කවුද මේ කුමාර් ගුණරත්නම් : ධර්මන් වික්‍රමරත්න
කෑගල්ල අඟුරුවැල්ලේදී ප්‍රේමකුමාර් ගුණරත්නම් උපන්නේ 1965 නොවැම්බර් 18 වැනිදාය. පියා යාපනයේ උපන් ද්‍රවිඩ ජාතිකයකු වූ ආදිමුලම් පිල්ලෙයි ගුණරත්නම්ය. ඔහු නාරම්මල සිංගර් ප්‍රදර්ශනාගාරයේ හිටපු කළමනාකරුවෙකි. ඉන්දීය ද්‍රවිඩ සම්භවයකින් යුත් මව කෑගල්ල උඳුගොඩ උපන් වල්ලිඅම්මා රාජමනී පාඩියන් පිල්ලෙයිය. ඇය කෑගල්ලේම ඉපිද එහිම අධ්‍යාපනය ලබා කෑගල්ල ශාන්ත මරියා දෙමළ විදුහලේ ප්‍රකට ඉංග්‍රීසි ගුරුවරියකි. වසර 1958 විවාහ වූ ඒ දෙපළට දරුවන් 5කි. වැඩිමලා ඕස්ට්‍රේලියාවේ සිටින සරස්වතීය; දෙවැන්නා රංජිදන්ය; තෙවැන්නා වූ ජයන්ත කුමාර් ළමා වියේදී ළිඳට වැටී මිය ගියේය. සිව්වැන්නා ප්‍රේමකුමාර්ය. පස්වැන්නා වූ නිරංජනී, ශාන්ත මේරි විදුහලේ ඉංග්‍රීසි ගුරුවරියක් වන අතර ඇය සිය සැමියා වූ විදුහල්පති එස් තුරෙයිසිංහම්, දරුවන් සහ මව සමඟ කෑගල්ල මහගෙදර සිටින්නීය.
ප්‍රේමකුමාර් කෑගල්ල ශාන්ත මරියා විදුහලේ පළමු ශ්‍රේණියට 1971 ජනවාරි 02 ඇතුළු වූ අතර 1980 දෙසැම්බර් 03 දක්වා දක්වා අධ්‍යාපනය ලැබීය. පසුව පින්නවල මධ්‍ය මහා විද්‍යාලයෙන් 1981 ජුනි 15 සිට 1985 මාර්තු 21 දක්වා උසස් අධ්‍යාපනය ලැබ ඉන් සමත්ව පේරාදෙණිය සරසවි ඉංජිනේරු පීඨයට 1985 දී ඊ/85/58 යටතේ ඇතුළත් විය. ප්‍රේමකුමාර් ජවිපෙට එක්වූයේ 1981 වසර අග භාගයේ දී පින්නවල විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදීය. ජවිපෙ පන්ති පැවැත්වූයේ හිරිවඩුන්න ප්‍රදේශයේ වන අතර එහි එක් දේශනයකට උපතිස්ස ගමනායකද පැමිණ තිබිණි.
ප්‍රේමකුමාර් ගේ වැඩිමහල් සොහොයුරා වූ රංජිදන් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ සිසුවකුව සිටිය දී ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට එක්විය. රංජිදන් අන්තරේ කැඳවුම්කරු ලෙස 1985 සිට 1986 දක්වාද, ජවිපෙ මධ්‍යම කාරක සභිකයකු සහ පසුව 1989 නොවැම්බර් 28 සිට දේශපාලන මණ්ඩල සභිකයකු ලෙසද කටයුතු කරමින් සිටිය දී 1989 දෙසැම්බර් 13 කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන වැහැර කඳවුරට ද පසුව කොළඹ අපරාධ විමර්ශන අංශයටද ගෙන යෑමෙන් පසු 1990 ජනවාරි මස දී ඝාතනයට පත්විය.
සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි භාෂා තුනම ප්‍රේමකුමාර් කතා කළද දෙමළ භාෂාවෙන් ඔහුට එකල ලිවීමට නොහැකිය. සරසවියේ දෙවන වසරේ දී ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට එක්වූ ප්‍රේමකුමාර් ජවිපෙ 2වැනි කැරැල්ල පැවැති 1986 සිට 1990 දක්වා සමයේ දී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කලක් ජවිපෙ සන්නද්ධ ලේකම්වරයාය. එම වකවානුවේ දිස්ත්‍රික්ක 19 තුළ සන්නද්ධ දිස්ත්‍රික් ලේකම්වරුන් වශයෙන් වරින්වර කටයුතු කළ ජවිපෙ ක්රියාකාරිකයන් ගණන 93ක් වූ අතර ඉන් ජීවිතය බේරා ගැනීමට හැකිවූයේ ප්‍රේමකුමාර් ඇතුළු 8කට පමණි. ඔහු කුමාර්, ගුණ්ඩා, ගැමුණු, ආර්. එම්. ඩී. ඩබ්ලිව් දස්කොන් කුමාර කරුණාරත්න, දයාලාල් රත්නායක සහ නොයෙල් මුදලිගේ ලෙසද හැඳින්විණි.
පල්ලෙකැලේ හමුදා කඳවුරට 1987 අප්‍රේල් 15 ප්‍රහාරයක් එල්ල කළ ජවිපෙ කණ්ඩායමේ සාමාජිකයකු වූ ප්‍රේමකුමාර් 1987 මැයි 23 ගලගෙදර දී පොලිස් අත්අඩංගුවට පත්විය. පසුව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රේමකුමාර් ඒ සෙල් සහ ඒ වෝඩ් එකේ ජවිපෙ අධ්‍යාපන කටයුතු භාරව කටයුතු කළේය. මැගසින් බන්ධනාගාරයේ සිරකරගෙන සිටි ප්‍රේමකුමාර් ඇතුළු ජවිපෙ සාමාජිකයන් 221 ජවිපෙ මගින් 1988 දෙසැම්බර් 13 මැගසින් බන්ධනාගාරයට කඩා වැදී නිදහස්කර ගන්නා ලදී. අනතුරුව විජේවීර සහ ප්‍රේමකුමාර් අතර හමුවක්ද 1989 පෙබරවාරි උඩ පේරාදෙණියේ ජවිපෙ කුලියට ගත් නිවසක දී පැවැත්විණි. ප්‍රේමකුමාර් 1989 පෙබරවාරි සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජවිපෙ සන්නද්ධ ලේකම්වරයා විය. එහි දී විජේවීර විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉන්දීය හමුදාවට එරෙහිව කටයුතු කිරීම ප්‍රේමකුමාර්ට පවරන ලදී. ජවිපෙ ක්‍රියාත්මක වූ දිස්ත්‍රික්ක 19න් ඉන්දීය හමුදාව රැ දී සිටි එකම ක්‍රියාකාරි දිස්ත්‍රික්කය වූයේ ත්‍රිකුණාමලයයි.
ත්‍රිකුණාමලයේ දී ජවිපෙ කටයුතු භාරව සිටිය දී ඉන්දීය හමුදාව සහ ඔවුන්ගේ වාහන ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ලකිරීම ප්‍රේමකුමාර් ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක විය. නුවර ත්‍රිකුණාමලය මාර්ගයේ කන්තලේ 93වැනි සැතපුම් කණුව අසල මුල්ලිපතානයි දී ඉන්දීය හමුදා භටයන්ට බිම් බෝම්බයක් ඇටවීමට ඔවුහු සමත් වූහ. ඒ ඉන්දු ලංකා ගිවිසුමේ 2වැනි සැමරුම පැවැත්වෙන 1989 ජුලි 25ය. ත්‍රිමලේ ජැටියේද තවත් බෝම්බයක් සවි කරන ලදී. එහි දී ඉන්දීය සෙබළු 14ක් මරුමුවට පත්විය. ආයුධ රැසක් එහි දී පැහැර ගැනීමට කැරලිකරුවෝ සමත් විය. නැගෙනහිර ජවිපෙ දේශප්‍රේමී කැරලිකරුවන් විසින් ඉන්දීය හමුදාවේ සෙබලුන් 63ක් ඝාතනයට පත්කර ඇති බව ජවිපෙ නායක විජේවීර සහ ප්‍රධාන ලේකම් ගමනායක විසින් 1989 සැප්තැම්බර් 05 නිකුත් කළ නිවේදනයක සඳහන් විය. එහි සඳහන් වූයේ 1989 මැයි 12 සිට තෙමසක් ඇතුළත ඉන්දිය හමුදාවේ මේජර්වරයකු ඇතුළු නිලධාරින් 12ද සෙසු භටයන් 51ද වනසා දැමීමට ජවිපෙ විසින් පිහිටුවනු ලැබූ දේශප්‍රේමී විමුක්ති හමුදාවේ නැගෙනහිර පෙරමුණ සමත් වූ බවය.
