නිසා එය ඒ සම්බන්ධ ජාතික හා මිනිස් සම්පත් සුරැකීමට පමණක් නොව, ජාතික ආරක්ෂාව සලසා දී පරිපූර්ණ සමෘද්ධියක් ඇති කොට දේශපාලන සහ සමාජ ස්ථාවරභාවය ඇති කිරීමට හේතු වන මනා සේ පරිකල්පිත වූද, දූරදර්ශී වූද, ජාතික ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු ජාතික සංස්ථාවක තත්ත්වයට පැමිණේ’.

මේ උපුටා ගැනීම කළේ ‘පනස් වසරක අත්දැකීම් තුළින් නව කෘෂිකර්මාන්තයක් වෙත’ නම් 1998දී කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශයේ උපදේශක ඩී.ඇම්. ආරියරත්න මහතා විසින් සම්පාදිත ග්‍රන්ථයෙන්. මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කර තිබුණේ 1998දී කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය විසින්. ඒ 4 ප්‍රමාණයේ පිටු 241ක් වන ග්‍රන්ථය සොයාගෙන පරිශීලනය කළ හැකි නම් ඔබට ශ්‍රී ලංකාවේ සමස්ත කෘෂිකාර්මික ඉතිහාසය සහ එහි ස්වභාවය ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත හැකියි.

මේ අටුවාව අවසන් කර වත්මන් කතාවට ප්‍රවේශ වීමට පෙර තවත් සුවිශේෂ උපුටා ගැනීමක් කළ යුතුයි. ඒ එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා කළ බව කියන ‘ගොයම් කෙත ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයයි’.

පෙරදිග ධාන්‍යාගාරය වල් වැදෙයි

ශ්‍රී ලංකාවට ‘පෙරදිග ධාන්‍යාගාරය’ නම් විරුදාවලිය ලැබුණ බව කියන්නේ මහ පැරකුම්බාවන්ගේ රාජ්‍ය සමයේදීයි. ඉතිහාස වාර්තා අනුව ඊට පසුව ලංකාවේ කෘෂිකර්මාන්තය වේගයෙන් බිඳවැටුණා. දකුණු ඉන්දීය ආක්‍රමණ, අභ්‍යන්තර බල අරගල සහ 15වැනි සියවසෙන් පසුව සිදුවූ බටහිර ආක්‍රමණ සහ යටත් විජිතවාදය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ශිෂ්ටාචාරය බිඳදැම්මා පමණක් නොව ලංකාව පරාධීන, පිටරටින් ආනයනය කළ සහල් මත යැපෙන රටක් බවට පත් කළා. එයි කූටප්‍රාප්තිය සිදු වුණේ ඉංග්‍රීසි පාලන සමයේදීයි (1815-1948). 1840දී සම්මත කරන ලද ‘මුඩුබිම් ආඥාපනත’ මගින් ග්‍රාමීය වැව් යටතේ වගා කරන ලද ඉඩම්ද වැවිලි කර්මාන්තයට පවරා ගැනීමත් සමග දේශීය ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තයේ මළගම සිදුවූ අතර, ග්‍රාමීය ජනතාව කෘෂිකර්මාන්තයෙන් පලවා හැරීම සිදුවුණා.

එහෙත් 1848 වෙල්ලස්ස කැරැල්ලත් සමග ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීමටත්, ආහාර ද්‍රව්‍ය ආනයනය අඩුකර ගැනීමටත් කල්පනා කළ බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයාවූ ශ්‍රීමත් හෙන්රි වෝඩ් 1856දී පළමු වන වාරිමාර්ග ආඥාපනත නීතිගත කළා. ඒ සමග තරමක් කුඩා වාරිමාර්ග ව්‍යාපාර කිහිපයක් (තිසාවැව හා බතලේගොඩ) ප්‍රතිසංස්කරණය කළා.

තවත් දශක කිහිපයකින් ලංකාව තුළ ස්ථාවර වූ බි්‍රතාන්‍ය පාලකයෝ 20 වැනි ශතවර්ෂය ආරම්භයේදී පැරණි වාරිමාර්ග ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කිරීම හා අලුතින් වාරි යෝජනා ක්‍රම ඉදිකිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් දියත් කළා. ඒ අනුව 1900දී වාරි මාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවා 1906දී වාරි මාර්ග ආඥාපනත නීතිගත කරමින් කෘෂි / වාරි කර්මාන්ත සම්බන්ධයෙන් විශේෂ රෙගුලාසි කිහිපයක් පැනවීමටද ක්‍රියා කළා.

