ආණ්ඩු පෙරළන සාකච්ජා ඇරඹේ! ආණ්ඩුවේ පක්ෂ රැසක් සජිත් හමුවී සාකච්ජා කරයි!

ආණ්ඩු පෙරළන සාකච්ජා ඇරඹේ! මහින්ද ඉල්ලා අස්වීමේ ලියුම හදයි! අගමැතිකමට නම් 5ක්! ආණ්ඩුවේ පක්ෂ රැසක් සජිත් හමුවී සාකච්ජා කරයි! (රාජ්‍ය රහස්)

හමුදාව පොලිසිය ආණ්ඩුව එක්කද? ජනපති කියපු කතාව!

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෛත්‍රී‌ගෙන් ජනපතිට සහතිකයක්!

ලොක්කන් රටින් පිටවීම ඇරඹේ!

අවුරදු 3කදී වෙච්ච දෙයක්!

69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්කිරීමට ඡන්දය ලබාදී තවමත් වසර 3ක්වත් ගෙවී ගොස් නැත. එමෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවකට තුනෙන් දෙකක විශේෂ බහුතර බලයක් ලබාදී තවමත් ගෙවී ඇත්තේ වසර දෙකකට මදක් වැඩි කාලයකි. නමුත් මේ වසර තුන ඇතුළත ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පත්කිරීමට කටයුතු කළ ජනතාව මෙන්ම විරුද්ධව ඡන්දය භාවිත කළ ජනතාවද, මධ්‍යස්ථව සිටි ජනතාවද මේ වනවිට ‘ගෝඨා ගෝ හෝම්‘ යනුවෙන් කියමින් දිවා රෑ නොබලා පාරට බැස ඇති ආකාරයක් දැකගන්නට ඇත. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ජනතාව මෙන්ම මධ්‍යම පාන්තික ජනතාවද, ඉහළ පන්තියේ ජනතාවද, පහළ පන්තියේ පීඩිත ජනතාවද මෙම උද්ඝෝෂණවලට වෙනසක් නොමැතිව සහභාගි වී සිටීම මෙහි දැකගන්නට ලැබෙන අනෙක් විශේෂත්වයයි. ඒ අනුව මෙම විරෝධතා හමුවේ දැන් ආණ්ඩුව සිටින්නේ මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී යන තත්ත්වයකට මුහුණ දීය. එක් අතකින් මතුව ඇති මෙම ආර්ථික දේශපාලන අර්බුදයට ආණ්ඩුවට නිශ්චිත විසඳුමක් ඇති ආකාරයක්ද දැකගන්නට නැත. පාර්ලිමේන්තුව හරහා රට ගොඩගන්නා නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් වන ආකාරයක් පෙනෙන්නටද නැත. මේ නිසා ජනතාව දිගටම පාරට බැස උද්ඝෝෂණ පැවැත්වීම හරහා රටේ සියලු කටයුතු අකර්මණ්‍ය වීමේ අවදානමක් මේ වන විට මතුව ඇති ආකාරයක්ද දැකගන්නට ඇත.

ආණ්ඩු පෙරළන සාකච්ජා පටන් ගනී!

කෙසේ වෙතත් මේ තත්ත්වය යටතේ ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් විවිධ කණ්ඩායම් පසුගිය සතිය පුරාම විවිධ තැන්වල රැස්වෙමින් සාකච්ඡා පැවැත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. විශේෂයෙන්ම ආණ්ඩුවෙන් එළියට පැමිණි විමල් වීරවංශ පාර්ශ්වය අවස්ථා ගණනාවකදීම මුණගැසී සාකච්ඡා පවත්වමින් ආණ්ඩු වෙනස් කළ හැකි ආකාරය සංවාදයට ලක්කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඔවුන්ගේ ස්ථාවරය වී තිබුණේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයම ඉවත් වී අලුත් අගමැතිවරයකු යටතේ අන්තර්වාර පාලනයක් නිර්මාණය කිරීමය. අපි අවස්ථාවන් ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ මෙසේ ආණ්ඩුව ඇතුළෙන්ම එළියට පැමිණීමට නියමිත අලුත් නායකයකු ගැන ඉඟි පළකරමින් සිටියෙමු. ආණ්ඩුවෙන් එළියට පැමිණි විමල් පාර්ශ්වයද ඒ අලුත් නායකයා සමග එකට සිටගැනීමට සැලසුම් කර ඇති ආකාරයක්ද අපි එහිදී සඳහන් කර සිටියෙමු. අප අනාවරණ කළ ආකාරයටම විමල්ලාගේ අලුත් නායකයා වී ඇත්තේ වෙන කවුරුවත් නොව ඩලස් අලහප්පෙරුමය. ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ ඩලස් අගමැති ධුරයට පත්කොට ඔහුගේ ප්‍රධානත්වයෙන් නව කැබිනට් මණ්ඩලයක් හරහා අන්තර්වාර පාලනයක් නිර්මාණය කරගනිමින් රට ඉදිරියට ගෙන යෑමටය.

ජනපති විමල්ලාට එන්න කියයි! 100ක කතාවෙන් ජනපති බයවෙයි!

මේ තත්ත්වය වාර්තා වීමත් සමග ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේ විමල් ඇතුළු කණ්ඩායම සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවූවේය. මෙහිදී සිය න්‍යාය පත්‍රය එළියට දමමින් විමල් ජනාධිපතිවරයාට කියා සිටියේ පවතින අර්බුදකාරී වාතාවරණය යටතේ ආණ්ඩුවට බහුතර බලය නොමැති බවත්, තම කණ්ඩායමට මන්ත්‍රීවරුන් සියයක පිරිසක් ඇතුළත්ව සිටින බවය. ඒ අනුව සම්පූර්ණ කැබිනට් මණ්ඩල ඉල්ලා අස්විය යුතු බව එහිදි විමල් ජනාධිපතිවරයාට දැනුම්දී සිටියේය. කෙසේ වෙතත් එහිදී විමල් අගමැති ධුරය සඳහා ඩලස්ගේ නම ඉදිරියට රැගෙන ආවේ නැත. විමල් කීවේ මහින්දගේ අගමැතිත්වයෙන්ම අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතු යැයි කියාය.