ප්‍රේමකුමාර් 1989 සැප්තැම්බර් 24 හමුදා අත්අඩංගුවට පත්වන්නේ පාලම් පොට්ටවුර් හිදීය. අත්අඩංගුවට පත් ප්‍රේමකුමාර් කන්තලේ සීනි කම්හල ආශ්‍රිතව තිබූ හමුදා කඳවුරේ රඳවා තිබිණි. එවකට කන්තලේ අණදෙන නිලධාරියා වූයේ ලූතිනන් කර්නල් සරත් ෆොන්සේකාය. ප්රේම්කුමාර්ට පෝස්ටර් ඇඳීමට ඇති හැකියාව, කථිකත්වය, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා නිපුණත්වය හේතුවෙන්ද ගීත ගායනා කිරීමේ ඇති හැකියාවෙන්ද ආරක්ෂක අංශ සමඟ කිට්ටු සබඳතාවයක් ගොඩනඟා ගැනීමට හෙතෙම සමත්විය. ඔහු අත්අඩංගුවේ පසුවන විට දී ලූතිනන් අතුල සහ පාලිතද බොහෝ හමුදා භටයන්ද ඔහු ගැයූ කපුගේ, ටී. එම් සහ ජෝතිපාල වැනි ගායකයන් ගේ ගීත අසන්නට හුරුවී සිටියේය.
ජනාධිපති ප්‍රේමදාස විසින් සර්ව පාක්ෂික සමුළුවක් 1989 සැප්තැම්බර් 13 කැඳවූ අතර එයට ජවිපෙ සහභාගී නොවූවද උපක්රමික ක්‍රියාවක් වශයෙන් ආරිය බුලේගොඩ ගේ ශ්‍රී ලංකා ප්රගතිශීලි පෙරමුණ සහභාගි කරවන ලදී. එහිම දෙවන සර්ව පාක්ෂික සමුළුව 1989 ඔක්තෝබර් 12 කැඳවූ අතර අත්අඩංගුවට ගෙන ඇති ප්‍රේමකුමාර් ගුණරත්නම් ඇතුළු ජවිපෙ කැරලිකරුවන් 61ක් නිදහස් කරන මෙන් ඉල්ලමින් එහි දී ශ්‍රී ලංකා ප්රගතිශීලි පෙරමුණ විසින් සන්දේශයක් බාරදෙන ලදී. ඒ අතර ඉදිරිපෙළ කැරලිකරුවන් වූ සරසවි සිසුන් 27ක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රේමකුමාර් ඇතුළු කිහිපදෙනෙක් කොළඹ ආරක්ෂක මූලස්ථානයට 1990 පෙබරවාරි ගෙන එන ලදී.
පසුව ප්‍රේමකුමාර් කපිතාන් ජයන්ත කොතලාවල යටතේ අඹේපුස්ස කඳවුරේද රඳවා ගන්නා ලදී. අනතුරුව හමුදාව සමඟ කොළඹට පැමිණි අවස්ථාවක දී ප්‍රේමකුමාර් සැලසුම් සහගත ක්‍රියාවලියකින් පසු 1991 මාර්තු අස්ථාන ගතවිය. පසුව බද්දේගම මාවඩවිල, ගාල්ල, දඹුල්ල, මීගමුව, පිළියන්දල වැනි ස්ථාන කිහිපයක රහසිගතව සැඟව සිට ජවිපෙ යළි ප්‍රතිසංවිධානය කිරීමට 1991 අග භාගයේ සිට ක්‍රියාකාරීව දායක විය. ප්‍රේමකුමාර් ගේ පියා ආදිමුලම් 1994 නොවැම්බර් 17 මියගිය අතර ඔහුගේ අවසන් කටයුතු කෑගල්ල රංවල සුසාන භූමියේදි සිදුකළ අතර රහසිගතව ජවිපෙ දේශපාලනයේ නිරතව සිටිය ප්‍රේමකුමාර් ආරක්ෂාව තකා එයටද එක් නොවීය. දෙවැනි කැරැල්ල පරාජයෙන් පසු 1992 අවසාන වනවිට ජවිපෙ යළි යම් මට්ටමකින් පිහිටුවීමට සෝමවංශ සමත්වූ අතර එය ප්‍රසිද්ධ දේශපාලන ප්රවාහයට එක්වූයේ 1994 දී ශ්‍රී ලංකා ප්රගතිශීලි පෙරමුණ හරහා ජාතිය ගලවාගැනීමේ පෙරමුණ නමිනි.
