රාජපක්ෂවරු පෙරළාගෙන , සජිත්ට රට වටෙන්ම ඉල්ලීම් : රාජ්‍ය රහස්

රාජපක්ෂවරු පෙරළාගෙන ආණ්ඩුවෙන් එළියට එන්න යන අලුත්ම නායකයා! කණ්ඩායමක් ස්වාධීන වෙයි – ආණ්ඩුවට 113ත් නැතිවෙයි! ජුනි ජන්දෙට බැසිල් ගමට ගේන්න යන ‌’හෝම් ෂොප්’! කොළඹ වැටලීමෙන් පසු සජිත්ට රට වටෙන්ම ඉල්ලීම් ගලයි!

 

කබ්රාල් ‌මහින්ද හමුවී දුක කියයි!

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඩලස් ජොනීව හලා රහස් සාකච්ජාවකට යයි!

ණය ගෙවන්න බෑ! ආණ්ඩුව ණයහිමියන්ගෙන් සහන ඉල්ලන්න යයි!

විමල්ලා මැයි පළමු දා ආණ්ඩුව වට්ටයිද?

රට තුළ මතුව ඇති දැවැන්ත මූලය අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ පසුගිය සති කිහිපය පුරාම තිබුණේ බරපතළ කඹ ඇදිල්ලකි. ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම මන්ත්‍රීවරුන්ද කිසිසේත්ම මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු නැති බව ප්‍රසිද්ධියේම සඳහන් කරද්දී තවත් පිරිසක් දැන්වත් මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නා ලෙස කියමින් දෙපිල බෙදී කෑගසාගන්නා ආකාරයක්ද දැකගන්නට ලැබිණි. නමුත් පසුගිය සතිය වන විට මේ කඹ ඇදිල්ල අවසන් වූයේ ආණ්ඩුව නිල වශයෙන් මූල්‍ය අරමුදල හමුවට යන බවට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයත් සමගය.

බැසිල් කබ්රාල්ව එපා කියයි! ජනපති අරගෙන එයි!

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප විශේෂ අනාවරණයක් කරමින් පෙන්වා දුන් පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත පිරිස සඳුදා දින ලංකාවට පැමිණ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට පියවර ගත්තේය. එමෙන්ම එම පිරිස අඟහරුවාදා දිනයේදී ජනාධිපතිවරයා හමුවීමටද පියවර ගත්තේය. අප එම තොරතුරු අනාවරණ කරමින් තවත් විශේෂ කතාවක්ද එහිදී සඳහන් කළෙමු. ඒ, මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවේදී ඊට සම්බන්ධ වන ආණ්ඩුවේ නිලධාරීන් සම්බන්ධයෙනි. අප එහිදී පෙන්වා දුන්නේ බැසිල්, මූල්‍ය අරමුදල පැමිණෙනවාට විරුද්ධ නිලධාරීන් සිවුදෙනකු හඳුනාගෙන ඇති බවත්, එම සිවුදෙනා අතර පී.බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, එස්.ආර්. ආටිගල සහ මහ බැංකුවේ සිටින එක් නියෝජ්‍ය අධිපතිවරයෙක් සිටින බවත්ය. ඒ අනුව මෙම පිරිසෙන් අයි.එම්.එෆ්. සාකච්ඡා සඳහා සහභාගි කරගන්නා නිලධාරින් පිළිබඳ මතභේදයක් පවතින බවද අපි එහිදී කියා සිටියෙමු. අප කී ආකාරයටම බැසිල් හා ජනාධිපතිවරයා සමග මූල්‍ය අරමුදලේ නිලධාරීන් පැවැත්වූ සාකච්ඡාවේදීද මෙම මත ගැටුම එළියට පැන්නේය. එහිදී බැසිල් සමග පැවැති සාකච්ඡාවට මහබැංකු අධිපති කබ්රාල්ට ආරාධනා නොකළ අතර, ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවට කබ්රාල්ට ආරාධනා කිරීමට පියවර ගෙන තිබිණි. එය පිටුපස ඇත්තේද රසවත් කතාවකි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් ලංකාවට පැමිණ පැවැත්වූ සාකච්ඡාවේදී සහන පැකේජයක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට යෑම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කළ යුතුව තිබේ. වොෂින්ටනයේ පිහිටි මූල්‍ය අරමුදලේ මූලස්ථානය තුළ ලංකාව සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය ආරම්භ වන්නේ ඉන් පසුවය. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට නිල වශයෙන් ගියා කියා ඊට පසු දිනම ලංකාවට ණය ආධාර මුදල් හිමිවන්නේ නැත. ඒ සඳහා දීර්ඝ ක්‍රියාවලියක් මෙන්ම සැලකිය යුතු කාලයක්ද, බාධක කිහිපයක්ද පසු කිරීමට ලංකාවට සිදුවනු ඇත.

මූල්‍ය අරමුදලෙන් ජනපතිට පණිවුඩයක්! පටන් ගනිද්දීම කොන්දේසියක් දමයි!

මේ අතර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ලංකාවට පැමිණීමට ප්‍රථම එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ පණිවුඩයක් එවීමට පියවර ගෙන තිබිණි. එම පණිවුඩය මගින් දැනුම්දී තිබුණේ මූල්‍ය අරමුදල මගින් එවනු ලබන පැකේජයට ජනාධිපතිවරයා විසින් එකඟත්වය පළකරන බවට නිල වශයෙන් නිවේදනයක් අවශ්‍ය යැයි කියාය. ඉරිදා දිනයේදී ජනාධිපතිවරයාගෙන් ඊට නිල ප්‍රතිචාරය මූල්‍ය අරමුදල වෙත ලැබී තිබූ අතර දෙපාර්ශ්වය අතර නිල සාකච්ඡා ආරම්භ වූයේ ඉන් අනතුරුවය.

ඒ අනුව අප ලිපිය ආරම්භයේදී අනාවරණ කළ පරිදිම මූල්‍ය අරමුදලේ සාකච්ඡා මුල් කරගෙන ආණ්ඩුව ඇතුළේ පැවැති අර්බුදය එළියට පැන තිබිණි. සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදල මගින් ලබාදෙන මූල්‍ය ප්‍රතිපත්තිය මහ බැංකුව මගින් ක්‍රියාත්මක කළ යුතු ඇති නිසා මෙම සාකච්ඡාවලට මහ බැංකු ප්‍රධානියා ඇතුළු නිලධාරීන් සහභාගි විය යුතු වුවත් බැසිල් හා කබ්රාල් අතර පසුගිය කාලය පුරා පැවැති ගැටුම හේතුකොට ගෙන බැසිල් ඊට කබ්රාල් හෝ මහ බැංකු නිලධාරීන් එක් කරගැනීමට පියවර ගත්තේ නැත. ඒ වෙනුවට ඔහු සිය සාකච්ඡාවට එකතු කර ගත්තේ අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල පමණි. ඒ හරහා බැසිල් පෙන්වන්නට ඇත්තේ කබ්රාල්ගෙන් තමන්ට වැඩක් නැතැයි කියා විය යුතුය.

නමුත් පසු දින ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී සිදුවූයේ මීට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. එහිදී මුල්‍ය අරමුදලේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවට ජනාධිපතිවරයා කබ්රාල්ටද ආරාධනා කර තිබිණි. මීට අමතරව ගාමිණී සෙනරත්ද එම සාකච්ඡාවලට සහභාගි වී සිටියේය.

