කොටි නායක ප්‍රභාකරන් මැරුණේ කොහොමද? මෙතෙක් එළියට නොආ විශේෂ හෙළිදරව්ව
ලෝක මතය
කලෙක දේශද්‍රෝහියකු තවත් කලෙකදී දේශප්‍රේමියකු මෙන්ම ජාතික වීරයෙක්ද වන්නේය. ඉංගිරිසි පාලන යුගයේ දේශද්‍රෝහී ගණයට වැටුණු පුරංඅප්පුලා, ගොංගාලේගොඩ බංඩලා එලෙසින් ජාතික වීරයෝ වූහ. එසේම කිසියම් ජාතියකට ද්‍රෝහි වූ අයකු තවත් ජාතියකට වීරයෙක් වේ. යුදෙව්වන්ගේ මාරයා වූ ඇඩෝල්ෆ් හිට්ලර් නාසින්ගේ ගැලවුම්කාරයා වීම සරල උදාහරණයකි. (ජර්මනියේ අද පවා හිට්ලර් අදහන්නෝ සිටිති.)
ඔය සිද්ධාන්තය අපට පමණක් පොදු ධර්මතාවක් නොවේ. මොනයම් අන්දමකින් හෝ සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරීත්වයට ඉහළින් ක්‍රියාකළ උන්ගේ (බෲස්ලී වැනි) ඒ වෙනස් ස්වභාවය ගැන (අපේ රටේ නැතත්) දැනගන්නට පරීක්‍ෂණ පැවැත්වෙන බව සැබැවි. එපමණක් නොව එවැන්නන්ගේ මරණය සිදුවූ ආකාරය ගැන (ඔවුන් මියගොස් දීර්ඝ කාලයක් ගතවුවත්) පරීක්‍ෂාවෙන් සිටින්නෝද වෙත්. නැපෝලියන්, රස්පුටින්, හිට්ලර්, චේගුවේරා, මොහමඩ් මව්මර් ගඩාපි පමණක් නොව මිසරයේ පාරාවෝ වැන්නන්ගේ විවාදාත්මක මරණ (මියයාම්) ගැන මේ දක්වාම උත්සුක වන පාර්ශ්ව සිටිති. අපේ රටේ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණයද ඒ අන්දමේ විවාදාපන්න එකකි.
එක් පාර්ශ්වයක මතය ඔහු තවමත් ජීවත්ව සිටින බවයි. තවත් පාර්ශ්වයක මතය හෙතෙම සියදිවි නසාගත් බවයි. එහෙත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නිල ප්‍රකාශය ඔහු වෙඩිතබා ඝාතනය කළ බවයි.
තිස් අවුරුදු යුද්ධය මෙහෙයවූ එල්.ටී.ටී.ඊ. කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගොස් (2023.05.18) වසර දාහතරක් (14) ගෙවී ඇතත් ඒ මරණය ගැන යථෝක්ත දෙවැනි සහ තෙවැනි දෙකරුණ පිළිබඳ බැහැර කළ නොහෙන අන්දමේ කරුණු විද්වතුන් විසින් වරින්වර සමාජගත කරනු ලැබේ.
ආරක්‍ෂක අංශ ක්‍රියාත්මක කරන ලද මෙහෙයුමකදී “ස්නයිපර්” තුවක්කුකරුවකු කොටි නායක ප්‍රභාකරන් වෙඩිතබා ඝාතනය කරන ලදැයි කියන රජයේ නිල මතය ප්‍රතික්‍ෂේප කරන සාචි ශ්‍රීකාන්තන් යන විමර්ශකයා සහේතුකව කරුණු ඉදිරිපත් කරන්නේ කොටි නායකයා සිය ගෙලේ එල්ලා ගෙන තුබූ සයනයිඩ් කරල විකා දිවිනසා ගන්නට ඇති බවයි. ඊට සාධකය වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ කොටි නායකයාගේ ගෙලේ දිවිහිමියෙන් තිබූ සයනයිඩ් කරල මළ සිරුරේ නොතිබූ බවයි. මළ සිරුර දම්පැහැ ගැහී තිබූ බවයි.
“ප්‍රභාකරන් සියදිවි නසාගත් බව සනාථ (ඔප්පු) කළ නොහැකියි. එහෙත් අතිශයින්ම විශ්වාස කළ හැකියි” Prabhakaran committed suicide cannot be provable,but is certainly believable ඔහු කියයි.
මරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරී ඇති කරුණු තුනෙන් දෙමළ ජාතිකයන් ඉදිරිපත්කරනු ලබන “ඔහු වසංව තවමත් ජීවතුන් අතර සිටින බව” කියන මතය ඔහු එක හෙළාම ප්‍රතික්‍ෂේප කරයි.
“ප්‍රභාකරන් කොහේ හරි හැංගිලා ඉඳල කවදා හරි කොහෙන් හරි මතුවෙලා දසලක්‍ෂ ගණනින් මහජනයා මවිත කරවයි කියන හාස්කම් ගැන මගේ විශ්වාසයක් නෑ. මම විද්‍යාඥයෙක්. මම තීරණ ගන්නේ ලැබෙන දත්ත පරීක්‍ෂාවෙන්. ඒ අනුව මම අනුමාන කරනවා. යම් හෙයකින් පසුව හෝ නිවැරදි දත්ත ලැබුණොත් ඒ අනුව උපකල්පනය වෙනස් කරනවා” යැයි කියන සාචි ශ්‍රීකාන්ත ප්‍රභාකරන් මියගිය බව අවිවාදයෙන්ම ස්ථිරව පවසන්නේ රජයේ නිල ප්‍රකාශයෙන් කියන පරිදි ආරක්‍ෂක අංශවලින් වෙඩි තැබීමකින් නම් නොවේ. ඒ, කොටි නායකයා විසින්ම 2009 මැයි මාසයේ දී සියදිවි හානිකර ගනු ලැබීමෙනි.
ගෝඨාභය රාජපක්‍ෂ සහ යුධ හමුදාව නියෝජනය කරමින් චන්ද්‍රපේම විසින් යුද්ධය ගැන ලියන ලද පොතේ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය සිදුවූ අන්දම ගැන විස්තරය රජයේ නිල නිවේදනය වශයෙන් සැලකිය හැකි බව හෙතෙම කියයි.ජනාධිපති පාර්ශ්වය වෙනුවෙන් සහ ඒ පාර්ශ්වයේ ආශීර්වාදයෙන් ලියා ඇති ඒ පොත පක්‍ෂග්‍රාහී එකක් බව ඉතාම පැහැදිලි බව ද කියයි.
