කොටි නැගිටිනවා කියලා දඟලපු චෝදනාව : අවුරුද්දකට පස්සේ නගරාධිපති මනිවන්නන් නිදහස්!
කොටි සංවිධානය නැවත පණ ගැන්වීමට උත්සාහ කළ බවට රජය විසින් එල්ල කරන ලද චෝදනාවලින් යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පියවර ගෙන තිබෙනවා.
නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් චෝදනාවලින් නිදොස් කර නිදහස් කළ යාපනය මහේස්ත්‍රාත්වරයා ජුලි 20 වැනි බදාදා වැඩි දුරටත් නියෝග කර ඇත්තේ ඔහුට එම චෝදනාවට ලක්වීමට හේතු කොටගත් නගර සභා සේවකයන්ගේ නිල ඇදුම් ද ආපසු නගර සභාවට භාර දෙන ලෙසයි.
එල්ටීටීඊයේ පොලිස් භටයන්ගේ නිල ඇඳුමට සමාන නිල ඇඳුමක් බව කියමින් පස් දෙනකුගෙන් සමන්විත නාගරික සිවිල් අධීක්ෂණ කණ්ඩායමක් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් නගරාධිපතිට චෝදනා එල්ල කර තිබුණා. එල්ටීටීඊ සංවිධානය නැවත සංවිධානය කිරීමේ චෝදනා යටතේ 2021 වසරේ අප්‍රේල් මාසයේදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) විසින් නගරාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබුණා. පැය කිහිපයක් තිස්සේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැරියා.
යාපනය මහ නගර සභා කොමසාරිස්වරයාගේ පැමිණිල්ලක් මත පරීක්ෂණයක් කිරීම සඳහා විශ්වලිංගම් මනිවන්නන් සහ යාපනය මහ නගර සභාවේ සාමාජික වර්ධරාජා පාර්තීපන් 2021 අප්‍රේල් මස 8 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 8 ට යාපනය පොලිසියට කැඳවා තිබුණා. එම පරීක්ෂණය පසුවදා එනම් සිකුරාදා (අප්‍රේල් 9) අලුයම 2 දක්වා ඇදී ගොස් තිබූ වාර්තා වුණා.
එහිදි ඔහුට එරෙහිව එල්ල කර තිබු චෝදනාව වන්නේ “එල්ටීටීඊයේ පොලිස් කොට්ඨාශයේ සාමාජිකයන් සැරසී සිටි නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් යුත් පස් දෙනකුගෙන් යුත් නාගරික සිවිල් අධීක්ෂණ කණ්ඩායමක් සේවයේ යෙදවීම” යි.
නගරාධිපතිවරයා කියන පරිදි, මේ කණ්ඩායමේ කාර්යභාරය වී තිබුණේ යාපනය නගරයේ නඩත්තු කටයුතු සහ වාහන ගමනාගමනය නියාමනය කිරීමයි. යාපනය නගරාධිපති විසින් මේ අයට පත්වීම් ලබා දී තිබුණේ ද තාවකාලික පදනමින්. කුණු කසළ බැහැර කිරීම, දඩ මුදල් එකතු කිරීම, කොරෝනා වෛරස් රෙගුලාසි උල්ලංඝනය කිරීම වැනි දේ අධීක්ෂණය කිරීම යාපනයේ සිවිල් අධීක්ෂණ බලකායේ රාජකාරිය බවයි අත්අඩංගුවට ගැනීමට පෙර පැවති මාධ්‍ය හමුවකදී කියා තිබුණේ.
වසරක කාලයකටත් පසුව 2022 වසරේ ජුලි 20 වැනි බදාදා නඩුව කැදවු අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ මෙම නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවයි.
අධිකරණ තීන්දුව “යුක්තියේ ජයග්‍රහණයක්, අපේ අරගලයේ ජයග්‍රහණයක්” ලෙසින් විශ්වලිංගම් මනිවන්නන් නගරාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්ව තිබෙනවා.