ඇතැම් විද්වතුන්ට අනුව නූතන ශ්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරයේ දෙවැනි යුගය බිහිවන්නේ මේ සමගයි.

1914දී සිට ආරම්භ වූ පළමු වැනි ලෝක යුද්ධය හේතුවෙන් එතෙක් බි්‍රතාන්‍ය පාලකයින් විසින් ප්‍රමුඛ ලෙස අවධානය යොමු කළ වැවිලි කර්මාන්තය අර්බුදයකට ලක්වුණු අතර ආනයනික ආහාර මත පදනම් වුණු ආර්ථිකයත් අර්බුදයකට ලක්වුණා. එය සාගතයක් දක්වා වර්ධනය වී දේශීය ජනතාව අතර යළි අරගල ආරම්භ වෙතැයි බිය වුණු බි්‍රතාන්‍ය පාලකයෝ එතෙක් අල්ප අවධානයක් පවා නොතිබූ වියළි කලාපයේ පැරැණි වාරි මාර්ග ක්‍රම ප්‍රතිසංස්කරණය කර ආහාර ද්‍රව්‍ය අතින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත තත්ත්වයට පත් කිරීමට පියවර ගත්තා. මේ වෙනුවෙන් ශ්‍රීමත් හෙන්රි වෝර්ඩ් සහ ශ්‍රීමත් හියු ක්ලිපර්ඩ් යන ආණ්ඩුකාරයන් දෙදෙනා ප්‍රමුඛ භූමිකාවක් ඉටු කළා.
බි්‍රතාන්‍ය පාලකයින්ට මෙවැනි ප්‍රගතිශීලී පියවරක් කරා යාමට එවකට ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ නියෝජිතයින් ලෙස කටයුතු කළ ‘පුරෝගාමී දේශප්‍රේමී නායකයන්ගේ උද්ඝෝෂණ’ද ප්‍රබල ලෙස බලපෑ බව ඉතිහාසඥයන් කියනවා.

එවකට ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ නියෝජිතයන් වශයෙන් සිටි මේ දේශප්‍රේමී නායකයින් තෙත් කලාපයේ ඉඩම් නොමැති ගම්වාසීන් වියළි කලාපයේ පදිංචි කළ යුතු බවටත්. වියළි කලාපයේ අතිශයයින් දුගී දුප්පත්භාවයට වැටී සිටි ගම්වාසීන් එම තත්ත්වයෙන් මුදවා ඔවුන් ඉඩම් හිමියන් පිරිසක් බවට පත් කළ යුතු බවටත්, ඔවුනට අවශ්‍ය සෞඛ්‍ය සේවා නොවලහා සැපයිය යුතු බවටත් ඉංග්‍රීසි ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස 1927දී ඉඩම් කොම්සමක් පත් කිරීමට බි්‍රතාන්‍ය පාලකයෝ පියවර ගත්තා.

ඩී.එස්. සේනානායකගේ යුග මෙහෙවර

මේ වන විට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි බලවත්ම නියෝජිතයෙක් වුණේ ඩී.එස්. සේනානායක මහතායි. ඉඩම් හිමි වැවිලි කරුවෙකු වශයෙන් ප්‍රකටව සිටි ඩී.එස් සේනානායක මහතා විසින් දේශීය කෘෂිකර්මාන්තයේ ප්‍රගමනය උදෙසා ඉටුකළ සේවය ගැන ඉතිහාසඥයන් මෙසේ සඳහන් කරනවා.