කබ්රාල්ගේ ප්‍රශ්නය මහින්ද ළගට! මහින්ද මැදිහත්ව වැඩේ ෂේප් කරයි!

ඒ අනුව පැය කිහිපයක් ගතවෙද්දී කබ්රාල් සම්බන්ධයෙන් සිදුවූ මෙම වෙනසට බලපෑ හේතුව කුමක්ද?

‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම වෙනස සිදුකිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් යම් බලපෑමක් සිදුව ඇති බවකි. මෙහිදී කබ්රාල්, බැසිල් සහ මූල්‍ය අරමුදලේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවට තමන්ට ආරාධනා නොකිරීමෙන් පසු වහාම මහින්ද හමුවීමට පියවර ගත්තේය. එහිදී තමන් මුහුණදී සිටින ගැටලු ගණනාවක් මහින්දට පෙන්වාදී ඇති කබ්රාල් බැසිල් සමග පවතින ගැටුමද නිල නොවන ආකාරයට මහින්දට දැනුම්දී සිටීමට පියවර ගත්තේය. ඒ අනුව තමන්ට බැසිල් සමග රාජකාරි කළ නොහැකි බවද කබ්රාල් මහින්දට දැනුම්දී සිටියේය.

එහිදී මහින්ද කබ්රාල්ට කියා සිටියේ ඉක්මන් තීන්දු නොගන්නා ලෙසත්, තමන් ඒ පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවත්ය. කිව්වා වාගේම මහින්ද අනෙක් පැත්තට වහාම ජනාධිපතිවරයාට කතාකොට මෙම ප්‍රශ්නය පිළිබඳ දැනුම් දීමෙන් පසු තමන් හා මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග සාකච්ඡාවට කබ්රාල්ට ආරාධනා කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මූල්‍ය අරමුදලට එරෙහිව ප්‍රසිද්ධියේම දැඩිව අදහස් ප්‍රකාශ කරමින් සිටි කබ්රාල් ජනාධිපතිවරයා හා මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා පැවැති සාකච්ඡාවට වාඩි වූයේ ඒ අනුවය.

කබ්රාල් ගෙන්නුවත් ෆොටෝ එකක් නෑ! පත්තරත් කබ්රාල්ට ගහන්න ගනී!

කෙසේ වෙතත් මෙම හමුවේදී ද විශේෂ සිදුවීමක් දැකගන්නට ලැබිණි. ඒ, ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ කබ්රාල්ගේ නම සඳහන් වුවද ඔහුගේ ඡායාරූපයක් හෝ මාධ්‍ය ඒකකය මගින් නිකුත් කොට නොතිබීමය. ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ ඡායාරූපයේ දැකගන්නට ලැබුණේ ජනාධිපතිවරයා හා මූල්‍ය අරමුදලේ නියෝජිතයන් තිදෙනා පමණක් සිටින ආකාරයකි. කබ්රාල් හෝ ගාමිණී සෙනරත් හෝ එම ඡායාරූපයේ නොසිටි නිසා බොහෝ දෙනා සිතා සිටියේ කබ්රාල් එම හමුවටද සහභාගි වී නැතැයි කියාය. ඒ අනුව ඊට පසුදින දිනපතා ඉංග්‍රීසි පුවත්පත් දෙකක්ම විශේෂ පුවතක් වාර්තා කරමින් ජනාධිපතිවරයා කබ්රාල්ට මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් වන ලෙස දැනුම්දී ඇති බවත්, කබ්රාල් වෙනුවට ආටිගල මහතා නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කිරීමට නියමිත බවත් වාර්තා කර සිටියේය. මේ බව කබ්රාල් අගමැතිවරයාට දැනුම් දී ඇති බවත්, අගමැතිවරයාද එසේ නම් කබ්රාල්ට තනතුරෙන් ඉවත් වන ලෙස සඳහන් කොට ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්ව තිබිණි.

ජනපති මාධ්‍ය ඒකකයෙන් කවදාවත් නොකරන වැඩක්!

මෙම පුවත බදාදා දින පුවත්පත් වාර්තා කිරීමත් සමග සාමාන්‍යයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නොකෙරෙන වැඩක්ද එදිනම සිදුවිය. ඒ, එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක කබ්රාල්ට එවැන්නක් දැනුම්දී නැති බවත් නිවේදනයක් මගින් දැනුම් දීමය. ඒ හරහා එකක් පැහැදිලිය. ඒ, කබ්රාල් හා බැසිල් අතර කුමන මතගැටුමක් මතුව තිබුණත් මහ බැංකු අධිපතිවරයා වශයෙන් කබ්රාල් දිගටම තනතුරේ රැඳී සිටින බවය. එ සඳහා ජනාධිපතිවරයාගේ ආශීර්වාදයද හිමිව ඇති බවය.

ණය ගෙවන්න බෑ! ආණ්ඩුව ණයහිමියන් එක්ක සාකච්ජා කරන්න තීන්දු කරයි!

මෙම අර්බුදය සමග තවත් අර්බුද කිහිපයක්ම ආණ්ඩුව ඇතුළේ මේ වන විට නිර්මාණය වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඉන් පළමුවැන්න වී ඇත්තේ ලබන මාසය වන විට ඩොලර් බිලියන 7ක ණය වාරිකයක් ගෙවීමට ආණ්ඩුවට සිදුව තිබීමය. දැනට රටේ මතුව ඇති ආර්ථික තත්ත්වය හමුවේ මෙය කිසිසේත්ම කළ නොහැක්කක් නිසා ආණ්ඩුව මේ වන විට තීරණය කර ඇත්තේ ණය හිමියන් සමග එක සාකච්ඡා මේසයක වාඩිවී එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමටය. මෙම සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර හෝ ප්‍රංශයේදීය. මීට අමතරව ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත්තේද මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකරන ආකාරය පිළිබඳවය. ඒ අනුව මෙම සාකච්ඡාවේදී ලංකාව සම්බන්ධයෙන් ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගන්නා තීන්දුව කුමක්ද, ණය කොපමණ කාලයකට ප්‍රතිව්‍යුහගත කරනවාද යන්න දැනගැනීමට එම සාකච්ඡාව අවසන් වන තෙක් සිටිය යුතුය.

ප්‍රංශ-නිව්යෝක් සාකච්ජාවලට යන්නේ කව්ද?

මීට අමතරව ආණ්ඩුව බි්‍රජින් ෆයිනෑන්ස් ප්ලෑන් හෙවත් මූල්‍යමය පරතරය පියවීමේ සැලැස්මක් පිළිබඳවද මූල්‍ය අරමුදල හා සාකච්ඡා කිරීමට නියමිතය. එම සාකච්ඡා සඳහා වාඩිවීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් බැසිල් කටයුතු කරන නමුත්, ගැටලුව වී ඇත්තේ ණය හිමියන් හා පැවැත්වෙන ප්‍රංශ, නිව්යෝර්ක් සාකච්ඡා සඳහා කවුරුන් සහභාගි වන්නේද යන්න පිළිබඳවය. ඊට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහභාගි වන්නේද, එසේත් නැත්නම් මහබැංකු නිලධාරීන් සහභාගි වන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් ආණ්ඩුව අවසන් තීන්දුවකට එළැඹ නැත.

