ට්‍රම්ප් බල හුවමාරුව අවහිර කළොත් තව තවත් මිනිසුන් ඉදිරියේදී මිය යාවි – බයිඩන්

ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය අඛණ්ඩව සුමට සංක්‍රාන්තියක් (බල හුවමාරුව) අවහිර කරන්නේ නම්, විශේෂයෙන් එන්නත් බෙදාහැරීමේ සැලැස්ම සම්බන්ධයෙන් ගත්විට, ඇමෙරිකානුවන් විශාල සංඛ්‍යාවක් නව කොරෝනා වෛරසයෙන් මිය යා හැකි බවට තේරී පත් වූ ජනපති ජෝ බයිඩන් අනතුරු අඟවයි.

“අප මේ සම්බන්ධීකරණය නොකළහොත් තව තවත් පුද්ගලයින් මිය යා හැකියි” සුමට සංක්‍රාන්තිය අවහිර කිරීමට ට්‍රම්ප් ගන්නා උත්සාහයේ ප්‍රතිඵලය කුමක් වේවිදැයි යන පැනයකට පිළිතුරු දෙමින් බයිඩන් කියා සිටියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

“ඇමරිකානුවන් මිලියන 300කට වඩා එන්නත් ලබාගන්නේ කෙසේද? මේ සඳහා වූ අපේ සැලසුම කුමක්ද? එය විශාල කාර්යභාරයක්. විශාල වැඩක්.” විල්මින්ටන්හිදී බයිඩන් කියා සිටියේය.

“මේ සැලැස්ම ආරම්භ කිරීම සඳහා අපට ජනවාරි 20දා තෙක් බලා සිටීමට සිදුවුවහොත්, එය අපව මාසයකට වඩා පසුබස්වනවා. මේ නිසා එය කඩිනමින් සිදුකිරීම වැදගත්. දැන් සම්බන්ධීකරණය කර තිබිය යුතුයි.” ඔහු තවදුරටත් පැවසීය.

ට්‍රම්ප් ජනාධිපතිවරයා ඩිමොක්‍රටික්වරු වෙත තැබූ දුෂ්කර ස්ථාවරය ගැන තමා ඔහුට අනුකම්පා කරන බව තමන් සමග කතාබහ කළ රිපබ්ලිකන් දේශපාලනඥයන් රැසක් සමග කියා සිටි බව බයිඩන් සඳහන් කළේය.

“අපි ජනවාරි 20දාට යාමට පෙර ජනාධිපතිවරයා (ට්‍රම්ප්) තරමක් බුද්ධිමත් වනු ඇතැයි කියා මා බලාපොරොත්තු වෙනවා” බයිඩන් වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් පරාජය භාරගැනීමට සූදානම් නොමැති අතර, ඔහු දවසකට ට්විටර් පණිවුඩ කිහිපයක් නිකුත් කරමින් තමන් ජය ලැබූ බවත්, ඩිමොක්‍රටික්වරු (බයිඩන්) වංචාවකින් මැතිවරණය ජයගත් බවත් කියා සිටියි. ඒ අනුව එක්සත් ජනපදයේ බල හුවමාරුව කිසිදු ලෙසකින් සුමටව සිදු නොවන බව දැනටමත් පෙනෙන්නට ඇති අතර, මෙය කවරාකාර අවසානයක් වනු ඇතිද යන්න බොහෝ දෙනෙකු විමසිලිමත් දෑසින් බලා සිටින තත්ත්වයක් බවට පත්ව තිබේ.