‘ඩී.එස්. සේනානායක මහතා 1931-1947 දක්වා වූ කාලය තුළ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම හා ඉඩම් පිළිබඳ කාරක සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් ශ්‍රී ලාංකික ඉඩම් ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ග්‍රාමීය ගොවි ප්‍රජාව සංවර්ධනය කිරීම උදෙසාම වූ සංවර්ධන උපකරණයක් බවට පත්කර ගත්තේය. ක්‍රි.ව 1935දී සම්මත කරන ලද ‘ඉඩම් සංවර්ධන ආඥාපනත’ මෙම නව ඉඩම් ප්‍රතිපත්තියේ අග්‍රඵලය ලෙස එළි දකින්නේ මේ අවස්ථාවේදීය. 1931 සහ 1953 කාලය තුළ වියළි කලාපයේ ගොවි ජනපද පිහිටුවීමේ වැඩපිළිවෙළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඉදිරියට ගියේය. නටබුන්ව පැවැති පුරාණ වාරිමාර්ග ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීම පමණක් නොව අලුත් වාරිමාර්ග ක්‍රම පිහිටුවීම සඳහාද පසු කාලයකදී මෙම ප්‍රතිපත්තිය උපයෝගී කර ගනු ලැබීය. (ආරියරත්න ඩී.ඇම්. – පනස් වසරක අත්දැකීම් තුළින් නව කෘෂිකර්මාන්තයක් වෙත, 1998, පිටුව12)
පළමුවැනි හා දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේදී (1931-47) කෘෂිකර්ම හා ඉඩම් කාරක සභාවේ සභාපතිවරයා හා ඇමැතිවරයා වශයෙන්ද, මින් පසුව නිදහස් ශ්‍රී ලංකාවේ පළමුවන අගමැතිවරයා (1947-52) වශයෙන්ද ඩී.එස්. සේනානායක මහතා විසින් පළමුව පැරැණි වාරි මාර්ග යෝජනා ක්‍රම පුනරුත්ථාපනය කිරීමෙන්ද, පසුව අලුත් මහා වාරිමාර්ග යෝජනා ක්‍රම ඉදිකිරීමෙන් ද බලාපොරොත්තු වූයේ අලුත් ගොවිජනපද මගින් කෘෂිකර්මාන්තයෙහි භූමි ප්‍රමාණය ව්‍යාප්ත කරවීමත්, සෞභාග්‍ය සම්පන්න, ස්වයං පෝෂිත, ආත්මගෞරව පූර්ණ, ගැමි ඉඩම් හිමියන් පිරිසක් බිහිකිරීමත්, සිංහල රාජධානි සමයේ මෙන් ග්‍රාමය ප්‍රභූ කණ්ඩායමක් නැවත ඇතිකිරීමත් යන අරමුණු ඉටුකර ගැනීමය. ඩී.එස්. සේනානායක මහතාගේ මෙම ව්‍යායාමය ඉතාමත් සාර්ථක වූ අතර අද දවසේ එය ශ්‍රී ලාංකික ජනතාවගේ ඉමහත් ප්‍රශංසාවට පත්ව ඇත. ඩී.එස්. සේනානායක මහතාගේ අභාවයෙන් පසු ඔහු ‘ජාතියේ පියා’ වශයෙන් හැඳින්වීමට ශ්‍රී ලාංකික ජනතාව පෙලඹවූ කාරණාව මින් පැහැදිලි වේ.

ඩී.එස්. කපාදුන් මඟ ගිය අය

ඩී.එස්. සේනානායක මහතාගේ හදිසි අභාවයෙන් පසු අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණේ එතුමාගේ පුත්‍රයා වූ ඩඩ්ලි සේනානායක මහතායි. ඒ වගේම 1947 දී බිහි වූ ලංකාවේ පළමුවැනි ආණ්ඩුවේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරයාද වුණේ ඩඩ්ලියි. (මෙම අමාත්‍යාංශය තමා වෙත පවරා දෙන මෙන් බණ්ඩාරනායක මහතා ද ඉල්ලා සිටි බව කියවේ) ඩඩ්ලි සේනානායක කෘෂිකර්ම උපාධිධාරියෙකි. නමුත් ඩඩ්ලි විෂයෙහි වැදගත් වන්නේ ඔහු අසීමිතව ගොවිතැනට ආදරය කළ කාර්යාලයට වඩා ගොවි බිමේ කරක්ගැසූ අගමැතිවරයෙකි. ලංකාවේ අර්තාපල් වගාව බිහි වන්නේ ඩඩ්ලි සේනානායක නිසා බව දන්නේ අතලොස්සකි. ‘බත් දුන් පියා’ ලෙස විරුදාවලිය ලත් ඩඩ්ලි සේනානායක සමයේ මෙරට තුළ බිහිකළ, සංවර්ධනය කළ වාරිමාර්ග ගණන නිමක් නැති බව කියවේ.