මහින්ද අස්වීමේ ලියුම හදයි!

කෙසේ වෙතත් විමල්ගේ මේ මන්ත්‍රීවරුන් 100ක් තමන් සමග සිටිනවා යනුවෙන් කී කතාවට අත්දැකීම් අඩුකම නිසාදෝ ජනාධිපතිවරයාද තරමක් කලබලයට පත්වූ ආකාරයක් දැකගත හැකි විය. සාමාන්‍යයෙන් එසේ සිටිනවා නම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙසට විමල්ට අභියෝග කළ යුතුව තිබුණත් ජනාධිපතිවරයා එසේ නොකොට වහාම මහින්දට කතා කොට කීවේ පාර්ලිමේන්තුවේ බහුතරය පොහොට්ටුවට නොමැති බැවින් අගමැතිකමින් ඉල්ලා අස්වන්න යැයි කියාය. මහින්දද කිසිවක් නොකියා ජනාධිපතිවරයා කී කතාවට එකඟතාව පළ කරමින් ඉල්ලා අස්වීමේ ලිපිය සකස් කරන්නට පියවර ගත්තේය. ඒ වන විට ජනාධිපතිවරයාගේ මෙම ප්‍රතිචාරය මහින්දගේ පවුලේ ඥාතීන් වන ශිරන්තිටත්, යෝෂිතටත්, රෝහිතටත් වාර්තා වී තිබිණි. ඒ අනුව වහාම ඉල්ලා අස්වීමේ ලිපිය සකස් කරමින් සිටි මහින්දව මුණගැසුණු ඔවුන් තිදෙනා මේ සම්බන්ධයෙන් දෙවරක් කල්පනා කර බලන ලෙස මහින්දගෙන් ඉල්ලා සිටීමට පියවර ගත්හ. එළියේ ජනතාව පාරට බැස ඉල්ලන්නේ මහින්ද අස්වීමක් නොවන බව කියා සිටි ඔවුහු දැන් සිදුවෙමින් පවතින්නේ ජනතාව ඉල්ලන දේ නොව වෙනත් දෙයක් බවද මහින්දට පෙන්වා දුන්හ.

ජොනී අරලියගහ මැදුරට කඩාගෙන එයි! විමල්ගේ බොරුව පෙන්වයි!

මේ අතරවාරයේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මහින්ද ඉල්ලා අස්වීමේ ලිපිය සකස් කරන බවට වූ පුවත අරලියගහ මන්දිරයෙන් එළියටද පැමිණ තිබිණි. ඒ අනුව එම පුවත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන ජොනීගේ කනටද වැටිණි. ඒ අනුව වහාම අරලියගහ මන්දිරයට පැමිණි ජොනී, මහින්දට කියා සිටියේ ඉක්මන් වී හදිසි තීන්දු නොගන්නා ලෙසත්, අගමැතිකමෙන් ඉවත් වීමට කටයුතු නොකරන ලෙසත්ය. මෙහිදී මහින්ද ජොනීට කියා සිටියේ විමල් ඇතුළු කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවීමට ගොස් බහුතරය නැති බව කියා ඇති බැවින් ජනාධිපතිවරයා තමන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් බවය. නමුත් මහින්දගේ මෙම පිළිතුරට ජොනී එකඟ වූයේ නැත. ජොනී කියා සිටියේ එම කතාව සම්පූර්ණයෙන්ම බොරු බවත්, තවමත් බහුතරය ආණ්ඩුව සතුව පවතින බවත්ය.

මහින්ද ලියුම නවත්වයි!

‘නෑ ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්. තවමත් බහුතරය තියෙන්නේ අපේ අතේ. ඒ අයට බහුතරය තියෙනවා කියලා කියනව නම් අඟහරුවාදා පාර්ලිමේන්තුව පටන්ගන්නවනේ. ඒකෙදි බහුතරය පෙන්නන්න කියන්න. අපි බලමු ඔය ස්වාධීන වෙනවා කියන කණ්ඩායමේ කීදෙනෙක් ඉන්නවද කියලා. අපි ඔබතුමාව කීයටවත් අයින් කරන්න ඉඩ තියන්නේ නෑ…’ යනුවෙන් ජොනී මහින්දට කියද්දී තත්ත්වය තේරුම් ගත් මහින්දද සිය ඉල්ලා අස්වීමේ ලිපිය සකස් කරන කටයුත්ත නවතාලීමට පියවර ගත්තේය.

බැසිල් අයින් වෙන්න බෑ කියයි! පණිවුඩ අරන් ආපු අය එළවගනී!

කෙසේ වෙතත් ඒ වන විට ආණ්ඩුවෙන් ඉවත් වූ විමල්ගේ පාර්ශ්වයට මෙන්ම ආණ්ඩුව ඇතුළේ ස්වාධීනව සිටින කණ්ඩායමේද ප්‍රධාන ප්‍රශ්නය මෙන්ම ප්‍රධාන ඉලක්කය වී තිබුණේ වෙන කවුරුවත් නොව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂය. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වී තිබුණේ බැසිල් ඉවත් කොට වෙනත් අයකු මුදල් අමාත්‍ය ධුරය සඳහා නම් කළ යුතු යැයි කියාය. ඒ අනුව ප්‍රධාන ගැටලුව බැසිල් වී තිබූ බැවින් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් බැසිල්ට පණිවුඩ යවමින් කියා තිබුණේ වහාම මුදල් ඇමැති ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරන්න යැයි කියාය. නමුත් බැසිල් ඊට කැමැති නොවීය. බැසිල් කීවේ තමන් කිසිසේත්ම මුදල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැතැයි කියාය. එම පිළිතුර ලැබීමෙන් පසු රාජපක්ෂ පවුලේ ඥාති පුතුන් දෙදෙනකුද බැසිල් හමුවී මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන ලෙස දැනුම් දීමට පියවර ගෙන තිබිණි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට ලබාදුන් පිළිතුරම මෙම ඥාති පුතුන් දෙදෙනාටද ලබාදුන් බැසිල් වහාම ඔවුන් හරවා යැවීමටද පියවර ගත්තේය.

