විකටයා වීරයා වීම නොහොත් සජිත් සහ සෙලෙන්ස්කි! : උපුල් ජෝශප් ප්‍රනාන්දු
2003 නොවැම්බරයේ එවක ජනාධිපති චන්ද්‍රිකා, අගමැති රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යාංශ තුනක් පවරාගත් විට රනිල් සිටියේ ඇමෙරිකාවේය. ඔහු ඇමෙරිකාවේ සිට එන විට කටුනායක ගුවන් තොටුපළේ චන්ද්‍රිකාගේ අමාත්‍යාංශ පවරාගැනීමට එරෙහිව විරෝධයතා ව්‍යාපාරයක් සංවිධාන කොට තිබිණි.
ජය ඝෝෂා මැද ගුවන් තොටුපළින් එළියට ඇවිත් වාහනයට නැඟගත් රනිල් ඔහුගේ දේශපාලන අගසව් මලික් සමරවික්‍රමද වාහනයට නංවා ගත්තේය. මොහොතකින් මලික්ට ඇමතුමක් ආවේය. ඇමතුම දුන්නේ ඒ වන විට රනිල්ගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති එස්.බී.ය. ඔහු මලික්ට කීවේ විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය වටලන්න සූදානමින් සිටින බවය. රනිල් එයට දැඩි සේ විරුද්ධ විය. විරෝධතාව විසුරුවා හරින්න යැයි ඔහු මලික්ට උපදෙස් දුන්නේය. පසු කලෙක චන්ද්‍රිකාගේ දේශපාලන අගසව් වූ මංගල යූ.ඇන්.පී.යට ආ විට ඔහු කීවේ එම විරෝධතා දිනයේ තමාද චන්ද්‍රිකා සමග ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හෙලිකොප්ටරයක නැඟී හොරගොල්ල වලව්වට ගිය බවත්, විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය හෝ කාර්යාලය වට කළහොත් චන්ද්‍රිකාට හොරගොල්ලෙන් වහාම කටුනායක ගුවන් තොටුපළට ගොස් විදේශගත වෙන්න හෙලිකොප්ටරයක් හොරගොල්ලේ නතර කර තිබූ බවත්ය.
‘මැඩම්, අපි ඔක්කොම බයවෙලා හිටියේ. මිනිස්සු ජනාධිපති කාර්යාලය වට කළොත් මැඩම් රට යන්න ප්ලෑන් කරගෙන හිටියේ…’
මේ මංගල සහ ශ්‍රීපති පසු කලක යූ.ඇන්.පී. ප්‍රබලයන්ට කී කතාවය. හැබැයි ඒ වෙලාවේ චන්ද්‍රිකාට වඩා රනිල් බයවෙලා හිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය හෝ මන්දිරය වටකරයි කියලාය. විරෝධතාකරුවන්ට විසිර යන්න උපදෙස් දුන් රනිල්, චන්ද්‍රිකා එක්ක සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න මලික්ව යැව්වේය. රනිල්ට ජනාධිපති වෙන්න තිබුණු හොඳම අවස්ථාව රනිල් නැති කරගත්තේ එහෙමය.
මේ කතාව මෙහෙම මතක් කරන්න වුණේ ලංකාවේ විපක්ෂයක් කවදාවත් අරලියගහ මන්දිරය හෝ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය වට කිරීම වැනි අවදානම්සහගත තීන්දුවක් ගන්න බයවී සිටි බව කියන්නටය.
1953 ඇන්.ඇම්.ලා කොල්වින්ලා පාරේ හර්තාල් කළා මිස එවක අගමැති ඩඩ්ලි පදිංචිව සිටි අරලියගහ මන්දිරය වටලන්න යන්න බිය වූහ. ජේ.ආර්., බණ්ඩාරනායකගේ ආණ්ඩුවට එරෙහිව නුවරට පාගමන් ගියා මිස අරලියගහ මන්දිරයට ගියේ නැත. 1970 බලයට පත් බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට එරෙහිව ජේ.ආර්. කොළඹ නගර සභාවේ සත්‍යග්‍රහයක් කළා මිස නුවරට පාගමනක් ගියා මිස අරලියගහ මන්දිරයට ගියේ නැත.
බණ්ඩාරනායක මැතිනිය ජේ.ආර්.ගේ ආණ්ඩුවට එරෙහිව 1987 කොටුව බෝගහ ඉදිරිපිට සත්‍යග්‍රහයක් කළා මිස ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ නැත. මහින්ද රාජපක්ෂ කොළඹ විහාරමහා දේවියේ සිට කතරගමට පයින් ගියා මිස ප්‍රේමදාසට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ නැත. මැතිනිය චන්ද්‍රිකා සමග හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධියේ සිට කොළඹ ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුවට පෙළපාළියකින් ආවා මිස ප්‍රේමදාසට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ නැත.
රනිල් සහ ගාමිණී අතුකෝරාළ නුවර සිට කොළඹ විහාරමහා දේවියට පෙළපාළියකින් ආවා මිස ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ නැත. 2005 රනිල් සහ තිස්ස කතරගම සිට කොළඹ ටවුන්හෝල් එකට පෙළපාළියෙන් ආවා මිස ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ නැත. මහින්ද 2015ට පසු ගෝල්ෆේස් පිට්ටනියට, ලේක්හවුස් වටරවුමට විරෝධතා සීමා කළා මිස ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ නැත.
