පල්ලියේ බෝම්බය පොලිසිය ඇතුලෙන් පත්තු වෙයි – කොළඹ අපරාධ කොට්ඨාසයට අධිකරණයෙන් නියෝගයක් !

බොරැල්ල, සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද(25) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන සැකකරුවන් පිළිබඳව වන පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය ලබන 02 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරිය විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට දන්වා සිටියාය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ රඳවාගෙන සිටින අදාළ දේවස්ථානයේ සේවකයෙකු වන ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් ඇතුළු තුන් දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ සිදුකරන ආකාරය නිවැරදි නොවන බවට චෝදනා කර සිටියේය.

මේ අතර, උක්ත බෝම්බ සිදුවීම සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ට පල්ලියෙන් එල්ලවන චෝදනාවලින් ගැලවීම සඳහා මුල් විමර්ශන පවත්වන ලද නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව විමර්ශන පවත්වා වැඩ තහනම් කිරීමට කෙරෙන උත්සාහයක් සම්බන්ධව පොලිස් මූලස්ථාන තොරතුරු හෙළිදරව් කරයි.

නාරාහේන්පිට රෝහල් බෝම්බය මෙන්ම සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බය සම්බන්ධයෙන් කළ විමර්ශන සියල්ලක්ම අධික්ෂණයකර ඇත්තේ එකම නිලධාරියෙක් බවත් එම නිලධාරියාගේ උපදෙසින් පහළ නිලධාරීන් විමර්ශන පවත්වා ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

පල්ලියේ බෝම්බය සම්බන්ධයෙන් පුළුල්ව විමර්ශනයක් නොපවත්වා තොරතුරුකරු සැකකරු කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ දැඩි දෝෂාරෝපනයට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ලක්ව ඇති බව කියවේ.

මේ සම්බන්ධව ඉහළ දේශපාලන අධිකාරියෙන් පොලිස්පති ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන්ට දොස් එල්ල වී තිබේ.