මූල්‍ය අරමුදල කොන්දේසි දැඩි කරයි!

මේ අතර මූල්‍ය අරමුදල දැනටමත් ලංකාවට කොන්දේසි 12කින් සමන්විත යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති බව ආරංචිය. එහි පළමු කොන්දේසිය බවට 15%ක වැට් බද්ද නැවත පනවන ලෙස යෝජනා කොට ඇති බවක්ද ආරංචිය. ආණ්ඩුව බලයට පත්වූ වහාම මෙම 15% වැට් බද්දෙන් භාණ්ඩ හා සේවාවන් ගණනාවක් නිදහස් කර තිබූ අතර, මූල්‍ය අරමුදල දැනුම් දී තිබුණේ වහාම මෙම බද්ද නැවතත් ස්ථාපිත කරන ලෙසටය. මීට අමතරව රාජ්‍ය සේවකයන් අවම කිරීම, සුබසාධන සේවා අත්හිටුවීම, පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය ඇතුළු යෝජනා රැසක් එම යෝජනාවල අන්තර්ගතව ඇති බවද දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් මූල්‍ය අරමුදල හමුවට ගියා කියා ඊට පසු දිනම එම අරමුදල ලංකාවට මූල්‍යාධාර සපයන්නේ නැත. ඒ සඳහා මාස හතරක පහක දීර්ඝකාලීන ක්‍රියාවලියක් මූල්‍ය අරමුදල තුළ ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් වෙනම ලිපියක් ‘මව්රට’ පුවත්පතේ වෙනම පිටුවක පළවේ.

ආණ්ඩුව ඉස්සරහට යන්නේ කොහොමද? බැසිල් ගහන්න යන ගේම මෙන්න!

එසේ නම් ඒ දක්වා කාලය තුළ ආණ්ඩුව ඉදිරියට යන්නේ කෙසේද?

ඒ සඳහා වූ යම් වැඩපිළිවෙළක් ආණ්ඩුවේ මහ මොළකාරයා ලෙස සැලකෙන බැසිල් විසින් මේ වනවිටත් සකසා අවසන්ය. පසුගිය සතියේ බැසිල් සිදුකළ ඉන්දීය සංචාරය අතරතුරදී ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට පියවර ගත් අතර, එම මුදල ඉදිරි මාස කිහිපය සඳහා ප්‍රයෝජනයට ගැනීමටත්, ඒ අතරතුර සුපුරුදු පරිදි ආණ්ඩුවේ මැතිවරණ සිතියම එළියට ගැනීමටත් බැසිල් සැලසුම් කොට ඇත. අප මේ පිළිබඳ ඉකුත් සතියේදී විශේෂ අනාවරණයක් සිදුකළ අතර, මෙවර සිදුකිරීමට සූදානම් වන්නේ එහි අලුත්ම තොරතුරුය.

ජුනි මාසයේ පුංචි ජන්දය ස්ථිරයි!

බැසිල් මේ ආකාරයට ඡන්ද සැලසුමක් සකස් කළත්, පොහොට්ටුවේම පාක්ෂිකයන් පමණක් නොව, මැති ඇමැතිවරුන් පවා කියන්නේ ආණ්ඩුව කට මුලක් සිරවී සිටින අවස්ථාවේදී මොන ඡන්දදැයි කියාය. ඔවුන් කියා සිටින්නේ තමන්ට ගමේ බැහැලාවත් ඉන්න බැහැ යැයි කියාය. නමුත් ලබන ජුනි මාසය වන විට පුංචි ඡන්දය හෙවත් පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් කිරීමට බැසිල් මේ වන විටත් සැලසුම් සකසා අවසන් අතර ඒ සඳහා අවශ්‍ය ජයග්‍රාහී වැඩපිළිවෙළද බැසිල් සකස් කොට ක්‍රියාත්මක කොට අවසන්ය.

ගාලු මුවදොර සෙනග පුරවන්න සියල්ල ලෑස්තියි!

ඉන් පළමුවැන්න වන්නේ එළැඹෙන මැයි 01 වැනි දින දැවැන්ත මැයි රැලියක් ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමටය. මෑත කාලයේදී ගාලු මුවදොර පිටිය පාක්ෂිකයන්ගෙන් පුරවා ආණ්ඩු දිනවන ජයග්‍රාහී රැල්ල ආරම්භ කළේද වෙන කවුරුවත් නොව බැසිල්ය. ඒ, 2018 පුංචි ඡන්දයට පෙරාතුවය. ඉන් අනතුරුව ජවිපෙත්, එජාපයත් තරගයට මෙන් ගාලු මුවදොර පිටියට ජනතාව රැගෙන ඒමට කටයුතු කළහ. ඒ අනුව මෙවර බැසිල් තීන්දු කර ඇත්තේ ඉකුත් වතාවේ කළාක් මෙන්ම මෙවරද මැයි පළමුවැනිදා ගෝල්ෆේස් පිටිය පුරවා පොහොට්ටුවේ ඡන්ද එන්ජිම දිවවීමට අවශ්‍ය ශක්තිය ලබාදීමටය.

පාක්ෂිකයන්ට දෙන්න යන ඉන්ජෙක්ෂන් එක! ගම් 14,000කට කඩ 14,000ක්!

මේ වන විට පොහොට්ටු පාක්ෂිකයන් ගමේ දුර්මුඛව සිටින නිසා ඒ සඳහා අවශ්‍ය සෙනඟ සොයාගැනීමට බැසිල් කර ඇති සැලසුම කුමක්ද?

රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇති ආකාරයට බැසිල් ඒ සඳහාද වැඩපිළිවෙළක් සකසා අවසන්ය. එම සැලසුම හරහා බැසිල්ගේ ඉලක්කය වී ඇත්තේ ඡන්දය ජයග්‍රහණය කිරීම අරමුණු කරගෙනම සෑම ගමක් පාසාම දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කිරීමටය. ඒ අනුව ලංකාවේ සෑම ග්‍රාමසේවා වසමකටම කඩයක් හෙවත් ‘හෝම් ෂොප්’ එකක් පිහිටුවීම බැසිල්ගේ අරමුණය. එම කඩය ලබාදෙන්නේද ගමේ සිටින පොහොට්ටුවේ හොඳම පාක්ෂිකයකුටය. ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු ඇතුළත් ලිපියක් මේ වන විටත් පොහොට්ටුවේ සියලු ආසන සංවිධායකවරුන්ට යොමුකොට ඇති බැසිල් එම කඩය ලබාදිය යුතු පාක්ෂිකයා නම් කර එවන ලෙසද ඒ හරහා දැනුම් දී අවසන්ය.

කඩේ හදාගන්නත් සල්ලි!

මෙහි එළිපිට කිසිදු වැඩපිළිවෙළක් පෙන්වා දී නැතත්, එහි යටි පෙළෙහි ඇත්තේ වෙනස්ම කතාවකි. බැසිල්ගේ අරමුණ වී ඇත්තේ මේ හරහා සෑම ගමකම පාක්ෂිකයන් 14,000කට අධික සංඛ්‍යාවක් කඩ ලබාදීම හරහා ශක්තිමත් කිරීමටය. මුලින් මේ කඩය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 8කට ආසන්න මුදලක් ලබාදීමට සැලසුම් කළත්, මේ වන විට තීන්දු වී ඇත්තේ එම මුදල ලක්ෂ 3 දක්වා අඩුකිරීමටය.

