රඹුක්කන දී නිරායුධ වැසියන්ට වෙඩි තැබීමට අණදුන් නිලධාරියා හඳුනා ගැනේ !

රඹුක්කන ප්‍රදේශයේ පසුගියදා පැවැති විරෝධතාවය අතරතුර ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කිර්ති රත්න මහතා බව කෑගල්ල අධිකරණයේදී අද (22) අනාවරණය වුණි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා විසින් පත්කරන ලද කමිටුව කෑගල්ල මහෙස්ත්‍රාත්වරිය වෙත විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ එම නොසන්සුන්තාවය පාලනය කිරීමට පොලිස් කැරලි මර්ධන කණ්ඩායම්, T-56 ගිනි අවි 04ක් සහ උණ්ඩ 35ක් භාවිත කරඇති බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉන්ධන ඉල්ලා සහ මිල ඉහළයෑම සම්බන්ධයෙන් ඉකුත් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවය පාලනය කිරීමට පොලීසිය කළ වෙඩිතැබීමක් අතරතුර පුද්ගලයෙක් ද මියගියේය.

ඒ සම්බන්ධයෙන් වූ නඩුව අද (22) තෙවැනි දිනටත් කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා විසින් පත්කළ සිතාවකපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ මූලිකත්වයෙන් යුත් කමිටුව වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

අදාළ සිදුවීමේදී තුවාල ලැබු පොලිස් නිලධාරින්ගෙන් මෙන්ම සිවිල් වැසියන් 51 දෙනෙකුගෙන් සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව විමර්ශන කණ්ඩායම අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

එමෙන්ම නොසන්සුන්තාවය ඇතිවු රඹුක්කන සමූපකාර ඉන්ධන පිරවුම්හල අසල CCTV දර්ශනද ඊයේ දින අධිකරණයට භාරදුන් බව විමර්ශන නිලධාරින් පැවසීය.

ඔවුන් අධිකරණය හමුවේ කියා සිටියේ ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන කණ්ඩායම් භාවිත කර ඇත්තේ කෑගල්ල මුලස්ථාන පොලීසිය විසින් නිකුත් කළ අවි පමණක් බවය.

ඒ අනුව උණ්ඩ 30 බැගින් ඇතුළත් වූ T-56 ගිනිඅවි 4ක් සහ පිස්තෝල 3ක් කැරලි මර්දන කණ්ඩායම් වෙත නිකුත් කර ඇත.

නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා T-56 උණ්ඩ 35ක් භාවිත කර ඇති බවත් පෙන්වා දුන් පොලිස් විමර්ශකයින් ඒවා නඩු භාණ්ඩ ලෙස අද අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

විරෝධතාවය අතරතුර විරෝධතාකරුවන් එම ස්ථානයේ නවතා තිබු බවුසරයට ගිනි තැබීමට උත්සාහ දරා ඇති බවත්, ඒ හේතුවෙන් නොසන්සුන්තාවය පාලනය කිරීමට අහසට වෙඩිතැබුවද විරෝධතාකරුවන් විසිර නොගිය බැවින් පැහැදිලි නියෝගයක් මත T-56 ගිනිඅවිවලින් දණහිසෙන් පහළට වෙඩි තබා ඇති බවත් අධිකරණය හමුවේ සිද්ධිමය කරුණු දක්වමින් විමර්ශකයින් පෙන්වා දී ඇත.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදීම සඳහා වෙඩිතැබීමට නියෝගය දුන් කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ වෙඩිතැබීම් සිදුකළ අයවලුන් ඇතුළු තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් විමර්ශකයින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඔවුන් වැඩිදුරටත් කියාසිටියේ සිදුවීමෙන් මියගිය චමින්ද ලක්ෂාන් නමැත්තාගේ පශ්චාත් මරණ පරීක්ෂණය තමන් වෙත ලැබී ඇති අතර ගිනි අවියකින් සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් වූ අධික රුධිය වහනය මරණයට හේතුවී ඇති බවය.

මෙහිදී විමර්ශකයින්ගෙන් මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ සිදුවීම අතරතුර බවුසරයට ගිනිතැබීමට උත්සහා කළ පුද්ගලයා මේ වනවිට හඳුනාගෙන තිබේද යන්නය.

එයට පිළිතුරු දුන් විමර්ශන නිලධාරියා කියාසිටියේ මෙතෙක් ඒ පිළිබඳ හදුනාගැනීමක් සිදුව නොමැති අතර ප්‍රකාශ සටහන් කළ තුවාල ලැබුවන් අතර එවැනි අයෙක් නොසිටී බවය.

අනතුරුව නොසන්සුන්තාවය අතරතුර වෙඩිවැදීමෙන් මියගිය චමින්ද ලක්ෂාන්ගේ මරණයට අදාළ සාක්ෂි විමසීම ආරම්භ වූ අතර අධිකරණය හමුවේ පළමුව සාක්ෂි ලබාදුන්නේ රඹුක්කන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.සී. හේරත් මහතාය.

මේ අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්ත මහතා, මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, රඹුක්කන සහ කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරුන් අද පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබුණි.

ඒ රඹුක්කනදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් එම කොමිසම විසින් සිදුකරන පරීක්ෂණයට අදාළවය.

පොලිස්පතිවරයා කොමිසමට පැමිණෙන අවස්ථාවේදී ඒ අසලට පැමිණ සිටි සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රතිචාර දැක්විය.

පැය දෙකකට ආසන්න කාලයක් එහි රැඳී සිටි පොලිස්පතිවරයා ඇතුළු පිරිස අනතුරුව ඉන් පිටව ගොස් තිබුණි.

මේ අතර විරෝධතාව අතරතුරදී උද්ඝෝෂකයින්ගේ චෝදනාව වුයේ පසුගිය 18 වනදා අඩු මිලට මිලදීගත් ඉන්ධන බවුසරය 19වන දින වැඩි මිලට අලෙවි කිරීම සඳහා රඹුක්කන පිරවුම්හලට පැමිණි බවය.

කෙසේවෙතත් විරෝධතාකරුවන් විසින් නවතාගෙන සිටි ඉන්ධන බවුසරය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවවේ මුතුරාජවෙල පර්යන්තයෙන් පිටවත්ව යන CCTV දර්ශන එම සංස්ථාව අද මාධ්‍ය වෙත නිකුත් කළේය.

එහි දැක්වු‍ණේ ඉන්ධන මිල වැඩි කළ දිනට පසු දින එනම් අප්‍රේල් මස 19 වැනි දින උදෑසන 6.13ට අදාළ බවුසරය මුතුරාජවෙල පර්යන්තයෙන් පිටත්ව යන ආකාරයයි.

ඒ අතර එම බවුසරයට අදාළ ඉන්ධන ඇනවුම් කළ ලදු පත් ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත් කරනු ලැබීය.

වැඩි කළ නව මිලට ඉන්ධන පිරවුම්හල් කිහිපයක් සඳහා පෙට්‍රල් සහ ඩීසල් ලීටර 33,000ක් අදාළ බවුසරයෙන් රැගෙන ආ බව මෙම වාර්තාවල සඳහන් වෙයි.
කෙසේ වෙතත් ගැටුම ඇතිවු ඉන්ධන පිරවුම්හලට රැගෙන විත් ඇත්තේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර 6,600ක් හා ඔටෝ ඩීසල් ලීටර 13,200 ක් පමණි.