ජනපතිගේ නිවෙස වටලන්න තීන්දු කළ හැටි! ගේ වටලද්දී ජනපති හිටියෙ කොහෙද?

ජනපතිගේ නිවෙස වටලන්න තීන්දු කළ හැටි! ගේ වටලද්දී ජනපති හිටියෙ කොහෙද? රනිල්-අනුර-විමල් අලුත් සන්ධානයක්! මන්ත්‍රීවරු 6 දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථිර කරයි! ජයශංකර්ගේ ලංකා ගමනේ සිද්ධ වෙච්ච අමුතුම සිදුවීම! ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ට එළියට බහින්න බැරි වෙයිද? (රාජ්‍ය රහස්)

ජනපති සුමන්තිරන්ට යළි සහතිකයක් දෙයි!

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉන්දියාවෙන් දෙමළ සන්ධානයට සැර පණිවුඩයක්!

සජබෙ තීන්දු 3ක් ගනී!

හිරුණිකා දුන් ආරම්භය නැවතුණු තැන!

ලංකාවේ මෙතෙක් කල් ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සියල්ලක්ම පාහේ කොළඹ විරෝධතා පැවැත්වීම සඳහා තෝරාගත්තේ ගාලු මුවදොර පිටිය, ලිප්ටන් වටරවුම, කැම්බල් පිටිය, ජනාධිපති ලේකම් කාර්යාලය, නුගේගොඩ ආදී පොදු ස්ථානයන්ය. නමුත් ඉතිහාසයේ පළමු වතාවට මෙම තත්ත්වය වෙනස් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කාන්තාවන් කණ්ඩායමක්ද රැගෙන විත් ජනාධිපතිවරයකුගේ පෞද්ගලික නිවෙස ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කළාය. එහිදී ඇය එක් හුදෙකලා විරෝධයක් පමණක් සිදුකළත් ඒ හරහා සමාජයට දැවැන්ත පණිවුඩයක් ලබාදීමට ඇය කටයුතු කර තිබිණී. ඒ, ජනාධිපතිවරයාගේ නිවෙස ඉදිරිපිට පවා උද්ඝෝෂණ සිදුකිරීමට ජනතාව බියවිය යුතු නැති බවට වූ පණිවුඩයය.

අපි කලින්ම රාජ්‍ය රහස්වලින් කිව්වා!

මේ ආකාරයට හිරුණිකා විසින් කාන්තාවන් පිරිසක් සමග ජනාධිපතිවරයාගේ නිවෙස ඉදිරිපිට සිදුකළ විරෝධතා ව්‍යාපාරයෙන් පසු පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ එක්තරා විශේෂ අනාවරණයක් සිදුකිරීමට අප පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ඉකුත් සෙනසුරාදා (21) දින ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවෙසේ විශේෂ ආරක්ෂක රැස්වීමක් පැවැත්වී ඇති බවත්, පෙ.ව. 8 සිට ප.ව. 4 දක්වා පැවැති මෙම රැස්වීමේදී පැමිණ සිටි ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා වෙත ආරක්ෂක උපදෙස් රැසක් දී ඇති බවත්ය. අප එම සිද්ධිය ඉකුත් සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයේ පළ කළේ මේ ආකාරයටය.

ආරක්ෂක රැස්වීම අපි වාර්තා කරපු හැටි!

‘රට ඇතුළේ මේ වන විට ආර්ථික දේශපාලන අර්බුදයත් සමග විපක්ෂයද ජනතාව එක්රැස් කරමින් සිය බලමුළු තරකිරීම ආරම්භ කර තිබේ. මීට සති දෙකකට ඉහතදී එහි පළමු පියවර තබමින් සමගි ජන බලවේගය කොළඹට දහස් සංඛ්‍යාත ජනකායක් ගෙන්වා ජනාධිපති ලේකම් කාර්යාලය වැටලීමට කටයුතු කළ අතර, පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණ නුගේගොඩ රැස්වීමක් පවත්වා සිය හයිය පෙන්වීමට පියවර ගත්තේය. එමෙන්ම රට පුරාම ඇති ගෑස් පෝලිම්, තෙල් පෝලිම් සහ විදුලිය විසන්ධි කිරීම් හේතුකොට ගෙන මේ වන විට ආණ්ඩු විරෝධී රැල්ලක්ද මතුවෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. මේ නිසාම පසුගිය සඳුදා ජනාධිපතිවරයා පදිංචිව සිටින මිරිහානේ පෞද්ගලික නිවෙසෙහි විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. අපට ඇති ආරංචිවලට අනුව මෙම රැස්වීමට ජනාධිපතිවරයා සමග ආරක්ෂක අංශ නියෝජනය කරන ප්‍රධානීන්ද, ආරක්ෂක ලේකම්වරයාද, බුද්ධි අංශ ප්‍රධානීන්ද සහභාගි වී සිට ඇති අතර, පෙරවරු 8ට ආරම්භ වූ රැස්වීම සවස 4 වන තුරුම පැවැති බවක් දැනගන්නට ඇත.

මෙම සාකච්ඡාවේදී රටේ දැනට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක සංවාදයක් ජනාධිපතිවරයා හා ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර පැවැති බවක්ද ආරංචිය. ආරක්ෂක ලේකම්වරයා සංවිධාන කර තිබූ මෙම හමුවේදී බුද්ධි අංශ නිලධාරීන් විසින් රටේ දැනට මතුව ඇති තත්ත්වය පිළිබඳ සකස් කොට ඇති වාර්තා, විග්‍රහයන් සහ පුරෝකථනයන් දීර්ඝව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවද ආරංචිය. ඒ පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරීමක් (ප්‍රසන්ටේෂන් එකක්) මේ පිරිස විසින් ජනාධිපතිවරයාට සිදුකර ඇති බවක්ද දැනගන්නට ඇත.

