අතන , මෙතන රටේ තොරතුරු

ගෝඨාට සල්ලි ගෙව්වේ සේනාධිපතිද-මනෝජ්ද-ආණ්ඩුවද?

දවස් 5ක් නැව අතරමං කළාට චීනයේ කනස්සල්ල!

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රනිල්ගෙන් ජවිපෙට පණිවුඩයක් ගියාද?

රටින් පැන්නත් ගෝඨාගේ කතාව ඉවර නෑ!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත්ව කිසිවකුට නොකියා රටින් පලා ගිය පසු ඔහු සම්බන්ධයෙන් වූ පරිච්ඡේදය අවසන් වනු ඇති බවක් බොහෝ දෙනා සිතා සිටියද තවමත් ගෝඨා සම්බන්ධයෙන් සිදුවන දේශපාලන කතාබහේ නිමාවක් සිදුව නොමැත. රටින් පලාගිය ගෝඨා පළමුව දින කිහිපයක් රැඳී සිටියේ මාලදිවයිනේය. ඉන් අනතුරුව මාලදිවයිනෙන් සිංගප්පූරුවට ගමන් කළ ගෝඨා, එරට පිහිටි සුපිරි හෝටලයක් වන ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන් ගැනීමට පියවර ගත්තේය.

සිංගප්පූරු ෂැංග්‍රිලා එකේ හිටියේ කෘතගුණ සැලකීමකටද?

මේ ෂැංග්‍රිලා හෝටලය යනු ලංකාවේ ගාලුමුවදොර පිහිටා ඇති ෂැංග්‍රිලා හෝටලයටම අනුබද්ධ එකකි. මෙරට ෂැංග්‍රිලා හෝටලය ඉදිකිරීම සඳහා ගාලුමුවදොර පිහිටි යුද හමුදා මූලස්ථානය සින්නක්කරවම ෂැංග්‍රිලා හෝටල් සමාගමට විකුණා දැමූයේ ගෝඨා ආරක්ෂක ලේකම්ව සිටි සමයේය. ඊට කෘතගුණ සැලකීමක් ලෙස සිංගප්පූරුවේ ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන් ගැනීමට ගෝඨාට අවසර ලබාදුන්නාද යන්න නොදන්නා නමුත් වීසා දීර්ඝ නොකිරීම හේතුවෙන් ගෝඨාට සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා යෑමට සිදුවිය. ඒ අවස්ථාවේදී යම් යම් මාධ්‍යවල පළ වූයේ සිංගප්පූරුවේ රැඳී සිටි කාලය තුළ වූ වියදම් සහ ගුවන් යානා වියදම් වෙනුවෙන් ඇමෙරිකාවේ සිටින ගෝඨාගේ පුත් මනෝජ් රාජපක්ෂ සියලු වියහියදම් දැරූ බවකි.

ප්‍රයිවට් ජෙට් එකට ගෙව්වේ ආණ්ඩුවේ සල්ලිද?

නමුත් ප්‍රශ්නය මතුවූයේ ගෝඨා සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පෞද්ගලික ගුවන් යානයකින් ගමන් කිරීමත් සමගය. මේ සම්බන්ධයෙන් පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසා සිටි අතර, එහිදී ඔහු කියා සිටියේ ගෝඨාගේ ගුවන් ගමන් සඳහා ආණ්ඩුව විසින් වියදම් දැරූ බවකි.

තායිලන්තේ මැන්ඩරීන් සුපිරි හෝටලයේ නවතී!

කෙසේ වෙතත් සිංගප්පූරුවෙන් පිටත් වූ ගෝඨා පළමුව නවාතැන් ගැනීමට බලාපොරොත්තු වූයේ තායිලන්තයේ ෆූකට් දිවයිනේ රහසිගත ස්ථානයකය. නමුත් එය මාධ්‍යයට අනාවරණ වීමත් සමග තායිලන්ත රජය කළේ ගෝඨාට වෙනත් නවාතැන්පළක් තෝරාගන්නා ලෙස දැනුම් දීමය. ඒ අනුව ගෝඨා තෝරාගත්තේ තායිලන්තයේ බැංකොක්හි පිහිටි සුපිරි පන්නයේ හෝටලයක් වන මැන්ඩරීන් ඔරියන්ටල් හෝටලයේ ජනාධිපතිවරුන්ට වෙන්කර ඇති මහලය. බන්දුලගේ ප්‍රකාශයට අනුව මෙම හෝටල්වල වියදම්ද ආණ්ඩුව විසින් දරන බවක් හැඟී ගිය හෙයින් අඟහරුවාදා දිනම තායිලන්තයේ සිට ප්‍රකාශයක් ලබාදෙමින් ගෝඨා කියා සිටියේ තම විදෙස් සංචාරවල සියලු වියදම් තමන් විසින් දරන බවත්, ආණ්ඩුවෙන් ඒ සඳහා මුදල් ලබා නොගන්නා බවත්ය. නමුත් ගෝඨාගේ මේ සඳහනේ කොතැනකවත් පෞද්ගලික ගුවන් යානයක් කුලියට ගැනීම සම්බන්ධයෙන් වචනක් හෝ නොතිබීමද විශේෂ සිදුවීමකි.

සල්ලි ගෙව්වේ ‌ඇවන්ගාඩ් සභාපතියි පුත් මනෝජුයිද?

කෙසේ වෙතත් මේ වියදම් පියවීම සම්බන්ධයෙන්ද මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ මත කිහිපයක්ම පැතිර යමින් තිබේ. එක් පිරිසක් කියන්නේ මේ වන විට ඩුබායිහි සිටින ඇවන් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් ගෝඨාබයගේ සියලු වියදම් දරන බවකි. තවත් පිරිසක් කියන්නේ අප පෙර කී පරිදිම ඇමෙරිකාවේ සිටින ගෝඨාගේ පුත් මනෝජ් රාජපක්ෂ මෙම වියදම් දරනවා යැයි කියාය. කවුරු වියදම් දැරුවත් මෙසේ සුපිරි හෝටලයක දින ගණන් නවාතැන් ගෙන සිටීම සඳහා විශාල මුදලක් වැයවන බව අමුතුවෙන් කිවයුතු නැත.