ඒ පොතේ 488 සහ 49 යන පිටුවල ප්‍රභාකරන්ගේ මරණය සිදුවූ අන්දම සඳහන් ඡේද දෙකෙහි මෙසේ දැක් වේ.
59 වැනි කණ්ඩයේ හමුදා භට පිරිසකට මැයි 18 වැනිදා සවස් වරුවේ බානු සහ ජයම් යන දෙදෙනා විසින් මෙහෙයවන ලද කොටි (සන්නද්ධ)සාමාජික පිරිස හමුවූ විගසම මරාදමනු ලැබුවා. පසුදා (19) අලුයම විශේෂ කාර්ය බලකායේ (8) යටතේ විජයබා (4) බැටෑලියන් එකේ කණ්ඩායමක් නන්දිකඩාල් කළපුවේ දිගින් මීටර් 800ක් හා මීටර් 20 පමණ පළලින් යුතු එතෙක් මුදා නොගත් අන්තිම කඩොලාන (Mangrove) බිම් තීරුවට යවනු ලැබුවා.
එහිදී දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක් ඇසුණා. එතැන අවි 20ත් 30ත් අතර ගණනක් ඇති බව රවිප්‍රියට දැනගන්න ලැබුණා. ඔහු ඒ සමගම තවත් කණ්ඩායම් දෙකක් ඒ කඩොලාන කොටසට යැව්වා.
ඒ කණ්ඩායමට කොටි ත්‍රස්තයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. සන්නද්ධ තිස්දෙනකුගේ ආරක්‍ෂාව ඇතිව ප්‍රභාකරන් ඒ කඩෙලානේ සිටින බව ප්‍රශ්න කිරීමේදී ඔවුන්ගෙන් දැනගත්තා. ඒ සමගම අපේ හමුදාවෙන් වෙඩි තිබ්බා. අන්තිමේ දී කඩොලාන ඇතුළෙන් එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්පූර්ණයෙන්ම නැවතුණු පසු ඒ වගුරු කොටස පරීක්‍ෂා කරන්න භට කණ්ඩායමක් යැව්වා. ඒ කණ්ඩායමේ නායකයාට ප්‍රභාකරන්ගේ මළසිරුර හමුවුණා.
ඔහුගේ මළ සිරුරේ ඒ වන විටත් රස්නය (උණුසුම) තිබුණා. ඔහු ඒ අවස්ථාවේම මරාදැමුණු බව ඒ කරුණෙන් පැහැදිලි වුණා. ඔහුගේ මුහුණේ රැවුල පැහැදිලිව පෙනෙන්නට ඇදී තිබුණා. ඒ මළ සිරුර 4 වැනි විජයබා කණ්ඩායමේ සොල්දාදුවන් විසින් ගෙනෙනු ලැබ පරීක්‍ෂා කිරීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඉදිරිපත් කළා.
බි්‍රගේඩියර් ජගත් ඩයස්, ශවේන්ද්‍ර සිල්වා, ගාල්ලගේ, කමල් ගුණරත්න යන නිලධාරීන් සිරුර පරීක්‍ෂා කළා. ඒ අවස්ථාවේ එතැන සිටි සෙබළු පොරකකා එකිනෙකාගේ කරවල් උඩ නැගලයි මළ සිරුර බැලුවේ. කරුණා අම්මාන් සහ දයා මාස්ටර් යන දෙදෙනා එදා සවස් වරුවේ කොළඹ සිට ගුවනින් අවුත් මළ සිරුර අඳුනාගත්තා.
චන්ද්‍රප්‍රේම විසින් ලියන ලද ඔය විස්තරයේ පළමු ඡේදයේ අවසාන වාක්‍ය දෙක කියවන්න. (අන්තිමේදී කඩොලාන ඇතුළෙන් එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්පූර්ණයෙන්ම නැවතුණු පසු ඒ වගුරු කොටස පරීක්‍ෂා කරන්න භට කණ්ඩායමක් යැව්වා. ඒ කණ්ඩායමේ නායකයාට ප්‍රභාකරන්ගේ මළ සිරුර හමුවුණා.
(1) ඒ විස්තරයේ ප්‍රභාකරන්ට වෙඩි වැදුණු බව දුටු කිසිම සාක්‍ෂියක් නැත.
(2) ප්‍රභාකරන්ට වෙඩිතැබූ බවට නම් නොකරන ලද ස්නයිපර් තුවක්කුකරු විසින් ඉලක්කය හඳුනාගනු ලැබ වෙඩිතැබූ බවක්ද සඳහන්ව නැත.
(3) ඒ වැකියේ ඇත්තේ කණ්ඩායම් නායකයාට මළ සිරුර හමුවුණා යන්න පමණි.
(4) මළ සිරුර ප්‍රභාකරන්ගේ බවට හඳුනාගත් ඩී.එන්.ඒ. පරීක්‍ෂණයක් ගැන හෝ සාක්‍ෂියක් ගැන හෝ සඳහනක් නැත. එහෙත් ඇත්තේ කරුණා අම්මාන් සහ දයා මාස්ටර් යන දෙදෙනා ද මළ සිරුර පරීක්‍ෂා කර හඳුනාගත්තා. මෙකරුණේදී මතක් කර දියයුතු විශේෂ කරුණක් තිබේ.
කරුණා අම්මාන් සහ දයා මාස්ටර් යන දෙදෙනාම එල්.ටී.ටී.ඊ. සංවිධානය ගැන කලකිරී ඉන් ඉවත්ව ගිය දෙදෙනකු යන්නය. ඒ දෙදෙනා තමන්ගේ බෙලි බේරාගැනීම පිණිස ගිරවුන් මෙන් හමුදා නිලධාරීන් හා වෙනත් අයගේ බලපෑම අනුව කීවාක්ම කියන්නට හොඳහැටි ඉඩ තිබිණි.
මරණ සිදුවන ආකාර හතරක් බව පිළිගත් මතයකි. ඒ ස්වභාවික, හදිසි අනතුරු, ඝාතන සහ සියදිවි නසා ගැනීම්ය. ප්‍රභාකරන්ගේ මරණය ස්වභාවික හෝ හදිසි අනතුරු හෝ යන දෙගණයටම නොවැටේ.
ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කරන්නේ ඝාතනයක් බවය. එහෙත් යථෝක්ත කරුණු ගැන සලකා බලන කල ප්‍රභාකරන්ගේ මරණය සියදිවි නසාගැනීමකි. මේ අන්දමින්ම ඝාතනය කෙරුණු මව්මර් ගඩාපිගේ සහ චේ ගුවේරාගේ මරණ පිළිබඳ පරීක්‍ෂාකර බැලූ අන්දමින්ම ප්‍රභාකරන්ගේ මරණය ගැනද සොයාබැලූ ජාත්‍යන්තර කීර්තිධර (නම සඳහන් කරනවාට අකැමැති) මාධ්‍යවේදියකු සමග සාචි ශ්‍රීකාන්තන් සාකච්ඡා කර තිබේ.