ජනපති තීන්දුවක් ගනී!

මේ යටතේ බැසිල් ඉවත් කොට අර්බුදය සමතයකට පත්කර ගැනීම සඳහා කළ යුතු දේ පිළිබඳ අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් අතර අදහස් හුවමාරුවක් සිදුවිය. එහිදී යෝජනා කිහිපයක් ඉදිරිපත් වූ අතර අවසානයේදී තීන්දු වූයේ මුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමටත්, ඉන් අනතුරුව රාජපක්ෂවරුන්ගෙන් තොර කැබිනට් මණ්ඩලයක් පත්කිරීම හරහා බැසිල් මුදල් ඇමැතිකමෙන් ඉවත් කිරීමටත්ය.

බැසිල්වත් එක්ක කැබිනට්ටුවම අයින් වෙයි!

ඒ අනුව මහින්දගේ ප්‍රධානත්වයෙන් හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙම රැස්වීමේදී බැසිල් සම්බන්ධයෙන් වූ මාතෘකාව කෙතරම් උණුසුම් වී තිබුණාද කියනවා නම් වරෙක මහින්දානන්ද හා බැසිල් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය. මහින්දානන්ද එහිදී බැසිල්ට චෝදනා කරමින් කියා සිටියේ රට තුළ මතුව ඇති සියලු ප්‍රශ්නවලට හේතුව බැසිල් යැයි කියාය. බැසිල් ඊට පිළිතුරු දීමට යෑම නිසා දෙදෙනා අතර ඇතිවන්නට ගිය මතගැටුම නැවතුණේ මහින්ද වහාම ඊට මැදිහත් වීම නිසාය. කෙසේ වෙතත් දීර්ඝව පැවැති සාකච්ඡාවකින් අනතුරුව පිරිස අවසානයේදී තීන්දු කළේ අගමැතිවරයා පමණක් ඉවත් නොවී මුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමටය. ඊට අදාළ ලිපියටද ඒ මොහොතේ අස්සන් තැබුණු අතර එය සඳුදා දිනයේදි ජනාධිපතිවරයාට ලබාදීම මහින්දට පැවරීමට පිරිස කටයුතු කළහ.

සබ්‍රිට මුදල් ඇමැතිකම එපා වෙයි!

ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් රැස්වීමක්ද පැවැත්විණි. ඒ වන විටත් ඉල්ලා අස්වූ කැබිනට් ඇමැතිවරුන් වෙනුවට ජනාධිපතිවරයා විසින් කැබිනට් ඇමැතිවරුන් හතර දෙනකු පමණක් නම්කිරීමට පියවර ගෙන තිබිණි. ඒ, ජොන්ස්ටන් ප්‍රනාන්දුත්, දිනේෂ් ගුණවර්ධනත්, අලි සබි්‍රත්, ජී.එල්. පීරිසුත්ය. මෙහිදී මෙතෙක් අධිකරණ අමාත්‍ය ධුරය දැරූ අලි සබි්‍රට ජනාධිපතිවරයා විසින් බැසිල්ගේ මුදල් අමාත්‍ය ධුරය ලබාදීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය. කෙසේ වෙතත් එයද ආන්දෝලනයට තුඩුදුන් මාතෘකාවක් බවට පෙරලුණේ මුදල් ඇමැතිකම ලබාදී පැය කිහිපයක් යෑමට මත්තෙන් තමන් මුදල් ඇමැති ධුරයෙන් ඉවත් වන බවට අලි සබි්‍ර විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකිරීමත් සමගය. සිය ලිපිය මගින් ඉල්ලා අස්වීමට බලපෑ කරුණු අනාවරණ කර තිබූ සබි්‍ර, තවත් විශේෂ කාරණාවක්ද එහි සඳහන් කිරීමට කටයුතු කර තිබිණි. ඒ, පාර්ලිමේන්තුව ඇතුළෙන් හෝ වේවා, පිටස්තර පුද්ගලයකු හෝ වේවා මුදල් අමාත්‍ය ධුරයට සුදුසු අයකු පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගන්නේ නම් තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනය පරිත්‍යාග කිරීමට තමන් සූදානම් යැයි කියාය. බොහෝ දුරට ඊට හේතු වී තිබුණේ ප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ නම් මුදල් අමාත්‍ය ධුරය සඳහා ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවට බඳුන්වෙමින් තිබූ නිසා විය හැකිය.

සබ්‍රිගේ ප්‍රශ්නය ගෙදර අය!

ඒ කෙසේ වෙතත් එදින සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අලි සබි්‍ර සම්බන්ධයෙන් වූ මාතෘකාවද එළියට ආවේය. ඒ වන විටත් සබි්‍ර ඉල්ලා අස්වීමට හේතුව නිශ්චිතව සඳහන් කොට නොතිබීම නිසාම බොහෝ දෙනා කියා සිටියේ සබි්‍ර සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අතර මතුවූ මත ගැටුමක් හේතුවෙන් මෙසේ සබි්‍ර මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීන්දු කළා යැයි කියාය. පෙළක් අය කියා තිබුණේ මුදල් අමාත්‍ය ධුරය භාරගෙන භාණ්ඩාගාර නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව රට මුහුණදී සිටින මුල්‍ය අර්බුදය පිළිබඳ සියලු තොරතුරු දැනගැනීමෙන් අනතුරුව මෙසේ සබි්‍ර ඉල්ලා අස්වීමේ ලිපිය යැව්වා යැයි කියාය. ඒ අනුව කැබිනට් රැස්වීමේදී අගමැතිවරයාද ජනාධිපතිවරයාගෙන් ඊට හේතු විමසද්දී සබි්‍ර මුදල් ඇමැති ධුරයෙන් ඉවත් වීමට බලපෑ ඇත්ත කාරණය එළියට ආවේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මුදල් ඇමැතිකම භාර නොගන්නා ලෙසට පවුලේ ඥාතීන්ගෙන් ආ දැඩි බලපෑම හේතුවෙන් හෙතෙම ඉවත් වන බවට සබි්‍ර තමන්ට දැනුම් දුන්නේ යැයි කියාය.