ගෝඨා ලංකාවට අරන් එන්න සියල්ල ලෑස්තියි! #BringBackGota සහ #BringHomeGota

කෙසේ වෙතත් තායිලන්තයේ රැඳී සිටීම සඳහා එරට රජය විසින් ගෝඨාට දින 90ක වීසා පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබිණි. එමෙන්ම ආරක්ෂක හේතු මත ඔවුන් ගෝඨාභයට දැනුම්දී සිටියේ කිසිදු හේතුවක් මත හෝටලයෙන් පිටතට නොයන ලෙසටය. මේ සියලු තොරතුරු වාර්තා වීමත් සමගම ශ්‍රී ලංකාවේ සිටින ගෝඨාගේ හිතවතුන් සහ ගෝඨා දේශපාලනයට රැගෙන ආ පුද්ගලයන් මේ වන විට ගෝඨාට යළි ලංකාවට පැමිණෙන ලෙස බලකර සිටීමේ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ. මුලින් මුලින් හිතවතුන් මාර්ගයෙන් මෙම ඉල්ලීම ගෝඨා වෙත දැනුම් දුන්නත් මේ වන විට එය විවිධ ටැග් ලයින් යටතේ ප්‍රචාරක ව්‍යාපෘතියක් බවට පත්කිරීමට ගෝඨා හිතවාදීන් පියවර ගෙන ඇත.

අනුකම්පා හිතෙන විදිහේ මෙහෙයුමක්!

ඒ අනුව #BringBackGota සහ #BringHomeGota යනුවෙන් පසුගිය සතිය වන විට දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කිරීමට ඔවුන් කටයුතු කර තිබිණි. මේ වන විට ගෝඨා තීන්දු කර ඇත්තේ මෙම ඉල්ලීම් හමුවේ ඊට හිස නමමින් ලබන බදාදා (24) දිනයේ දිවයිනට පැමිණිමටය. එසේ පැමිණෙන විට ගෝඨාව පිළිගැනීමට විශාල ජනතාවක් කටුනායකට රැස්කිරීමටත්, ගෝඨාට අනුකම්පාව ඇතිවන ආකාරයේ මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමටත් ඔවුන් දැනටමත් සැලසුම් සකස් කොට අවසානය. මීට අමතරව ස්වාමින්වහන්සේලා ලවා ගෝඨාගේ පැමිණීම මුල් කරගෙන යළි ඔහුගේ ප්‍රතිරූපය වර්ධනය කෙරෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරවා ගැනීමටද සැලසුම් කොට තිබේ.

සීතා අයින්වෙයි! ගෝඨා පාර්ලිමේන්තුවේ අගමැතිකමට!

මෙම පසුබිම යටතේ මේ සියලු දෙනාම උත්සාහ කරන්නේ ගෝඨාව නැවතත් දේශපාලනයට ගෙනැවිත් පාර්ලිමේන්තුවට රැගෙන ඒමටය. ඒ සඳහා දැනටමත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින සීතා අරඹේපොළ මහත්මිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත් කොට ඊට ගෝඨාභය නම්කිරීම ඔවුන්ගේ සැලසුමයි. එමෙන්ම මෙම පිරිසගේ තර්කය වී ඇත්තේ තවමත් ලක්ෂ 69ක ජන වරමක් පවතින්නේ ගෝඨා සතුව යැයි කියාය. අවුරුදු පහක කාලය සඳහා ජනතාව විසින් එම ජනවරම ලබාදී ඇති බව ඔවුන්ගේ තර්කය වී තිබේ. ඒ අනුව සීතා අරඹේපොලගෙන් හිස් වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ගෝඨා පාර්ලිමේනතු පැමිණ පොහොට්ටුවේ නව ආණ්ඩුවක් බිහිකිරීමටත්, ඉන් අනතුරුව පොහොට්ටුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අස්සන් සහිතව ගෝඨා අගමැතිවරයා ලෙස නම්කොට ජනාධිපතිවරයා වෙත එම නම යොමු කිරීමටත් ඔවුන්ගේ සැලසුම වී තිබේ. එහිදී මේ වන විට සිදුව තිබුණා හා සමානවම ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වුවහොත් යළිත් වතාවක් ගෝඨා හට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමේ අවස්ථාවක් නිර්මාණය වනු ඇති බව ඔවුන්ගේ තර්කය වී තිබේ. මේ දිනවල සමාජ මාධ්‍ය පුරා මෙතෙක් රැව් පිළිරැව් දුන් ‘ගෝඨා ගෝ හෝම්’ වෙනුවට ‘ගෝඨා කම් හෝම්’ සටන් පාඨය ඉස්මතු වී ඇත්තේ මේ සැලසුමේ ප්‍රතිඵලයක් ලෙසටය.

ගෝඨාට අමෙරිකාවෙන් බාල්දියක් පෙරළයි!

මේ ආකාරයට ගෝඨාගේ හිතෛෂීන් ගෝඨාව නැවත ලංකාවට ගෙන්වා දේශපාලනයට රැගෙන ඒමට සැලසුම් කරද්දී ගෝඨාභය මුල් කරගෙන කවුරුත් නොදන්නා බරපතළ අර්බුදයක් පසුගිය සතිය වන විට නිර්මාණය වී තිබිණි. ඒ, ගෝඨාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක් ඉදිරියේ නඩු පැවරීමය. ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචි වන තොරතුරුවින් කියැවෙන්නේ 2019 ගෝඨා ඇමෙරිකානු පුරවැසිභාවය අතහැරීමට ප්‍රථම සිදුවූ සිදුවීම් කිහිපයක් මුල් කරගෙන නඩු පැවරීම සිදුකොට ඇති බවත්, ඇමෙරිකානු නීතිය උල්ලංඝණය වී ඇති බවට චෝදනා කරමින් එම නඩු පැවරීම සිදුකොට ඇති බවත්ය. මෙම තොතුර මේ වන තෙක් කිසිදු මාධ්‍යයක් තුළ මේතාක් අනාවරණ නොකළ අතර, පළමු වරට එය රටට හෙළිදරව් කරන්නේ ‘රාජ්‍ය රහස්’ තීරයේ අප විසින්ය. ඒ අනුව ගෝඨා සිංගප්පූරුවේදීම ඇමෙරිකානු ග්‍රීන්කාඩ් වීසා පහසුකම් සඳහා අයැදුම් කළද මෙම නඩු පැවරීමත් සමග එම ග්‍රීන් කාඩ් වීසා පහසුකම ලබාගැනීමේ අවස්ථාව අහිමි වී යනු ඇත.