ඇමෙරිකාවේ ජෝන් ලී ඇන්ඩර්සන්ද ප්‍රභාකරන්ගේ මළ සිරුරේ තුවාල දැක ඒ පිළිබඳ සිය මතය පළකර තිබුණා. මිනියේ අත්වල වෙනසක් ඇතිවී තිබුණු බව පෙනෙන්නට තිබුණා.
ඊට හේතුව සිරුර බොහෝ වේලාවක් ජලයේ වැටී තිබීම නිසයි. සාමාන්‍ය මරණයකදී නම් එසේ විය නොහැකි බව මම හිතනවා. ඒ වගේම මම හිතන්නෙ ඔහු K.C.N. සයනයිඩ් කෑමෙන් මියගොස් ඇති බවයි. එහෙත් ඒ මරණයෙන් පස්සෙ ඔහුගේ හිසට වෙඩිතබා තියෙනවා.
ඒ වෙඩිතබා ඝාතනය කළ බව ලෝකයට අඟවන්නයි. එහෙත් ඒ බව සනාථ කරන්න මළ සිරුර නැති නිසා අපට බැහැ. මට දැනගන්න ඕනෑ ඒ වෙඩිතැබීම කෙරී ඇත්තේ ජීවත්ව සිටිය දීද, නැත්නම් මියගියාට පස්සෙද කියන එක පින්තූරවලින් කියන්න පුළුවන්ද කියන එක දැනගන්නයි.මොකද ඔබ ඒ පිළිබඳ විශේෂඥ දැනීමක් ඇත්තකු නිසා. මීට පෙර ඔබ චේගෙ (චේ ගුවේරාගෙ) ගඩාපිගෙ මළ සිරුරුවල පින්තූර බලා ඇනලයිස් එකක් කැර තිබුණු නිසා.
වෝහාරික විශේෂඥයකු වන මහාචාර්ය කෙයිත් සිම්ප්සන් ගෙනුත් මගේ මතය සනාථ කිරීම උදෙසා පරිවේශනීය සාක්‍ෂි circumstantial evidence සොයාගත හැකියි.
(1) ප්‍රභාකරන් පණපිටින් සිටියදී වෙඩිතබා ඝාතනය කරනු ලැබුවේ නම් ඒ සිංහල වෙඩික්කාර සෙබළා විසින් ඒ බව ලෝකෙටම හඬගා පවසමින් උදම් අනන අන්දම නොවැළැක්විය හැකියි. එහෙත් එවන් වෙඩික්කාරයකු ගැන අසන්නට පවා නැත.
(2) ප්‍රභාකරන්ගේ මළ සිරුර පරීක්‍ෂා කරන ලද කරුණා අම්මාන් පවසනු ලැබුවේ කොටි නායකයාගේ ගෙලේ තිබිය යුතු සයනයිඩ් කරල නැති බවයි.
ප්‍රභාකරන්ගේ මළ සිරුරේ අත්පා වියළී ඇකිළුණු ස්වභාවයක් පෙනෙන්නට තිබිණි. වෝහාරික විද්‍යාව පිළිබඳ මහාචාර්ය කෙයිත් සිම්ප්සන් පවසන පරිදි එසේ වන්නේ ජල ඌනතාවය (Dehydration) නිසාය.
මවිසින් ඔබට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා රජයේ හමුදාවෙන් නිකුත් කරන ලද ප්‍රභාකරන්ගේ මළ සිරුරේ අත්පාවල දක්නට ලැබෙන අමුතු සුදුමැලි පාට ගැන ඔබගේ මතය කුමක්දැයි ඒ මාධ්‍යවේදියාගෙන් සාචි ශ්‍රීකාන්තන් විමසා තිබේ.
මරණය සිදුවීමෙන් පසුව හදවතේ ක්‍රියාකාරීත්වය නවතින නිසා රුධිරය පොම්ප කිරීමද නවතින හෙයින් නහරවලද රුධිරය නවතිනවා. සිරුර හොවා තිබුණේ නම් සිරුරේ ඇලපත පැත්තේ කැටිගැසී තිබිය යුතු රුධිරයෙන් ඒ ගැන කිව හැකියි.
පින්තූරයේ දැක්වෙන ප්‍රභාකරන්ගේ මළ සිරුරේ ගෙල ප්‍රදේශයේ සිට යට අඳුම දක්වා කොටසේ නිල් පැහැය පැහැදිලි දම්පාටට හුරු (Purplish blue) ස්වභාවයක් පෙනෙන්නට තියෙනවා. මේ අවපැහැ ගැසීම සිරුරේ උඩ කොටසේ හිසේ සිට කං (කර්ණ) ප්‍රදේශය දක්වා ඉතා වැඩි ගතියක් තියෙනවා. එය විවාදාත්මකය.
ඒ ගැන පැහැදිලි කරන ලෙසට සාචි ශ්‍රීකාන්තන් ඒ මාධ්‍යවේදියාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මම කියන්නෙ මේකයි, සමේ පැහැය ගැන පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී වෙනසක් දැකගැනීමට බැහැ. කෙසේ වුවත් මේ සුදුමැලි ගතිය රුධිරයේ ඔක්සිජන් හිඟවීමෙන් ඇතිවන්නක්. එය පොටෑසියම් සයනයිඩ් විසවීමෙන්ද ඇතිවිය හැකිය.
සාචි ශ්‍රීකාන්තන් විස්තර කරන අන්දමට චේගේ සහ කර්නල් මව්මර් ගඩාපිගේ මළ සිරුරුවල ඡායාරූප සහ වීඩියෝ පරීක්‍ෂා කිරීමේදී මරණ සිදුවූ අන්දමේ එකහා සමාන ආකාරයක් දැකිය හැක්කේලු. ගඩාපිට අවසාන මොහොතේදී වධකයන් (Tormentors) විසින් බොහෝ වධ හිංසා පමුණුවන ලද බව අනාවරණ කෙරී තිබේ. ඔහුගේ මරණයෙන් පසුව වධකයන් විසින් පින්තූර ගනු ලැබීම සඳහා මළ සිරුරේ උඩුකයේ වස්ත්‍ර ඉවත් කර තිබේ.
චේ ගුවේරාටද අත්විඳින්නට සිදුවී ඇත්තේ එවන් ඉරණමක් සේම අවසානයේදී ඔහුගේ මළ සිරුරේද උඩුකයේ ඡායාරූප ගැනීම සඳහා වස්ත්‍ර ඉවත්කරනු ලැබ ඇත.