මූල්‍ය අරමුදලට මෙහෙම යන්නෙ කොහොමද?

ඉන් අනතුරුව පැනනැඟුණු බරපතළම ප්‍රශ්නය වූයේ මෙසේ මුදල් ඇමැතිවරයකු නොමැතිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවලට කවුරුන් සහභාගි වනවාද යන්න පිළිබඳවය. ලබන 11 වැනි දින මූල්‍ය අරමුදල සමග වොෂින්ටනයේදී සාකච්ඡා ආරම්භ කිරීමේ තත්ත්වයක් යටතේ මුදල් අමාත්‍යවරයකු නොමැති වීම බරපතළ අර්බූදයක් බව ඇමැතිවරු බොහෝ දෙනෙක් ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ. මීට අමතරව ඒ වන විටත් මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාද තනතුරුවලින් ඉවත් වන බව දැනුම් දී තිබූ බැවින් තත්ත්වය තවත් බරපතළ බව ඔවුහු ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.

මුදල් ඇමැතිකම බන්දුලට!

ඒ අනුව ජනාධිපතිවරයා තීන්දු කළේ මුදල් අමාත්‍ය ධුරය බන්දුල ගුණවර්ධන මහතාට ලබාදීමටය. අගමැතිවරයාද ඊට එකඟතාව පළ කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් බන්දුලව මුදල් ඇමැතිවරයා ලෙස පත්කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ජනාධිපතිවරයාට ලැබුණු පණිවුඩ කිහිපයක් හේතුවෙන් එය යටගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. එසේ ලැබුණු පණිවුඩවලින් කියැවුණේ බන්දුලට මුදල් අමාත්‍ය ධුරය නිසි අයුරින් කළමනාකරණය කළ නොහැකි බවත්, ඔහු පත්කළහොත් වොෂින්ටනයේ පැවැත්වීමට නියමිත මුල්‍ය අරමුදලේ සාකච්ඡාවන්ට අහිතකර ලෙස බලපානු ඇති බවත්ය. එම තත්ත්වය පෙන්වා දීමෙන් අනතුරුව බන්දුලට මුදල් අමාත්‍ය ධුරය ලබා නොදීමට තීන්දු කළ ජනාධිපතිවරයා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඒ සඳහා නම් කිරීමට සැලසුම් කළේය. ඒ අනුව එය ජී.එල්.ට දැනුම් දුන් නමුත් ජී.එල්. කියා සිටියේ තමන්ට මුදල් ඇමැති ධුරය භාරගත නොහැකි බවත්, සුපුරුදු පරිදි විදේශ අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට කැමැති බවත්ය. ඒ අනුව මුදල් අමාත්‍ය ධුරය සඳහා සුදුස්සකු නොමැති වීමෙන් ජනාධිපතිවරයා පත්වූයේ මහත් අසීරුතාවකටය.

බැසිල්ගේ හිතවතුන් එළියට එයි!

කෙසේ වෙතත් ඒ සඳහාද ජනාධිපතිවරයාට යෝජනා කිහිපයක් ඉදිරිපත් විය. ඉන් එක් යෝජනාවක් වූයේ ජාත්‍යන්තරය පිළිගන්නා කිහිප දෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් පත්කරන ලෙසටය. මීට අමතරව නව මහබැංකු අධිපතිවරයා ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත්කරන ලෙසටද යෝජනාවක් ඉදිරිපත් විය. එම යෝජනාව ඉදිරිපත් වූයේ බැසිල්ගෙනි. ඉකුත් යහපාලන සමයේ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ ඉන්ද්‍රජිත් මේ වන විට සිටින්නේ ලන්ඩනයේය. ලන්ඩනයේ සිටියද පසුගිය කාලය පුරාම ඉන්ද්‍රජිත් මුදල් අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යෑම සඳහා බැසිල්ට නිරතුරුවම උපදෙස් ලබාදුන්නේය. එම උපදෙස් ලබා දීම කෙතරම් දුරදිග ගොස් තිබුණේද කියනවා නම් අවස්ථා ගණනාවකදීම ඉන්ද්‍රජිත් ලන්ඩනයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට විවිධ ඉදිරිපත් කිරීම් (ප්‍රසන්ටේෂන්) පවා සිදුකර තිබිණි. ඒ අනුව කබ්රාල්ගේ ඉවත් වීමෙන් පසු ඉන්ද්‍රජිත් එම තනතුරට පත්කරන ලෙස බැසිල් ඉල්ලීම් කළද එය ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළ ඉන්ද්‍රජිත්, තමන් වෙනුවට හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයකු වූ නන්දලාල් වීරසිංහ පත්කරන ලෙස දැනුම් දී සිටියේය. නන්දලාල් ඒ වන විට සිටියේ ඔස්ටේ්‍රලියාවේ වාසය කරමිනි. නව මහ බැංකු අධිපතිවරයා ලෙස නන්දලාල් පත්කිරීමට කටයුතු කෙරුණේ ඒ අනුවය.

