මංගේෂ්කාර්ගේ ස්වරයක ශෝකී නැවතුම : ශිවාජි උද්‍යානයේ දී අවසන් කෙරුණි

ජනප්‍රිය ගායිකා ලතා මංගේෂ්කාර්ගේ දේහය සම්පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද සවස මුම්බායි හි ශිවාජි උද්‍යානයේ දී අවසන් කෙරුණේ දශක හතක විචිත්‍රවත් සහ විසිතුරු වෘත්තීය ජීවිතයට තිත තබමිනි.

අවසන් කටයුතු සිදුකිරීමට මොහොතකට පෙර දේහය මත තබා තිබු ජාතික කොඩිය , පවුලේ ඥාතීන් වෙත භාර දෙනු ලැබුවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

භාරත ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් ලතා මංගේෂ්කාර් මහත්මිය කොවිඩ් වසංගතයට ගොදුරු වී වසර 92ක අලංකාර ජීවිත ගමනට ඊයේ (පෙබ: 06දා) නැවතීමේ තිත තැබීය. මේ කෙටි සටහන ඇයට උපහාර පිණිසය.

ඈ උපන්නේ වෙනත් නමක් දරාගෙනය. ඒ 1929 සැප්තැම්බර් 28 වැනිදා හේමා මංගේෂ්කාර් නමිනි. ඇගේ පියා විසින් පසුකාලීනව ඔහුගේම නාට්‍යයක චරිතයක් වූ ලතිකා යන්නෙන් ලතා යන නම බිඳගෙන තම දියණියට ලබා දුනි. මධ්‍ය ප්‍රදේශයේ ඉන්දෝර්හි උපන් ලතාට උපතින්ම ලැබුණේ සංගීතමය වටපිටාවකි. ඇගේ පියා සම්භාව්‍ය සංගීතඥයකු සහ වේදිකා නළුවකු, නාට්‍ය නිෂ්පාදකයකු වූ පණ්ඩිත් දීනනාත් මංගේෂ්කාර් ය. මව්, ෂේවන්ති මංගේෂ්කාර් ය. පවුලේ වැඩිමල් දියණිය වූ ලතාට සොයුරියන් සතර දෙනෙකි. සුප්‍රකට ගායිකා ආෂා බෝස්ලේ ඇගේ සහෝදරියකි.
ලතා පළමුව සංගීතය උගත්තේ සිය පියාගෙනි. සංගීතය පමණක් නොව ඇයට පිය උරුමයෙන් රංගනය ද හිමි විය. පස් හැවිරිදි වියේදී සංගීත් නාටක් ලෙස හැඳින්වූ නාට්‍යවල කුඩා ලතාටද රඟපෑමට සිදු විය. එහෙත් කුඩා ලතාගේ මනසේ රංගනයට එතරම් ඇල්මක් නොතිබුණි. ඉන් පසුව 1940 තරම් ඈත කාලයකදී ඕ සිනමාපට ආදියෙහි කුඩා චරිතවලට රංගනයෙන් දායක වී ඇත. ඕ රඟපෑවේ මහත් අපහසුවෙනි. පසුකාලීනව ඈ ඒ බව මාධ්‍යයට පවසා තිබුණේ මේ අයුරිනි.

“මම රඟපාන්න ආසා නෑ. සිංදු කීමෙනුයි මම සතු‍ටු වුණේ.”

“මම කවදාවත් රඟපාන්න ආස වුණේ නෑ. මේකප් සහ ලයිට් මාව නිතරම අපහසුවට පත් කළා. රඟපාන්න ගියාම අරක කරන්න, මේක කරන්න, මෙහෙම හැරෙන්න, දෙබස් කියන්න කියලා නොයෙක් දෙනා අණ කරන්න පටන් ගන්නවා. මම පුදුම තරම් ඒකෙන් අපහසුවට පත් වුණා.”