එහෙත් ප්‍රභාකරන්ගේ මළ සිරුරේ ඡායාරූප ගනු ලැබ ඇත්තේ යුද හමුදාව විසිනි. ඒ විවිධ අන්දමටය. එහෙත් මේ පින්තූරවලින් ප්‍රභාකරන්ට චේ ගුවේරාට සහ ගඩාපිට මෙන් වධහිංසා විඳින්න සිදුවූ බවක් අනාවරණ නොවේ. චන්ද්‍රප්‍රේම සිය කෘතියේ සඳහන් කරන පරිදි කොටි නායකයාගේ මළ සිරුර දැකබලා ගැනීම සඳහා උද්දාමයෙන් පිරුණු හමුදා සෙබළුන් පොරකමින් එකිනෙකාගේ කර උඩට නැග තිබේ. ඒ කොටි නායකයාට ඔවුනගේ තිබූ කිසියම් ගෞරවයක් නිසා බවද එබැවින් ඔහුගේ මළ සිරුර නොකෙළෙසූ (Defile) බවද මියගිය සතුරාට වුවත් ගෞරව කිරීමේ බෞද්ධ ගුණධර්මය නිසා එසේ විය හැකි බවද සාචි ශ්‍රීකාන්ත කියයි.
එතකුදු වුවත් දෙවැනුව මහින්ද රාජපක්‍ෂගේ හිතවත් කණ්ඩායම විසින් ඔහුගේ (මහින්දගේ) දේශපාලන ප්‍රතිරූපය පිම්බීම සඳහා සියල්ල විකෘති කළ බවද, ද්‍රවිඩ ජනතාවට සිය නායකයා වූ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට සිය අවසාන ගෞරවය හෝ දැක්වීමට ඉඩ නොතබාම ඔහුගේ ශේෂෝපගතය (Remains) මුහුදුබත් කිරීමට කටයුතු කළ බවද සාචි ශ්‍රීකාන්තන් කියයි.
ඉස්ලාමීය ප්‍රජාවගේ මළගමක ප්‍රධාන කටයුත්ත පැය විසිහතරක් ඇතුළත මියගිය තැනැත්තාගේ දේහය මිහිදන් කිරීම වුවත් ඒ ගැන තුට්ටුවකට හෝ නොසලකා කර්නල් මව්මර් ගඩාපිගේ දේහය දින ගණනාවක් තබාගත් බව පෙන්නා දෙන මේ විමර්ශකයා (සාචි) මියගිය අයකුගේ මිනියක් තබාගැනීම සඳහා බෞද්ධ ඉගැන්වීමේ දින නියමයක් කර නැතත් ප්‍රභාකරන්ගේ සිරුරේ අවසන් කටයුතු කිරීමට රාජපක්‍ෂ ආණ්ුවට මෙතරම් හදිසි වූයේ ඇයිදැයිද හෙතෙම ප්‍රශ්න කරයි.
චන්ද්‍රසේන මාරසිංහ
දකුණෙ මතය
තිස් වසරක් පුරා මුළු මහත් ශ්‍රී ලංකාව පීඩාවට පත්කළ යුද්ධය අවසන් වෙලා වසර 14ක කාලයක් ගතවෙලා. ඒ යුද්ධයේ අමිහිරි මතකයන් අපේ හිත්වලින් තවමත් මැකී ගිහින් නැහැ. ගම්, නගර, විහාරස්ථාන, පල්ලි, කෝවිල්, රාජ්‍ය ආයතන ඇතුළු ස්ථාන සිය ගණනකින් එකල නිරන්තරව වාර්තා වුණේ හද කකියවන බෝම්බ පිපිරීම් පිළිබඳ පුවත්. ඒ සියල්ලට නායකත්වය දුන්නු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාගේ අවසානයත් සමග 2009 මැයි 19 වැනිදා ජනතාව සැනසුම් සුසුම් හෙලුවේ යුද්ධය අවසන් වීමේ සතුට අත්විඳිමින්.
කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඝාතනය සිදුවූ ඒ දවස දක්වාම යුද බිමේ ඉදිරි ආරක්ෂ වළලුවල සැරිසරමින් අභියෝගාත්මක යුද පුවත් වාර්තාකරණය ඔස්සේ දිනපතා රාත්‍රියේ අප හමුවට ආ මාධ්‍යවේදීන් අතරින් සුජිත් විතාන පතිරණට හිමිවන්නේ ප්‍රමුඛ තැනක්.
ජීවිතයත් මරණයත් අතර බියකරු සටන් මැද ඔහු නිර්භයව ගෙන ආ යුද පුවත් දෙස මුළු රටම ඇස් දල්වාගෙන බලා සිටියා. ‘වනැස ටී.වී.’ යූටියුබ් නාලිකාවේ මාධ්‍යවේදී සංජීව රත්නායක සමග සුජිත් විතාන පතිරණ සිදුකළ මේ සාකච්ඡාව තුළ කොටි නායකයාගේ ඝාතනය සිදුවූ ආකාරය ගැන ඔහු මෙතෙක් මාධ්‍යයට අනාවරණ නොකළ තොරතුරු රැසක් තිබෙනවා. යුද්ධයේ අවසන් මොහොතේ ඔහු දුටු, ඔහු අත්විඳි අත්දැකීම් මේ විදියට පාඨක ඔබ වෙත ගෙන එන්නට අපි හිතුවා. මේ සාකච්ඡාව ‘වනැස ටී.වී.’ යූටියුබ් නාලිකාවෙන් උපුටා ගන්නා ලද්දකි.
යුද්ධයේ අවසන් දවසෙ, අවසන් මොහොතෙ නන්දිකඩාල්වල සිදුවුණු සිදුවීම් ගැනත් කියමු?
අවසන් දිනය කියන්නේ කවදාවත් අමතක වෙන්නෙ නෑ. මට මතකයි 1996 අවුරුද්ද. මම එතකොට අට වසරෙ පොඩි කොල්ලෙක්. අනුරුද්ධ රත්වත්තේ තමයි ඒ කාලෙ නියෝජ්‍ය ආරක්ෂක ඇමැති. ඒ කාලෙ යාපනේ ඇල්ලුවා. ඒක අපි පුංචි කාලෙ මතකයෙ ලොකු එකක්. ලංකාවෙ යුද සිතියමේ මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල කියන්නේ බෙදුම් තීරය. එල්.ටී.ටී.ඊ.ය අවුරුදු ගානක් පුරා තීපන් කියන නායකයා රඳවා තියලා මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල රැක්කා.