ස්වාධීන වෙන පිරිස එළියට

ඉන් අනතුරුව ආණ්ඩුවට තීරණාත්මක දවස යෙදුණේ ඉකුත් අඟහරුවාදාය. ඒ, ආණ්ඩුවේ පාර්ශ්වයන් කිහිපයක්ම ස්වාධීන වන බවටත්, ඒ හේතුවෙන් ආණ්ඩුවේ බහුතරය අහිමි වී යනු ඇති බවටත් ඒ වන විටත් විවිධ මත පැතිර ගොස් තිබීම නිසාය. එම තත්ත්වය යටතේ ආණ්ඩුවද තමන්ගේ බහුතරය ආරක්ෂා කරගැනීම සඳහා තිරය පිටුපස මෙහෙයුම් රැසක්ම ක්‍රියාවට නගා තිබූ ආකාරයක් දැකගත හැකි විය. කෙසේ වෙතත් අඟහරුවාදා දිනයේ පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමත් සමග නැඟී සිටි විමල් වීරවංශ මහතා තමන් ඇතුළු 28ක කණ්ඩායමක් ස්වාධීන වන බව කියා සිටියේය. විමල්ගෙන් අනතුරුව නැගී සිටි අනුර ප්‍රියදර්ශන යාපා මහතාද තමන් සමග 11 දෙනකුගේ කණ්ඩායමක් ස්වාධීන වන බව පාර්ලිමේන්තුවට දැනුම්දී සිටියේය. එමෙන්ම දිගාමඩුල්ලේ මුස්ලිම් මන්ත්‍රීවරයකුද ස්වාධීන වන බව ප්‍රකාශයට පත් විය. කෙසේ වෙතත් මෙසේ ස්වාධීන වන බවට නම් ප්‍රකාශ වුණු ලැයිස්තුවේ සිටි තිදෙනකු නැවත වතාවක් පාර්ලිමේන්තුවට දන්වා සිටියේ තමන් එවැනි තීන්දුවක් ගෙන නොමැති බවත්, තමන් තව දුරටත් ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන බවත්ය. ඒ තිදෙනා වූයේ රොෂාන් රණසිංහත්, අරුන්දික ප්‍රනාන්දුත්, ගයාශාන් නවනන්දත්ය. මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේ බහුතරය පොහොට්ටුවට නැති කිරීමට විමල් ඇතුළු කණ්ඩායමට නොහැකි වූ අතර ආණ්ඩුවට 117ක බහුතරයක් පැවැති බවක් එහිදී දැකගන්නට ලැබිණි. ඒ අනුව බහුතරය අහිමි කොට ආණ්ඩුව පෙරළීමේ විමල්ලාගේ මේ උත්සාහය ඒ සමගම අහෝසි වී ගියේය.

113 හරි! ආණ්ඩුව සතුටින්! මහින්ද ඔක්කොටම එන්න කියයි!

මේ ආකාරයට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ආණ්ඩුව ආරක්ෂා කරගැනීමට හැකි වීමත් සමග එතෙක් හතරගාතේ වැටී සිටි මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු සිටියේ සතුටින් ඉපිල ගොස්ය. ඒ අනුව අඟහරුවාදා සවස අරලියගහ මන්දිරයේ පැවැති පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට එම මැති ඇමැතිවරුන් සහභාගි වූයේ සතුටින් පිරුණු මුහුණින් යුක්තව ජයග්‍රාහී ලීලාවෙන්ය. වෙනදා නම් එවැනි රැස්වීමක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් සංවිධාන කෙරුණද මෙවර එම රැස්වීම සංවිධාන කර තිබුණේ අගමැතිවරයාගේම කාර්යාලයෙන් වීම විශේෂත්වයක් විය. මෙය පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් වුවද ඊට ආරාධනා කර තිබුණේ කෙටි සාකච්ඡාවක් සඳහා පැමිණෙන්නැයි කියාය. මෙහිදී බැසිල් සියලු මැති ඇමැතිවරුන්ගේ මානසික ශක්තිය වර්ධනය වන ආකාරයේ කතාවක් සිදුකිරීමට පියවර ගත්තේය. බැසිල් එහිදී කියා සිටියේ සති දෙකක් ඇතුළත මෙම සියලු ප්‍රශ්න විසඳාගැනීමට හැකි වීමේ ලකුණු පහළ වී ඇතැයි කියාය.

බැසිල් සහතිකයක් දෙයි!

‘සති දෙකක් යද්දී අපට මේ දැනට මතුවෙලා තියෙන ප්‍රශ්නවලින් ගොඩ එන්න පුළුවන් වෙනවා. ඒක මම ඔබතුමන්ලට වගකීමක් ඇතුව කියා සිටිනවා…’ යනුවෙන් එහිදී බැසිල් කියද්දී එය පිළිගත් කොටසකුත් එහි සිටි ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම බැසිල් මීට කලින් කියපු මෙවැනි ආකාරයේ කතා අසත්‍ය වූ බව ප්‍රකාශ කළ කිහිප දෙනකුද එහි සිටි ආකාරයක් දැකගත හැකි විය.
මීට අමතරව මෙම සාකච්ඡාවේදී දැනට රට ඇතුළේ මතුවෙමින් පවතින ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ල සම්බන්ධයෙන්ද කිසියම් කතාබහක් මතුවිය. එහිදී එක්තරා ප්‍රබල අයකු කියා සිටියේ මෙම උද්ඝෝෂණ මර්දනය කළ යුතු යැයි කියාය.

‘දැන් අපි පක්ෂයක් විදියට පොහොට්ටු දේශපාලනය කරන්න ඕනෙ. අපේ පාක්ෂිකයො එළියට ගන්න ඕනෙ. නැත්නම් මේක ඉවරයක් වෙන්නෙ නෑ. මේ තැන් තැන්වල උද්ඝෝෂණ කරන අයට ගහල මේක ඉවරයක් කරල දාන්න ඕනෙ…’ යනුවෙන් මේ ප්‍රබලයා කියද්දී ඊට එරෙහිව බෙහෝ දෙනකු අදහස් පළකළ ආකාරයක් දැකගත හැකි විය.

