රඹුක්කන දී නියෝග කළ හා වෙඩි තැබූ සියලු පොලිස් නිලධාරින් අත් අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග !
පසුගිය දා රඹුක්කන ප්‍රදේශයේ දී සිදු කළ විරෝධතාව අතරතුර පිරිස විසුරුවා හැරීම සඳහා වෙඩි තැබීමට නියෝග කළ කෑගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හා එම නියෝග ක්‍රියාත්මක කළ සියලු දෙනා වහා ම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
අදාළ නියෝගය පොලිස්පතිවරයා වෙත යොමු කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, මෙම නියෝගය වහා ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි.
අදාළ වෙඩි තැබීමේ සිද්ධියෙන් පුද්ගලයන් 27 දෙනෙකුට තුවාල සිදු වූ අතර, ඔවුන් සම්බන්ධයෙන් සිදු කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ, මෙම තුවාල, වෙඩි වැදීම නිසා ඇති වූ ඒවා බවට යි.
නියෝග කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
අදාළ වෙඩි තැබීම හේතුවෙන් හතළිස් දෙහැවිරිදි පුද්ගලයකු ද මිය ගියා. එලෙස මියගිය චමින්ද ලක්ෂාන්ගේ මරණය සිදුවී ඇත්තේ ද අදාළ වෙඩි තැබීම හේතුවෙන් ඇතිවූ තුවාල නිසා බව අද දිනයේ අධිකරණයේ දී හෙළි වුනා.
මෙම විරෝධතාව පසුගිය 19 වැනි දා රඹුක්කන ප්‍රදේශයේ දී සිදු වූයේ, ඩීසල් බෙදාහැරීම සම්බන්ධ ව මතු වූ ගැටලුසහගත තත්ත්වයක් හේතුවෙන්.