ඒ තරම් ඉදිරි ආරක්ෂක වළල්ල වැදගත් වුණා. මම කියාගෙන ආවේ අපේ තාත්තා මට කතා කරලා කිව්වා ‘හීං කොලුවො යාපනේ අල්ලලා බං’ කියලා. මං ඇහුවා, ‘ප්‍රභාකරන් කෝ දැන්?’ කියලා. ඉතින් අපේ තාත්තා කිව්වා, ‘බෝම්බ වළලු 300ක් දාගෙන, මරාගෙන මැරෙන එවුන් 300ක් දාගෙන, ආරක්ෂාවට කළු කොටි 50ක් තියාගෙන තමයි ප්‍රභාකරන් ඉන්නේ. ප්‍රභාකරන් අල්ලන්න බෑලු. බෝම්බ වළලු ටිකත් පුපුරවලා, මරාගෙන මැරෙන එවුනුත් ඉවර කරලාලු ප්‍රභාකරන්ව අල්ලන්න ඕනෙ.
ප්‍රභාකරන් අලිමංකඩ පැත්තේ ඉන්නවාලු යාපනේ ඇල්ලුවට’ කියලා. මම ඒ කතාව කිව්වේ ඔබ අහපු ප්‍රශ්නෙ මුල දවසයි, අපේ තාත්තා කියපු කතාවයි මට මතක් වුණා ඒ මොහොතේ. අන්තිම හරිය වෙනකොට මාධ්‍ය අතරත් සටනක් තිබුණා, අර නාලිකාවට කලින් බ්‍රේකින් නිවුස් එක ගහන්න ඕනෙ, මේ නාලිකාවට කලින් වාර්තා කරන්න ඕනෙ කියලා. ඒ නිසා තරගෙකුත් තිබුණා. සමන් කුමාර රාමවික්‍රමට කලින් මම කොහොමද ප්‍රභාකරන්ගෙ මරණය වාර්තා කරන්නේ කියන හීනෙ මට තිබුණා. යුද්ධය වාර්තා කරන්න ගිය කෙනෙක් හැටියට මට එහෙම හීනයක් නැත්නම් වැඩක් නෑනෙ.
ඉතින් ඔබ අහපු අවසන් දවසට දවස් කිහිපයකට කලින් මම හිටියේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහත්තයා මෙහෙයවපු 53 වැනි සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ යුද වාර්තාකරණය කරමින්. එහෙම ඉද්දි මම ජෙනරල් කමල් ගුණරත්නටත් හොරෙන් ඉදිරි ආරක්ෂක වළල්ලට යනවා. ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම හමුදාව යටතට අරගෙන ඉවරයි. නමුත් ප්‍රභාකරන් නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. මම මේ කියන්නේ මැයි 17 වැනිදා.
උදේ පාන්දරින්ම 05 වැනි ගැමුණු හේවා බළඇණියේ මේජර් රත්නායක මට කිව්වා ‘දෙවැනියා ගත්තා, මොකෝ කියන්නේ එන්න බැරිද?’ කියලා. මම ඇහුවා, ‘දෙවැනියා?’ ඔව් ඔව් චාලිට දුන්නා වැඩේ’ කියලා ඔහු කිව්වා. මම කොට කලිසමක් ඇඳගෙන හිටියෙ. ඒක පිටින්ම මම එතැනට ගියා. එල්.ටී.ටී.ඊ. සිරුරු තිබුණා හාරසිය ගානක් විතර. ඒක සමූහ ප්‍රහාරයක්. ප්‍රභාකරන්ගෙ ලොකු පුතා චාල්ස් ඇන්තනී ඇතුළු ප්‍රබලයන් රැසක් මියගිහින්.
කිලිනොච්චි, විශ්වමඩු නගර අහිමි වීමෙන් පස්සේ එල්.ටී.ටී.ඊ.යට සිදුවෙච්ච ප්‍රධානම පරාජය තමයි පුදුකුඩිඉරිප්පු නගරය අහිමි වීම. ඔවුන්ගෙ සැපයුම් මාර්ග සියල්ල බිඳවැටුණා. තීපන්, විදුෂ ඇතුළු එල්.ටී.ටී.ඊ. සංවිධානයෙ ප්‍රබල සාමාජිකයො ඇතුළු විශාල පිරිසක් පුදුකුඩිඉරිප්පු සටනෙදි මියගියා. මම කියන්නේ මේ 17 වැනිදා දවස ගැන. ටිකෙන් ටික ටිකෙන් ටික නන්දිකඩාල් කළපුව ගාවට ඇවිත්, වාහන ඔක්කොම ගිනිතියලා, දුම් රොටු අස්සෙ හැංගිලා ජීවිතේ කරපු සියලු පව්වලට ප්‍රභාකරන් වන්දි ගෙව්වා. එච්චරයි මට කියන්න තියෙන්නේ.
ප්‍රභාකරන් හැංගිලා හිටපු තැනයි, චාල්ස් ඇන්තනීට වෙඩි වැදිච්ච තැනයි අතර දුර මීටර් 500ක් ඇති. තමන්ගෙ ලොකු පුතා වෙඩිකාලා මැරෙනවා ප්‍රභාකරන් සජීව දකින්න ඇති. කවුද පැරැදුණේ, කවුද දින්නේ කියන එක ප්‍රභාකරන්ට අඳුනගන්න බැරි වෙන්නෙ නෑ.
ඒ නිසා ප්‍රභාකරන් පැත්තෙන් ගිය ලොකු පුතා ඇතුළු පිරිස නන්දිකඩාල් කළපුවෙ මැරෙනවා ප්‍රභාකරන්ට සජීවීව දකින්න ලැබුණා. අපේ රටේ දහස් ගානක් දරුවො බල්ලො බළල්ලු වගේ මරපු එකේ වන්දිය ප්‍රභාකරන්ට සජීවීව විඳින්න සිද්ධ වුණා. ප්‍රභාකරන්ගෙ බිරිඳයි, දුවයි කාලතුවක්කු වෙඩි වැදිලා කුඩුවෙලා තිබුණා. ඒවත් ප්‍රභාකරන් දකින්න ඇති. යුද හමුදාව දහස් ගානක් ඉන්න පොඩි කළපුවක් මැදට වෙලා අන්තිමේදි ප්‍රභාකරන්ට බලන් ඉන්න සිදුවුණා මොකක්ද ඊළඟට වෙන්නේ කියලා. 17 වැනිදා ඔය විදියට ගෙවිලා ගියා. චාල්ස් ඇන්තනී හිටියා නම් ප්‍රභාකරනුත් ඉන්න ඕනෙ කියන න්‍යාය මතු වුණා.