ඩඩ්ලි සේනානායකගෙන් පසු අග්‍රමාත්‍ය ධුරයට පත්වන සර් ජෝන් කොතලාවල ගොවියෙක් ලෙස නොසැලකුණ, කොළඹ හතේ පන්නයේ සෙල්ලක්කාරයෙකි. ඒත් සර් ජෝන්ද මෙරට කෘෂිකර්මාන්තයට නොමැකෙන සේවයක් කළේය. දොඩම්ගස්ලන්දේ කිඹුල්වානා ඔය ජලාශය ඔහුගේ නිර්මිතයකි.

වාරිමාර්ග නිලධාරීන් ඒකට ‘සර් ජෝන් කොතලාවල ජලාශය’ නම දාලා බෝඩ් එකක් ගැහුවා. සර් ජෝන් ඒක දැක්කේ විවෘත කරන්න යන කොට. මහජන මුදල්වලින් හදපු ජලාශයට මගේ නම දාන්න පිස්සුද? මම යන්න ඉස්සර වෙලා, ඔය බෝඩ් එක ගලවනවා යැයි කියලා කෑගහපු අගමැතිවරයා. කෘෂිකර්මයේ දියුණුවට අවශ්‍ය පහසුකම්වලට ප්‍රමුඛත්වය දුන්න, තමන්ගේ නිවෙස ආණ්ඩුවට දුන්න අගමැතිවරයා වශයෙන් මේ අභීත, සෙල්ලක්කාර අගමැතිවරයා ඉතිහාසයට එක්වේ.

1956 දී සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය විසින් බිහිකළ බණ්ඩාරනායක ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති පිලිප් ගුණවර්ධන රහංගල කාෂිකර්ම පර්යේෂණායතනය රජයට පවරා ගත්තේය. අද පැෂන්ෆෘට්, නාරං ඇතුළු පළතුරු, එළවළු දුසිමක් විතර රහංගල නිෂ්පාදන වේ. එසේම අඳ ගොවි පනත / කුඹුරු පනත සම්මත කර පිලිප් ඓතිහාසික කාර්යභාරයක් නිම කළේය.

මෙරට කීර්තිමත්ම කෘෂිකර්ම අමාත්‍යවරයකු වූ කෘෂිකර්ම ඇමැති සී.පී.ද සිල්වා මහතාය. පොළොන්නරුවේ දිසාපතිවරයාව සිට කෘෂිකර්මාන්තයට මහ පැරකුම්බාවන්ට නොදෙවැනි සේවයක් කළ සී.පී.ට අදත් කියන්නේ මින්නේරිය දෙයියෝ කියාය. (ඩී.එස්. සේනානායක පරාක්‍රම සමුද්‍රය හදනකොට පොළොන්නරුවේ දිසාපතිවරයාව සිටියේ සී.පී.ය)

1965 දී බිහිවූ ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ කෘෂි ඇමැති එම්.ඩී. බණ්ඩා කුඹුරට බැහැලා වැඩ කරපු ගොවියෙක් ලෙස සැලකේ. උතුරට දකුණට එක සමානව කෘෂි සම්පත් බෙදුවේ ඇමැති බණ්ඩා බව ඉතිහාසය කියයි.

1965 කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති කැප්ටන් සී.පී.ජේ. සෙනවිරත්න – ගොවි හමුදාව හැදුවේය. බදුල්ල කච්චේරියේ හිටපු දිස්ත්‍රික් ඉඩම් නිලධාරි (ෘඛධ) සුසිල් සිරිවර්ධන එතැනින් නිදහස් කරගෙන මහියංගනයට කැඳවා වාරි ඇළවල් කැපුවේය. (1970 ආණ්ඩුව ගොවි හමුදාව විසිරුවා හැරියාම ඒ අය 71 කැරැල්ලට ගියේය)

1970 මහ මැතිවරණයෙන් 2/3ක බලයක් ලබාගත් සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ ආහාර හා කෘෂිකර්ම ඇමැතිවරයා වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා මෙරට කෘෂිකර්මාන්තයේ සහ ග්‍රාමීය සංවර්ධනයේ නිහඬ විප්ලවයක් කළේය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පිහිටු වූ කොබ්බෑකඩුව මහතා ඊළඟට ඉඩම් ප්‍රශ්නයටද තිරසර විසඳුමක් දුන්නේය. ලංකාවේ ඉඩම් නැති ගොවියන්ට ඉඩම් ලැබුණේ හෙක්ටර් කොබ්බෑකඩුවට පිංසිදුවන්නටය. එපමණක් නොව හෙක්බර් කොබ්බෑකඩුව මහතා මැතිනියගේ ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක වූ දැවැන්තම, තීරණාත්මක ඉඩම් පවරා ගැනීමේ වැඩපිළිවෙළට නායකත්වය දුන්නේය. බොහෝ රටවල් සන්නද්ධ විප්ලව මගින් ඉටු කරගත් මේ අරමුණු කොබ්බෑකඩුව මහතා පාර්ලිමේන්තුව මගින් ඉටුකර ගත්තේය.