හමුදාව පොලිසිය ආණ්ඩුව එක්කද? ජනපති කියපු කතාව!

එමෙන්ම මෙහිදී පැනනැගුණු තවත් ප්‍රශ්නයක් වූයේ මේ වන විට හමුදාවේ සහ පොලිසියේ සහාය ආණ්ඩුවට පවතිනවාද යන්නය. අපට ඇති ආරංචිවලට අනුව නම් එම කතාබහේදී අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා එම සහාය පිළිබඳ අවිනිශ්චිත ස්ථාවරයක සිට අදහස් දක්වා ඇත. වරෙක ජනාධිපතිවරයා, ‘රතුපස්වල හිටපු හමුදාව දැන් නෑ. පොලිසිය වුණත් එහෙමයි…’ යනුවෙන් අදහස් දක්වා ඇති බවක්ද ආරංචිය. කෙසේ වෙතත් බොහෝ දෙනා පෙන්වා දුන්නේ මෙම උද්ඝෝෂණ රැල්ල ඉදිරි දින කිහිපය ඇතුළත පහව යනු ඇති බවකි. විශේෂයෙන්ම අලුත් අවුරුදු නිවාඩුව පැමිණීම නිසා බොහෝ පිරිස් නිවෙස්වලට වී සිටින බැවින් මෙම උද්ඝෝෂණ රැල්ල අවම වී යනු ඇති බව ඔවුන්ගේ මතය විය. තවත් පිරිසක් කියා සිටියේ මෙසේ තැන් තැන්වල උද්ඝෝෂණ කරන පිරිස් හට කෑම බීම ආදිය ලබාදී, එම ස්ථානවල සංගීත කණ්ඩායම් යොදවා සින්දු කීමට අවස්ථාව සලසා දී එය කානිවල් එකක් බවට පත් කළ යුතු යැයි කියාය. එවිට ජනතාව ඉදිරියේ මෙම උද්ඝෝෂණ රැලි විහිළුවක් බවට පත් කළ හැකි බවද එහිදී ඔවුහු කියා සිටියහ. ඒ අනුව සාකච්ඡාව අවසන් වූයේ ඉදිරි දින කිහිපය ඇතුළත උද්ඝෝෂණ අවසන් වනු ඇති බවට වූ ස්ථාවරයේ සිටය.
කෙසේ වෙතත් මේ වන විට ආණ්ඩුවට බහුතරය පවතින බව ප්‍රකාශ වුවද එම ඉලක්කම් සම්බන්ධයෙන් ආණ්ඩුවට පවා පවතින්නේ කිසියම් සැක සහිත බවකි. ඊට හොඳම නිදසුන වූයේ ජනාධිපතිවරයා උද්ඝෝෂණ හේතුවෙන් හදිසි නීතිය පැනවුවද එය සම්මත කරගැනීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමය. පවතින නීතියට අනුව හදිසි නීතිය පැනවීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත යුතුව තිබුණද ආණ්ඩුව ඇතුළේ කැරැලිකාරයන් රැසක් සිටීම හේතුකොට ගෙන එම හදිසි නීති රෙගුලාසි හකුලා ගැනීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

ජනපති මෛත්‍රීපාලටත් එන්න කියයි!

ඊළඟ ගැටලුව ආවේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වන බවට ප්‍රකාශයට පත්වීමත් සමගය. මන්ද යත් ශ්‍රීලනිපය නියෝජනය කරමින් නියෝජ්‍ය කතානායකවරයා පත්ව සිටින බැවින් ඔහු ඉවත් වුවහොත් නියත වශයෙන් නියෝජ්‍ය කතානායකවරයකු පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව ඇතුළේ ඡන්දයක් පැවැත්වීමට සිදුවීම ඊට හේතුවය. එසේ වුවහොත් ආණ්ඩුවට බහුතරය නොමැති බව හෙළිවනු ඇති නිසා ජනාධිපතිවරයා වහාම කළේ සාකච්ඡාව සඳහා පැමිණෙන ලෙසට ශ්‍රීලනිප නියෝජිතයන්ට ආරාධනා කිරීමය.

මෛත්‍රී‌ගෙන් ජනපතිට සහතිකයක්!

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ශ්‍රීලනිපයෙන් කෙළින්ම ඉල්ලා සිටියේ ස්වාධීන වීමට තීන්දු කළද ආණ්ඩුව අපහසුතාවට පත්වන ආකාරයේ කිසිදු තීන්දුවක් නොගන්නා ලෙසටය. එහිදී ජනාධිපතිවරයාට සහතිකයක් වෙමින් මෛත්‍රිපාල කියා සිටියේ තම පක්ෂය ස්වාධීන වීමට තීන්දු කළද ආණ්ඩුව පෙරළන කිසිදු කටයුත්තකට සහාය නොදෙන බවය. එමෙන්ම ඇමැතිකම් නොගන්නා බවද ජනාධිපතිවරයාට කියා සිටි මෛත්‍රි, යම් යම් ප්‍රශ්න මතුවන අවස්ථාවලදී එම ප්‍රශ්න දෙස බලා ශ්‍රීලනිප ස්ථාවරය ප්‍රකාශයට පත්කරන බවද කියා සිටියේය.

සියඹලාපිටියත් රිවස් වෙයි!

ඉන් අනතුරුව ජනාධිපතිවරයා රංජිත් සියඹලාපිටියගෙන් කාරුණික ඉල්ලීමක් කළේය. ඒ, නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉවත් වන බවට එවා ඇති ලිපිය ඉල්ලා අස්කරගන්නා ලෙසටය. මතුව තිබූ තත්ත්වය යටතේ ජනාධිතිවරයාගේ එම යෝජනාව පිළිගැනීමට සියඹලාපිටිය පියවර ගත්තේය.

අනුරලාගේ පිලත් ජනපති හමුවෙයි!

