ජූලියේ ගෝඨාව ගෙදර යවපු ජූලි

රනිල් ජනාධිපති වුණාට පසුව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් දැඩි ලෙස විවේචනය කරමින් ‘ඩේලි මිරර්’ සහ ‘සිලෝන් ටුඩේ’ පුවත්පත්වල ලිපි දෙකක් පළවී තිබිණි. ‘ඩේලි මිරර්’ අරගලය වෙනුවෙන් ජූලි චන්ග් නිකුත් කරන ට්විටර් පණිවුඩ විවේචනය කර තිබූ අතර ‘සිලෝන් ටුඩේ’ කියා තිබුණේ ජූලි චන්ග් ගෝ හෝම් කියා අරගලයක් පටන් ගන්න කාලය ඇවිල්ලා කියාය.
මේ පුවත්පත් දෙකෙන් ‘ඩේලි මිරර්’ රනිල්ගේ මාමාගේ පත්තරයක්ය. ‘සිලෝන් ටුඩේ’ ආණ්ඩුවේ පොලිසිය භාර ඇමැතිගේ පත්තරයය. මෙයින් පෙනී යන්නේ ජූලි චන්ග්ට එරෙහිව රනිල්ගේ ආණ්ඩුව තුළින්ම ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බවය.

මෙලෙසම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු කාලයේ මෙරට හිටපු ඇමෙරිකානු තානාපතිනි මයිකල් ජේ. සිසන්ට (Michele J. Sison) එරෙහිව රාජ්‍ය මාධ්‍ය දැඩි ප්‍රහාරයක් එල්ල කොට තිබිණි. වරක් ලේක්හවුස් පුවත්පතේ ඇයගේ ඡායාරූපයක් පළකොට විපක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ඇය නම්කොට තිබිණි. එසේම ගුණරත්න වීරකෝන් නම් මහින්දගේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති මහින්දට එරෙහි වනවා නම් තානාපතිනිය තමන්ට අල්ලස් දෙන්න පොරොන්දු වූ බව පවසා තිබිණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ කාලයේ විපක්ෂ නායකව සිටි රනිල්, රාජ්‍ය ඇමැතිගේ ප්‍රකාශය තදබල ලෙස විවේචනය කළා පමණක් නොව ඇමෙරිකාව සමග හැප්පී මහින්දගේ ආණ්ඩුව ලංකාවට ජාත්‍යන්තරයෙන් කොන් කරනවා යැයි චෝදනා කළේය. එහෙම කියපු රනිල් අද රටේ ජනාධිපතිය. අද ඔහු ජූලි චන්ග් රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසනවා යැයි චෝදනා කරනවා පමණක් නොව ඔහුට හිතවත් මාධ්‍ය හරහා ඇයට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටී.

එදා මයිකල් ජේ. සිසන් මෙන්ම අද ජූලි චන්ග්ද කතා කරන්නේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැනය. එදා මයිකල් ජේ. සිසන් මහින්දගේ ආණ්ඩුවට එරෙහිව හඬ නගද්දී රාජපක්ෂවාදීන් කීවේ ඇමෙරිකාව මහින්ද යුද්ධය දින්නාට ඊර්ෂ්‍යාවෙන් කොටි ඩයස්පෝරාව සමග එක්වී රට දෙකඩ කරන්න කුමන්ත්‍රණය කරනවා කියලාය.

අද ජනාධිපති පුටුවේ ඉන්නේ රාජපක්ෂ කෙනෙක් නොවේ. එදා රාජපක්ෂවාදීන් හංවඩු ගහපු ඇමෙරිකානු සුරතලා නොහොත් රනිල්ය.

මේ ඇමෙරිකානු සුරතලා මානව හිමිකම් කඩන විට එදා රාජපක්ෂලා මානව හිමිකම් කඩන විට ඊට එරෙහිව හඬ නගපු ලෙසටම අද ඇමෙරිකානු තානාපතිනිය මේ ඇමෙරිකානු සුරතලාට එරෙහිව හඬ නගමින් තිබේ. මෙයින් පෙනෙන්නේ ජනාධිපති පුටුවේ ඉන්නේ රාජපක්ෂ කෙනෙක්ද, ඇමෙරිකානු සුරතලෙක්ද කියන එක ඇමෙරිකාවට අදාළ නොවන බවය. ඇමෙරිකානු හිතවාදියෙක් ජනාධිපති පුටුවේ සිටියද මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නැගීම ඇමෙරිකාවේ ප්‍රතිපත්තියය.

එදා මයිකල් ජේ. සිසන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ගැන කතා කරන විට ඇය ලංකාව තුළ එතරම් ජනප්‍රිය චරිතයක් නොවීය. ඇය කොටි ඩයස්පෝරාවේ වුවමනාවක් ඉටුකරනවාද යන සැකය මහින්දගේ ආණ්ඩුව ජනතාව තුළ රෝපණය කර තිබිණි. ඒත් අද ජූලි චන්ග් ලංකාවේ ජනප්‍රියම චරිතයක්ය.