2වැනි කැරැල්ලේ පරාජයෙන් පසු ජවිපෙ යළි ගොඩනැගීමේ දී තීරණාත්මක කාර්යභාරයක් සිදුකළ ‘ගුලිය’ වූ සේනාධීර ගුණතිලක, ජී. කුලරත්න, කමල් දේශප්‍රිය, නන්දන ගුණතිලක, චන්ද්‍රසේන විජේසිංහ, විමල් වීරවංශ ඇතුළු පිරිස සමඟද 1992 දී සබඳතා ගොඩනගා ගැනීමට ප්‍රේමකුමාර් සමත් විය. හෙතෙම විදේශගතව සිටි පක්ෂ නායක සෝමවංශ අමරසිංහ සමඟ 1991 සිටම ‘ගනුදෙනු’ කළේය. සෝමවංශගේ උපදෙස් අනුව පක්ෂයේ පැරැන්නන් හමුවී සබඳතා අලූත් කරගත් අතර ජවිපෙ පක්ෂයක් ලෙස විධිමත්ව ගොඩනැඟුණේ ඉන් අනතුරුවය.
ප්‍රේමකුමාර් 1992 ඇරඹූ ප්‍රේම සම්බන්ධයකින් පසු විවාහ වූයේ ජවිපෙ 2වැනි කැරැල්ලේ ශිෂ්‍ය අංශයේ ක්‍රියාකාරිනියක වූ පේරාදෙණිය සරසවි වෛද්‍ය සිසු චම්පා සෝමරත්න හෙවත් මයුරි සමඟය. චම්පාට දේශපාලන ජීවිතයේ ආරම්භක පන්ති 5 ඉගැන්වූයේ ප්‍රේමකුමාර් ගේ සොහොයුරා වූ රන්ජිදන්ය. චම්පාද රාගම පේරලන්ද නිවසක සිටිය දී 1990 අත්අඩංගුවට පත්ව පසුව නිදහස් විය. නාත්තණ්ඩිය බෝතලේගම හන්දියේ පදිංචි චම්පා ගේ මව ප්‍රකට ඉංග්‍රීසි ගුරුවරියකි.
චම්පා 1994 මහ මැතිවරණයේ දී ජවිපෙ වෙනුවෙන් ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට නාමයෝජනාද ලබා දුන්නාය. මෙම 1994 මහ මැතිවරණයේ දී ජවිපෙ බර කරට ගන්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම්, නන්දන ගුණතිලක, සේනාධිර ගුණතිලක, විමල් වීරවංශ සහ දීපාල් ගුණසේකර ඇතුළු පිරිසකි. එම මහ මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් දිනාගැනිමට ජවිපෙ සමත් විය.
කොළඹ මහජන පුස්තකාලයේ 1994 දී ශ්‍රී ලංකා ප්රගතිශීලි පෙරමුණේ පක්ෂ නිලවරණයක් පවත්වා එහි ලේකම් තනතුරට මාරවිල උපන් පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය සිසු මැතිව් ප්‍රනාන්දු පත්කර ඔහු හරහා ශ්‍රී ලංකා ප්රගතිශීලි පෙරමුණේ නෛතික බලය ජවිපෙට ලබා ගැනීම, වසර 1994 මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය, 1995 මැයි 15 තංගල්ලේ දී ජවිපෙ සමුළුවක් පවත්වා ජවිපෙ නෛතික අයිතිය තහවුරු කරගැනීම, 1997 පළාත් පාලන මැතිවරණය, 1999 සහ 2005 ජනාධිපතිවරණ, 2000, 2001, 2004 මහ මැතිවරණ යන ක්‍රියාවලි සඳහා නායකත්ව කාර්යභාරයක් ප්‍රේමකුමාර් විසින් ඉටු කරන ලදී. ජවිපෙ නායක සෝමවංශ ශ්‍රී ලංකාවට 2001 නොවැම්බර් 22 පැමිණි විට මාලඹේ නැවතී සිටි අතර ඔහුගේ ආරක්ෂාව බාර දුන්නේද ප්රේමකුමාර්ටය.