චාල්ස් ඇන්තනීව තියලා ප්‍රභාකරන් පනින්න විදියක් නෑනෙ. ඊට අමතරව සුසෙයි නෑ, භානු නෑ. පොට්ටු නෑ, ජෙරම් නෑ, ස්වර්ණම් නෑ, රමේෂ් නෑ, එල්.ටී.ටී.ඊ. එකේ සෙට් එකක් නෑ. 18 වැනිදා වෙද්දි යුද බිම නිශ්ශබ්දයි. ප්‍රභාකරන්ගෙ ප්‍රවෘත්තිය ඉස්සෙල්ලාම දෙන්න ඕනෙ කියන උණුසුම් සිතුවිලිත් මැරිලා ගිහිල්ලා. ප්‍රභාකරන් නැති නිසා. පැනලා ගිහිල්ලාවද්ද කියලා.
හැබැයි 18 වැනිදා රෑ 12ට විතර කළපුව මැද කඩොලාන කොටසේ සද්ද බද්ද ටිකක් ඇහෙනවා බලසේනාධිපති ලලන්ත ගමගේ මහත්තයට. ඔහු තේරුම් ගන්නවා එතැන මොකක් හරි සිදුවීමක් තියෙන බව. හැබැයි කලබලයක් නෑ, වටේම හමුදාව යොදවලා ඉන්නේ. අපි කලබල නැති වුණාට ඔහු කලබලයි. හේතුව, ප්‍රධාන ඉලක්කය ඉන්නේ මේ කොටසේ වෙන්න පුළුවන් නිසා. 18 වැනිදා රෑ ඔය සද්දත් එක්ක 19 වැනිදාට එළිය වැටෙනවා.
අර තොරතුරු ලලන්ත ගමගේ මහත්තයා නොදුන්නත් ඇලට් එකේම ඉන්න කොට අපටත් හුවමාරු වෙනවා. ඉදිරි ආරක්ෂක වළල්ලේ රණවිරුවොත් එක්ක තමයි මගේ සියලු ගනුදෙනු තිබුණේ. ලොකු ලොකු නිලධාරීන් එක්ක නෙවෙයි මම ඉන්නේ. මට ඔවුන්ගෙන් ගන්න තොරතුරු මාධ්‍යවේදියෙක් විදියට හරිම වැදගත්.
එදා උදේ 4ට විතර දුරකතන ඇමතුමක් ආවා නන්දිකඩාල් කළපුව ඇතුළෙ සද්දයක් ඇහෙනවා, යම්කිසි සිදුවීමක් වෙනවා කියලා. පාන්දරම නැගිටලා පුදුකුඩිඉරිප්පු හන්දියට ගිහිල්ලා හැරෙනවත් එක්කම අටවැනි කාර්ය සේනාංකාධිපති කර්නල් රවිප්‍රියගෙ කැබ් එක ඉතා වේගයෙන් දූවිලි අවුස්සගෙන ගියා. මගේ රියැදුරා උපාලි සමරකෝන්ට මම කිව්වා රවිප්‍රිය සර්ගෙ කැබ් එක පස්සෙන් ඇදපන් කියලා.
නන්දිකඩාල් කළපුවෙ වම් ඉවුරෙදි කර්නල් රවිප්‍රිය කැබ් එකෙන් බැස්සා නෙවෙයි පැන්නා වගේ මම දැක්කේ. මම ඔහුගෙ පස්සෙන් ගියා. නන්දිකඩාල් කළපුවෙ සිදුවීමක් තියෙනවා. ඇටෑක් කරන්න ජෙනරල් ගුණරත්නට සහ පිරිස්වලට දැනුවත් කරමින් හිටියෙ. ඒ කළපුවෙ ප්‍රභාකරන් ඉන්නවද නැද්ද කියලා කවුරුත් දන්නෙ නෑ. මේ ඒරියා එක 4 වැනි විජයබා පාබල හමුදාවෙ.
හමුදාව දැන් එක පැත්තකින් එයිට් මෑන් ටීම් දෙකක් හෝ තුනක් දාලා, වටේටම යුද ටැංකි දාලා, කළපුවටත් යුද ටැංකි ප්‍රහාරයක් එල්ල කළා. කර්නල් රවිප්‍රියත් එක්ක ඔහු බැහැපු ප්‍රදේශයෙනුත් 4 වැනි විජයබා පාබල රෙජිමේන්තුවෙ අණදෙන නිලධාරි රෝහිත අළුවිහාරේ, බළසේනාධිපති ලලන්ත ගමගේ මහත්තයත් එක්ක හමුදාවෙ සෙට් එකක් නන්දිකඩාල් කළපුවෙන් බැහැලා මේ ඇටෑක් එක යන පැත්තට යනවා. මම දැන් තීරණයක් ගන්න ඕනෙ ඒ පිරිසත් එක්ක යනවද, නැත්නම් මේ පැත්තට වෙලා ඇඟ බේරගෙන ඉන්නවද කියලා. මම ඇහුවා චමිල් ආනන්දගෙන් යනවද බං කියලා. එතැනින් පස්සේ ඔබ මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන යන ගමන ආරම්භ වුණා.
අපිත් එක්ක ගිය හමුදාව වෙඩි තියාගෙන ගියෙ. අනෙක් පැත්තෙන් ආපු හමුදාවත් වෙඩි තියාගෙන ආවෙ. 4 වැනි විජයබා පාබල රෙජිමේන්තුව නන්දිකඩාල් කළපුවෙ මුලතිව් පැත්තෙන් ආවා. එයිට් මෑන් ටීම් එකක් ඇවිල්ලා තිබුණා. මම දන්නෑ මට බොරු කියන්න බෑ රටට.
අහවල් සොල්දාදුවා අහවල් වෙලාවෙ වෙඩි තියලා ප්‍රභාකරන් මැරුණා කියලා මට කියන්න බෑ. මම ඒක දන්නෙ නෑ. හැබැයි එයිට් මෑන් ටීම් 3ක් හෝ 4ක් එක දිගටම කළපු කෑල්ලට ගහලා අපි කළපු කෑල්ලට ගොඩවෙනවත් එක්කම මම දන්න විදියට සාජන් නවරත්න හරි, ඒ වගේ නමක් තියෙන රණවිරුවෙක් එක පාරටම ඔහුගෙ අණදෙන නිලධාරියාට කතා කරලා, ‘සර් සර් බඩු අහුවුණා’ කිව්වා. කළපුවෙ වතුර දිගේ කෙනෙක්ව ඇදගෙන එනවත් පෙනුණා. හැබැයි මායි චමිල් ආනන්දයි ඉස්සරහට ගියා මට එතැන ප්‍රශ්නයක් තිබුණා, මම මාධ්‍යවේදියෙක්. මට වැදගත් දර්ශනය.