ගෝඨාගේ මිරිහානේ නිවෙස වටකර අරගලය පටන්ගත් දින සිට ඇය අරගලය වෙනුවෙන් නිකුත් කළ ට්විටර් පණිවුඩ නිසා ඇය අරගලයේ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයේ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් ලෙස වේගයෙන් ජනප්‍රිය වූවාය. අරගලයට පක්ෂ පාට භේදයක් නැතිව හැමෝම එක්වූහ. අරගලය තුළ රාජපක්ෂලාට ඡන්දය දුන් අයත් සිටියහ.

මේ හැමෝම අතර ඇයගේ ට්විටර් පණිවුඩ ජනප්‍රිය විය. අරගලය ඇයව දුටුවේ අරගලයේ ‘ගාඩියන් ඒන්ජල්’ ලෙසය. 2021 වන තෙක් ලංකාවේ දේශපාලනය තුළ වාමාංශිකයන්, රාජපක්ෂවාදීන් පෝෂණය කළ ඇමෙරිකානු විරෝධය ඇය ඉතා දක්ෂ ලෙස අකාමකා දැමුවාය. ඇමෙරිකාව යනු සිංහලයන්ට හිතවත් රටක් නොව දමිළයන්ට හිතවත් රටක් යන මතය ඇය විනාශ කර දැමීය.

ඇය එය කළේ අරපරෙස්සමිනි. පළමුව ඇය මෙරට ඇමෙරිකානු තානාපති ප්‍රතිරූපය එහෙම්පිටින්ම වෙනස් කළාය. මෙරට ඇමෙරිකානු තානාපතිවරුන්ගේ තිබූ ප්‍රතාපවත් ආඩම්බර පෙනුම ඇය වෙනස් කරනු ලැබුවාය. ඇයට හිමි කොරියානු පෙනුමද ඇයට එම ප්‍රතිරූපය වෙනස් කරන්න පහසු වන්නට ඇත. මල් ගවුමකින් සැරසීගත් කෙසඟ සිරුරක් ඇති ඇය ලංකාවේ පක්ෂ කාර්යාලවලට යමින් එමින් ඇය තමා සාමාන්‍ය කාන්තාවක් ලෙස පෙන්වීය.

ඇයගේ ලොකුම ජයග්‍රහණය ජවිපෙ කාර්යාලයට යෑමය. ජවිපෙ ඇමෙරිකාව හඳුන්වන්නේ තුන්වැනි ලෝකයේ රටවල ලේ උරාබොන බූවල්ලකු ලෙසය. ජවිපෙ ඇමෙරිකානු තානාපතිවරු හමුවීමට අදිමදි කළේ තමන් ඇමෙරිකාවට ගහපු ලේබලය නිසා ලේ උරා බොන්නන් සමග සතුටු සාමීචියේ යෙදීම තමන්ට දේශපාලන වශයෙන් සියදිවි හානිකර ගැනීමක් වේය කියා බයෙන්ය. එහෙත් ජූලි චන්ග් සම්බන්ධයෙන් ජවිපෙ එහෙම නොසිතුවේ අරගලය හරහා ඇය පාට පක්ෂ භේදයක් නැතිව හදාගත් ජනප්‍රිය ප්‍රතිරූපය නිසාය. ඇයව හමුවීම තමන්ට ප්‍රචාරක වාසියක් මිස අවාසියක් නොවන බව ජවිපෙ තේරුම් ගත්තේය.

එලෙස විග්‍රහ කරන විට ජූලි, ශ්‍රී ලංකා-ඇමෙරිකා සබඳතා විප්ලවීය වෙනසකට ලක්කළ චරිතයකි.

අද ඇමෙරිකාවේ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන පවා රනිල් එක්ක තිබෙන මිත්‍රත්වයට රනිල් අරගලය මර්දනය කිරීමට එරෙහිව කතා කරන්නේ නැත. නමුත් ජූලි කතා කරයි.

දකුණු ආසියාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලවල බිත්ති හතරක් තුළ සිදුවූ කුමන්ත්‍රණවලින් ආණ්ඩු ගෙදර ගිය අවස්ථා බොහෝය. නමුත් ජනතා නැගිටීමකින් ජනාධිපතිවරයෙක් පලවා හරින ලද පළමු අත්හදාබැලීම ගෝඨාය. ඒ, ලේ බිඳක්වත් සොලවන්නේ නැතිවය. ජූලි ඒ අරගලයේ තරුවක්ය.

2015 මහින්දව ගෙදර යැව්වේ ඇමෙරිකාව යැයි රාජපක්ෂවරුම කීහ. එහෙත් අරගලයෙන් ගෝඨා ගෙදර යැව්වේ ඇමෙරිකාව යැයි කාටවත් කියන්න බැරිය. කවුරුත් කියන්නේත් නැත. ජූලිගේ ‘ජූලි ඔපරේෂන්’ එකේ සාර්ථකත්වය ඒකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු