ආණ්ඩුව ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට එරෙහිව දැවැන්ත බලවේගයක්

ආණ්ඩුව ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම සඳහා විපක්ෂයේ කණ්ඩායම් රැසක් අද මුලපුරනු ලැබුවා.

වර්තමානයේ උද්ගතව ඇති දේශපාලන, ආර්ථික හා සමාජයීය ප්‍රශ්න හමුවේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අත්තනෝමතික, වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට එක්වී පොදු වැඩපිළිවෙලක් සැකසීම සඳහා සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් රැසක් අද(24) පාර්ලිමේන්තුවේ දී එක්වුනා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු පනත් බොහොමයක් මේ රටේ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත්, එබැවින් ඒවාට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග විපක්ෂය එක්ව ගත යුතු බවත්, විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළා.

මෙම සාකච්ඡාවට මහාචාර්ය ජී.එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස් බකීර් මාකර්, චන්දිම වීරක්කොඩි, ආචාර්ය නාලක ගොඩහේවා, උදය ගම්මන්පිල, ආචාර්ය හර්ෂ ද සිල්වා, වීරසුමන වීරසිංහ, ගජේන්ද්‍ර පොන්නම්බලම්, දයාසිරි ජයසේකර, ගෙවිදු කුමාරතුංග, ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියා.

නෛතිකවත්, ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් මේ පිළිබදව ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බවට විපක්ෂ නියෝජිතයින් පිරිසේ එකඟතාව පළවූ අතර, මෙම විපක්ෂ දේශපාලන පක්ෂ එකමුතුවේ කැදවුම්කරු ලෙස විපක්ෂ නායකවරයාගේ සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයින්ගේ එකඟත්වයෙන් ඉම්තියාස් බාකීර් මාකර් මහතා පත් කරනු ලැබුවා.