බඩු දෙන්නෙ ඉන්දියාවෙන්! පොහොට්ටුවේ අයට 2000ක කූපන් එකකුත්!

මෙසේ ඉදිකරන කඩයට අවශ්‍ය බඩුබාහිරාදිය සපයාගන්නේ කෙසේද?

ඒ සඳහාද බැසිල් මේ වන විට වැඩපිළිවෙළක් සකසා අවසන්ය. බැසිල්ගේ සැලැස්ම වී ඇත්තේ ඉන්දීය ආධාර යටතේ ලබාදුන් ඩොලර් බිලියනයෙන් ලැබෙන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගමේ පිහිටි මෙම ‘හෝම් ෂොප්‘ හරහා අඩු මිලට ගමට ලබාදීමටය. මීට අමතරව සතොස සහ සමූපකාර හරහාද අඩු මිලට මෙම හෝම් ෂොප් කඩ වෙත බඩුබාහිරාදිය ලබාදීමට බැසිල් සැලසුම් කර තිබේ.
මීට අමතරව මෙම කඩවලින් බඩු ලබාගැනීම සඳහා පොහොට්ටුවේ තෝරාගත් සාමාජිකයන් වෙත රුපියල් 2,000ක් වටිනා කූපන් පතක් ලබාදීමටද බැසිල් සැලසුම් කර තිබේ. එම කූපන් පත් ගමේ සිටින ප්‍රබලතම පොහොට්ටු සාමාජිකයන්ට ලබාදීමටත්, ඒ හරහා ඔවුන් ශක්තිමත් කිරීමටත් බැසිල් සැලසුම් කර ඇත. මේ හරහා ගම් 14,000ක් ඉලක්ක කරගෙන පොහොට්ටුවේ සාමාජිකයන් ලක්ෂ ගණනාවක් සවිමත් කිරීමත්, ඔවුන්ගේ ශක්තිය ඉදිරි මැතිවරණයේදී සක්‍රීය ආකාරයෙන් පොහොට්ටුවට ලබාගැනීමත් බැසිල්ගේ අරමුණ වී ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

ජන්දෙට ‌කඩේ පක්ෂ කාර්යාලයක්!

තවත් නිල නොවන ආරංචියක් වන්නේ මැතිවරණයක් පැමිණි වහා මෙම හෝම් ෂොප් කඩ පක්ෂ කාර්යාල බවට පරිවර්තනය කිරීමට බැසිල් සැලසුම් කර තිබීමය. මෙම තොරතුරු කිසිදු තැනක ලිඛිතව සඳහන් නොවුණද හෝම් ෂොප් කඩ හරහා බැසිල් සැලසුම් කර ඇත්තේ එවැනි දිගුකාලීන වැඩපිළිවෙළක්ය. ඒ අනුව මෙම සමස්ත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පාක්ෂිකයන් තෝරාගැනීම බැසිල් ආරම්භ කර ඇති අතර, සිංහල අවුරුද්ද අවසන් වීමත් සමග මෙම හෝම් ෂොප් කඩ ඉදිකිරීම ආරම්භ කිරීමට සියලු කටයුතු බැසිල් සකසා අවසන්ය.

පාර්ලිමේන්තුවෙත් ගේමක් ගහන්න යයි!

බැසිල් ඊළඟට ගැසීමට නියමිතව ඇත්තේ මැතිවරණ ක්‍රමය මුල් කරගත් ගේම් එකකි. අප ඉකුත් සතියේද මේ පිළිබඳ යම් ඉඟියක් කරමින් කියා සිටියේ ප්‍රාදේශීය සභාවක ඡන්ද ප්‍රමාණයෙන් 35%ක ප්‍රතිශතයක් ගන්නා ප්‍රධාන පක්ෂයට එම සභාවේ බලය පිහිටුවිය හැකි ලෙස සංශෝධනයක් ගෙන ඒමට බැසිල් සැලසුම් කර ඇති බවකි. ඒ හරහා කුඩා පක්ෂ ක්‍රමය අහෝසි වී ගොස් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට බලය පිහිටුවීමට හැකිවන ආකාරයේ ක්‍රමයක් සකස් කිරීම බැසිල්ගේ අරමුණ බව අපි එහිදී කියා සිටියෙමු. මෙම ක්‍රමයට අනෙක් සියලු පක්ෂවල විරෝධය මේ වන විට එල්ලවී ඇතත් බැසිල්ගේ අරමුණ වී ඇත්තේ දැනට ආණ්ඩුව සතුව පවතින බහුතර බලය ප්‍රයෝජනයට ගෙන සරල බහුතරයකින් මෙම කෙටුම්පත සම්මත කරගෙන ඡන්දයට යෑමටය.

නුගේගොඩ විමල් සුළග නිවෙයි! මැයි පළමුදා යළි හමන්න පටන් ගනී! මෛත්‍රීපාලත් ගොඩවෙයි!

මේ ආකාරයට ආණ්ඩුව පැත්තෙන් බැසිල් මෙහෙයුම් ගණනාවක් ක්‍රියාත්මක කොට පැවතියදී පසුගියදා ආණ්ඩුවෙන් එළියට ආ විමල්, උදය, වාසු ඇතුළු කණ්ඩායම සිදුකරන්නට යන දේ පිළිබඳවද මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. මීට පෙර අප විශේෂ පුවතක් ලෙස ‘මව්රට නිවුස්’ වෙබ් අඩවියේ පළකරමින් කියා සිටියේ ලබන 27 වැනි දින නුගේගොඩින් දැවැන්ත රැස්වීමක් පවත්වා විමල්ලා ආණ්ඩුවට එරෙහි වැඩපිළිවෙළ දියත් කිරීමට සැලසුම් කර ඇති බවය. ඒ සඳහා පසුගිය දින කිහිපය පුරාම විවිධ සාකච්ඡා පැවැත්වෙමින් තිබූ බවද අපි එහිදී සඳහන් කළෙමු. නමුත් මෙම කණ්ඩායම සමග ආණ්ඩුවෙන් එළියට බැසීමට ශ්‍රීලනිපය තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති නිසා පසුගිය සතියේදී ඔවුන් තීන්දු කළේ 27 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ නුගේගොඩ රැලිය කල්දැමීමටය. එසේ වුවත් ආණ්ඩුව ඇතුළේ දැනට මතුව ඇති මැතිවරණ උණුසුම හේතුකොට ගෙන සාකච්ඡා වට ගණනාවකින් පසු එම කණ්ඩායම තීන්දු කළේ මැයි පළමුවැනි දිනට ආණ්ඩුවට එරෙහිව දැවැන්ත මැයි රැලියක් පවත්වා සියලු පක්ෂ සමග ආණ්ඩුවෙන් එළියට බැසීමටය. එදිනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඊට සහභාගි වී නිල වශයෙන් මේ සියලු පක්ෂ යළි එක් කොට බුලත් කොළය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහිකිරීමටද ඔවුන් මේ වන විට සැලසුම් කොට ඇති බවත් ආරංචිය.

ඒ අනුව ලබන මැයි 01 වැනිදා මෙම කැරැලිකාර පක්ෂ එකතුව සිදුකිරීමට නියමිතව ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහිකිරීම පමණක්ද?