වැරදිකරු වුණොත් වෙන දේ!

මෙම තොරතුර වාර්තා වීමත් සමග මෙම නඩුවේ ස්වභාවය පිළිබඳ ‘රාජ්‍ය රහස්’ තීරය වැඩිදුර තොරතුරු සොයාබැලීමට පියවර ගත්තෙමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ යම් හෙයකින් ගෝඨා මෙම චෝදනාවට ඇමෙරිකානු අධිකරණය හමුවේ වරදකරු වුවහොත් සියලු බලය යොදා ඇමෙරිකානු රජයට එම තීන්දුවට සිය පුරවැසියා යටත් කළ හැකි බවකි.

ජිනීවාවලටත් රතු එළියක්!

අනෙක් අතට ඇමෙරිකානු රජය ගෝඨාට එරෙහිව ඇමෙරිකානු අධිකරණයේ නඩු පැවරීම හරහා ලබන මාසයේ ආරම්භ වීමට නියමිත ජිනීවා මානව හිමිකම් සැසිවාරයටද බරපතළ අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. අප අවස්ථා කිහිපයකදීම මෙම තීරය ඔස්සේ ප්‍රකාශ කර සිටියේ මෙවර මානව හිමිකම් සැසිවාරයේදී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත වීමේ අනතුරක් මතුව ඇති බවකි. එමෙන්ම මේ වන විටත් හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හතළිස් ගණනකට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට ඇමෙරිකාව පියවර ගෙන තිබේ. නමුත් හිටපු ජනාධිපතිවරයකු ඉලක්ක කරගෙන ඇමෙරිකාව මේ ආකාරයේ නඩු කටයුත්තක් ගොනුකිරීම හරහා ඉදිරියේදී ජිනීවාවලදී යුද අපරාධ චෝදනා මුල්කරගෙන නැවත වතාවක් විමර්ශනයක් සිදුකරන ලෙස බලපෑම් කිරීමේ අවදානමක්ද මතුව ඇත. ඒ අනුව ගෝඨාට ඇමෙරිකාවේ සිටින හොඳම නීතිඥවරුන්ගේ සහාය ගෙන මෙම නඩුවට පෙනී සිටීමට සිදුවනු ඇත. එමෙන්ම ඉන් නිදහස් වීම සඳහා ගෝඨාභයට දැඩි සටනක් කිරීමටද සිදුවනු ඇත. එවැනි තත්ත්වයක් යටතේ ගෝඨාට ඇමෙරිකානු අධිකරණයෙන් කැඳවීමක් ලැබුණහොත් ලංකා ආණ්ඩුව කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇද්ද යන්න බලා සිටිය යුතුය. කෙසේ වෙතත් මතුව ඇති මම තත්ත්වය යටතේ ගෝඨාට ඉතිරිව ඇත්තේ විකල්ප කිහිපයකි. ඉන් හොඳම විකල්පය වී ඇත්තේ නැවත ලංකාවට පැමිණ දේශපාලනය කිරීම බව බොහෝ දෙනාගේ අදහසය.

බැසිල්ටත් අවුලක් වෙයිද?

මෙම අනතුර ඇමෙරිකානු පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ මහතාටද නැතුවා නොවේ. මීට මාසයකට පමණ ඉහතදී ගෝඨා ලංකාවෙන් පිටවූ දිනයේමී බැසිල්ද ඇමෙරිකාව බලා පිටත්ව යෑමට කටුනායකට පැමිණියත්, එහදී එල්ලවූ විරෝධතා හමුවේ ගමන කල්දැමීමට බැසිල් පියවර ගත්තේය. නමුත් මේ වන විට බැසිල්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවී ඇති බැවින් ඔහුට ලංකාවෙන් පිටව යා හැකි තත්ත්වයක් මතුව නැත. නමුත් විදෙස් ගමන් තහනම ඉවත් වූ පසු බැසිල් ඇමෙරිකාව බලා පිටත්ව යන්නේ නම් ඔහුටද මෙම අවදානම මතුවනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. මන්ද ඇමෙරිකානු පුරවැසියකු ලෙස බැසිල් ඇමෙරිකානු නීතිය ආරක්ෂා කිරීමට නීතියෙන් බැඳී ඇත. එරට නීතිය අනුව ඔවුන් වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතුය. මානව හිමිකම් ආරක්ෂා කළ යුතුය. මේ අනුව ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද මේ වන විට සිටින්නේ බැසිල් ඇමෙරිකාවට පැමිණෙන තෙක්ය. ඒ, ඇමෙරිකානු රජය බැසිල්ට එරෙහිව නඩු නොපවරන්නේ නම් එම ශ්‍රී ලාංකිකයන් මූලිකත්වය ගෙන ඇමෙරිකානු අධිකරණය හමුවේ බැසිල්ට එරෙහිව නඩු පැවරීමටය.

බැසිල් ගහන්න යන අලුත් ගේම!

මේ සියල්ල අතරවාරයේ බැසිල් මේ වන විට තවත් දේශපාලන ගේමකට අතගසා තිබේ. ඒ, අලුත් පොහොට්ටු ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩපිළිවෙළටය. ඒ අනුව බැසිල් ඇතුළු කණ්ඩායමක් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසීමට පියවර ගෙන තිබිණි. මෙම සාකච්ඡාවේදී පළමුව බැසිල් ජනාධිපතිවරයාට දැනුම්දී සිටියේ ගෝඨාභය ලංකාවට පැමිණීමට නියමිතව සිටින බවත්, ඒ සඳහා ඔහුට අවශ්‍ය ආරක්ෂාව සැපයිය යුතු බවත්ය. එමෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන්ද සමගි ජන බලවේගය ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටීමට මෙහිදී බැසිල් ඇතුළු කණ්ඩායම පියවර ගෙන තිබිණි. එහිදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රනිල් මාසයක කාලයක් ඉල්ලා සිටීමට පියවර ගත්තේය. රනිල් කියා සිටියේ තවමත් ඇමැතිකම් සම්බන්ධයෙන් සජබ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා සිදුවන බවත්, එය අවසන් කිරීමට තමන්ට සති දෙකක කාලයක් අවශ්‍ය බවත්ය. ඉන් අනතුරුව මාසයක් ඇතුළත ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ හැකි බවත් රනිල් එහිදී සඳහන් කර සිටියේය.

