ලංකාවේ ආර්ථික – ඝාතන විමර්ශනයෙහි ජාත්‍යාන්තර මෙහෙයුම සැලසුම් වෙයි…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 51 වැනි සැසිවාරයේදී පසුගියදා ශ්‍රි ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාවට අනුකූලව ශ්‍රි ලංකාවේ ආර්ථික අපරාධ ඇතුළු මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයා බැලීම ඇතුළු කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක මුදලක් වෙන් කර ඇති අතර ආර්ථික අපරාධවලට අදාළ කරුණු සෙවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාල නිලධාරී කණ්ඩායමක් ඇමෙරිකාවේ සහ යුරෝපයේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රි ලංකාවේ ආර්ථික විනාශයට මඟ පෑදු විදේශ විනිමය වංචා සහගත ලෙස වෙනත් රටවල ආයෝජය කර ඇත්ද යන්න ඇතුළු ඊට අදාළ කරුණු විමර්ශනය කිරීමටත් මානව හිමිකම් කඩවීමේ ක්‍රියාවලියට අදාළ තොරතුරු රැස් කිරීමටත් ඔවුන් මෙසේ යුරෝපයට සහ ඇමෙරිකානු එක්සත් ජනපදයට කණ්ඩායමක් යැවීමට සැලසුම් කර ඇත.
එමෙන්ම ශ්‍රි ලංකාවට එරෙහි යෝජනාවලියට අදාල කටයුතු සඳහා 16 දෙනකුගෙන් සමන්විත වෙනම කාර්ය මණ්ඩලයක් පත් කිරීමටද යෝජනා වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රි ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට අදාළ අයවැය සහ 2024 දක්වා වන ඉදිරි කටයුතුවලට අදාල අයවැය සහ කාර්යය පිළිබඳව විස්තර කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩසටහන් සැලසුම් කිරීම සහ අයවැය සම්පාදන පිළිබඳව කාර්යාලයේ අධ්යක්ෂ ජොහැනස් හුයිස්මාන් විසින් සිය වැඩපිළිවෙළ මේ වනවිටත් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය වෙත දන්වා ඇත.
එම වැඩ සටහනට අනුව 2023 සහ 2024 කාලය තුළ අදාල තොරතුරු එක්රැස් කිරීම සඳහා මේ සඳහා බඳවා ගන්නා ලද කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනා බැගින් යුරෝපයට පස් දින සංචාර දෙකක්ද උතුරු ඇමෙරිකාවට එක් පස් දින සංචාරයක්ද සැලසුම් කර තිබේ.
ඊට අමතරව මෙම කාර්ය මණ්ඩල සාමාජියන් අදාල තොරතුරු රැස්කිරීම සහ වින්දිතයන් හමුවීම සඳහා ශ්‍රි ලංකාවටත් කලාපයේ දැනට නම් සඳහන් නොකළ ස්ථාන දෙකකටත් සංචාර සඳහා සැලසුම් කර ඇති බව සඳහන් වේ.
2024 දක්වා කාලය තුළ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීම අවශ්‍ය කාර්යාල සහ මෙහෙයුම් වියදම් ලෙස ඩොලර් මිලියන 6ක මුදලක්ද වෙන් කර ඇති බවයි. එය මෙතෙක් ශ්‍රි ලකාව සම්බන්ධයෙන් ක්‍රියා කිරිම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් වෙන් කරන ලද වැඩිම මුදල ලෙස සැලකෙයි.