වතුකරයට කොවිඩ් රැගෙන ගිය කරණවෑමියෝ
කොවිඩ් දෙවන රැල්ල ආරම්භවීමෙන් පසු නාවික හමුදා නිලධාරීන් 19 දෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
මේ අතර රිදීගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කටුපිලගොල්ල ගම්මානයෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 14 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, අවුරුදු හයක් වයසැති දරුවෙකුද ඇතුළු තිදෙනෙකු නව ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමගය.
ඔවුන්ව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ අද පියවර ගෙන ඇත.
මේ අතර දීපාවලි සැමරීම සඳහා වතුකරයට පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකුටම කොවිඩ් වෛරසය ආසාදනය වී තිබූ බව අනාවරණ වී තිබේ.
ඒ අනුව, වැල්ලවත්ත සහ කොල්ලුපිටිය ප්‍රදේශයන්හි පෙදරේරුවන් ලෙස කටයුතු කළ දෙදෙනෙක් මස්කෙළිය ප්‍රදේශයට පැමිණිමෙන් පසු ආසාදිත බවට හඳුනාගැනුණි.
එමෙන්ම කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි කොණ්ඩා කපන්නෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුද කොටගල ප්‍රදේශයට පැමිණිමෙන් පසු ආසාදිතයෙකු බව තහවුරු වී තිබේ.
ඔහු නිවසට පැමිණිමෙන් පසුවත් නිවසට වතු කම්කරුවන් ගෙන්වා ගනිමින් කොණ්ඩා කැපීම සිදුකර තිබුණි.
එමෙන්ම දෙමටගොඩ ප්‍රදේශයේ සිට තලවකැලේ ප්‍රදේශයට පැමිණි තවත් කාන්තාවට ද වෛරසය ආසාදනය වී තිබූ බව හඳුනාගැනුණි.
මේ අතර නොවැම්බර් මාසයේ ගෙවුණු දින 19 තුළ පමණක් සිදුවී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ මහනගර සභා සීමාවේ සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඒ අතරින් බහුතරය බෝනොවන රෝගවලින් පෙළෙන්නන්ය.
මෙවැනි පසුබිමක කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ හුදකලා කළ ප්‍රදේශවල සිටින බෝනොවන රෝග සහිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය ජංගම සේවාවක් අද (20) ආරම්භ වුයේ මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයෙනි.
සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොළඹ මහනගර සභාව එක්ව මෙම සේවාව ක්‍රියාත්මක කරයි.