පොහොට්ටුවට ඇමැතිකම් 17ක්!

ඉන් අනතුරුව සාකච්ඡා වූයේ එසේ පිහිටුවන ජාතික ආණ්ඩුවේ ඇමැති ධුර සම්බන්ධයෙනි. එහිදී බැසිල් පැහැදිලිවම කියා සිටියේ එම ආණ්ඩුවේ බහුතර බලය පොහොට්ටුවට හිමිවන බැවින් ඇමැති ධුර 17ක් පොහොට්ටුවට ලැබිය යුතු යැයි කියාය. ඊට රනිල්ගේ එකඟතාව පළවිය.

නැවේ අවුල උඩු දුවයි!

පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප අනාවරණ කළ පරිදිම තවත් ජාත්‍යන්තර අර්බුදයකට පාර කපමින් ‘යුආන් වැන්ග් 5’ චීන ඔත්තු නැව හම්බන්තොට වරායට පැමිණීම සඳහා අවසර ලබාදීමට ලංකාවේ ආණ්ඩුව පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය. චීන ඔත්තු නැව හම්බන්තොට වරායට පැමිණිම සඳහා අවසර ලබාදීම හේතුවෙන් ඉන්දියාව හා ඇමෙරිකාව දැඩි කලබලයට පත්ව සිටි ආකාරයක් ඉකුත් සති දෙක තුළදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කිරීමට අපි පියවර ගත්තෙමු. එහිදී ඇමෙරිකාවත්, ඉන්දියාවත් නිල වශයෙන් ඒ සම්බන්යෙන් සිය විරෝධය ලංකාවේ විදේශ අමාත්‍යාංශය වෙත පළකර සිටි ආකාරයද අප පෙන්වා දුන්නෙමු. ඒ අනුව ලංකාවට ඇති විකල්පය ලෙස නැව හම්බන්තොටට ඇතුලු වීම තහනම් කිරීම හෝ නියමිත පරිදි 11 වැනි බ්‍රහස්පතින්දා දිනම ඊට හම්බන්තොටට ඇතුලු වීමට ඉඩ ලබාදීම බව පෙන්වා දුන් අප ඒ හරහා මතුවිය හැකි රාජ්‍යතාන්ත්‍රික අර්බුද ඉකුත් සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පෙන්වා දීමට පියවර ගත්තෙමු.

මන්ත්‍රීවරුත් නැව පිළිගන්න ගිහින්!

කෙසේ වෙත් මුළු ලෝකයම බලා සිටියේ 11 වැනි දින හම්බන්තොට වරායට අදාළ නෞකාව ඇතුළු වන්නේද නැද්ද යන්න කියාය. මෙහිදී ආණ්ඩුව කිසියම් උපක්‍රමයක් ක්‍රියාවට නංවමින් නෞකාවේ හම්බන්තොට ගමන ප්‍රමාද කරන ලෙස දැනුම් දීමක් කළ අතර එම දැනුම් දීමට අනුගත වෙමින් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණියේ ඉකුත් බදාදා (18) දිනය. එම නෞකාව පිළිගැනීම සඳහා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, සරත් වීරසේකර සහ අතුරලියේ රතන හිමිද හම්බන්තොට වරායට ගොස් සිටීම විශේෂ සිදුවීමක් විය.

නැවට ඉඩ දුන්නේ කොහොන කියපු ඩොලර් බිලියන 4 ගන්නද?

කෙසේ වෙතත් ඇමෙරිකාව සහ ඉන්දියාව යන බලගතු රාජ්‍යයන් වැන්ග් 5 නෞකාවේ පැමිණිමට නිල වශයෙන් විරෝධය පළකොට තිබියදීත් එම නෞකාව ලංකාවට ඇතුලු වීමට ආණ්ඩුව අවසර ලබාදුන්නේ කුන හේතුවක් මතද යන්න සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුවී තිබේ. බොහෝ දෙනා සඳහන් කර සිටින්නේ චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන පාලිත කොහොන මහතා වරක් සඳහන් කර සිටි ආකාරයට මෙම නැව පැමිණීමෙන් පසු ලංකාවට ඩොලර් බිලියන 4ක ණය මුදලක් හිමිවීමට නියමිතව ඇති බවට කළ ප්‍රකාශයට අනුව එම මුදල් බලාපොරොත්තුවෙන් ලංකා ආණ්ඩුව නැවට පැමිණිමට ඉඩ ලබාදුන් බවකි. පාලිත කොහොන යනු රාජපක්ෂ ආණ්ඩු සමයේ චීන තානාපතිවරයා ලෙස පත්කර යැවුණු රාජපක්ෂ පවුලේම ඥාතියෙකි. නමුත් පාලිත කොහොන විසින් සිදුකරනු ලබන ප්‍රකාශ චීන රජය විසින් හෝ ලංකා ආණ්ඩුව විසින් එතරම් තැකීමක් කරන්නේ නැත.

සල්ලි ගැන චීන තානාපති කියපු දේ!