ඒ නිසා මම ඒ ඇදගෙන ආපු කෙනාට කිව්වා ‘ඇදගෙන එන්න එපා ඩැමේජ් වෙයි, පොඩ්ඩක් උස්සගෙන එන්න’ කියලා. ඒ වෙලාවෙ එතැන හිටිය රණවිරුවො හැමෝටම හොඳටම කේන්ති ගියා. ‘මූව කරේ තියාගෙන එන්නද කියන්නෙ?’ කියලා.
අවුරුදු ගානක මහා විනාශයක් කරපු ත්‍රස්තවාදියෙක් තමයි. හැබැයි මම දැක්කේ අර පැත්තේ. ඔහුව කළපුවෙ ඇදගෙන ඇවිල්ලා, ඩැමේජ් වෙලා බොඩි එක අඳුරගන්න බැරි වුණොත් මම කලින් කියපු බටහිර බලවේග ටික කියනවා ප්‍රභාකරන් මැරුණෙ නෑ කියලා. ඒ නිසා මට වැදගත් වුණේ ඒක. හැබැයි බළසේනාධිපති සහ අණදෙන නිලධාරිතුමාට මම කියපු එක ඇහිලා කිව්වා, ‘උස්සලා ගනිල්ලා, ඩැමේජ් වුණොත් අඳුනගන්න බැරි වෙනවා’ කියලා.
ප්‍රභාකරන් මැරිච්ච තැන ඉඳලා මීටර් 20ක් විතර මෙහායින් තමයි ප්‍රවෘත්තිවල සහ සියලු මාධ්‍යවල පළවුණු මගේ ‘ඔන් කැමරා කට් එක’ මම ගන්නේ, එතැනම තිබුණු බංකරේක වැලි කොට්ටයක් තියලා. වෙඩි වැදිච්ච තුවාලෙන් ප්‍රභාකරන්ගෙ ඇහැක් එළියට වැටිලා තිබුණා. ඒ ඇහැ මට ඕනෙ මේ ප්‍රභාකරන්මයි කියලා රටට පෙන්වන්න. මම ඇහැ ඇතුළට දාලා, මගේ නිල් පාට ලේන්සුවෙන් ප්‍රභාකරන්ගෙ ඔළුව බැන්දා. ඒ දර්ශනවල මම මේ කියපු දේ ඔබටත් බලාගන්න පුළුවන්. ඔහු හිටියේ සම්පූර්ණම ත්‍රස්තවාදී ඇඳුම ඇඳගෙන. ඔහුගෙ ‘01’ කියන ටැග් එක තිබුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානයෙ හැඳුනුම්පත තිබුණා.
ඔහුගෙ කලිසම් සාක්කුවෙ තිබුණා නිල් පාට පෑනකින් ලියපු මෝටාර් 04යි, ටී.56 උණ්ඩ 2000යි කියලා ලියපු පතුරම් ලැයිස්තුවක්. හැබැයි මම ඇහැ බැඳලා වැලි කොට්ටෙ තියනකොටත් ප්‍රභාකරන්ගෙ ඇඟේ රස්නෙ ගිහින් තිබුණෙ නෑ. මම එහෙම කියන්නෙ මෙච්චර දේවල් දැකලා, මෙච්චර දේවල් වාර්තා කරලා ප්‍රභාකරන්ට තියා නිකන්ම නිකන් එල්.ටී.ටී.ඊ.කාරයකුටවත් අපේ ඉදිරි ආරක්ෂක වළල්ලෙන් රිංගලා යන්න බැරි තත්ත්වයක් තියෙන බව කියලා තියෙද්දිත් යුද්ධය දියාරු කරන සමහර කණ්ඩායම් කියන්න ගත්තා ප්‍රභාකරන්ව පනාගොඩට ගෙනාවා, කොළඹට ගෙනාවා, මහින්ද රාජපක්ෂ ඔහුගෙ කනට ගැහුවා, ආයෙ ගෙනිහිල්ලා තමයි මැරුණෙ වගේ කතා.
මගෙන් ගොඩක් දෙනා ඇහුවෙ ප්‍රභාකරන් පනාගොඩට ගෙනාවා කියන්නේ ඇත්තද කියලා. මට අපේ මිනිස්සු ගැන යම් හිරිකිතකුත් දැනුණා. ජීවිත කීයක් කැපකරලද මේ දේ සිද්ධ වුණේ. ඒකෙන් හෑල්ලුවට ලක්කරන්නේ ඉදිරි ආරක්ෂක වළලුවල හිටිය රණවිරුවො. ඔවුන් ප්‍රභාකරන් එක්ක මූණට මුණ ගහගත්තා. අවසන් දවසේ ප්‍රභාකරන් වටේ හිටපු බොහොම හැඩිදැඩි කළුකොටි 12 දෙනකුගෙ විතර මළ සිරුරු තිබුණා. ප්‍රභාකරන්ගෙවත් ඒ 12 දෙනාගෙවත් අවි ආයුධවල එක පතුරමක්වත් ඉතුරු වෙලා තිබුණෙ නෑ. අවසන් පතුරම දක්වාම ගහලා තමයි ඔවුන් මැරිලා වැටිලා තිබුණේ. ඒ තරම් උනුත් මූණට මූණ සටනේ යෙදුණා.
බ්‍රේකින් නිවුස් එකක් යන තරම්, ආලින්දයේ ඉඳන් ලස්සන ලස්සන රූපරාමු ටිකක් බලන තරම් සුන්දර නෑ. ඒ අසුන්දර අත්දැකීම් තුළින් මිනිසුන්ට සුන්දර රටක් හදලා දෙන්න අපේ නොමැරෙන වීර රණවිරුවො කැපවුණා. ඔවුන් අද විශ්‍රාම ගිහින් හිටියත්, තවමත් සේවයේ යෙදිලා හිටියත්, මරණයට පත්වුණත්, තුවාල ලබලා ‘අභිමංසල’ වගේ තැනක ප්‍රතිකාර ලබමින් සිටියත් ඔවුන් තමයි මේ රටේ වීරයො. අපට දසමහා යෝධයො හිටියා කියලා අපි කතාවල අහනවා. මම දසමහා යෝධයො දහස් ගානක් නන්දිකඩාල් කළපුවෙදි, මාන්කුලම්වලදි, වෙඩිතලතිව්වල, ජයපුරම්වලදි, මුලතිව්වලදි දැකලා තියෙනවා.