බය නැතිව ජනාධිපති ලේකම් කාර්යාලය වටකොට විරෝධතාවක් දියත් කළ පළමු විපක්ෂය සහ පළමු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයය. ජනාධිපතිවරයෙක් බලයට ඇවිත් වසර 02ක් වැනි කාලයක් තුළ ආණ්ඩුවක් බලයට ඇවිත් වසරක් තුළ කොළඹට ජනතාව එක්රැස් කොට ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් හෝටලය ඉදිරියේ විරෝධතාවක් දියත් කළ පළමු විපක්ෂ නායකයාත් සජිත්ය. ඒ, 2021 නොවැම්බරයේය. ඒ, කොරෝනා නිසා මිනිස්සු පාරට බහින්නත් බය කාලයේය. ඔහු එලෙස කොළඹට ජනතාව ඒකරාශි කළේ තුනෙන් දෙකක බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවකට එරෙහිවය.
විපක්ෂයක් හැටියට යූ.ඇන්.පී.ය ආණ්ඩුවකට එරෙහිව කළ ලොකුම විරෝධතාව 2005 ජනාධිපතිවරණය ඉල්ලා කළ විරෝධයය. ඉන් පසු මහින්ද ජනාධිපති වී 2005 සිට 2015 තෙක් වසර 10ක් තුළ රනිල්ගේ නායකත්වයෙන් යූ.ඇන්.පී.ය කොළඹට ජනතාව ඒකරාශි කරන දැවැන්ත විරෝධතා ව්‍යාපාර එකක්වත් කළේ නැත. රනිල්ගේ නායකත්වයෙන් යුත් යූ.ඇන්.පී.ය 2005ට පසු යළි ජනතාව කොළඹට ඒකරාශී කළේ මෛත්‍රිපාල, රනිල්ව අගමැති ධුරයෙන් පහකළ විටදීය. එය දැවැන්ත විරොධතාවක් නොවීය. එයත් කළේ අරලියගහ මන්දිර වටරවුමේය. රනිල් බලෙන් අරලියගහ මන්දිරය අල්ලාගෙන සිටියේය. 2005 යූ.ඇන්.පී. පෙළපාළියට පසු දැවැන්ත ජනතා විරෝධතාවක් කොළඹදී පැවැතියේ මෛත්‍රි-රනිල් ආණ්ඩුවට එරෙහිව ගෝල්ෆේස් පිට්ටනියේය. එය සංවිධාන කළේ බැසිල්ය. 2019 ගෝල්ෆේස් පිට්ටනියේ පැවැති සජිත්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කරන රැලිය යූ.ඇන්.පී.ය ආණ්ඩුවේ සිටියදී සංවිධාන කළ එකකි.
එහෙම බලන කොට සජිත්ගේ සමගි ජන බලවේගයේ විරෝධතාව ලංකාවේ දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයකි. මන්ද, මෙරට ප්‍රධාන විපක්ෂයක් ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂක අංශ සමග ගැටෙන විරෝධතාවක් කිසි දිනෙක ලංකාවේ දේශපාලන විරෝධතා ඉතිහාසයේ සිදුවී නැත. සජිත් 2021 නොවැම්බරයේ ජනාධිපති ලේකම් කාර්යාලයට පේන මානයට ජනතාව ඒකරාශී කොට බලය පෙන්වීය. පසුගිය සතියේ ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුවටම ජනතාව ඒකරාශී කොට බලය පෙන්වීය.
මේ පණ නැහැ කිව්ව සජිත්ය. ගෝඨාභයට නම කියල ගහන්න බය යැයි කීව සජිත්ය. දුර්වලයෙක් යැයි කී සජිත්ය. ගෝඨාභය එක්ක ඩීල් දමලා යැයි කී සජිත්ය.
‘පිලිපීනයේ, තායිලන්තයේ මිනිස්සු ජනාධිපති මන්දිර කාර්යාල වටකරනවා. ඒත් ලංකාවේ මිනිස්සු තාම ඒකට සූදානම් නැහැ. බයයි…’
මේ, කාලයක් තිස්සේ මෙරට දේශපාලන පණ්ඩිතයන් කියන කතාවය. ඒත් සජිත්ගේ සමගි ජන බලවේගය ඒ කතාව වෙනස් කර පෙන්නුවේය. පණ නැහැ කිව්ව, දුර්වලයි කිව්ව, පණ බයයි කිව්ව, මෝඩ පුතා කිව්ව සජිත් මිනිසුන්ගේ ඒ බය නැතිකිරීම හරියට යුක්රේනයේ විකටයා කිව්ව සෙලෙන්ස්කි ලොව ශක්තිමත්ම මිනිසා කිව්ව පුටින්ට ගහන්න බය නැති කරගත්තාට සමානය.
2019 ජනාධිපතිවරණයේ පුටින්ට ඇන්දේ ගෝඨාභයය. රාජපක්ෂවාදීන් සජිත්ව ඇන්දුවේ සෙලෙන්ස්කි කියන යුක්රේන ජනාධිපති අපේක්ෂක විකටයාටය. අද රුසියාවයි, යුක්රේනයයි බලන විට වීරයා වූ පුටින් විකටයා වී ඇත. විකටයා වූ සෙලෙන්ස්කි වීරයා වී ඇත. ලංකාවේත් විකටයා, වීරයා වී ඇත.
උපුල් ජෝශප් ප්‍රනාන්දු
ගුරුදා විග්‍රහය