ආණ්ඩුවෙන් එළියට එන්න යන අලුත් නායකයා!

අපට ඇති තොරතුරුවලට අනුව නම් එම ක්‍රියාවලියට අමතරව ආණ්ඩුව ඇතුළේ බිහි වෙමින් පවතින නව නායකත්වයක් පිළිබඳ ඉඟියක්ද මෙම රැලියේදී විමල්ලා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පිළිබඳ පසුගිය දිනෙක හිරු නාලිකාව සමග විමල් කළ සම්මුඛ සාකච්ඡාවකදී පළමු වරට තොරතුරු අනාවරණ විය. එහිදී වැඩසටහන මෙහෙයවූ චමුදිත විමල්ගෙන් විමසා සිටියේ ඔබතුමන්ලාගේ නායකයා කවුරුන්දැයි කියාය. එහිදී විමල් ඊට දුන්නේ අපූරු පිළිතුරකි.

‘මට හැමදේම මෙතැන කියන්න බෑ. හැබැයි මේ රටේ ප්‍රභූ පැලැන්තියෙන් නැතුව පොඩි තැනින් ජනාධිපති ධුරයට පත්වුණේ දෙන්නයි. එක්කෙනෙක් ප්‍රේමදාස. අනෙක් කෙනා මෛත්‍රිපාල. ඒ දෙන්නා හැරුණු විට අනෙක් සියලු දෙනා ආවේ ප්‍රභූ දේශපාලනයෙන්. හැබැයි මීට පස්සේ කිසිම දිනෙක අපි ප්‍රභූ පැලැන්තියට ආයෙ බලය යන්න දෙන්නෙ නෑ. අපි ගේනවා අලුත් නායකයෙක්….’ යන්න විමල් එහිදී දුන් පිළිතුර විය.

අපි මේ ගැන කලින්ම කිව්වා!

එවිට චමුදිත විමසා සිටියේ ‘කවුද ඒ නායකයා’ යනුවෙනි.

‘නෑ, දැන්ම අපි ඒක කියන්නෙ නෑ. ඒක අපි වෙලාවට එළියට දාන්නම්…’ යන්න විමල් ඊට දුන් පිළිතුරය.

විමල් පසුගිය සතියේ කී මේ කතාව අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණය කරන්නට පටන් ගත්තේ මීට සති කිහිපයකට පෙරාතුව සිටමය. අප එහිදී වරින් වර පෙන්වා දුන්නේ ආණ්ඩුව ඇතුළේ කිසිවකුටත් නොපෙනෙන්නට හොර රහසේ නායකත්වයක් ගොඩනැගෙමින් ඇති බවත්, එම නායකත්වය වටා ආණ්ඩුවේ පිරිසක් ගොනුවෙමින් සිටින බවත්ය. පෙළක් පිරිස් මම නව නායකත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේම අදහස් දක්වමින් ඔහු පිරිසිදු, නිර්මාණශීලී, කතාවට දක්ෂ, 2005 සිටම මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පසුපස සිටි විප්ලවකාරී චරිතයක් යැයි කියා තිබිණ. වරෙක ඔහු චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ සිට ආන්දෝලනාත්මක තීන්දුවක් ගනිමින් චන්ද්‍රිකාගෙන් ඉවත්ව ගියෙකු බවද එහිදී කියැවිණි.

නමුත් තවත් සමහරුන් නම් කියන්නේ එම නව නායකත්වය සාර්ථක නැති බවත්, ඔහුට ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නොමැති බවත්ය. ඒ අනුව ලබන 27 වැනිදාට නුගේගොඩදී පැවැත්වීමට නියමිතව තිබූ කැරැලිකාරයන්ගේ රැලිය මැයි පළමුවැනිදා දක්වා කල්දැමුණේ මෙම නව නායකයා සම්බන්ධයෙන් වන ප්‍රශ්නයක් නිසාද, එසේත් නැත්නම් ශ්‍රීලනිපය කළ ඉල්ලීමක් නිසාද යන්න පිළිබඳ තවමත් ඇත්තේ ගැටලුකාරී තත්ත්වයකි.

ආණ්ඩුවෙන් 10ක් ගැලවෙන්න තීන්දුයි!

මේ සියල්ල අතරවාරයේ ආණ්ඩුව ඇතුළේ තවත් කණ්ඩායමක් මේ වන විට වෙනම සාකච්ඡා වටයක් ආරම්භ කර තිබේ. එම සාකච්ඡාවට සම්බන්ධ පිරිසගේ නම්ගම් සියල්ල මේ මොහොතේ අප සතුව ඇතත් මේ අවස්ථාවේදී ඒවා අප හෙළි නොකරන්නේ ඔවුන්ට යම් අසාධාරණයක් සිදුවීමට ඇති ඉඩකඩ නිසාය. එම සාකච්ඡාවට සම්බන්ධ වී සිටින්නේ ආණ්ඩුවේ වැඩකටයුතු පිළිබඳ දැඩි ලෙස කලකිරී සිටින නමුත්, කෙළින්ම විමල්ලාගේ කණ්ඩායමට හෝ සමගි ජන බලවේගයට එක්විය නොහැකි පිරිසකි. බැලූ බැල්මට මෙම පිරිස 10 දෙනකුගෙන් සමන්විතය. එම 10 දෙනා පිටුපස තවත් කොපමණ පිරිසක් සිටින්නේද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරක් නැති වුවත් පසුගිය දින කිහිපය පුරාම ඔවුන් විවිධ තැන්වල හමුවෙමින් සාකච්ඡා කරමින් සිටින්නේ ඉදිරියේදී සිදුකිරීමට නියමිත වැඩපිළිවෙළ සම්බන්ධයෙනි. විශේෂයෙන්ම රුපියල පාකිරීමට ආණ්ඩුව ගත් තීන්දුවත් සමග දරාගත නොහැකි ආකාරයට බඩු මිල ඉහළ යෑම මුල් කරගෙන තවදුරටත් ආණ්ඩුව සමග ඉදිරියට යෑමට නොහැකි තීන්දුවකට මේ වන විටත් ඔවුන් පැමිණ අවසන්ය.

ජනපති හමුවෙලා මූණටම කියන්නත් ලෑස්තියි!

ඒ අනුව ඔවුන් ඉදිරියේ විකල්ප දෙකක් ඉතිරිව ඇත. ඉන් පළමු විකල්පය වන්නේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව ඇතුළේ කටයුතු කිරීමය. දෙවැන්න විපක්ෂයට එක්වීමය. එහිදී මුල් අදියරේදී ආණ්ඩුවටත්, විපක්ෂයටත් නොයා වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම එම විකල්පය යටතේ පවතින්නකි. මෙය කුමන ආකාරයට කරන්නේද යන්න පිළිබඳවද මෙම කණ්ඩායම අතර සංවාදයක් පැවැත්වී තිබේ. එහිදී යෝජනා දෙකක් ඉදිරිපත්ව ඇති අතර පළමු යෝජනාව වී ඇත්තේ ඉතා වැදගත් ආකාරයට ජනාධිපතිවරයාට මෙම තීන්දුව දැනුම් දිය යුතු බවය. එය ජනාධිපතිවරයා මුණගැසී ඔහුගේ මුහුණටම දැනුම්දිය යුතු බව එක් කණ්ඩායමකගේ මතය වී තිබේ.

