2023 පෙබරවාරි 05 රෑ 12ට පාර්ලිමේන්තුව විසුරුවයිද?

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බලතල ප්‍රකාරව 2023 පෙබරවාරි 05 වැනිදා රාත්‍රී 12ට පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බලතල ලැබෙන බවත්, ඒ අනුව එදිනම රාත්‍රී 12ට පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ආණ්ඩුවට සමීප විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විටත් ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දමා ඇති අතර, එය 2023 මාර්තු 20 වැනි දිනට පෙර පැවැත්වීමට තීන්දුවී ඇති නිසා මහ මැතිවරණය මාර්තු 20 වැනි දිනට ප්‍රථම දිනයක පැවැත්වීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව ආණ්ඩුවේ සැලසුම වී ඇත්තේ සියලු පළාත් පාලන ආයතනවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව පැවැතියදී ම මහ මැතිවරණය පවත්වා අවසන් කිරීමටය.

එම මහ මැතිවරණයට මුහුණ දීම අරමුණු කරගෙන මෙම වසරේ අවසානයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2023 වසරේ අයවැය යෝජනාවලියේ දී ජනප්‍රිය යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජනතාවට සහන ලබාදීමත්, ඒ හරහා ආණ්ඩුවට වාසිසහගත තත්ත්වයක් නිර්මාණය කරගැනීමටත් ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.

මීට අමතරව 2024 වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර එය කිසිසේත්ම ඉදිරියට නොගැනීමට ද ආණ්ඩුව තීන්දු කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම මහ මැතිවරණයට කලින් කිසිසේත්ම පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට ද ආණ්ඩුව දැඩි තීන්දුවක් ගෙන ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව මහ මැතිවරණය පවත්වා අවසන් වීමත් සමග පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත්, ඉන් අනතුරුව ඉන්දියාවට ලබාදී ඇති පොරොන්දුවට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමටත් ආණ්ඩුව තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.