එමෙන්ම ඉදිරියේදී මතුවිය හැකි යම් යම් අර්බුදකාරී තත්ත්වයන් මෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමැතිවරුන් ජනතාව සමග ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ බුද්ධි නිලධාරීන් විසින් ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ලබාදී ඇති බවක්ද ආරංචිය.

ආණ්ඩු විරෝධී වට්ස්ඇප් මෙහෙයුම!

කෙසේ වෙතත් පසුගිය සතියේ මෙම සිදුවීමට සම්බන්ධ තවත් සිදුවීම් වැළක්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන ආකාරයක් දැකගත හැකි විය. එහිදී අපට දැකගත හැකි වූයේ කිසිදු දේශපාලන හයියකින් තොරව ඉරිදා (03) දිනයේදී පාරට බසින ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය ජාලවල විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් වෙමින් පැවැති ආකාරයකි. විශේෂයෙන්ම මේ වන විට ජනතාව මුහුණදී ඇති දැඩි ආර්ථික අර්බුදය සහ ජීවන වියදම හමුවේ ජනතාව ස්වේච්ඡාවෙන්ම මේ සඳහා විවිධ අදහස් ඉදිරිපත් කරමින් තමන්ද එම විරෝධතාවට සම්බන්ධ වන බව සමාජ මාධ්‍ය ජාලවල සඳහන් කොට තිබීම විශේෂ සිදුවීමක් විය.

සජබෙ සහාය දෙන්න තීන්දු කරයි!

ඒ අනුව බදාදා පමණ වන විට විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන්ටද වැටහී ගිය කාරණයක් වූයේ ජනතාව ස්වේච්ඡාවෙන්ම ආණ්ඩුවට එරෙහිව පාරට බැසීමට තීරණය කොට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සිය පක්ෂද යම් ස්ථාවරයක් ගත යුතු බවත්ය. ඒ අනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග ඒ සම්බන්ධයෙන් වහාම සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එහිදී සජබ ජ්‍යෙෂ්ඨයන්ගේ ස්ථාවරය වූයේ මේ ජනතාව විසින් ස්වේච්ඡාවෙන් සංවිධාන කරන ආණ්ඩු විරෝධී සාමකාමී රැස්වීමක් නිසා ඊට සහාය පළ කිරීමේ ස්ථාවරයක සිටිය යුතු යැයි කියාය. ඒ අනුව සජිත් මෙන්ම පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ ලබාදෙමින් කියා සිටියේ එම විරෝධතා ව්‍යාපාරය තම පක්ෂය විසින් සංවිධාන නොකරන නමුත් ඊට තම පක්ෂයේ සහාය හිමි වනවා යැයි කියාය.

රනිල්-අනුර-විමල් අලුත් සන්ධානයක්!

කෙසේ වෙතත් සමගි ජන බලවේගය මෙම නිවේදනය නිකුත් කිරීමත් සමග අනෙකුත් දේශපාලන පක්ෂ අතරද යම් සංවාදයක් මතුවූ ආකාරයක් දැකගන්නට ලැබුණු අතර, විශේෂයෙන්ම 03 වැනිදා පැවැත්වෙන එම ස්වේච්ඡා විරෝධතාව සාර්ථක වුවහොත් එහි සාර්ථකත්වය සජබ ගිණුමට වැටෙනු ඇති බවට ඔවුහු සැක පළ කළහ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත්, විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණත් නිවේදන නිකුත් කරමින් මෙම උද්ඝෝෂණය කඩාකප්පල් වන ආකාරයට ජනතාව බියගැන්වීමටත්, ජනතාවට අනතුරු ඇඟවීම් සිදුකිරීමටත් කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන නිවේදනයක් නිකුත් කර තිබූ අතර, එමගින් දැනුම්දී තිබුණේ, ‘මෙම ඇතැම් විරෝධාවන්ගෙන් වාසි ලබාගැනීමට යම් යම් පිරිස් සූදානමින් සිටින බැවින් ඔවුන්ගෙන් ප්‍රවේසම් වන ලෙසත්, ජන විරෝධය නිසි අයුරින් බුද්ධිමත්ව ක්‍රියාත්මක කරන ලෙසත්ය.

අනුර මිනිස්සුන්ව බය කරපු හැටි!

ඊට සමාන අදහසක් ඉදිරිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද කියා සිටියේ කිසිදු වගකිව යුත්තෙකු නොමැති විරෝධතාවලට සම්බන්ධ වීමේදී ජනතාව ප්‍රවේසම් විය යුතු බවකි. එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේය.

‘රට පත්ව ඇත්තේ දරුණු අර්බුදකාරී තත්වයකට බව අපි දනිමු. හැම මොහොතකම සමාජය වඩ වඩාත් අර්බුදය දෙසට ගමන් කරමින් ඇති අතර සමාජයේ සෑම ජන ස්ථරයක්ම ඒ හේතුවෙන් පීඩාවට පත්වී ඇත. එවැනි මොහොතක සවිඥානිකව හා සංවිධානාත්මකව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ආදී කොටස් මෙම ජන පීඩනයට එරෙහිව සිය විරෝධය දක්වමින් සිටියි.

සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් මෙම අර්බුදයට එරෙහිව විරෝධය පෑමට අයිතියක් ඇති අතර එසේ විරෝධය පළ කළ යුතුවද තිබේ. එහෙත්, වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙස අපි ඉල්ලා සිටිමු. මන්ද එවැනි වගකීමක් නොමැති අවංක මහජන විරෝධයන් පිටුපස පවා අනතුරක් තිබිය හැකි බැවිනි.