අනෙක් මතය වී ඇත්තේ ජනාධිපතිවරයාට සියලු කරුණු ඇතුළත් කොට ලිපියක් මගින් ඒ බව දැනුම්දිය යුතු යැයි කියාය. මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන සතියේදී ගැනීමට මෙම පිරිස තීන්දු කොට ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

පළමු වෙඩිමුරය ඇමැති කෙනෙක්ගෙන් මේ සතියේ!

මේ අතර අප වෙත වාර්තා වී ඇති තවත් තොරතුරුකින් කියවෙන්නේ මෙම කණ්ඩායම නියෝජනය කරන පසුගිය දිනවල ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම සිදුකළ අමාත්‍යවරයකු බරපතළ ප්‍රකාශයක් පාර්ලිමේන්තුව ඇතුළේ සිදුකිරීමට සූදානමින් සිටිනවා යැයි කියාය. එය මේ කණ්ඩායමේ පළමු වෙඩිමුරය වනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එම ප්‍රකාශයෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත ස්වාධීන වීමේ තීන්දුව දැනුම්දීමටද මෙම කණ්ඩායම තීරණය කොට තිබේ.

ආණ්ඩුවට 113ත් නැති වෙයිද?

කෙසේ වෙතත් මෙසේ ස්වාධීන වීමට සූදානමින් සිටින ආණ්ඩුවේ කණ්ඩායමත් සමග මේ වන විට ආණ්ඩුවේ ඇති බහුතරයද බරපතළ අර්බුදයකට ලක්ව තිබේ. අප කලින් වතාවකදී කී ආකාරයට මේ වන විට සිදුව ඇති පිල් බෙදීමත් සමග ආණ්ඩුවට හිමිව ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 121කි. විපක්ෂයට මන්ත්‍රීවරුන් 103ක ප්‍රමාණයක් පවතින අතර, යම් හෙයකින් ස්වාධීන වීමට නියමිත 10 දෙනාගේ කණ්ඩායම විපක්ෂය වෙතට පැමිණියහොත් එම ප්‍රමාණය 113 දක්වා ඉහළ යාමට නියමිතය. ආණ්ඩුවේ ප්‍රමාණය 101 දක්වා පල්ලම් බැසීමට නියමිතය. ඒ අනුව තුනෙන් දෙකක බලයක් පවතිනවා යැයි කී ආණ්ඩුවට ඇතැම් විට 113ක සරල බහුතරයද අහිමි වීමේ අවදානමක් මෙම සිදුවීම හරහා ගොඩනැගී තිබේ. එසේ වුවහොත් ආණ්ඩුව ඉදිරි සති කිහිපය ඇතුළත සම්මත කරගැනීමට සූදානමින් සිටින නව ඡන්ද ක්‍රමයද ඇත්තේ අවදානම්සහගත තැනකය.

ඩලස් ජොනීව හලලා කරපු දේ!

මේ සියල්ල සිදුවද්දී පසුගිය සතියේ තවත් එක්තරා විශේෂ සිදුවීමක්ද පාර්ලිමේන්තුව ඇතුළේ සිදුවිය. ඒ, පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කමිටු අංක 01 ශාලාවේ පැවැති රැස්වීමෙන් අනතුරුවය. මෙම රැස්වීමට ආණ්ඩුව නියෝජනය කරමින් දිනේෂ්, ජොන්ස්ටන්, ඩලස් සහභාගි වී සිටි අතර, විපක්ෂය නියෝජනය කරමින් කිරිඇල්ල සහභාගි වී සිටියේය. නමුත් සාකච්ඡාව විනාඩි පහකට වඩා පැවැතියේ නැත. ඒ අනුව සාකච්ඡාව නිමවා ජොනී, ඩලස්, දිනේෂ්, කිරිඇල්ල ඇතුළු පිරිස ශාලාව ඉදිරිපිට ඇති ආලින්දයේ සිනාසෙමින් කතාබහ කරමින් සිටින විට අමරවීරත්, නිමල් සිරිපාලත් පැමිණෙන ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ඔවුන්ද කතාබහට එක්ව සුළු මොහොතක් ගතවද්දී ජොන්ස්ටනුත්, ඩලසුත් පාර්ලිමේන්තුවෙන් පිටව යෑම සඳහා එකට එළියට පැමිණෙන ආකාරයක් දැකගත හැකි විය. එහිදී ජොන්ස්ටන් වාහනයට නැඟ පිටව ගියද ඩලස් නැවත වතාවක් පාර්ලිමේන්තුව ඇතුළට පිවිසෙන ආකාරයක් දැකගත හැකි විය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ඩලස් පැමිණෙන තෙක් අමරවීරත්, නිමල් සිරිපාලත් පෙර කී ස්ථානයේම අසුන් ගෙන සිටීමය. ඒ අනුව ඩලස් පැමිණිමෙන් පසු ඔවුන් තිදෙනා අතර විනාඩි 15ක පමණ කාලයක් පුරා ඉතා බරපතළ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී සාකච්ඡා කෙරුණේ මොනවාද යන්න දැනගන්නට නැතත් ජොන්ස්ටන් ගිය පසු ඩලස් යළි පැමිණීම හරහාත්, ඩලස් පැමිණෙන තෙක් අමරවීර සහ නිමල් රැඳී සිටීම හරහාත් විශේෂ කරුණු රැසක් සාකච්ඡා වී ඇති බව නම් පැහැදිලිය.

කවුරුත් නොකරපු දෙයක් සජිත් කරලාම පෙන්වයි!

මේ සියලු සිදුවීම් මැද්දේ පසුගිය සතියේ සමගි ජන බලවේගය ඉතිහාසයේ මෙතෙක් කිසිදු විපක්ෂයක් සිදු නොකළ වැඩක් රටට කර පෙන්වීය. ඒ, ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂයේ සිටිමින් සෙනග කොළඹට ගෙනැවිත් ජනාධිපති කාර්යාලය වටලා පෙන්වීමය. මීට පෙර රටේ සිටි විපක්ෂය ගණන් කළ නොහැකි තරම් සෙනඟ කොළඹට ගෙනාවත් ඒ කිසිදු අවස්ථාවක ජනාධිපති ලේකම් කාර්යාලය වටලන්නට ගියේ නැත. මෙවර සජබය එම වාර්තාව තමන් සතුකර ගනිමින් පළමු වතාවට එම කාර්යයද රටට කර පෙන්වීය.

මරික්කාර් යෝජනාව අරන් එයි! සජිත් අනුමැතිය දෙයි!

