බම්බලපිටිය සුපිරි නිවාසයෙන් වැටුණු දරුවාගේ ශරීරයේ අයිස්!
බම්බලපිටිය සුපිරි නිවාස සංකීර්ණයක මහල් හතකින් යුත් ගොඩනැගිල්ලකින් අභිරහස් ලෙස ඇද වැටී මියගිය 15 හැවිරිදි පිරිමි දරුවාගේ ශරීරයෙහි මෙත් ඇම්ප්ටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ශරීරගතවී ඇති බවට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පැවැති මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇති බව බම්බලපිටිය පොලිසිය කියයි.
සිද්ධිය වූ ස්ථානයට පැමිණ අංක 3 අධිකරණයේ මහේස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මියගේ නියෝග මත විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රාහුල් හක් මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරිණි.
පපු ප්‍රදේශයට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ පොලීසිය කියයි. මෙලෙස මිය ගොස් තිබුණේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටි රාජා අභිලාශ් නැමැති දරුවාය. ඔහු පවුලේ එකම දරුවා විය .
මියගිය දරුවා සිකුරාදා 28 දහවල් 2.20 ට පමණක් පාසල නිම වී නිවසට පැමිණීමේ දී මව හා පියා නිවසේ නොසිටි අතර දරුවා මවට දුරකථන ඇමතුමක් ලබා දී ‘අද ටියුෂන් ක්ලාස් නෑ අම්මේ’ යැයි පවසා ඇතැයි පොලිසිය කියයි.
වැල්ලවත්තේ මාමාගේ ගෙදර දානමය පින්කමකට පැමිණි බවත් පාසල් බෑගය ආරක්ෂක කුටියෙන් තබා මාමාගේ ගෙදරට පැමිණෙන ලෙසත් මව පවසා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
එම නිවාස සංකීර්ණයේ දෙවන මහලේ පදිංචි අයෙකුට ශබ්දයක් ඇසී බලන අවස්ථාවේ දී දරුවා වැටී සිටින අයුරු දැක ඇතැයි පොලිසිය කියයි.
දරුවාගේ මරණය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන සහ සාක්ෂි මත පදනම් තවදුරටත් විමර්ශන කරන බව පොලිසිය සඳහන් කරයි