ප්‍රේමකුමාර් 1994 සිට ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වශයෙන් 2012 මාර්තු මස දක්වා ක්‍රියාකාරීව කටයුතු කළේය. අධ්‍යාපන සහ ශිෂ්‍ය අංශය කලක් භාරව සිටියේද ඔහුය. සුනාමි උවදුර ඇතිවූ 2004 දී ජවිපෙ රතු තරුව වැඩපිළිවෙල යටතේ ධීවර අමාත්‍යාංශයේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරමින් තිබූ සීමීත සම්පත් තුළ සහන සැලසීමේ වැඩසටහනේ නියමුවා වූයේද ප්‍රේමකුමාර්ය. පසුව 2005 ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂට ජනාධිපතිධූරය සඳහා සහාය ලබා දී උපක්රමිකව රජයට එක්වී කටයුතු කළයුතු බවට ජවිපෙ දේශපාලන මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවේ දී ඒ යෝජනාවට පක්ෂව ඡන්ද 6ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 5ක් ලැබිණි. විරුද්ධව ඡන්දය දුන් ප්‍රේමකුමාර් කියා සිටියේ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂට සහාය දිය යුතු වූවද රජයට එක් නොවිය යුතු බවය. පසුව ජවිපෙ අභ්‍යන්තර ප්‍රශ්නයක් මත ඔහුට 2006 දී ඕස්ට්‍රේලියාවට යෑමට සිදුවිය. කරාපිටිය, කෑගල්ල සහ වැලිසර රෝහල්වල වෛද්‍යවරියක් ලෙස සේවය කළ සිය බිරිය සහ දරුවන්ද ඒ සමඟ විය.
යළි ප්‍රේමකුමාර් ලංකාවට පැමිණියේ 2011 සැප්තැම්බර් 14ය. සිය දරුවන් සමඟ ලංකාවට යළි පැමිණි චම්පා සෝමරත්නද 2012 ජනවාරි 02 ආපසු යෑමේ දී කටුනායක ගුවන් තොටුපොළේ දී රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පැය 10ක කාලයක් රඳවා ගන්නා ලදී. එහි දී ඇය ප්‍රකාශ කළේ කුමාර් ගුණරත්නම් නැමැත්තකු සමඟ තමා විවාහ වී නැති බවය. ඒ වනවිට ප්‍රේමකුමාර් ගේ ගුවන් බලපත්‍රයේ නම නොයෙල් මුදලිගේ විය.
ජවිපෙන් ඉවත්විමෙන් පසු ප්‍රේමකුමාර් ඇතුළු කණ්ඩායමක ගේ නායකත්වයෙන් ගොඩනැඟූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු සමුළුව 2012 අප්‍රේල් පැවැත්වීමට තිබිය දී 2012 අප්‍රේල් 07 අලූයම කිරිබත්ගොඩ ගැමුණු මාවතේ දී කුමාර් අත්අඩංගුවට ගත් අතර ප්‍රේමකුමාර් හෙවත් නොයෙල් මුදලිගේ ඕස්ට්‍රේලිියානු පුරවැසියකු බැවින් ඕස්ට්‍රේලිියානු තානාපතිවරිය ගේද මැදිහත්වීමෙන් පසු 2012 අප්‍රේල් 09 රාත්‍රියේ මුදාහැරි අතර අප්‍රේල් 10 උදෑසන 7.40ට යළි කටුනායකින් ඕස්ට්‍රේලිියාව බලා යවන ලදී. ජවිපෙ ඉතිහාසය තුළ 1986 සිට 2012 දක්වා වසර 26ක් ප්‍රේමකුමාර් ගුණරත්නම් ජවිපෙ අරමුණ කෙරේ කැපවීම සඳහා බොහෝ පරිත්‍යාගයන් කළ බව නොරහසකි.
ප්‍රේමකුමාර් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ ඕස්ට්‍රේලිියානු හැඳුනුම්පත් අංක 17557167එෆ් හිමි නොයෙල් මුදලිගේ නමින් එන් 1016123 දරන ගුවන් බලපත්‍රය භාවිත කරමිනි. ප්‍රථමයෙන් 1990 දෙසැම්බර් 21 ප්‍රේමකුමාර් ගුණරත්නම් නමින් ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයක් කේ 0257946 ලබාගෙන තිබූ ඔහු ජීවිතාරක්ෂාව සඳහා යැයි කියමින් පසුව එන්. 1938494 අංක දරන ගමන් බලපත්‍රයක් 2000 ඔක්තෝබර් 29 ලබාගෙන තිබුණේ දස්කොන් මුදියන්සේලාගේ දයාලාල් නමිනි.