එසේම ස්වයංව පැනනඟින ඕනෑම ආකාරයක මහජන විරෝධයන්හි අයිතිය ලාබ ලෙස ලබාගැනීම වෙනුවෙන් රබර් මුද්‍රා තැබීමට ක්‍රියා නොකරන බවද අවධාරණය කරමු.
ජනතා විමුක්ති පෙරමුණ
2022 මාර්තු 31’

ඉන් අනතුරුව විමල්ද ජනතාවට අනතුරු ඇඟවීමක් කරමින් සිටියේ විවිධ පාර්ශ්ව විසින් සිදුකරන ‘අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට ගොදුරු වීමට කටයුතු නොකරන ලෙසය. එසේ විමල් නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

විමල් කියපු කතාව!

‘අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට’ ගොදුරු වන්න එපා’

‘අප්‍රේල් 03 දා සවස 03ට පාරට බහින්න’ නම් විරෝධතාව සම්බන්ධයෙන් පළමුව පැවසිය යුත්තේ මා එම විරෝධතාවට සහයෝගය දෙන බවට සමාජ ජාලා මගින් සිදුකෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බවය. එසේම ජාතික නිදහස් පෙරමුණ හෝ පක්ෂ 11ක එකමුතුවද එම විරෝධතා ව්‍යාපාරයට කිසිදු ලෙසකින් සම්බන්ධ නොමැති බවද ඉතා වගකීමෙන් දැනුම් දෙන්නෙමු.

කෙසේ වුවද රාජිත සේනාරත්න සහ සජිත් ප්‍රේමදාස යන දේශපාලඥනයන් විවෘතවම මෙම විරෝධතාවට සහභාගි වන ලෙස පැවසීම මගින් මෙය සමගි ජන බලවේගය මෙහෙයවන විරෝධතාවයක් බව බොහෝ දුරට තහවුරු වෙමින් පවතී. රට අද පවතින තත්වයට ණය උගුලක සිර කරවීමට මූලික වූ එජාපයේ වත්මන් දිගුව වන සජබ විරෝධතාවන්ට අපි කිසිදු ආකාරයක සහයෝගයක් ලබා නොදෙන බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමු. එසේම මෙම ‘අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට’ හසු නොවන ලෙස ආණ්ඩු විරෝධී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.’

තුන්දෙනාම එකම දේ කියන්නේ කොහොාමද?

ඒ අනුව මෙම නිවේදන හරහා එක දෙයක් පැහැදිලිව දැකගන්නට ලැබිණි. ඒ, සමගි ජන බලවේගය පමණක් මෙම විරෝධතාවන්ට සහාය පළ කරද්දී විපක්ෂය නියෝජනය කරන බව කියන එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත්, දැනට ආණ්ඩුවෙන් ඉවත්ව සිටින විමල් වීරවංශත් එක මතයක සිටිමින් මෙම විරෝධතාවන්ට විරෝධය පළකිරීමය. ඒ අනුව මෙම විරෝධයන්ට එරෙහිව විපක්ෂයේ සන්ධානයක් ගොඩනැගී ඇති ආකාරයක්ද දැකගත හැකි විය.

3ට කලින් ජනතාව පාරට බසී! දහස් ගණනක් මිරිහානේ ගෙදර වට කරයි!

ඒ අනුව සිකුරාදා දහවල් වන විටත් මුළු රටේම අවධානය යොමුව තිබුණේ මෙලෙස ස්වේච්ඡාවෙන් මතුවෙමින් ආ අප්‍රේල් 03 විරෝධතා ව්‍යාපාරය දෙසටය. දේශපාලන පක්ෂ ඊට සම්බන්ධ වෙමින් නිවේදන නිකුත් කිරීම නිසා ඊට දේශපාලන මුහුණුවරකුත් ලැබී තිබුණු නමුත් ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රිය වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූයේ හදිසියේම ජනාධිපතිවරයාගේ මිරිහාන නිවෙස වටකර ඇති බවට සමාජ මාධ්‍යවල තොරතුරු පළවීමත් සමගය. කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සහ සංවිධාන වීමකින් තොරව මෙසේ තරුණයන් පිරිසක් ජනාධිපතිවරයාගේ මිරිහාන නිවෙස වටකර තිබුණු අතර එම සිදුවීම සිරස නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමත් සමග එහි දහසකට අධික පිරිසක් රැස්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. ඔවුන් විවිධ සටන් පාඨ කියමින් නිවෙස ඉදිරිපිට තිබූ මාර්ග බාධක පවා කඩාගෙන ඉදිරියට යෑමට කටයුතු කිරීමත් සමග පොලිසිය හා උද්ඝෝෂකයන් අතර ගුටිබැට හුවමාරුවක්ද දැකගන්නට ලැබිණි. රාත්‍රී 12 පමණ වන විටත් උද්ඝෝෂකයන් එම ස්ථානයේ රැඳී සිටිමින් ජනාධිපතිවරයාට විරෝධය පළකරන ආකාරයක්ද දැකගත හැකි විය. ඒ අනුව අලුයම 03 පමණ වන විට විරෝධතාකරුවන් විසිර ගිය අතර පැවැති ගැටුම්වලින් 20කට අධික පිරිසක් තුවාල ලබා තිබූ බව මාධ්‍ය වාර්තා කොට තිබිණි. එමෙන්ම බස් රථයකට ගිනිතබා තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.

අන්තවාදී කණ්ඩායමක්! ජනපති මාධ්‍ය ඒකකය කියයි!

ඒ අනුව සිකුරාදා උදෑසනම ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක් නිකුත් කෙරුනු අතර, එහි සඳහන්ව තිබුණේ සංවිධානාත්මක අන්තවාදී කණ්ඩායමක් මෙම විරෝධය පිටුපස සිටි බවය. එමෙන්ම සිකුරාදා දහවල් වන විට උද්ඝෝෂණයට සම්බන්ධ වී සිටි 50කට අධික කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමටද පොලිසිය පියවර ගෙන තිබිණි.

