රිලව් රට යවන අශික්ෂිත තීන්දුව ගත්තේ කොයි එකාද?…
ලංකාවේ රිලව් ගැන පුරා දශයක් තිස්සේ විද්‍යාත්මක පර්යේෂණයක නිරත වූ ලාංකික විද්වත්හු තුන් දෙනෙක් වූහ. ඒ මහාචාර්ය අශෝක දංගොල්ල , වෛද්‍ය නිමල් කුමාරසිංහ සහ මහාචාර්ය චාමලී නාහල්ලගේ ය. රටේ රිලව් චීනයට යැවීම සදහා රජයෙ ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එම විද්වතුන් අතරින් කෙනෙක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල සමග ලංකාසර විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූයේය.
මේ එම කථිකාව ගොඩනැගෙන ආකාරය ය.
-
මේ කරන්න හදන්නේ සිංහල බෞද්ධ රටකට නොගැලපෙන නින්දිත අසික්කිත වැඩක්. ලබන මාසේ වෙසක් පුන්පොහෝය….
-
රිලවා විකුණාගෙන කන තැනටම අපි හිඟමනට වැටිලාද? මේ හරියට හිඟන්නා පිඟාන විකුණාගෙන කනවා වගේ වැඩක් …
ප්රශ්නය – වගාවට හානිකරන සතුන් පිලිබඳව ඔබ ඇතුළු විද්වත් මණ්ඩලයක් කමිටු කීපයක් නියෝජනය කරමින් වසර කීපයක සිට විවිධ පර්යේෂණයන් ක්‍රියාත්මක කරලා යෝජනාවන් ගණනාවක් ජනාධිපතිවරයා ඇතුළු විෂය භාර ඇමතිවරුන්ට ලබා දුන් බවට සඳහන් වුණා. ඔබගේ යෝජනාවන් අතර රිලව්න් විදේශ රටකට යැවීමට තීරණය කර තිබුණාද?
පිළිතුර – කිසිසේතම නැහැ. රිලව් ලක්ෂයක් පළමු වටයේදී චීනයට යැවීමට කටයුතු කරනවා කියලා දැන ගත් මොහොතේ මම ඇතුළු අපේ කමිටු සාමාජිකයින් කම්පාවට පත්වුණා. මේ මොන විලිලැජ්ජා නැති වැඩක්ද? අපි වැනි බෞද්ධ රටකට කොහෙත්ම ඔබින වැඩක් නෙවෙයි. අනික ලබන මාසේ වෙසක් පුන් පොහොය . බෞද්ධ රටකට මේ වගේ තීන්දු තීරණයන් ගැලපෙනවාද?. මේ තීන්දු තීරණයන් ගත්තේ කොයි එකාද දන්නේ නැහැ. රටේ රිලවා විකුණාගෙන කන්න තරම් අපි හිඟමනට වැටිලාද?. අසික්කිත වැඩක්. මේක හරියට මම දකින්නේ හිඟන්නා පිඟාන විකුණාගෙන කනවා වගේ වැඩක්.
ප්රශ්නය – ඔබගේ පර්යේෂණ වාර්තාවන් වගකිවයුතු පුද්ගයින් අතට පත් නොවීම නිසා මෙවැනි තීරණයන් ගත්තා වෙන්න බැරිද?
පිළිතුර – අපි ජනාධිපති ලේකම්කාර්යාලවට වාර්තාවක් දුන්නා. අවසන් වාර්තාව පසුගිය කාලේ වනජීවි ඇමතිවරයා ලෙස සිටි මහින්ද අමරවීර මහතාට දුන්නා. තවමත් මොකක්ද කථාව.
ප්රශ්නය – ඔබ වනජීවි ඇමතිවරයාව සිටියදී මහින්ද අමරවීරට දුන් වාර්තාව නොසලකා හැර ඔහු කෘෂිකර්ම ඇමතිවරයා ලෙස මෙවැනි තින්දු තීරණයන් ගැනීම ගැන මොකද හිතෙන්නේ?
පිළිතුර – අපිටත් තියෙන ප්රශ්නය ඒක තමයි. මොකද කෘෂිකර්ම අමාත්‍යංශයට වනජීවි අමාත්‍යංශයට අයත් සත්වයින් ගැන තීන්දු තීරණයන් ගන්න පුලුවන්කමක් නැහැ. වනජීවි අමාත්‍යංශයට සතුන්ට හානියක් කරන්න අවසර නැහැ. ඒ නිසා රිලවා රට පටවන්න කෘෂිකර්ම අමාත්‍යංශය භාරගත්තා වෙන්න පුලුවන්.