නමුත් චීන තානාපතිවරයා වශයෙන් කොහොන කළ මෙම ප්‍රකාශයෙන් පසු ආණ්ඩුව චීන නැවට ලංකාවට පැමිණිමට ඉඩ ලබාදුන් නිසා බොහෝ දෙනා සිතා සිටියේ කොහොන පැවසූ ඩොලර් බිලියන 4 ඉලක්ක කරගෙන ආණ්ඩුව චීන නැවට ලංකාවට පැමිණිටම ඉඩ ලබාදුන් බවකි. ඒ නිසාම විපක්ෂයේ බොහෝ දෙනා පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වූ කී ෂෙන්හොන්ග් මහතාගෙන් මේ පිළිබඳ විමසීමක් කිරීමට පියවර ගෙන තිබූ බවත් දැනගන්නට ලැබිනි. ආණ්ඩුවට වඩා විපක්ෂයත් සමග ගනුදෙනු පවත්වන තානාපතිවරයකු ලෙස ප්‍රකට කී ෂෙන්හොන්ග් මහතා ඒ සම්බන්ධයෙන් විමසූ අයට ලබෘධි තිබුණේ අමුතුම තාලයේ පිළිතුරකි. එහිදී ගත් කටටම ඔහු කියා තිබුණේ ඒ ආකාරයට ණය ලබාදීමට නොහැකි බවත්, ණය ලබාදීමේදී චීනය යම් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්ය.

නැව අතරමං කළාට චීනයේ කනස්සල්ල!

මීට අමතරව චීන තානාපතිවරයා තවත් වැදගත් කාරණයක්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සඳහන් කොට තිබිණි. ඒ, චීන නැව චීනයෙන් පිටත් වූයේ හම්බන්තොට වරායට පැමිණීම සඳහා අවසරය හිමි වීමෙන් පසුව බවත්, එය 11 වැනි දින හම්බන්තොට වරායට පැමිණිටම නියමිතව තිබූ නමුත් ආණ්ඩුවේ විරෝධය හේතුවෙන් අමරත තවත් දින 5ක් මුහුදේ ගතකිරීමට සිදුවූ බවත්, මේ ආකාරයෙන් නැව මුහුදේ අතරමං කිරීම සම්බන්ධයෙන් චීන රජය දැඩි කනස්සල්ලෙන් පසුවන බවත්ය. මෙම සිදුවීම හරහා චීනය කෝපගැන්වීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බවද චීන තානාපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පෙන්වා දී තිබිණි.ඒ අනුව එකක් පැහැදිලිය. ඒ, චීන තානාපති පාලිත කොහොන සඳහන් කළ ආකාරයට ඩොලර් බිලියන 4ක ණය මුදලක් ලංකාවට හිමිවීමේ ඉඩකඩක් නොමැති බවකි. ඉන්දියාව සහ ඇමෙරිකාවේ නිල විරෝධය නොතකා චීන නැවට ලංකාවට පැමිණීමට ඉඩ ලබාදීම හරහා ආණ්ඩුව බලාපොරොත්තු වන ආකාරයේ සහනයක් නොලැබෙන බවකි.

ඉන්දියාවයි-අමෙරිකාවයි මොනවා කරයිද?

එසේ නම් චීන නැවට පැමිණීමට ඉඩ ලබාදීම මුල් කරගෙන ඊට විරෝධය පළකළ ඉන්දියාව සහ ඇමෙරිකාව ඉදිරියේදී කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇතිද? මුල් වටයේදී එළිපිට විරෝධය පළකළත් දැනට පෙනෙන ආකාරයට නම් නැවට පැමිණිමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ඇමෙරිකාව සිය නිල ප්‍රතිචාරය ඉදිරිපත් කොට නැත. රටවල් දෙකම සිටින්නේ දැඩි නිහඬතාවක ගිලීය. 1987 නම් ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කිරීමට ලංකාවට අදිමදි කරද්දී ඉන්දියාව වහාම ලංකාවේ ගුවන් සීමා ආක්‍රමණය කරමින් පැමිණ යාපනයට ගුවනින් පරිප්පු දැමීමට කටයුතු කළේය. සාමසාධක හමුදාව ලංකාවට එවීමට පියරව ගත්තේය. නමුත් වර්තමානයේදී එසේ කළ නොහැකි නිසා බොහෝ දෙනා බලා සිටියේ ඉන්දියාව කුමන ආකාරයේ ප්‍රතිචාරයක් මීට දක්වනු ඇද්ද යන්න සම්බන්ධයෙනි.

ඉන්දියාව ඉගි කීපයක් දෙයි!

කෙසේ වෙතත් ප්‍රසිද්ධියේ සිදු නොකළද ඉන්දියාව ඒ සම්බන්ධයෙන් ඉඟි කිහිපයක් ලබාදීමට පියවර ගත්තේය. එහි පළමු ඉඟිය වූයේ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය මගින් එරට මුහුදු තීරයේ සිදුකරන නාවික සංචාර හිටි හැටියේම ඉහළ නැංවීමය. උතුරේ සිට ඉන්දියානු මුහුදු තීරයට ඇතුළු වන ධිවර බෝට්ටු දැඩි ලෙස පරීක්ෂා කිරීමට යොමු කළ අතර ඒවායේ තිබී යම් යම් පුපුරන ද්‍රව්‍ය සහ ගිනි අවි සොයාගත් බවට ඡායාරූප සහිත පුවත් ඉන්දීය මාධ්‍යවල පළවූ ආකාරයද දැකගත හැකි විය. එමෙන්ම කොටි සංවිධානය නැවත සිය ක්‍රියාකාරකම් තීව්‍ර කොට ඇති බවත්, තමිල්නාඩුව තුළ කොටි සංවිධානය නැවත පණගැන්වීමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවත් එම පුවත්වලින් වැඩිදුරටත් වාර්තා කොට තිබිණි.

දෙවැනි ඉගිය කච්චතිව්!

ඉන්දියාව පැත්තෙන් ආ දෙවැනි ඉඟිය වූයේ ලංකාවට අයත් කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරාගත යුතු බවට ඉන්දීය ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසක් හිටි හැටියේම මත ප්‍රකාශ කිරීමට පියවර ගෙන තිබීමය. චීන නැව ලංකාවට පැමීණීම ඉන්දියාවේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව ප්‍රකාශ කර තිබූ ඔවුන්, වහාම කච්චතිව් දූපත ඉන්දියාවට පවරාගෙන ඉන්දියාවේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවට ප්‍රකාශ නිකුත් කිරීමටද පියවර ගෙන තිබිණි. ඉන්දීය ආණ්ඩු මට්ටමින් මෙවැනි ප්‍රකාශයක් තවමත් නිකුත් වී නොතිබුණද පහළ මට්ටමින් නිකුත් වන මෙවැනි ප්‍රකාශ මේ මොහොතේදී පහසුවෙන් බැහැර කිරීමේ හැකියාවක්ද නැත.

