වසර 07ක කාලය තුල, වතු නිවාස සඳහා කෝටි 760ක් වැය කරලා… ඒත් 93%කට නිවාස නෑ…
රජයේ හා පුද්ගලික වැවිලි සමාගම්වල සේවය කරන ඉඩම් අහිමි පේළි නිවාසවල පදිංචි ජනතාවගේ නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය කිරිමේ අරමුණින් ඉකුත් වසර 07ක කාලය තුල රුපියල් 7,600,128,381ක මුදලක් ( කෝටි හත්සිය හැටකුත් එක් ලක්ෂ විසි අට දහස් තුන්සිය අසූ එකක්) වැයකොට ඇතත් වතු සේවයේ නියුතු පවුල් අතුරින් සියයට 93ක් සදහා නිවාස අවශ්‍යතාවයක් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
වැවිලි මානව සංවර්ධන භාරයට අයත් වැවිලි කලාප 07 තුළ ඉදිකරඇති හා ඉදිකරමින් පවතින නිවාස සංඛ්‍යාව 6706ක් වන අතර වතුසේවයේ නියතු පවුල් සඳහා 104,939ක නිවාස අවශ්‍යතාවයක් පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම නුවරඑළිය හා හැටන් කලාපවල ඉදිකරඇති හා ඉදිකරමින් පවතින නිවාස සංඛ්‍යාව පිළිවෙළින් 1920ක් හා 1470ක් වන අතර නිවාස අවශ්‍යතාවය පිළිවෙළින් 6322ක් හා 27958ක් බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
කඳුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය මගින් නව ගම්මාන හා නගර නිර්මාණය කිරීම යටතේ නිවාස ඉදිකිරිම් හා යටිතල පහසුකම් සැපයිමේ ව්‍යාපෘති සඳහා 2013 වර්ෂයේ සිට 2019 දක්වා කාලය තුළ මෙම මුදල වැයකොට තිබුණි.
මෙම ව්‍යාපෘති සඳහා වැයකළ මුදලේ වටිනාකමට කාර්ය සාධනය ඉතා අවම මට්ටමක පැවතුනි. නිවාස ව්‍යාපෘති ඉටුකිරිමේ දී වැවිලි මානව සංවර්ධන භාරය හා වතු කළමණාකරණය මගින් විනිවිද භාවයෙන් තොරව නිසි ක්‍රමවේදයක් නොමැතිව කටයුතු කර ඇතිබවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම වැවිලි මානව සංවර්ධන භාරය මගින් ඉටුකරනු ලබන ව්‍යාපෘතිවල උපදේශන සේවා සැපයිම, කොන්ත්‍රාත්කරුවන් තොරාගැනීම, ඉදිකිරිම් සඳහා ගෙවිම් සිදුකිරීම, ආදිය රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වැවිලි මානව සංවර්ධන භාරය වතු සමුපාකර සමිති මගින් සිදුකොට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම ඇතැම් නිවාස නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකොට තිබු අතර එම නිවාස භාරගැනිම ප්‍රතිලාභින් විසින් ප්රතික්ෂේපකොට තිබුණි.
– ලලිත් චාමින්ද