“පසුබිම් ගායිකාවක් වෙන්න ලැබුණ පළවෙනි මොහොතෙම මම දෙවියන්ගෙන් ඉල්ලුවේ එකම දෙයයි. ඒ, ‘තවත් චිත්‍රපටි රඟපෑම් නම් මට එපා’ කියලයි. මම හිතන්නෙ දෙවියෝ මට ඇහුම්කන් දුන්නා. ඒ විතරක් නෙවෙයි ඉන්දියානු චිත්‍රපටි කර්මාන්තයේ පසුබිම් ගායනයේ ඉහළම තැනක් මට ලබා දුන්නා.”

1942දී වසන්ත් ජොගල්කර් ගේ ‘කිට් හසාල්’ මරාති සිනමාපටයෙන් ඈ පසුබිම් ගායනයට පිවිසුණි. සිය දියණියන් චිත්‍රපටවලට ගී කීම නුරුස්සීම හේතුවෙන් ලතාගේ ගීය සිනමාපටයෙන් ඉවත්කර ගන්නට යෙදුණි. ඇගේ පියාගේ හදිසි අභාවයත් සමඟ සියල්ලේ ගලා යෑම වෙනස් වුණි. ප්‍රතිපත්ති, රුචිකත්වය පසෙකලා ඇයට ආර්ථික ගැටලුවලට පිළිතුරු සෙවීමට සිදු විය. හින්දි සහ මරාති සිනමාපටවල ලතාට රඟපාන්නට සිදු වූයේ එහෙයිනි. මහත් දුෂ්කරතා මැද ලතා සිය ප්‍රථම සිනමාපට පසුබිම් ගායනය සඳහා 1943දී යොමු විය. ඒ ‘ගජභාවු’ සිනමාපටයටය. එතරම් ප්‍රසිද්ධියක් නොලත් එම ගීතයෙන් පසුව 1948දී ‘මජ්බූර්’ සිනමාපටය සඳහා ‘දිල් මෙරා ‍තෝඩා’ නම් ගීතය ගයා ලතා සලකුණ සිහින්ව තබන්නට විය. 1949දී ප්‍රකට නිළි මධුබාලාගේ හඬට පසුබිම් ගීයක් ගයමින් ලතා මංගේෂ්කාර් තම සංගීත සලකුණ තබන්නට සමත් විය.

ඒ ‘මහල්’ සිනමාපටයේ ‘ආයේගා ආනේවාලා’ නම් ගීයයි. ලතා විසින් ඇයට වාසනාව කැන්දූ ගීය ගැයූයේ 1949දීය. ඒ ‘ලාරා ලප්පා ලාරා ලප්පා’යි. භාරතය උමතු කළ ඒ ගීයත් සමඟ ලතා මංගේෂ්කාර් යනු ඉන්දීය චිත්‍රපට පසුබිම් ගීතයට අත්‍යවශ්‍ය සාධකයක් බවට පරිවර්තනය විය. ඕ ඒ ජනප්‍රියත්වය සමඟ ‘හරි දේ හරි වෙලාවට’ කරන්නට දත් ගායිකාවක් බවට පෙරළුණි.

කලකට පෙර ඇයව ප්‍රතික්ශේප කළ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඈ සොයා එන්නට පටන් ගති. යුග ගණනාවක් එකම හුයකින් යා කිරීමට ඇගේ ගීත සමර් ථ වී ඇත. මධුමතී, මදර් ඉන්දියා, බව්ජි බව් රා, දේව්දාස්, චෝරී චෝරී, දිල් සේ, කබී කුෂී කබී ගම්, රොකී, ලව් ස්ටෝරි, වන් ටූ කා ෆෝ, පුකාර්, රන්ග් දෙ බසන්ති, ලගාන්, 1942 අ ලව් ස්ටෝරි ආදී ප්‍රකට සිනමාපට ගණනාවක පසුබිම් ගී ගයමින් ලෝකයම නැළවීමට ඈ සමත් විය.