අමෙරිකාවත් උත්තර දෙයි!

ඊළඟ තීරණාත්මක සාධකය වන්නේ ඇමෙරිකාවේ ප්‍රතිචාරයය. මේ වන විට ලංකාවට අතිශය තීරණාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවන්ට සහ ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී සහාය අත්‍යාවශ්‍ය පාර්ශ්වය බවට පත්ව සිටින්නේ ඇමෙරිකාවය. මන්ද යත් ඒ දෙකේදීම ඇමෙරිකාවේ සහාය හිමිවේ නම් ඉක්මන් සහ ලංකාවට වාසිසහගත තත්ත්වයක් නිර්මාණය කරගැනීමේ හැකියාව පැවැතීමය. නමුත් චීන නැවේ පැමිණිමත් සමග ඇමෙරිකාව ඉන්දියාවට වඩා ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාරයක් දැක්වීමට තීරණය කොට ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආංචිය. ඒ අනුව ජනාධිපතිවරයා වශයේ රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසු නිල වශයෙන් රාජ්‍ය මට්ටමින් සිදුකිරීමට නියමිත සුබපැතීම් සිදුනොකිරීමට ඇමෙරිකාව තීන්දු කොට ඇති බව ආරංචිය. ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඒ හරහා ජනාධිපතිවරයාගේ පත්වීමට නිල පිළිගැනීම ලබා නොදීමට ඇමෙරිකාව තීන්දු කොට ඇති බවත්, එම තත්ත්වය දිටම පවත්වාගෙන යෑමට ඉඩ ඇති බවත්ය.
අනෙක් පැත්තෙන් ගතහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ඇමෙරිකාවට ඇති බලපෑම සුළුපටු නැත. දැනට ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් වශයෙන් අංක එකේ යෝජනාව බවට පත්වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමය. එහිදී ඇමෙරිකාවේ සහාය ලංකාවට හිමිවීම අත්‍යාවශ්‍ය කාරණයක් වී තිබේ. නමුත් මතුව ඇති තත්ත්වය යටතේ මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමේදී ඇමෙරිකානු සහාය ලංකාවට හිමිවේදැයි යන්න සම්බන්ධයෙන් මතුව ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි.

සමන්තා එවන්න තීන්දු කරයි!

මීට අමතරව මේ වන විට ඇමෙරිකාව ඉතා බලගතු නියෝජිතයෙක් නුදුරේදීම ලංකාවට එවීමටද තීන්දු කර තිබේ. ඒ, වෙන කවුරුවත් නොව දැනට USAID ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන සමන්තා පවර් මහත්මියය. සාමාන්‍යයෙන් සමන්තා පවර් සැලකෙන්නේ ලංකාවට පිළිබඳ හොඳ හැටි දන්නා ලංකාවේ කලක් ජීවත් වූ කාන්තාවක ලෙසය.එමෙන්ම සමන්තා බොහෝ විට සිය හිතවත්කම් ගොඩනගාගෙන ඇත්තේ ආණ්ඩුවේ නියෝජිතයන්ටත් වඩා විපක්ෂයේ නියෝජිතයන් සමගය. කොටින්ම කියනවා නම් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත්වූ වහාම සමන්තා පවර්ට කතාකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට ඇගෙන් උපකාර ඉල්ලා සිටීමටද පියවර ගෙන තිබිණි. එහිදී සමන්ත රනිල්ට දැනුම්දී තිබුණේ මූල්‍ය අරමුදල රටවලට ණය ලබාදීමේදී එහි ක්‍රියාවලිය අනුගමනය කරන බවත්, ඊට බලපෑම් සිදුකළ නොහැකි බවත්, විශේෂයෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියට ආණ්ඩුව ගරුකළ යුතු බවත්ය. කෙසේ වෙතත් රනිල් ඒ සම්බන්ධයෙන් සමන්තාට කතා කළේම ඇය ලංකාව පිළිබඳ මනා අවබෝධයකින් යුතුව සිටින තැනැත්තියක් බව දන්නා නිසාය.

සමන්තා කියන්නේ කවිද?

නමුත් ගැටලුව වී ඇත්තේ ඇමෙරිකාව මේ මොහොතේම සමන්තා පවර් ලංකාවට එවීමට ගත් තීරණය පිළිබඳවය. මන්ද යත් සමන්තා සැලකෙන්නේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ආදී මාතෘකා පිළිබඳ වැඩි අවධානයක් යොමුකර කටයුතු කරන තැනැත්තියක් ලෙසිනි. පසුගිය කාලවකවානුවේදී සාමකාමී අරගලයට සිදුකළ පහරදීම්, අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම්, පැහැරගැනීම්, සිරගත කිරීම් ආදිය හෙළාදකිමින් ඇමෙරිකාව නිවේදන කිහිපයක්ම නිකුත් කර ඇති පසුබිමක සමන්තාගේ පැමිණිම සැලකෙන්නේ අහඹු සිදුවීමක් ලෙස නොව හිතාමතාව සැලසුම් කරන ලද එකක් ලෙසටය. එමෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ලබන මාසයේදී ආරම්භ වීමට නියමිත අතර සමන්තා පැමිණෙන්නේ ඊටද සති කිහිපයක් තබාය. ඒ අනුව සමන්තාගේ ලංකා ගමන ජිනීවා සැසිවාරය හා සම්බන්ධ නොවනු ඇති බවත්, සිතිය නොහැකිය.

මූල්‍ය අරමුදලත් ප්‍රශ්නයක්!