මෛත්‍රීපාල සේනානායක නාමය ගැන කතා නොකර මෙරට කෘෂිකර්මාන්තය ගැන කතා කළ නොහැකිය. මහවැලිය පොල්ගොල්ලෙන් උතුරට හරවන්න පටන් ගත්තේ එතුමාගේ නායකත්වය යටතේය.

ඊ.එල්. සේනානායක කෘෂිකර්ම ඇමැති ගැන කියන කොට මතක්වෙන්නේ ඓතිහාසික වප් මඟුලට නැවත පණදුන් කතාවය.

1977දී 5/6ක් බලය ලබාගෙන බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ අමාත්‍යාංශය පැවරුණේ මෙරට සිටි අදීනම දේශපාලනඥයෙකු වන ගාමණී ජයසූරිය මහතාටය. ඇමැතිකමට වැඩිය හෘද සාක්ෂිය වැදගත් කියලා පෙන්නපු ඊළඟ අගමැති වෙන්න තරම් සුදුසුකම් තිබ්බ දේශපාලනඥයා ගාමණි ජයසූරිය නම් මේ අදීන පුද්ගලයාය. එවැන්නකුගේ නායකත්වය ලබා ගන්නට තරම් මෙරට ජනතාව පින් කර නොතිබූ නිසා ජයසූරියගේ දේශපාලන ගමන කෙටි විය.
එජාප ආණ්ඩුව සමයේ කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විජේරත්න බණ්ඩා – කෘෂි රක්ෂණ හා ගොවි විශ්‍රාම වැටුප හැදුවා විතරක් නෙවෙයි ලංකාවට එළවළු – පලතුරු බෙදන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සැලසුම්කරු බවටද පත් වුණේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය නොලැබුණත් ගාමිණී දිසානායක ගැන නොලියා මෙරට කෘෂිකර්මාන්තය හා ග්‍රාමීය සංවර්ධනය ගැන කතා කළ නොහැක්කේ ඔහුගේ සේවය දෙවැනි වන්නේ නම් ඒ මහා පරාක්‍රමබාහු රජු සහ ඩී.එස් සේනානායකට පමණක් වන නිසාය. මහවැලිය හදලා රට අස්වද්දලා, මහවැලි සංස්කෘතියක් හදලා, ක්‍රීඩා පිට්ටනි, සමාගම් හදලා අවසානයේ වැවිලි කර්මාන්තයෙන් ලංකාවට ලෝකය දිනන්න පාර කපපු ඇමැතිවරයා වන්නේ මේ දූරදර්ශී තරුණ අමාත්‍යවරයාය.

ඇමැති ලලිත් ඇතුලත්මුදලි යනු මෙරට කෘෂිකර්මාන්තය බැබළ වූ තවත් තරුවකි. 1970දී බිහිකළ සුළු අපනයන දෙපාර්තමේන්තුව වෙනුවට නවීන වෙළෙඳ යුගයට ගැළපෙන ලෙස ‘අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව’ බවට පත්කර අමුද්‍රව්‍ය පිටරට යැවීම වෙනුවට නිමි භාණ්ඩ නිෂ්පාදනයට ලංකාවේ කෘෂි ව්‍යාපාරය ගොඩනගන්න පියවර තැබූ යුග යුග නායකයා ලලිත්ය.

ලලිත් – ගාමිණි යුගයෙන් පසු මේ දක්වා අපට කෘෂිකර්මාන්තයට ‘දැනෙන යමක්’ කළ ඇමැතිවරයෙක් හෝ රාජ්‍ය ඇමැතිවරයෙක් හමු නොවීම අභාග්‍යයකි. ඒ වෙනුවට අපට ලැබුණේ ‘කටින් බතල කොළ හිටවන’ පන්නේ ඇමැතිවරුන්ය. අද ලංකාව පත්ව ඇති අසරණ තත්ත්වයට මේ නව පරපුර ඍජුව වගකිව යුතුව ඇත.