විරෝධය වෙලාවේ ජනපති හිටියේ ෂැංග්‍රිලාවෙද?

මේ ආකාරයට ජනාධිපතිවරයාගේ නිල නිවෙස ඉදිරිපිටට තරුණයන් විශාල කණ්ඩායමක් පැමිණ විරෝධය පළ කරද්දී ජනාධිපතිවරයා නිවෙසේ රැඳී සිටියාද යන්න සම්බන්ධයෙන් මේ වන විට රාවයන් දෙකක් පැතිර යන අයුරු දැකගන්නට තිබේ. එසේ පැතිරෙන එක් රාවයකින් කියැවෙන්නේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ රාජපක්ෂ පවුලේ අතිශය සමීපතමයකු වන සාලිය වික්‍රමසූරිය මහතාගේ පවුලේ විවාහ උත්සවයකට සහභාගි වීමට ජනාධිපතිවරයා නියමිතව සිටියා යැයි කියාය. එය ෂැංග්‍රිලා හෝටලයේ පැවැති බවද එම තොරතුරෙන් කියැවිණි.

නැත්නම් ජනපති මැදුරෙද?

තවත් රාවයකින් කියැවුණේ ජනාධිපතිවරයා එදින රාත්‍රිය ජනාධිපති මන්දිරයේ ගත කළා යැයි කියාය. මේ තොරතුරු දෙකෙන් නිවැරැදි කුමක්ද යන්න තවමත් තහවුරු වී නැතත් ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිටියේ එම තැන් දෙකෙන් එකකය.

ඔක්කොම ජනපතිට ගෙදරින් යන්න කියයි!

කෙසේ වෙතත් පසුගිය සතියේ අප ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මිරිහානේ නිවෙසේ පැවැති රැස්වීමේ තොරතුරු වාර්තා කිරීමෙන් පසු ජනාධිපතිවරයා සිය ලේකම් කාර්යාලයේ සමීපතම හිතවතුන් පිරිසක් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද පියවර ගෙන තිබිණි. එහිදී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ගේ මතය වී තිබුණේද මේ අවස්ථාවේදී ජනාධිපති මැදුරේ වාසයට යෑම ගත හැකි හොඳම විකල්ප ක්‍රියාමාර්ගය යැයි කියාය. නමුත් ජනාධිපතිවරයා එහිදී කියා ඇත්තේ සිය බිරිය වන අයෝමා ඊට අකැමැති බවය. මෙතෙක් කල් සිටි ආකාරයට මිරිහානේ නිවෙසේ ජීවත් විය යුතු බව ඇය සඳහන් කළ බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කොට තිබේ.

ජනපති, ජනපති මැදුරට!

ඒ අනුව ජනාධිපති ලේකම්වරයා පමණක් නොව ආරක්ෂක අංශ විසින්ද ජනාධිපතිවරයාට මිරිහාන පෞද්ගලික නිවෙසෙන් ඉවත් වන ලෙසට දැනුම්දී තිබීමත්, කිසිවකුත් නොසිතූ ආකාරයට බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිවෙස ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් වීමත් හේතුකොට ගෙන බොහෝ දුරට ඉදිරියේදී ජනාධිපතිවරයා ජනාධිපති මැදුරේ පදිංචියට යෑම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයය.

මන්ත්‍රීවරු ස්වාධීන වීම ස්ථිර කරයි!

කෙසේවෙතත් මේ ආකාරයට ජනාධිපතිවරයාගේ නිවෙස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙද්දී ආණ්ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හයදෙනකු කොළඹ එක්තරා ස්ථානයක රැස්ව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටි ආකාරයක් දැකගත හැකි විය. මෙම මන්ත්‍රීවරුන් හයදෙනා පසුගිය සති කිහිපය පුරාම ආණ්ඩුවේ සිටිමින් ස්වාධීන වීම සම්බන්ධයෙන් වූ නීතිමය උපදෙස් පවා ලබාගෙන තිබූ අතර එදින සාකච්ඡාවේදී ඒ පිළිබඳ අවසන් තීන්දුව ගැනීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් සාකච්ඡාව මැදදී ඔවුන්ටද ජනාධිපතිවරයාගේ නිවෙස වටලා ඇති බවත්, එය සිරස රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කෙරෙන බවත් දැනගන්නට ලැබිණි. ඒ අනුව ඔවුන් තිදෙනාද වහාම සිරස රූපවාහිනිය නරඹමින් පවතින තත්ත්වය විශ්ලේෂණය කිරීමට පියවර ගත්හ. තවදුරටත් ආණ්ඩුව සමග කටයුතු කිරීම අර්බුදකාරී බව එහිදී කිහිප දෙනකුම ප්‍රකාශ කළ අතර, ඒ අනුව අවසානයේ ඔවුන් තීන්දු කළේ ඉතාම ඉක්මනින් ස්වාධීන වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමටය.

මිරිහාන ගෙදර වැටලුවේ කව්ද?

තත්ත්වය මෙසේ තිබියදී සියල්ලන්ගේම අවධානය මේ වන විට යොමුව ඇත්තේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම තමන් මෙම උද්ඝෝෂණයට සම්බන්ධ නැති බව ප්‍රකාශ කර ඇති නිසා ඇත්ත වශයෙන්ම මෙම දැවැන්ත උද්ඝෝෂණය කවුරුන් විසින් සංවිධාන කළ එකක්දැයි කියා දැනගැනීමටය.

