මේ බදු ක්‍රමය අපේ නොව ඔබේ රජයේ සැලසුමක්… IMF, වෘත්තිකයින්ට කියයි…

රාජ්‍ය ආදායමට බලපෑමක් නොවන පරිදි බදු එකතු කර ගැනීමට රට තුළ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිවිටකත් යෝජනාවන් ඉදිරිපත් කර නොමැති බවත් එම වෙනස්කම් ඇති කළ යුත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වොෂින්ටන් ශාඛාවේ නියෝජිතයින් සඳහන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඔවුන් මෙම අදහස් පළ කලේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් , වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා මහ බැංකු නියෝජිතයින් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකදී යැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම සාකච්ඡාවට වොෂින්ටන් නියෝජිතයින් විසින්ම තම සංගම්වලට ආරාධනා කළේ යැයිද හෙතෙම පැවසුවේ.

බදු ආදායම් ගෙවීමට වෘත්තිකයන් සූදානම් නමුත් එය දරාගත හැකි බදු ප්‍රමාණයක් විය යුතුයැයි ඔවුන් මෙහිදී පෙන්වා දී ඇති අතර වොෂින්ටන් නියෝජිතයන් පවසා ඇත්තේ අවශ්‍ය යෝජනාවන් මූල්‍ය අරමුදල යෝජනා නොකළ බවත් එය පවතින ආණ්ඩුව කළ යුත්තක් බවත්ය.

කෙසේ නමුත් රාජ්‍ය ආදායමට හානියක් නොව සේ බදු අයකළ යුත්තේ කෙසේද යන්න පිලිබඳව යෝජනාවන් ඉදිරිපත් කරන ලෙසත් වොෂින්ටන් කාර්යාලයේ මෙරට නියෝජිතයින් සමග අඛණ්ඩව සාකච්ඡා පවත්වන ලෙසත් ඔවුන් මෙම සාකච්ඡාවේදී සඳහන් කළ බව වෛද්‍ය විජේසිංහ පැවසුවේය.

රාජ්‍ය ආදායමට හානියක් නොවන සේ බදුගෙවන්නන්ට සහන ලබා දිය හැක්කේ කෙසේද යන්න පිලිබඳව සොයා බැලීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පිරිසක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලට අනුබද්ධව කටයුතු කරමින් සිටින බවද වෛද්‍ය චමිල් පැවසුවේය.