ජනාධිපතිවරණය නිවේදනය කිරීමත් සමඟම 2015 ජනවාරි 01 ප්‍රේමකුමාර් යළි දිවයිනට පැමිණියේය. ජනාධිපතිවරණයේ පෙරටුගාමී පක්ෂයේ අපේක්ෂක දුමින්ද නාගමුවට සහාය දැක්වීය. ලංකාවට පැමිණි පසු පුරවැසිභාවය යළි අයදුම්කර එය ප්‍රමාද වීම නිසා වීසා කාලය දිගුකරන ලෙසද ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පසුව ඉල්ලා සිටියේය. ඉන්පසු ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමට පරම්පරාගත ලංකා පුරවැසි තත්ත්වය පිළිබඳ සහතිකයක්ද පුරවා 2015 පෙබරවාරි 18 බාර දුන්නේය. තමන් පිටුවහල් කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක්ද කළේය. එහි දී ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ආගමන විගමන පනතේ 8, 20 සහ 21 වගන්තිවලට අනුව එය විෂය භාර ඇමතිවරයාට අයත් බවය. එම ඉල්ලීම ප්‍රමාදවීමෙන් පසු විසා කාලය ඉක්ම ගිය වහාම ලංකාවෙන් ඉවත්වන ලෙසට ඔහුට නියෝග කර තිබිණි.
ශ්‍රී ලංකාවට පැමිණ 2015 ජනවාරි මස සිට නොවැම්බර් 4 දක්වා අත්අඩංගුවට ගන්නා තෙක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරකම් සඳහා කුමාර් සක්‍රියව දායක විය. වසර 2015 නොවැම්බර් 4 කොළඹ සිට කෑගල්ලේ නිවසට ඔහු අලූයම 3ට පැමිණියේ වෑන් රථයකින් රියදුරු සමඟය. එදින සවස නුවරට යෑමට තිබිණි. ඒ වනවිට ප්‍රේමකුමාර් නායකත්වය දරන පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් සිසු සහ ජන අරගල ගණනාවකට දේශපාලන නායකත්වය ලබාදෙමින් සිටියේය.
ප්‍රේමකුමාර් ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන හෙයින් නීතිවිරෝධීව රැ දී සිටින බව පවසමින් ඔහු 2015 නොවැම්බර් 04 අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට තැත් කිරීම දෙස් විදෙස් මානව හිමිකම් ක්‍රියාකාරින් අතර ආන්දෝලනාත්මක සිද්ධියක් විය. අත්අඩංගුවට ගත් ප්‍රේමකුමාර් පසුව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර බන්ධනාගාර ගතකළ අතර යළිත් 2015 නොවැම්බර් 18 අධිකරණයට ඉදිරිපත් කළේය. පසුව කෑගල්ල අධිකරණය විසින් සංචාරක විසා පතකින් මෙරටට පැමිණ නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටීම පිළිබඳව ඔහුට වසරක සිරදඬුවමක් 2016 මාර්තු 31 නියම කළේය.
අනුරාධපුර බන්ධනාගාරයේ වසරක සිරදඬුවම් විඳිමින් සිටි ඔහුගේ වසරක සිරගත කාලය නිමාවීමට තිබුණේ 2016 දෙසැම්බර් 09 වැනිදාය. ඉන් සතියකට පෙර එනම් 2016 දෙසැම්බර් 02 ප්‍රේමකුමාර් ගුණරත්නම් අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස ලැබීය.
ඕස්ට්‍රේලිියානු පුරවැසිභාවය අහෝසි වී ශ්‍රී ලංකාවේ පූර්ණ පුරවැසිභාවය රජය විසින් ප්‍රේමකුමාර්ට පිරිනමනු ලැබුවේ 2017 ජූනි 22දීය. එදින සිට ප්‍රේමකුමාර් පෙරටුගාමි සමාජවාදි පක්ෂය හරහා දේශපාලනයේ නිරතව සිටියි. ඔහුගේ බිරිය චම්පා සහ දරු දෙදෙනා 2022 වනවිටද ජීවත්වනුයේ ඕස්ට්රේලිියාවේය.
– ධර්මන් වික්‍රමරත්න