යෝධයන්ට වැඩිය හයියක් ඒ මිනිසුන්ට තිබුණා. ඒ නිසා ප්‍රභාකරන්ට ගැහුවා, ප්‍රභාකරන් මැරුණා, එල්.ටී.ටී.ඊ. සංවිධානෙ ඉවර වුණා, යුද්ධ ඉවර වුණා කියනවට වඩා අඟලෙන් අඟල ඒ යුද්ධෙ ඇතුළෙ වචනයෙන් කියන්න බැරි අමුතු කතාවක් තිබුණා. ඒක කැපකිරීමක් කියලා මම කියන්නෙත් නෑ. මට දැනෙන දේ නම් ධෛර්යය. හැබැයි මනුස්සයෙකුට තියෙන ධෛර්යයට වඩා වෙනස්. බීම බෝතල් පියන් වගේ බැම්මෙ වැටිලා තියෙන බට්ටො ටික දිහා බලාගෙන බැම්බ උඩින් පැනලා එල්.ටී.ටී.ඊ. ඒරියා එකට යන හිතක් මට නෑ.
හැබැයි අපේ රණවිරුවො ගියානෙ. ඒ ගිය නිසා තමයි නන්දිකඩාල්වලින් මේක ඉවර වුණේ. ඒ නිසා මැයි 19 වැනිදා ප්‍රභාකරන් මැරුණා, අපි කොඩිය දැම්මා කියන එකට එහා ගිය කතාවක් අපේ මිනිසුන්ගෙ හිත්වල ලියවෙන්න ඕනෙ. ඒක මහාවංශෙ ලියවුණා කියලා වැඩක් නෑ. ජීවතුන් අතර ඉන්න හැම එකෙක්ම, අලුතෙන් ඉපදෙන හැම එකෙක්ම දැනුවත් වෙන්න ඕනෙ අපිට මේක හැදුණේ කොහොමද කියලා. ඒක එසේ මෙසේ කැපකිරීමක් නෙවෙයි.
ඕක තමයි ප්‍රභාකරන්ගෙ අවසානය සිද්ධ වෙච්ච දවස. අවසන් උණ්ඩය දක්වා ඔහු සටන් කළා. වටකරපු හමුදාවකට මුහුණ දෙන්න ඔහුට සිදුවුණා. පුතා මැරෙනවා බලන් ඉන්න සිද්ධ වුණා. කිලිනොච්චියට සාම ගිවිසුම අස්සන් කරන්න එන්න කිව්වම මං වෙනම එන්නේ කියලා ටෝක්ස් දීපු ප්‍රභාකරන් අපේ රණවිරුවො අතින් බල්ලෙක් වගේ නන්දිකඩාල් කළපුවෙදි මැරුම් කෑවා.
මනුස්සයෙකුට බල්ලෙක් කියන්නේ ඇයි කියලා කවුරු හරි ඇහුවොත් බල්ලට අපහාසයක්, ප්‍රභාකරන්ව බල්ලෙකුට සමාන කරන එක. ඔහු බල්ලෙක්ටත් වඩා පහත් වැඩ කරපු මිනිහෙක්. තමන්ගෙම ජාතියෙ, තමන්ම රැකගත්ත, තමන්ට රැකවරණය දීපු, තමන්ව පෝෂණය කරපු දෙමළ මිනිසුන්ට ප්‍රභාකරන් වෙඩිතිබ්බා, හමුදාවෙ පැත්තට යනවා කියලා. මට මුණගැහුණා අවුරුදු 80ක විතර අංකල් කෙනෙක් එයාගෙ පස්ස පැත්ත සම්පූර්ණයෙන්ම ගැලවිලා ගිහිල්ලා, එද්දි වෙඩිතියලා. තව කෙනෙක් හම්බවුණා එයාගෙ කිහිල්ලට යටින් වෙඩිල්ල හිල් කරගෙන ළමයා මැරිලා, ඒ ළමයා කැලේ වළදාලා ආවෙ කියලා ඔහු කිව්වා. සජීවීවම පටාචාරාලා හිටියා. දෙන්නෙක් කතාවෙලා ඇවිල්ලා තිබුණා මෙතැනින් පනිමු, ජීවතුන් අතර ඉන්න කෙනා ළමයි දෙන්නා බලාගමු කියලා. හැබැයි ඒක වෙලා තිබුණා.
අම්මා මැරිලා, තාත්තා ළමයි දෙන්නා එක්ක හමුදාව පැත්තට ඇවිල්ලා හිටියා. ඒකයි මම කිව්වේ ප්‍රභාකරන්ගෙ ම්ලේච්ඡත්වය මෙන්න මෙච්චරයි කියලා සීමා කරන්න බෑ.
දැන් අවුරුදු 11ක් වයස එකා යුද්ධෙ ගැන දන්නේ නෑ. ඒ කාලෙ අවුරුදු 10ක් වයස එකාට දැන් අවුරුදු 21යි. ඌටත් යුද්ධෙ ලොකුවට අත්විඳින්න වුණේ නෑ. අන්න ඒ දේ රටට උදාකරන්න ඕනෙ නිසා තමයි මම මේ කැපකිරීම් සියල්ල සිද්ධ කළේ. මම කරපු කැපකිරීම නිය මලක් තරම් නම්, හමුදාව ඒ වගේ ප්‍රකෝටි ගානක කැපකිරීමක් කරලා තියෙනවා. දුටුගැමුණු රජ්ජුරුවො කවුද කියලා ඇහුවොත් නොදන්න පොඩි එකෙක් නෑ. දුටුගැමුණු රජ්ජුරුවො නෑ.
හැබැයි ඔහු අමරණීයයි. මිනිස්සු මැරෙනවා. වීරත්වය මැරෙන්නෙ නෑ. ඒ නිසා 2009 මැයි 19 වැනිදා ප්‍රභාකරන් මරපු එක විතරක් නෙවෙයි ස්වර්ණමය අවස්ථාව. කොබ්බෑකඩුව, විජය විමලරත්න මහත්වරු ඇතුළු සියලු රණවිරුවො ඒ අවුරුදු 30ක සාපලත් යුද්ධය මල්වතු ඔයෙන් මෙහාට එන්න නොදීපු නිසා තමයි ප්‍රභාකරන් ආවෙ නැතුව හිටියෙ. ඒ නිසා නන්දිකඩාල් කළපුවෙන් යුද්ධෙ ඉවර වුණා ඒකයි විශාලම ජයග්‍රහණය කිව්වට, අර කියපු සියලු කැපකිරීම්වල එකතුවක් තමයි 2009 මැයි 19 වැනිදා ඵල දරන්නේ. ඒ නිසා ඔවුන් කරපු කැපකිරීම් කවදාවත් මිනිසුන්ගෙ හිත්වලින් මැරෙන්නේ නෑ.
චානක ලියනගේ