අනෙක් අතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින සාකච්ඡාද මේ වන විට පවතින්නේ ඉබි ගමනේය. තවමත් එහි කාර්යාල මට්ටමේ ගිවිසුම් අස්සන් කොට නොමැති අතර මහ බැංකු අධිපතිවරයා පවසන්නේ මේ සති අන්තයේදී එහි නිලධාරීන් කණ්ඩායමක් ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති බවකි. අපට ඇති තොරතුරුවලට අනුව නම් කියවෙන්නේ මූල්‍ය අරමුදලේ සාකච්ඡා කල් ඇදෙනු ඇති බවත්, යම් මූල්‍ය වාරිකයක් නිදහස් වීමේ කාලවකවානුවක් දැන්ම තියා කිව නොහැකි බවත්ය. ඊට අමතරව පසුගිය සතියේ යුරෝපා කොමිසමේ තානාපතිවරුන් කණ්ඩායමක්ද පැමිණ රනිල් මුණගැසී ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කළ බව පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අනාවරණ කිරීමට අප පියවර ගත්තෙමු. ඒ, මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ සිද්ධීන් නිසා බවද අප එහිදි සඳහන් කර සිටියෙමු.

මේ සියලු කරුණු කාරණා එක මිටකට ගත් කල එළැඹෙන ඔක්තෝබරය පමණ වන විට රට ආර්ථික වශයෙන් ඉතා අසීරු තත්ත්වයකට පත්වනු ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන කරුණක් බවට පත්ව තිබේ.

ජන්දය ගැන කතා වෙයි!

හදිසි මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කතාබහක් පැතිර යන්නේ මෙවැනි පසුබිමක් යටතේය. මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම තීරය ඔස්සේ අප ආණ්ඩුවේ මෙම මැතිවරණ තදියම පිළිබඳ තොරතුරු අනාවරණ කිරීමට කටයුතු කළෙමු. ඉකුත් සතියේ අප ඒ පිළිබඳ තවත් විශේෂ කරුණක් හෙළිදරව් කරමින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොඩි වංගුවක් ගසමින් හදිසි මහ මැතිවරණයකට යෑමට ඉඩක් පාදාගෙන ඇති ආකාරය පිළිබඳවත්, ඒ පිළිබඳ තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව පොහොට්ටු මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළකළ ආකාරය පිළිබඳවත් අනාවරණ කළෙමු. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමේදී පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබුණු පොරොන්දුවකින් කියැවුණේ වසර හතරහමාරක් ගතවන තුරු මහ මැතිවරණයක් නොපවත්වන බවකි. නමුත් පවතින ආර්ථික අර්බුදය හමුවේ වසර හතරහමාරක් ගතවන තුරු නොසිට විසිවැනි ව්‍යවස්ථාවට අනුව වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට බලය හිමිවන පළමු අවස්තාවේදීම එය විසුරුවාහැරීම රනිල්ගේ සැලැස්ම වී තිබේ.

විජයදාස පොහොට්ටුවට බෑ කියයි!

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ට තොරතුරු වාර්තා වීමත් සමග අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මුණගැසුණු එම ජ්‍යෙෂ්ඨයන් එම වගන්තිය ඉවත් කරන ලෙසත්, 20 වැනි සංශෝධනයට අනුව වසර හතරහමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවාහැරිය නොහැකි බවට වන වගන්තිය ඇතුළත් කරන ලෙසත් ඉල්ලීමක් කොට තිබිණි. නමුත් ඊට විරෝධය පළකොට ඇති විජයදාස කියා ඇත්තේ එවැන්නක් සිදුකළ නොහැකි යැයි කියාය. ඒ අනුව ලබන මාර්තුව වන විට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය හිමිවීමට නියමිතය. නමුත් ගැටලුව වී ඇත්තේ ලබන මාර්තුව වන තුරුවත් පවතින ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුව ඇදගෙන යා හැකිද කියන කාරණය සම්බන්ධයෙන්ය. එසේ නම් මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඇති එකම විකල්පය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් සම්මත කරන යෝජනාවක් මගින් පාර්ලිමේන්තුව විසුරුවාහරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමය. එවිට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව ලැබෙනු ඇත.

රනිල්ගෙන් ජවිපෙට පණිවුඩයක් ගියාද?

ඒ සියල්ල අතරවාරයේ ජවිපෙ මේ දිනවල ගිලි සිටින දැඩි දේශපාලන නිහඬතාව සම්බන්ධයෙන්ද බොහෝ දෙනා හට ප්‍රශ්නයක් මතුව තිබේ. ඉකුත් සතියේ අප විශේෂ අනාවරණයක් කරමින් ඉදිරියේදී #WeWantElection නමින් ජවිපෙ දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිත බව කියා සිටියෙමු. ජවිපෙ මේ දිනවල නිහඬව සිටින්නේත් තව දින කිහිපයකින් #WeWantElection නමින් ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානමින් සිටින්නේත් රනිල්ගෙන් මහ මැතිවරණය සම්බන්ධයෙන් යම් පණිවුඩයක් ලැබුණු නිසාදැයි බොහෝ දෙනාට ඇත්තේ බරපතළ සැකයකි. පසුගිය කාලයේදී ජවිපෙ දිගට හරහට ආණ්ඩුවට පහර දෙමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූවත් ප්‍රකාශ නිකුත් කළත් මේ වන විට ඒ සියල්ල හකුළාගෙන ඇත්තේ මෙසේ පාර්ලිමේන්තුව විසුරුවාහරින බවට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ලැබුණු පණිවුඩය හේතුවෙන් බව බොහෝ දෙනා සඳහන් කරන කාරණයක් වී තිබේ.

ලබන වසර මැතිවරණ වසරක්!

මීට අමතරව ලබන මාර්තුවට පෙර ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණයද පවත්වා අවසන් කළ යුතුව තිබේ. මේ වන විට පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කොට ඇති අතර, අවශ්‍ය නම් පාර්ලිමේන්තු පනත අනුව තවත් වසරකින් එය දීර්ඝ කිරීමටද ආණ්ඩුවට හැකියාව තිබේ. එසේ නොවුණහොත් පළාත් පාලන මැතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම ලබන වසර මුලදී පැවැත්වීමට ආණ්ඩුවට සිදුවනු ඇත. එවිට ආණ්ඩුව බොහෝ විට මහ මැතිවරණය කලින් පවත්වා, දෙවැනුව මහ පළාත් පාලන මැතිවරණය පවත්වනු ඇති බව බොහෝ පාර්ශ්වවලින් කියැවෙන්නකි. ඒ අනුව ලබන වසර ආණ්ඩුවේ අනාගතය සහ රටේ අනාගතය තීන්දු කරන තීරණාත්මක මැතිවරණ වසරක් වනු ඇත.