පසුගිය කාලවකවානුව පුරාම මේ රටේ වීදි සටන්වලට විශේෂඥයන් ලෙස හඳුනාගෙන සිටියේ වෙන කවුරුවත් නොව ජනතා විමුක්ති පෙරමුණය. එම වීදි සටන්වලදී ඔවුන්ගේ ප්‍රධානම අවිය බවට පත්ව සිටියේ වෙන කවුරුවත් නොව රටේ සියලු සරසවි නියෝජනය කරමින් රට පුරාම විහිදී සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ තරුණයන්ය. මේ වන විට මෙම ‘අන්තරයේ‘ කණ්ඩායම ජවිපෙන් වෙන්ව කුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් යුතු පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග දේශපාලන කටයුතුවල නිරතව සිටිති. මෑත ඉතිහාසය දක්වාම මෙම අන්තරය සිය විරෝධතා ව්‍යාපාරයන් පැවැත්වීම සඳහා බොහෝ දුරට තෝරාගෙන තිබුණේ විශ්වවිiාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට හෝ ලිප්ටන් වටරවුමය. අවසන් වතාවට ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත වීමටද පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් ජවිපෙ මීට දින කිහිපයකට උඩදී නුගේගොඩ රැලියක් පැවැත්වීමට පියවර ගෙන තිබූ අතර, පෙරටුගාමීන්ද නුගේගොඩ එම ස්ථානයේම විශාල විරෝධතා ව්‍යාපාරයක් ඊට දින දෙකකට පෙර පැවැත්වීම කටයුතු කර තිබිණි. නමුත් මාධ්‍ය එම විරෝධතා ව්‍යාපාරය වාර්තා කිරීමට කටයුතු කර නොතිබිණි. අප්‍රේල් 03 වැනිදා පාරට බසින සමාජ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරය කරළියට පැමිණියේ පෙරටුගාමීන් විසින් නුගේගොඩ පැවැත්වූ මෙම රැලියෙන් පසුවය. න ම්ගම් රහිතව ‘අප්‍රේල් 03 වැනිදා පාරට බහිමු’ විරෝධතා ව්‍යාපාරයට එරෙහිව ජවිපෙත්, විමල්ලාත්, එජාපයත් නිවේදන නිකුත් කළේ ඉන් අනතුරුවය.

ජයශංකර්ගේ ලංකා ගමනේ රහස්!

කලකට පසු ලංකාවේ ජාත්‍යන්තර සමුළුවක් පවත්වමින් බිම්ස්ටෙක් සමුළුව පැවැති අතර ඊට දකුණු ආසියාව නියෝජනය කරමින් ඉහළ පෙළේ මැතිඇමැතිවරුන් සහ නිලධාරීන් රුසක් සම්බන්ධ වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. ඉන්දියාව නියෝජනය කරමින් අගමැති නරේන්ද්‍ර මෝඩි ඊට සහභාගි වනු ඇති බවක් මුලින් වාර්තා වුවත් පසුව ඉන්දියාව සිය ස්ථාවරය වෙනස් කරමින් ඊට විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහභාගි කරවීමට තීන්දු කළේය. ජයශංකර්ද ලංකාවට පැමිණ සියල්ලන්ම පුදුමයට පත්කරමින් කොළඹ පිහිටි ඉන්දීය අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන පිරවුම්හලකට පවා පැමිණ ලොකු මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීමටද පියවර ගෙන තිබිණි. ඊට අමතරව එම සමුළුව අතරතුරදී දෙරට අතර ගිවිසුම් හයකට අස්සන් තැබීමටද කටයුතු කෙරිණි.
මේ සියල්ල එළිපිට සිදුවෙද්දී තිරය පිටුපස තවත් සිදුවීම් රැසක්ද සිදුවූ ආකාරයක් දැකගන්නට තිබිණි. අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමට කටයුතු කරන්නේ එසේ ජයශංකර්ගේ ලංකා ගමනේ තිරය පිටුපස සිදුවූ සිදුවීම් කිහිපයකි.

කරුණු 5කට එකගතාව!

මෙසේ ජයශංකර් ලංකාවට පැමිණීමට පෙර ජනාධිපතිවරයා හා දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡා වටයක් පැවැති බව කවුරුත් දන්නා කාරණයකි. මෙහිදී 13 වැනි සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදාහැරීමක් සිදුකිරීම, අත්අඩංගුවේ සිටින දෙමළ සැකකරුවන් නිදහස් කිරීම, උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කරගැනීම, උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා ඩයස්පෝරාවේ සහාය ඇතිව වෙනම අරමුදලක් පිහිටුවීම ඇතුළු කරුණු 5ක් වහාම ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ජනපති ජයශංකර්ට පණිවුඩයක් දෙයි!

ඒ අනුව ජනාධිපතිවරයා හා ජයශංකර් අතර පැවැති සාකච්ඡාවේදීද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කිරීමට පියවර ගත්තේය. එහිදී ජනාධිපතිවරයා ජයශංකර්ට පෙන්වා දුන්නේ ඉදිරියේදී තමන් දෙමළ ජාතික සන්ධානයට ලබාදුන් මෙම යෝජනා පහම ඉටුකිරීමට පියවර ගන්නා බවකි. ඒ සම්බන්ධයෙන් තමන් කෙරෙහි විශ්වාසය තබන ලෙස දෙමළ ජාතික සන්ධානයටත්, දෙමළ ඩයස්පෝරාවටත් දැනුම් දෙන ලෙස මෙහිදී ජනාධිපතිවරයා ජයශංකර්ට දැනුම්දීමට පියවර ගත්තේය.

දෙමළ සන්ධානයට ඉන්දියන් හවුස් එකට එන්න කියයි!