ඉන් අනතුරුව ජනාධිපතිවරයා පොහොට්ටුවේ සිට ස්වාධීන වන බව ප්‍රකාශ කළ අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු කණ්ඩායම කැඳවා සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. මෙහිදීද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ ආණ්ඩුව අපහසුතාවට පත්වන ආකාරයේ කිසිවක් සිදු නොකරන ලෙසටය. මෙහිදී අනුර යාපාගේ කණ්ඩායමද ජනාධිපතිවරයාට කියා සිටියේ එවැන්නක් සිදු නොකරන බවකි. නමුත් ආණ්ඩුව ඇතුළේ සිදුවිය යුතු සංශෝධන ඇතුළත් යෝජනාවලියක් එහිදී ජනාධිපතිවරයාට ලබාදීමට පියවර ගත් පිරිස ඒවා වහාම ඉටුකළ යුතු බවද දැනුම් දුන්නේය.

එළියට ආ අනුරලා වෙනම ගේමක් ගහයි!

මේ ආකාරයට ජනාධිපතිවරයා හමුවී ආණ්ඩුව පෙරළන ආකාරයේ කිසිවක් සිදු නොකරන බව ශ්‍රීලනිපය හා අනුර යාපා ප්‍රමුඛ කණ්ඩායම කියා සිටියද එම සාකච්ඡාවෙන් පසුව සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. එනම් එම සාකච්ඡාවෙන් පසු ආණ්ඩුව වෙනස් කොට අන්තර්වාර පාලනයක් පිහිටුවිය යුතු බවට සඳහන් කරන විමල් පාර්ශ්වයත්, ශ්‍රීලනිපයත්, අනුර යාපාගේ කණ්ඩායමත් යන තුනම එක්ව පසුගිය සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. එහිදී කියැවුණේ කෙසේ හෝ අන්තර්වාර පාලනයක් පිහිටුවිය යුතු තැනට ආණ්ඩුව තල්ලු කළ යුතු යැයි කියාය. ඒ සඳහා විපක්ෂයේ සහාය ලබාගන්නා ආකාරය පිළිබඳවත්, ආණ්ඩුව ඇතුළේ සිටින අනෙකුත් පිරිස්වල සහාය ලබාගන්නා ආකාරය පිළිබඳවත් පිරිස අතර සාකච්ඡා වනු දැකගත හැකි විය. එම සහාය ලබාගැනීම සඳහා විපක්ෂයේ ප්‍රධාන පක්ෂ වන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කිරීම සඳහා ස්වාධින කණ්ඩායමක් පත්කිරීමටද එහිදී තිීරණය විය.

අගමැතිකමට නම් 5ක් යෝජනා වෙයි!

එහිදී තවත් එක් යෝජනාවක්ද ඉදිරිපත් විය. ඒ, වහාම අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමටත්, අලුත් අගමැතිවරයකු නම් කොට අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමටත්ය. ඒ වන විටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජන වරමකින් පසු ආණ්ඩු පිහිටුවීමට සූදානම් බවට ප්‍රකාශ කර තිබූ නිසා විමල්ගේ පාර්ශ්වය යෝජනා කළේ 5 දෙනකුගෙන් යුත් නාම ලේඛනයක් සකසා එම පස් දෙනාගෙන් පිළිගත හැකි එක් අයකු අගමැතිවරයා ලෙස පත්කර ගැනීමට සියල්ලන්ගේම සහාය ලබාගත යුතු යැයි කියාය. එම නම් පහ ලෙස විමල්ගේ පාර්ශ්වයෙන් කියා තිබුණේ රනිල් වික්‍රමසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක සහ ඩලස් අලහප්පෙරුමය. මෙසේ විමල්ගේ පාර්ශ්වයෙන් නම් පහක් ඉදිරිපත් කෙරුණේ ඉන් ඩලස්ගේ නම හැරුණු විට අනෙක් නම් 4ම ප්‍රතික්ෂේප වන බව දැන දැනමය. ඒ අනුව කලින්ම සැලසුම් කළ පරිදි ඩලස් අගමැති කොට නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම විමල්ලාගේ සැලසුම විය.

විපක්ෂයත් හෝටලයක හමුවෙයි! වැඩේ පත්තු කළේ සුමන්තිරන්!

මේ සියල්ල අතරේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් පක්ෂ කරන්නේ කුමක්ද යන්න පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. ආණ්ඩුවේ පාර්ශ්වයන් මේ ආකාරයට රහස් සාකච්ඡා පවත්වා යම් යම් තීන්දු ගනිද්දී විපක්ෂයද නිකම් සිටියේ නැත. විපක්ෂයද පසුගිය සතියේ එක්තරා ස්ථානයක විශේෂ සාකච්ාවක් පැවැත්වූවේය. ඒ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ වෙන කවුරුවත් නොව මීට මාස කිහිපයකට පෙර කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී විපක්ෂයේ සියලු පක්ෂ එක් කොට සාකච්ඡාවක් පැවැත්වූ දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන්ය. ඒ අනුව මෙවරද සුමන්තිරන් ඉතා රහසිගත ලෙස තලවතුගොඩ පිහිටි ඉම්පීරියල් මොනාක් උත්සව ශාලාවේ කාමරයක් වෙන් කරවාගෙන විපක්ෂයේ සියලු පක්ෂවලට ආරාධනා කිරීමට පියවර ගත්තේය. මෙම ආරාධනාව පිළිගනිමින් ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එජාප නායක රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, පලනි දිගම්බරම්, හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න සහභාගි වී සිටියහ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් වූයේ සාකච්ඡාව ආරම්භ කරන විට රනිල් පැමිණ සිටියද සජිත් ඊට එක්ව නොසිටීමය. ඒ අනුව සජිත් සාකච්ඡාවට එක් වූයේ රනිල් එම සාකච්ඡාවෙන් ඉවත්ව ගිය පසුවය. නිල වශයෙන් සාකච්ඡාව ආරම්භ වූයේ සජිත් එසේ ඊට එක්වූ පසුවය. මෙහිදී දැනට රට තුළ මතුව ඇති තත්ත්වය යටතේ විපක්ෂයේ කාර්යභාරය පිළිබඳවත්, අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවනවාද, එසේත් නැත්නම් සභාග ආණ්ඩුවක් පිහිටුවනවාද යන්න පිළිබඳවත් පිරිස අතර දීර්ඝ ලෙස සාකච්ඡා විය. මෙහිදී සජිත් පිරිසට එක්තරා විශේෂ යෝජනාවක් කළේය.