සජබෙන් කට්ටිය ආණ්ඩුවට යනවාද?

පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වන බවට වූ පුවතය. විවිධ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යද විටින් විට මේ පිළිබඳ පුවත් පළකරමින් සජබෙන් මන්ත්‍රීවරු මෙපමණ ප්‍රමාණයක් අද ආණ්ඩුවට එක්වෙනවා, හෙට ආණ්ඩුවට එක්වෙනවා යැයි කියමින් ගණන් හිලව් ප්‍රකාශයට පත්කිරීම හේතුකොට ගෙන බොහෝ දෙනා සිතා සිටියේ ඇත්ත වශයෙන්ම සජබෙන් විශාල කණ්ඩායමක් ආණ්ඩුවට එක්වී ඇමැති ධුර ගනු ඇතැයි කියාය. ඇතැම් පුවත්පත් නම් පිටින්ම ආණ්ඩුවට එක්වන සජබෙ මන්ත්‍රී ලැයිස්තු ප්‍රකාශයට පත්කර තිබූ අතර, එහි ඉදිරියෙන්ම චම්පික රණවක, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, රංජිත් මද්දුමබණ්ඩාර යන අයගේ නම්ද සඳහන් කර තිබිණි. නමුත් පසුගිය සතියේදී චම්පික ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් කිසිසේත්ම ආණ්ඩුව සමග එක් නොවන බවය. එමෙන්ම අවස්ථා කිහිපයකදීම කබීර්, හර්ෂ, එරාන්ද මාධ්‍ය හමු පවත්වමින් කියා සිටියේ ඇමැතිකම් ලබාගෙන ආණ්ඩුවට එක් නොවන බවත්, පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා ආණ්ඩුවේ වැඩකටයුතුවලට විපක්ෂයේ හිඳිමින් සහාය දක්වන බවත්ය.

මද්දුමබණ්ඩාරගේ ගෙදර සාකච්ජාවක්!

කෙසේ වෙතත් සජබෙ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වන බවට වූ පුවතට පසුගිය සතියේ තටු ලැබීමට පාදක වූ තවත් එක් විශේෂ කාරණාවක්ද තිබිණි. ඒ, සජබෙ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නිවෙසේ පැවැති විශේෂ සාකච්ඡාවකි. මෙවැනි සාකච්ඡාවක් අවශ්‍ය බවට සජබ මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු කළ ඉල්ලීමකට අනුව රංජිත් එම හමුව සූදානම් කොට තිබිණි. ඒ සම්බන්ධයෙන් රංජිත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද දැනුම් දීමක් කර තිබිණි. කෙසේ වෙතත් මේ සාකච්ඡාවට එක්ව සිටි මන්ත්‍රීවරු කිහිප දෙනාගෙන් දෙදෙනකු ආණ්ඩුවට එක්ව ඇමැති ධුර ගතයුතු බව කියා සිටියත්, අනෙක් සියලු දෙනා දැඩිව කියා සිටියේ පක්ෂය ගන්නා තීන්දුවට අනුව කටයුතු කළ යුතු යැයි කියාය. දැනටමත් පක්ෂය ආණ්ඩුවට එක් නොවන බවට තීන්දුවක් ගෙන ඇති බැවින්, එම තීන්දුවට අනුව කටයුතු කළ යුතු බවද එහිදී ඔවුහු කියා සිටියහ.

කතාව මාධ්‍යයට දුන් දෙන්නා හොයාගනී!

මේ ආකාරයට සාකච්ඡාව අවසන් වුවත් ඊට පසු දින පුවත්පත් කිහිපයකම සහ ආණ්ඩුවට හිතවත් වෙබ් අඩවිවල එකම ආකාරයේ පුවතක් පළවී තිබූ අතර ඉන් කියැවුණේ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 20 දෙනකු ආණ්ඩුවට එක්වී ඇමැති ධුර ලබාගැනීමට සූදානමින් සිටිනවා යැයි කියාය. එම පුවතට රූපවාහිනී නාලිකාවල පෙරවරුවේ පත්තර කියවන වැඩසටහන්වලින්ද විශාල ප්‍රචාරයක් ලබාදීමට පියවර ගෙන තිබිණි. එවැනි කිසිදු කතාබහක් මද්දුමබණ්ඩාරගේ නිවෙසේ පැවැති සාකච්ඡාවේදී සිදු නොවුණු නිසා සජබෙ ජ්‍යෙෂ්ඨයන් වහාම මේ පිළිබඳ සොයා බැලීමට පියවර ගත්තේය. එහිදී ඔවුන්ට දැනගන්නට ලැබුණේ එම පුවත සාකච්ඡාවට සම්බන්ධව සිටි දෙදෙනකු විසින් මාධ්‍යවලට සහ වෙබ් අඩවිවලට ලබාදී ඇති බවකි. ඒ අනුව සජබය වහාම තීන්දු කළේ බ්‍රහස්පතින්දා දිනයේදීම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා රංජිත් මද්දුමබණ්ඩාර විසින්ම එම පුවත නිවැරැදි කිරීමටය. එමෙන්ම ඉදිරියේදී මෙම අසත්‍ය පුවත මාධ්‍යයට ලබාදුන් මන්ත්‍රීවරුන් දෙදෙනා පිළිබඳ රටට හෙළිකිරීමටද සජබ ජ්‍යෙෂ්ඨයෝ තීරණය කළහ. මීට අමතරව සජිත්ද එම රැස්වීමට සහභාගි වී සිටි මන්ත්‍රීවරු කිහිප දෙනකුද දැඩිව කියා සිටියේ කිසිසේත්ම වත්මන් ආණ්ඩුවට එක්ව ඇමැති කටු නොගන්නා බවත්, වරදාන වරප්‍රසාද හෝ මුදල්වලට ආත්මය පාවා නොදෙන බවත්ය.

කපිල පුංචිමාන්නගේ