ජනාධිපතිවරයා කළ මෙම දැනුම්දීමට අනුව ජයශංකර්ද වහාම දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් කොළඹ පිහිටි ‘ඉන්ඩියන් හවුස්’ වෙත කැඳවීමට පියවර ගත්තේය. එසේ කැඳවූ ජයශංකර් ජනාධිපතිවරයා ලබාදුන් පණිවුඩය ඔවුන්ට දැනුම් දීමටද පියවර ගත්තේය. එහිදී දෙමළ සන්ධානයේ මන්ත්‍රී සුමන්තිරන් ජයශංකර්ට පෙන්වා දුන්නේ ආණ්ඩුව මීට පෙරත් මෙවැනිම ආකාරයේ පොරොන්දු අපට පමණක් නොව ඉන්දීය රජයට පවා ලබාදී ඇති නමුත් එම පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටුකර නොමැති බවකි. එම නිසා මෙවර ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරද්දී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා ගිය නව දේශපාලන විසඳුමක් උතුරේ ජනතාවට ලබාදිය යුතු බවද සුමන්තිරන් එහිදී ජයශංකර්ට පෙන්වා දුන්නේය.
සුමන්තිරන්ගේ මෙම ප්‍රකාශයත් සමග ජයශංකර් වහා කලබල වන ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ජයශංකර් කියා සිටියේ නව බලය බෙදීමක් සම්බන්ධයෙන් ආණ්ඩුවත් සමග කිසිදු ගනුදෙනුවකට නොයන ලෙසය.

අපි 13 ගැන බලාගන්නම්! ඔයාලා ඒ ගැන කතාකරන්න එපා!

‘නෑ ඒ ගැන ඔබතුමාලා කිසිම දෙයක් ආණ්ඩුව එක්ක කතා කරන්න එපා. ඒ වැඩේ අපි භාරගන්නම්. අපිට ඕනෙ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න. ඒක තමයි ඔබතුමන්ලගෙත් විසඳුම වෙන්න ඕනෙ. අපි ඒ ගැන ජනාධිපතිතුමා එක්ක කතා කරලා ඒ කටයුතු කරගන්න තීන්දු කරලයි තියෙන්නේ. හැබැයි ඕගොල්ලො කරන්න යන වැඩෙන් වෙන්නේ ආණ්ඩුවට තව කල් ගන්න අවස්ථාවක් ලබාදෙන එකයි. ඒකට ඉඩදෙන්න බෑ. අපි ආණ්ඩුවත් එක්ක කතා කරලා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරවා ගන්නම්. ඒ විසඳුම ඔබතුමාලත් භාරගන්න…’ යනුවෙන් තරමක් දැඩි ස්ථාවරයක සිටිමින් ජයශංකර් කළ ප්‍රකාශයත් සමග සුමන්තිරන්ද නිහඬවම ඊට එකඟතාව පළ කළ ආකාරයක් දැකගත හැකි විය.

උතුරු නැගෙනහිර යළි එක්වෙයිද?

මීට අමතරව උතුරු නැගෙනහිර යළි එක් කිරීම සම්බන්ධයෙන්ද දෙදෙනා අතර සාකච්ඡාවක් ඇතිවිය. එහිදී සුමන්තිරන් පෙන්වා දුන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව උතුරු නැගෙනහිර එක් පළාතක් ලෙස හඳුන්වා තිබුණද ආණ්ඩුව පසුකාලකදී එය පළාත් දෙකක් වශයෙන් වෙන්කළ බවකි. එම නිසා යළි එම පළාත් දෙක එක් කොට එක් පළාතක් ලෙස නම් කළ යුතු බව සුමන්තිරන් කියද්දී ජයශංකර්ද ඊට එකඟතාව පළ කළ ආකාරයක් දැකගත හැකි විය.

සුමන්තිරන් ‘තන්නි’ එකට කියපු කතාව!

මෙම සිදුවීම් අතරවාරයේ තවත් එක් විශේෂ සිදුවීමක්ද සිදුවිය. ඒ, සුමන්තිරන් ඉන්දියාවේ ‘තන්නි’ නමැති රූපවාහිනී නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදීමය. එහිදීද සුමන්තිරන් කියා සිටියේ ජනාධිපතිවරයා කරුණු පහක් ඉටුකරන බවට දෙමළ සන්ධානයට පොරොන්දු වී ඇති නමුත්, රාජපක්ෂවරු යනු කිසිසේත්ම විශ්වාස කළ නොහැකි පිරිසක් බවය. මේ වතාවේ එසේ පොරොන්දු කඩකිරීමට කටයුතු කළහොත් ජාත්‍යන්තරය සමග එක්වී ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එහිදී සුමන්තිරන් සඳහන් කර තිබිණි.

ජී.එල්. කලබල වෙයි!

සුමන්තිරන්ගේ මෙම ප්‍රකාශය මොහොතක් ගතවීමට පෙර මහත් ආන්දෝලනාත්මක එකක් බවට පත්වූයේ ආණ්ඩුවේ ප්‍රධානීන්ටද එය වාර්තා වීමත් සමගය. විශේෂයෙන්ම දෙමළ සන්ධානය හා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවල මැදිහත්කරු බවට පත්ව සිටි මහින්දට සුමන්තිරන්ගේ මෙම ප්‍රකාශය දැනුම් දීමට විදේශ අමාත්‍ය ජී.එල්. පියවර ගෙන තිබිණි. එමෙන්ම සුමන්තිරන්ටද කතා කළ ජී.එල්., ජනාධිපතිවරයා මෙතරම් පොරොන්දු ලබාදී තිබියදීත් මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන්නේ මන්ද යන්න පිළිබඳ විමසා සිටීමට කටයුතු කළේය. ජී.එල්.ගෙන් පසු මහින්දද සුමන්තිරන්ට කතා කොට කීවේ මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් නොකරන ලෙසත්, තමන් පවා මේ වන විට මුලදී සිටි ස්ථාවරයෙන් වෙනස්ව සිටින බවත්ය.

මහින්දත් කතා කරයි!

‘ඔයා දන්නවනෙ සුමන්තිරන් මම වුණත් මුලින් හිටියේ බලය බෙදීමට විරුද්ධවනෙ. හැබැයි දැන් මමත් හිතනවා උතුරු නැගෙනහිරට මේ බලතල දිය යුතුයි කියලා. ඒක කරන්න දැන් අපිත් සූදානම්. ඒ වගේ වෙලාවක ඔබතුමාලා මෙහෙම ප්‍රකාශ නිකුත් කළාම ඒක ඉදිරි සාකච්ඡාවලට හානිකර ලෙස බලපානවා…’ යනුවෙන් මහින්ද කියද්දී සුමන්තිරන් කීවේ තමන් එම ප්‍රකාශය කළේ අතීත සිදුවීම් මත පදනම්ව යැයි කියාය.

ජනපතිගෙනුත් සුමන්තිරන්ට කෝල් එකක්!

පසුව ජී.එල්. මේ බව ජනාධිපතිවරයාටද දැනුම් දීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයාද සුමන්තිරන්ට කතා කොට මේ කතාවේ ඇත්ත නැත්ත විමසා සිටියේය.

‘ඔව් මම එහෙම එකක් කිව්වා තමයි. මොකද අපිට මේවා ඉටුකරනකන් විශ්වාස නෑ. අපි දැන් මේ පොරොන්දු අපේ ජනතාව ඉස්සරහට ගිහිල්ලා කියලා ඔබතුමාලා ඒවා ඉටු නොකළාම අපිට ඒ ජනතාව ඉස්සරහට ආයෙමත් යන්න බෑ. අපි මොනවද දෙමළ ජනතාවට කියන්නේ. තමිල්නාඩුවෙ ඉන්න අපේ ජනතාවට අපි මොනවද කියන්නේ? මට මේ ගැන අගමැතිතුමත් විදේශ ඇමැතිතුමත් නෝක්කාඩුවෙන් කතා කළා.’ යනුවෙන් සුමන්තිරන් කියද්දී ජනාධිපතිවරයා කීවේ පවතින යථාර්ථය තමන්ට වටහාගත හැකි බවය.

මාව විශ්වාස කරන්න! මගෙත් එක්ක ඉන්න!

‘මට තේරෙනවා ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න. ඕගොල්ලන්ට අපි ගැන අවිශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඕගොල්ලො ඒ අවිශ්වාසය මාධ්‍යයට ප්‍රකාශ කළාට කමක් නෑ. මොකද ඕගොල්ලොන්ගෙ ජනතාවත් එක්ක ඕගොල්ලො දේශපාලනය කරන්න ඕනෙ. ඒ නිසා මම මේක කොහොම හරි කරනවා කියන එක විතරක් ඔබතුමන්ලා මතක තියාගන්න. අගමැතිතුමයි, විදේශ ඇමැතිතුමයි කියපු කතා එච්චර ගණන් ගන්න එපා. ඔබතුමාලා මගෙත් එක්ක ඉන්න….’ යන්න ජනාධිපතිවරයා එහිදී සුමන්තිරන්ට කියා සිටි කතාව විය.

රට වටෙන්ම ලොක්කන්ට විරෝධතා!

ජනාධිපතිවරයාට එරෙහිව මිරිහානේ ඔහුගේ පෞද්ගලික නිවෙස ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයෙන් පසු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ඉලක්ක කොට මේ වන විට දීපව්‍යාප්ත විරෝධතා රැල්ලක් මතුවී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. සිකුරාදා දිනයේදී පමණක් ඊට අදාළ තවත් සිදුවීම් දෙකක් වාර්තා විය. ඉන් එක් සිදුවීමක් වූයේ නුවරඑළිය වසන්ත උදානය උත්සවය විවෘත කිරීමේ අවස්ථාවට අගමැති ආර්යාව සහභාගි වන බවට තොරතුරක් වාර්තා වීමත් සමග විශාල පිරිසක් බලහත්කාරයෙන් උත්සව භූමියට ඇතුළු වී ඊට එරෙහිව විරෝධතා දැක්වීමට කටයුතු කිරීමය. දෙවැන්න වූයේ කිරිඉබ්බන්ආරේදී ගොවි ජනතාවට ඔප්පු ලබාදීම සඳහා ශෂේන්ද්‍ර රාජපක්ෂ අමාත්‍යවරයා පැමිණෙන බවට කර තිබූ දැනුම්දීමකට අනුව ජනතාව කළු කොඩි ඔසවා ශෂේන්ද්‍රට විරෝධය පෑමට පියවර ගෙන තිබීමය. මේ හේතුවෙන් ශෂේන්ද්‍ර එම උත්සවයට සහභාගි නොවීමට කටයුතු කර තිබූ බවක්ද වාර්තා විය.

නාමල්ටත් විරෝධයක්!