කොහොම නමුත් කෘෂිකර්ම අමාත්‍යංශය ඔවුන්ගේ වගකිමවත් හරියට ඉටුනොකරන අමාත්‍යංශයක්. මේ රටේ ගොවීන් කොපමණ සංඛ්‍යාවක් සිටිනවාද?. කුඹුරු අක්කර කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද?. හාල් එකතුකරන මධ්‍යස්ථාන කියක් තියෙනවාද ?. මේ දත්ත ගැනවත් නිවැරදිව නොදන්නා අමාත්‍යංශයක්. තමන්ගේ වැඩේ හරියට නොකර අනුන්ගේ වැඩ වලට ඇඟිලි ගහන්න හදනවා.
ප්රශ්නය – රිලවා වගා හානි කරන්නේ අද ඊයේක සිට නොවෙයි. හිටි හැටියේ මෙවැනි තීරණයක් ගන්න හේතුව කුමක් කියලද ඔබ සිතන්නේ ?
පිළිතුර – රිලවා වගාවට සිදුකරන හානිය වසර 20ක පමණ කායලක සිට පවතින දෙයක් . හිටිහැටියේ රට පටවන්න තීරණය කර ඇත්තේ කාට හරි සාක්කුවට මුදලක් එනවා වෙන්න පුලුවන්.
ප්රශ්නය – රිලවා චීනයට යවන්නේ සත්වෝද්‍යානවලට කියලා කියනවා. එහෙම නම් ඒකේ වරදන් නැහැ නේද?
පිළිතුර – සත්තෝද්යානයකට යන්න රිලව් ලක්ෂයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ජෝඩු හතරක් පහක් යැව්වාම ඉක්මනට තම වර්ගයා බෝකරන්න ගන්න පුලුවන් වෙනවා.
ප්රශ්නය – ඔබගේ අදහසට අනුව එකවරම ලක්ෂයක් යවන්න තීරණය කර ඇත්තේ කුමකට කියලා හිතනවාද?
පිළිතුර – ඒ ගැන මට නිවැරදි පිලිතුරක් කියන්න පුලුවන්කමක් නැහැ.
ප්රශ්නය – ජාන මන්කොල්ලයකට හෝ මස් පිණිස කියලා අතැම් අය චෝදනා කරනවා. මේ ගැන මොකද කියන්නේ ?
පිළිතුර – මේ ගැන මට නිවැරදි පිලිතුරක් දෙන්න හැකියාක් නැහැ. නමුත් චීනා කියන්නේ කකුල් හතරේ සතුන් හැම කෙනෙක්ම වාගේ බුදින ජාතියක්.
ප්රශ්නය – රිලව් ගහනය මර්දනය සදහා ඔබ ඇතුළු කණ්ඩායම කළ යෝජනා මොනවාද?
පිළිතුර – වගාවන්ගෙන් රිලව් ඈත්කරන්න හුඟක් ක්‍රම අපි යෝජනා කළා. ඉන් කීපයක් කියනවා නම් ක්‍රමවත්ව වැටවල් බැදීම, කොටියන්ගේ මළමුත්‍ර භාවිත කිරීම, සාරී එල්ලිම වැනි විකර්ෂණ ක්රමයන් අපේ යෝජනාවන් අතර කීපයක් පමණයි. ගහනය පාලනය කිරිම සඳහා සැත්කම් කිරීම, හෝමෝන එන්නත් කිරිම වැනි යෝජනාවන් ගණනාවක්ම අප ඉදිරිපත් කර තිබෙනවා.
ප්රශ්නය – ඔබගේ කමිටු සාමාජිකයින් වසර ගණනාවක සිට ගත් උත්සාහය වතුරේ ගියා කියලා දැනෙන විට මොකෙද හිතෙන්නේ?
පිළිතුර – ඇත්තටම අපිට රට ගැන හරිම කණගාටුයි. අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන මේ තැනට ආපු අය. අපි මේ රටට ආදරෙයි. කවදාවත් රට දාලා යන්නේත් නැහැ. මේ රටේ සම්පත් විකුණාගෙන කනවාට මම විතරක් නිවෙයි බහුතරයක් විරුද්ධයි. අපේ කාලය ශ්‍රමය, මහන්සිය , රටේ මුදල් විශාල වශයෙන් වැය කරලා තමයි අපි සමික්ෂණය කරලා මේ යෝජනාවලියන් ඉදිරිපත් කළේ.