සංඛ්‍යාත්මකව ගතහොත් එදා-මෙදාතුර ලතා මංගේෂ්කාර් විසින් ගැයූ ගීත සංඛ්‍යාව 30,000ට ආසන්නය. මෙකී ගී අතර හින්දි, මරාටි, බෙංගාලි ඇතුළු භාෂා 36කින් ඈ ගී ගයා තිබේ. සංගීතය යනු හුදෙක් භාෂාවකට කො‍ටු වූ යමක් නොවන බව ප්‍රකට කිරීමට ඇගේ මේ භාෂා පාලම සමත් වූ බව නම් නොරහසකි. විශේෂයෙන්ම යුග කිහිපයක නිළි කටහඬට පසුබිම් ගී ගැයීම යනු විශ්වකර්ම ක්‍රියාවකි.

ගීත ගායනය සහ සංගීතය ගැන ඇයට ඇත්තේ වඩාත් ප්‍රගතිශීලී මතයකි. “තරුණ අය හිතනවා මයික් එක අල්ලන් සිංදු කියන්න පුළුවන් වුණාම ඉබේම මැජික් එක පහළ වෙනවා කියලා. නමුත් සංගීතයේ මූලය අධ්‍යයනය නොකර මොකුත්ම කරන්න බෑ කියලා ඒ අය දන්නෑ. සම්භාව්‍ය සංගීතය හදාරන්නෙ නැතිව නූතන සංගීතයක් බිහි කරගන්න බෑ. දේවල් වෙනස් කරන්න ඒවායේ මූලය දැනගෙන ඉන්න ඕනෑ. එතකොටයි හැමදේම පහසු වෙන්නේ…”
ඇගේ ඉමිහිරි කටහඬ වෙනුවෙන් ලැබූ සම්මාන ද බොහොමයකි. භාරත රත්න, පද්ම විභූෂන්, පද්ම භූෂන් වැනි සම්මාන ඒ අතර ප්‍රධානය. එමෙන්ම 1958දී පළමු ‍ෆිල්ම්ෆෙයාර් සම්මානය ‘මධුමතී’ සිනමාපටයේ ‘ආජා රේ පර් දේසී’ ගීතය වෙනුවෙන් හිමි කර ගති. එමෙන්ම රෝයල් ඇල්බට් හෝල්හි ගායනා කරන්නට ලැබුණු ප්‍රථම ඉන්දීය ගායිකාව වූයේද ඇයයි. පසුබිම් ගායනය වෙනුවෙන් ‍ෆිල්ම්ෆෙයාර් සම්මාන 04ක්, විශේෂ ‍ෆිල්ම්ෆෙයාර් සම්මාන 02ක්, ‍ෆිල්ම් ෆෙයාර් විසින් ජීවිතයට එක් වතාවක් පමණක් පිරිනැමෙන සම්මානයද ඇයට හිමි වුණි. එපමණක් නොව වැඩිම වතාවක් ගී පටිගත කළ ගායිකාව ලෙස ගිනස් ලෝක වාර් තාවකට ද ඈ හිමිකම් කියයි.

මේ සියල්ල අතර තවත් වැදගත් යමක් තිබේ. ඒ ලතා මංගේෂ්කාර් විසින් සිංහලෙන් ගීතයක් ගයා තිබීමයි. ඒ, “ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි” ගීතයයි. ටී. සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ ‘සැඩ සුළං’ සිනමාපටයේ අන්තර්ගත මේ ගීතය ලියා ඇත්තේ ආනන්ද සමරකෝන් විසිනි.

ගීතයෙන් ලෝකයේ බොහෝ රටවලට පාලම් සෑදූ ඒ මිහිරි ස්වරය ලෝකයට දුන්නේ ඉමහත් ආදරයකි. ඉමිහිරිම කටහඬක් නිවී යෑමේ ශෝකය අපව ආතුර කරන්නේ එහෙයින් විය යුතුය.

 

කාංචනා අමිලානි