මේ ආකාරයට ජනාධිපති ලේකම් කාර්යාලය වටලන තීන්දුව සජබෙ ගත්තේ මීට හරියටම සතියකට ඉහතදී පැවැති විශේෂ රැස්වීමකදීය. මෙම රැස්වීමට සජිත් සහභාගි වී නොසිටි අතර, ඊට රංජිත් මද්දුමබණ්ඩාර, සරත් ෆොන්සේකා, මුජිබර් රහුමාන්, රාජිත සේනාරත්න, එස්.එම්. මරික්කාර් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මෙවැනි සටන්කාමී සෑම සාකච්ඡාවකම සිටින හරීන් සහ මනූෂ එදින දැකගැනීමට නොලැබුණේ ඔවුන් රංජන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ජිනීවා බලා පිටත්ව ගොස් සිටි නිසාය. මෙහිදී මරික්කාර් සාකච්ඡාවේ සිටි පිරිසට පෙන්වා දුන්නේ සජබෙ ශක්තිය පෙන්වීම සඳහා 29 වැනිදා සල්ගාදු පිටියේ පැවැත්වෙන රැස්වීමට පෙර කිසියම් ඇඟට දැනෙන වැඩක් සංවිධාන කළ යුතු යැයි කියාය. ඒ අනුව යෝජනා වූයේ එසේ නම් කොළඹට සෙනඟ ගෙනැවිත් ජනාධිපති කාර්යාලය වැටලීමට කටයුතු කළ යුතු බවය. දිනය සඳහා යෝජනා වූයේ 10 හෝ 15 එම උද්ඝෝෂණය සිදුකළ යුතු යැයි කියාය. නමුත් 10 වැනි දින එවැන්නක් පැවැත්වීමට කල් වැඩි බැවින් 15 වැනි දින උද්ඝෝෂණය සංවිධාන කිරීමට පිරිස තීන්දු කළහ. ඒ ආකාරයට දිනය තීන්දු කිරීමෙන් අනතුරුව සජිත්ට දුරකතනයෙන් කතා කළ පිරිස මෙම යෝජනාව ඔහුට දැනුම් දී අනුමැතිය ලබාගැනීමට කටයුතු කළහ. ඒ අනුව සජිත් එම උද්ඝෝෂණ ව්‍යාපාරයේ සම්පූර්ණ ප්‍රචාරක වැඩපිළිවෙළ මරික්කාර්ට භාරදීමට පියවර ගත්තේය. දින දෙකක් ඇතුළත මරික්කාර් පෝස්ටර් ව්‍යාපාරයත්, විiුත් මාධ්‍ය දැන්වීම් සියල්ලත්, සමාජ මාධ්‍ය දැන්වීම් සියල්ලත් සකස් කොට අවසන් කිරීමට පියවර ගත්තේය.

කැම්පේන් එක හදපු හැටි!

ඉන් අනතුරුව පසුගිය සඳුදා දිනයේදී මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තවත් විශේෂ සාකච්ඡා දෙකක් සංවිධාන කෙරිණි. එහි පළමු සාකච්ඡාව පැවැත්වුණේ සජිත් සහ බස්නාහිර පළාත් සංවිධායකවරුන් අතරය. දෙවැනි සාකච්ජාව පැවැත්වුණේ සජිත් හා පිට පළාත්වල සංවිධායකවරුන් අතරය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ රැස්වීම් දෙකටම සහභාගි වූ සියලු සංවිධායකවරුන් හිතුවාටත් වඩා යහපත් ප්‍රතිචාරයක් එම යෝජනාවට දැක්වීමට පියවර ගෙන තිබීමය. ඔවුන් පෙන්වා දුන්නේ ආණ්ඩුවට එරෙහිව විරෝධය පළකිරීම සඳහා ජනතාව මේ වන විට කිසිදු බලපෑමකින් තොරව සූදානමින් සිටින බවත්, පවතින තත්ත්වය යටතේ විශාල ජනකායක් කොළඹට ගෙන ඒමට හැකියාව ඇති බවත්ය. ඒ අනුව ඔවුන්ටද අවශ්‍ය පෝස්ටර් ලබාදී සංවිධාන කටයුතු තවත් දැඩි කිරීමට මරික්කාර් ඇතුළු පිරිස පියවර ගෙන තිබිණි.

ආණ්ඩුව ගැහුවොත් මොකද කරන්නේ!

ඉන් අනතුරුව සජිත්ගේ ප්‍රධානත්වයෙන් සජබෙ ජ්‍යෙෂ්ඨයන් උද්ඝෝෂණයේ අවසන් තීන්දු කිහිපය ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය. ඒ, ඉකුත් සඳුදා දින රාත්‍රියේදීය. එහිදීද පෙළපාළියේ ගමන් මඟ ගැන අවසන් තීරණයක් ගත්තේ නැත. ඒ කුමන අවස්ථාවකදී හෝ ආණ්ඩුව පෙළපාළිය කඩාකප්පල් කිරීමට කටයුතු කරනු ඇතැයි පැවැති සැකය නිසාය. ඒ අනුව පෙර දින රාත‍්‍රී 9.30ට විපක්ෂ නායක කාර්යාලයේදී මන්ත‍්‍රීවරු කණ්ඩායම විසිර ගියේ පසු දින විරෝධතා පෙළපාළය ගැන අවසන් තීරණය ගැනීමට තියාගෙනය.

එහිදී පිරිස පෙළපාළි දෙකකින් කොළඹට ඒමට තීරණය කළහ. ඉන් එක් පෙළපාළියක් සජිත්, ෆොන්සේකා, මරික්කාර්, මනුෂ පෙරටු කරගෙන විපක්ෂ නායක කාර්යාලයේ සිට පැමිණීමටත්, අනෙක් පෙළපාළිය හරීන්ගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ සිට කොළඹට පැමිණීමටත් තීන්දු කෙරිණ. නමුත් අවසන් මොහොත දක්වා රැලිය පවත්වන ස්ථානය රහසක් වශයෙන් තබාගැනීමට පිරිස තීන්දු කළහ.

ලේක්හවුස් පාරේ ලොරියක් හංගයි!

කෙසේ වෙතත් මෙහිදී ආණ්ඩුව ජනාධිපති කාර්යාලය වෙත පැමිණීමේදී බාධා කිරීම් සිදුකළහොත් ඊට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද වෙනම සැලසුමක් සකස් කළහ. එසේ වුවහොත් ඔවුන් සැලසුම් කළේ ජනාධිපති කාර්යාලය දෙසට නොගොස් ලේක්හවුස් ඉදිරිපිටට පැමිණ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පෙළපාළිය පැවැත්වීමටය. ඒ සඳහා ඉතා රහසිගත ලෙස සකස් කරනු ලැබූ වේදිකාව සහිත ලොරි රථයකුත් විජේවර්ධන මාවතේ පිහිටි එක්තරා ස්ථානයක සඟවා තැබීමට මරික්කාර් කටයුතු කර තිබිණි.

රට වටෙන්ම සෙනග එයි!

ඒ අනුව අඟහරුවාදා මධ්‍යාහ්නය වන විට රට වටෙන්ම දැවැන්ත ජනතාවක් පෙළපාළි දෙක ආරම්භ වූ විපක්ෂ නායක කාර්යාලය අබියසටත්, පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසලටත් පැමිණ සිටි ආකාරය දැකගත හැකි විය. තීරණය කරගත් පරිදි දහවල් 02 පමණ වන විට පෙළපාළිය විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වන විටම සජිත් පෙළපාළියට එක්විය. විපක්ෂ නායක කාර්යාලයට වී පෙළපාළියේ වැඩකටයුතු ආරම්භ වන ආකාරය ගැන සොයා බලමින් සිටි ඔහු පෙළපාළිය ආරම්භයේ සිට අවසානය දක්වාම පයින් ගමන් කළේය. ඇතැම් තැන්වලදී පෙළපාළිය පාලනය කරගැනීමට අවශ්‍ය වූ විට ඔහු දිව යමින් පෙළපාළිය මෙහෙයවූවේය. සජිත් සමග ගමන් කරමින් සිටි සරත් ෆොන්සේකාටද, ඒ අනුව ඔහු සමග දිව යෑමට සිදුවිය.

විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භවූ පෙළපාළිය ජනාධිපති ලේකම් කාර්යාලය අසලට එන විට මාලිගාවත්තේ සිට පැමිණි පෙළපාළියත් ක්‍රමයෙන් ඉදිරියට එමින් තිබුණේය. පෙළපාළි දෙකම එකම අවස්ථාවේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණීමට අවශ්‍ය වූ නිසා දෙපැත්තේම පෙළපාළි සංවිධානය කරමින් සිටි කණ්ඩායම් දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ගමන් ගන්නා වේගය ගැන කතා බස් කරගන්නට විය. හරින් සහ නලින් බණ්ඩාර මාළිගාවත්තේ සිට පැමිණි අතර මනුෂ සහ මරික්කාර් විපක්ෂ නායක කාර්යාලයේ සිට පැමිණෙන පෙළපාලියේ ගමන් මග ගැන දැනුවත් කළේය.

මාළිගාවත්තේ සිට පැමිණි පෙළපාලිය කොටුව හරහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණිමට තරමක වේලාවක් ගත වූ නිසා විපක්ෂ නායක කාර්යාලයේ සිට පැමිණි පෙළපාළිය අරලියගහ මන්දිරය ඉදිරිපිට නතර වී ටික වේලාවක් විරෝධය දැක්වූවේය. ඉන් පසුව එම පෙළපාලියත් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් ආරම්භ කළේය.

ගහන බවට සජිත්ට තොරතුරක්! මරික්කාර් ත්‍රීවීලරයක එල්ලෙයි!

මෙහිදී කොල්ලුපිටිය ආසන්යෙන් ගමන් කරද්දී පිත්තල හන්දියේදී කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුවීමට නියමිත බවට සජිත්ට තොරතුරක් ලැබිණි. සජිත් වහාම මරික්කාර්ට ඇමතුමක් ලබාදෙමින් ඒ පිළිබඳ සොයාබලන ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව මරික්කාර් කළේ රැස්වීමේ ඉදිරියට පැමිණ මහ මඟ යමින් තිබූ ත්‍රිරෝද රථයක නැඟී නවම් මාවත ආසන්නයට පැමිණ ඒ පිළිබඳ සොයා බැලීමය. නමුත් පහරදීමක කිසිදු සලකුණක් සොයාගැනීමට නොහැකි වූ බැවින් මරික්කාර් නැවත සජිත්ට කතා කොට කියා සිටියේ කිසිදු ගැටලුවක් නොමැති බවත්, සැලසුම් කරගත් පරිදිම ගාලු පාර ඔස්සේ ඉදිරියට පැමිණෙන ලෙසත්ය. එමෙන්ම විජේවර්ධන මාවතේ නවතා තිබූ ට්‍රක් රථය රැගෙන එන ලෙසටද මරික්කාර් එහිදී පිරිසට දැනුම් දීමක් කළේය.

සජිත්ගෙන් තද කතාවක්!

එලෙස ගෙන්වාගත් වේදිකාවට ගොඩවූ සජිත් ඉමක් නොපෙනෙන ජන ගඟට ආචාර කරන්නට විය. වේදිකාව තිබූ උසට වඩා වැඩි උසකට නැඟීමට සජිත්ට අවශ්‍ය විය. ඒ අනුව එතැන තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍ර කිහිපයක් මතට නැඟුණු සජිත් විරෝධතාකරුවන්ට ආචාර කළේය. තවත් ටික වේලාවකින් වේදිකාව සකස් කර තිබූ වාහනයේ වහලය මතට ඔහු නැඟුණේ පැමිණ සිටින ජනතාවට හොඳින් පෙනෙන ලෙසට ආචාර කරමිනි. ජනාධිපතිවරයාට වහාම ගෙදර යන්නැයි සජිත් තද කතාවක් කරමින් පැවැසුවේය.

මිනී පෙට්ටියේ ප්‍රශ්නයට මැචිහත් වෙයි!

මෙම රැස්වීම අතරවාරයේදී කිසියම් උණුසුම් වාතාවරණයක් මතුවූයේ එක් කණ්ඩායමක් මිනී පෙට්ටියක් රැගෙන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිළිස්සීමට කටයුතු කිරීමත් සමගිනි. එහිදී ආරක්ෂාවට කැඳවා තිබූ විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග සුළු ගැටුමක්ද මතුවන ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව වහාම සජිත් මරික්කාර්ටත්, මුජිබර්ටත් උපදෙස් දුන්නේ එම ස්ථානයට ගොස් පිරිස සන්සුන් කිරීමට කටයුතු කරන ලෙසටය. සජිත් කී ආකාරයටම මුජිබරුත්, මරික්කාරුත් වහාම එම ස්ථානයට ගොස් සිද්ධිය සමථයකට පත්කිරීමට පියවර ගත්තේය.
මේ ආකාරයට සජිත් ඇතුළු දහස් සංඛ්‍යාත පාක්ෂිකයන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලා උද්ඝෝෂණය කරන විට බොහෝ දෙනා ජනාධිපතිවරයා එහි සිටිනු ඇතැයි සිතා සිටියත් එවැන්නක් දැකගත නොහැකි විය. එදින පෙරවරුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් මුණගැසුණු ජනාධිපතිවරයා දහවල් වන විට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව යෑමට පියවර ගෙන තිබිණි.

විරෝධතාව නිසා ජනපති කරපු දේ!

කෙසේ වෙතත් ආරක්ෂක අංශ විසින් මෙම විරෝධතාව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙනු ඇති බවට වාර්තා කර තිබූ බැවින්, වහාම ආරක්ෂක ප්‍රධානීන් සමග සාකච්ඡාවක් පැවැත්වූ ජනාධිපතිවරයා, කිසිදු ගැටුමකින් තොරව ඔවුන්ට උද්ඝෝෂණය කිරීමට ඉඩ ලබාදෙන ලෙස දැනුම් දී සිටියේය. යම් හෙයකින් පිරිස පාලනය කරගත නොහැකි තැනට කලබලකාරී තත්ත්වයක් මතුවුවහොත් පමණක් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙසට ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. එමෙන්ම කුමන අවස්ථාවකදී හෝ යුද හමුදාව කැඳවීමට පියවර නොගන්නා ලෙසත්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පමණක් ඊට උපයෝගී කරගන්නා ලෙසත් ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබීමද විශේෂ සිදුමක් විය.

සජිත්ට රට වටෙන්ම ඉල්ලීම් ගලයි!

මේ අයුරින් කොළඹ අතිසාර්ථකව පැවැත්වූ රැස්වීමෙන් පසු මේ වන විට සජබෙ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගෙන් තම තමන්ගේ දිස්ත්‍රික්කවලද මේ ආකාරයේ විරෝධතා පවත්වන ලෙසට පසුගිය සතියේ සජිත් වෙත ඉල්ලීම් ගලා එන්නට පටන්ගෙන තිබිණි. ඒ අනුව සජිත් මේ වන විට තීන්දු කොට ඇත්තේ ඉදිරි සතිවලදී මාතර, මොනරාගල, රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකම මේ ආකාරයේ දැවැන්ත විරෝධතා සංවිධාන කිරීමටය.

කපිල පුංචිමාන්නගේ