මීට අමතරව පසුගිය සතියේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙනද විශාල විරෝධයක් මතුව තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඊට හේතු වූයේ බණ්ඩාරවෙල ක්‍රීඩාංගනයක් විවෘත කිරීම සඳහා නාමල් පසුගිය බදාදා (30) බණ්ඩාරවෙලට පැමිණෙන බවට ආණ්ඩුවේ දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් වෙත රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ යොමුකර තිබූ ආරාධනා පත්‍රයකි. කෙසේවෙතත් උත්සවයට දින දෙකක් තබා තේනුකට ලැබුණු තොරතුරකින් කියැවුණේ යම්කිසි කණ්ඩායමක් මෙම ගමනේදී නාමල්ට විරෝධය පළකිරීමට සූදානමින් සිටිනා බවය. එම නිසා විශාල සද්දයක් දමා ක්‍රීඩාංගනය විවෘත කිරීමට සැලසුම් කර තිබුණත් ලැබුණු මෙම තොරතුරත් සමග තේනුක ඇතුළු කණ්ඩායම කළේ කිසිදු සද්ද බද්දයකින් තොරව එම උත්සවය අවලංගු කිරීමය. නමුත් මෙම තත්ත්වය නොදැන සිටි ජනතාව බදාදා දින නාමල් බණ්ඩාරවෙලට පැමිණෙතැයි සිතා එසේ පැමිණිය හැකි සියලු මාර්ග ආවරණය කොට විරෝධතා පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඒ වන විටත් ආරාධනා පත්‍රය මාධ්‍ය වෙත යොමුව තිබූ නිසා බොහෝ සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ බණ්ඩාරවෙලට පැමිණි නාමල්ට මෙම විරෝධය එල්ලවූවා යැයි කියාය.

ට්විටර් ගිණුමේ යුද්ධයක්!

ඒ අනුව වහාම නාමල්ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම පුවත අසත්‍යයක් බවත්, එවැනි අසත්‍ය පුවත් පළ කිරීම සම්බන්ධයෙන් තමන් කනගාටු වන බවත්ය. මේ ආකාරයට නාමල් ට්විටර් පණිවුඩයක් තැබීමත් සමග එක්තරා විශේෂ පුද්ගලයෙක් ඊට ප්‍රතිචාර දැක්වීමට පියවර ගෙන තිබිණි. ඔහු නමින් සංජය වීරවර්ණ නමැත්තෙකි. එමෙන්ම පසුගිය කාලයේදී වියත් මග හරහා ගෝඨාභය සහ නාමල් වෙනුවෙන් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළ අයෙකි. එමෙන්ම ඔහු SWO 2 නමැති ප්‍රකට තොරතුරු තාක්ෂණ ආයතනයේ ප්‍රධානියාය. ඒ අනුව නාමල්ට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ මෙසේ කනගාටුව ප්‍රකාශ කිරීමෙන් පලක් නොවන බවත්, රටේ පවතින තත්ත්වය වහාම නිවැරැදි කිරීමට පියවර ගන්නා ලෙසත්ය. රටේ ජනතාවට විදුලිය නොමැති බැවින් වහාම තම පියාටත්, පියාගේ සහෝදරයන්ටත් කතා කරන ලෙස කියා සිටි සංජය, විදුලි අර්බූදය විසඳීමට වහාම මුදල් සොයාගන්නා ලෙසත්, එම කටයුතු සිදු කළ නොහැකි නම් වහාම ඉවත්ව යන ලෙසත් සටහන් කොට තිබේ. එසේම නිදහසෙන් පසු ලංකාවේ ඇතිවූ බරපතළම අර්බුදය මෙය බවද සංජය සිය ට්විටර් සටහනෙන් නාමල්ට දැනුම්දීමට පියවර ගෙන ඇත.

මෙම ට්විටර් පණිවුඩයට වහාම ප්‍රතිචාර දැක්වීමට නාමල්ද පියවර ගෙන තිබිණි. එහිදී නාමල් කියා සිටියේ තමන්ටද මෙම අර්බුදය වැටහෙන බවත්, වහාම එය විසඳීමට කටයුතු කරන බවත්ය. ඊට දීර්ඝකාලීන විසඳුම් අවශ්‍ය බව කියා සිටි නාමල් පුනර්ජනනීය බලශක්තිය එක් විසඳුමක් බවද පෙන්වා දී තිබිණි. ඒ හේතුවෙන් වහාම පවතින නීතිරීති වෙනස් කොට ඉක්මනින්ම පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවන බවද නාමල් එහිදී කියා තිබිණි.

සජබෙත් රැස්වෙයි!

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ද පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ජනාධිපතිවරයාගේ නිවෙස ආසන්නයේ මතුවූ සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හදිසියේම රැස්විය. සජිත්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ රැස්වීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම පෙන්වා දුන්නේ ආණ්ඩුවට තවදුරටත් පාර්ලිමේන්තු බහුතරය ආරක්ෂා කරගත නොහැකි බවත්, එවැනි අවස්ථාවකදී සමගි ජනබලවේගය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව යම් සැලැස්මක් සකස් කරගත යුතු බවත්ය.

තීන්දු 3ක් ගනී!

මෙහිදී කුමන තත්ත්වයක් යටතේවත් ඔළුගෙඩි මාරු කිරීමෙන් ආණ්ඩුවක් පිහිටුවිය යුතු නැති බව සජිත් ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ගේ මතය විය. ඒ වෙනුවට ආණ්ඩුවට බහුතරය අහිමි වන්නේ නම් ආණ්ඩුව ඇතුළෙන්ම වෙනත් අගමැතිවරයකු තෝරාගෙන අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදිය යුතු බවත්, එය කුමන කාලයකට පවත්වාගෙන යෑමට ඉඩ දෙනවාද යන්න සම්බන්ධයෙන් පක්ෂය තීන්දුවක් ගතයුතු බවත් එහිදී සාකච්ජා කෙරිණ. එහිදී නිශ්චිත කාලයකදී ආණ්ඩුව විසුරුවාහැරීමට කටයුතු කළ යුතු බවත්, එවැනි යෝජනාවක් ඉදිරිපත් වූ විට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ග තයුතු බවත් එහිදී කියැවිණි. කෙසේ වෙතත් සියලු මන්ත්‍රීවරුන් එහිදී එක් ස්ථාවරයක සිටිමින් කියා සිටියේ මෙම සියලු තීන්දු තීරණ ජනතාවගේ පාර්ශ්වයෙන් සිතා ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ගතයුතු යැයි කියාය.

කපිල පුංචිමාන්නගේ