ඩීල් දාපු අයත් ඇවිත්!

‘අපිට මේ ආණ්ඩුවට එකතු වෙලා හරි මේ ආණ්ඩුව පෙරළලා හරි ඇමැතිකම් ගන්න ජනතාව ජනවරමක් දීලා නැහැ. ජනවරම දීලා තියෙන්නේ ආණ්ඩුවට. හැබැයි අපි මේක රටේ යහපත වෙනුවෙන් යොදවන්න අවස්ථාවක් කරගන්න ඕනෙ. මේ වෙලාවෙ අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කටයුතු කරන්න ඕනෙ..’ යනුවෙන් සජිත් කියද්දී හකීම්, සුමන්තිරන් ඇතුළු පිරිස එය එක හඬින් අනුමත කිරීමට පියවර ගත්හ. කෙසේ වෙතත් සාකච්ජාවට සම්බන්ධ වී සිටි මෙම පිරිස අතර තැන් තැන්වල පැවැති සාකච්ඡාවලට එක්වී වෙනත් ස්ථාවරවල සිටි අයද නොසිටියා නොවේ. ඔවුන් සම්බන්ධ සියලු තොරතුරු මේ වන විටත් අප සතුව ඇතත් මෙවර අපි එය ‘රාජ්‍ය රහස්’ තීරයේ පළ නොකිරීමට තීරණය කළෙමු. නමුත් ඉදිරි දිනෙකදී එම පිරිස කවුද, ඔවුන් සහභාගි වූ සාකච්ඡා මොනවාද, ඒවායේ ඇතිවූ එකඟතා මොනවාද යන්න පිළිබඳ මෙම තීරය ඔස්සේ කරුණු හෙළිදරව් කිරීමට අප සූදානම්ය.

විධායකය අහෝසියි! සජිත් ප්‍රතිඥාවක් දෙයි!

කෙසේ වෙතත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පිරිස එකඟතාව පළකිරීමෙන් පසුව සජිත් ඔවුන්ට කියා සිටියේ තමන් ඊට පසු දිනයේ තලවකැලේ පැවැත්වෙන රැලියකට සහභාගි වීමට සූදානමින් සිටින බවත්, එහිදී විපක්ෂයේ මෙම තීන්දුව නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන බවත්ය. ඉන් අනතුරුව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එම මතය රටට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවද සජිත්ගේ ස්ථාවරය විය. ඊට සියලු දෙනාගේම එකඟතාව හිමි විය.

ලොක්කන් රටින් පිටවීම ඇරඹේ!

ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත්, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටත් එරෙහිව ජනතාව අතරින් නැගෙන විරෝධය මේ වන විට උච්ඡතම අවස්ථාවකට පැමිණ ඇති බවක් දැකගන්නට තිබේ. ඒ, කිසිදු දේශපාලන නායකත්වයකින් තොරව එම ජනතාව ජනාධිපතිවරයාගේත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේත් නිවාස වැටලීමට කටයුතු කිරීම හරහාය. මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවෙස වැටලීමෙන් පසුව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් රැසකගේ නිවාස එසේ වැටලීමට ජනතාව පියවර ගත්හ. ඇතැම් ස්ථානවලදී ඇමැතිවරුන්ගේ නිවාසවලට පහරදීමට පවා යම් යම් පිරිස් පෙළඹී තිබුණහ.

මේ තත්ත්වයත් සමග පසුගිය සතිය වන විට කොළඹ වාසය කළ බොහෝ ඇමැතිවරුන් සිය නිවාසවලින් ඉවත්ව කොළඹ හෝටල් කුලියට ගෙන වාසය කිරීමට පෙළඹී තිබූ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම පෙළක් ඇමැතිවරු සිය පවුල්වල ඥාතීන් විදෙස්ගත කිරීමට පවා පියවර ගෙන තිබිණි. නාමල් රාජපක්ෂ එසේ සිය බිරිය ඇතුළු බිරියගේ පවුf්ල ඥාතීන් විදෙස්ගත කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයක් විය.

සේනාධිපතිත් යයි!

මීට අමතරව ජනාධිපතිවරයාට ඉතා සමීප අයකු ලෙස සැලකෙන නිශ්ශංක සේනාධිපතිද පසුගිය සතියේ විදෙස්ගත වීමට පියවර ගත්තේය. සමාජ මාධ්‍ය ජාලවල එසේ නිශ්ශංක සේනාධිපති විදෙස්ගත වීමට කටුනායකට පැමිණ සිටි අවස්ථාවේ ඡායාරූප පළකර තිබූ අතර ඔහු රටින් පැන ගිය බවද වාර්තා කොට තිබිණි. නමුත් පසුව ස්විට්සර්ලන්තයේ සිට මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙමින් සේනාධිපති කියා තිබුණේ තමන් වයාපාරික කටයුත්තක් හේතුවෙන් විදෙස්ගත වූ බවත්, එම කටයුත්ත අවසන් වූ වහා යළි ලංකාවට පැමිණෙන බවත්ය.

මීට අමතරව පසුගිය කාලයේ පැන්ඩෝරා පත්‍රිකා හේතුවෙන් මහත් ආන්දෝලනයකුට තුඩු දුන් නිරූපමා රාජපක්ෂද පසුගිය සතියේ විදෙස්ගත වීමට පියවර ගෙන තිබිණි.

කපිල පුංචිමාන්නගේ