වත්මන් කෘෂිකර්ම ඇමැති ගිය මඟ

වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය හා එය අද පත්ව ඇති තත්ත්වය ගැන කිසිවක් ලිවීමට අවශ්‍ය නැත. එය හරියට ‘ගහ දන්නා මිනිහාට කොළ කඩා පාන්නා’ වැනි නිෂ්ඵල දෙයකි. ඒ නිසා මෙම ලිපිය හමාර කිරීමට පෙර වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා පසුගිය 11 වැනි කළ බව කියන, අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් මාධ්‍ය වෙත යොමු කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ කතාව අවසන් කරනවා.

‘මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවියෝ කරන චෝදනා අසාධාරණයි කියලා මම හිතන්නෙ නෑ. මේ වැඩේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා මගේ වසර 32ක දේශපාලනය විනාශ වුණා. එහෙම වුණත් රටටත්, ජනතාවටත් ඉතා වැදගත් වූ වැඩපිළිවෙළක් නිසා මම ඉදිරියටත් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගන්න ජනාධිපතිවරයා හා රජය සමග කැප වෙනවා’ යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. ගොවි සංවිධාන ජාතික බලමණ්ඩලය සමග පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.’

කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරුන්ගේ ලේඛනය
– 1924 ව්‍යවස්ථාදායක සභාව –
-1931 ජූලි 09 පළමුවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ඩී.එස්. සේනානායක
– 1936 මාර්තු 19 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ඩී.එස්. සේනානායක
– 1948 නිදහස ලැබීමෙන් පසු නව කැබිනට් ආණ්ඩුක්‍රමය යටතේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය ඩඩ්ලි සේනානායක
– 1952 අප්‍රේල් කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය පී.බී. බුලංකුලම
– 1952 ජූලි කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක
– 1953 තුන්වැනි පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම හා ආහාර අමාත්‍යාංශය ජේආර්. ජයවර්ධන
– 1956 සිවුවැනි පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම හා ආහාර අමාත්‍යාංශය පිලිප් ගුණවර්ධන
– 1959 කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය ඩී.ඒ. රාජපක්ෂ
– 1959 ඔක්තෝබර් කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය සී.පී. ද සිල්වා
– 1959 දෙසැම්බර් කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය ආචාර්ය විජයානන්ද දහනායක
– 1960 මාර්තු කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය එම්.ඩී. බණ්ඩා
– 1960 ජූලි පස්වැනි පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම, වාරිමාර්ග හා විදුලිබල අමාත්‍යාංශය සී.පී. ද සිල්වා
– 1963 මැයි 29 කෘෂිකර්ම, ආහාර හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක
– 1964 ජූලි 11 කෘෂිකර්ම, ආහාර හා ධීවර අමාත්‍යාංශය ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක
– 1965 හයවැනි පාර්ලිමේන්තුවේ ආහාර හා කෘෂිකර්ම අමාත්‍යාංශය එම්.ඩී. බණ්ඩා
– 1970 මැයි 31 ආහාර හා කෘෂිකර්ම අමාත්‍යාංශය හෙක්ටර් කොබ්බෑකඩුව
– 1970 හත්වැනි පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය ඊ.එල්. සේනානායක
– 1978 කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ අමාත්‍යාංශය ගාමණී ජයසූරිය
– 1987 නොවැම්බර් කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය ඩී.බී. විජේතුංග
– 1987 නොවැම්බර් කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය ඩී.බී. විජේතුංග
– 1988 මාර්තු කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ අමාත්‍යාංශය චන්ද්‍රා බණ්ඩාර
– 1989 පෙබරවාරි කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන අමාත්‍යාංශය ලලිත් ඇතුලත්මුදලි
– 1990 මාර්තු කෘෂිකර්ම, සංවර්ධන හා පර්යේෂණ අමාත්‍යාංශය ආර්.එම්. ධර්මදාස
– 1994 අගෝස්තු කෘෂිකර්ම, ඉඩම් හා වන සම්පත් අමාත්‍යාංශය දි.මු. ජයරත්න
– 1997 ජුනි කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය දි.මු. ජයරත්න

චින්තක බණ්ඩාර කරල්ලියද්ද