මහනුවර, බූවැලිකඩ ගොඩනැගිල්ල ගිලා බැසීම: දෙදෙනෙකු අතුරුදන්, බිළිඳෙකු ජීවිතක්ෂයට

මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් අද (20) උදෑසන 4.45ට පමණ ගිලා බැස තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉන් එම ගොඩනගිල්ල ඊට යාබදව පිහිටා තිබූ නිවසක් මතට කඩා වැටී ඇති අතර එම නිවසේ සිටි පුද්ගලයන් දෙදෙනකු අතුරුදහන්ව, බිළිඳෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

අතුරුදන්ව සිටින පුද්ගලයන් දෙදෙනා මිය ගිය බිළිඳා ගේ මව සහ පියා වන අතර ඔවුන් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

මහනුවර පොලිසිය සඳහන් කළේ, ගිලා බැසීමට ලක්වුණු ගොඩනැගිල්ලේ හිමිකරු, ඔහුගේ බිරිඳ හා දරු තිදෙනා සමග අද අලුයම 3.30ට පමණ ඉන් පිටත්වගොස් ඇති බවය.

අධික බෑවුම් සහිත ස්ථානයක ඉදිකර තිබූ එම ගොඩනැගිල්ලේ ප්‍රවිෂ්ඨ දොරටුව හැර සම්පූර්ණ ගොඩනැගිල්ල ම කඩා වැටී තිබේ.

කඩා වැටීමේදී එහි සුන්බුන් ඊට පහළින් වූ තවත් නිවසක් මතට වැටී මෙම අනතුර සිදුව ඇත.

එම නිවෙසේ කාමර දෙකක අතුරුදන්වූ පුද්ගලයා, ඔහුගේ බිරිඳ සහ ජීවිතක්ෂයට පත්වූ බිළිඳා සිට ඇති අතර තවත් කාමරයක කාන්තාවන් දෙදෙනෙකු සිට තිබේ.

අදාළ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙක් අතුරුදන් වූ කාන්තාවගේ මව වන අතර, අනෙක් කාන්තාව එම නිවසේ පවත්වාගෙන ගිය හෝටලයේ වැඩ කළ කාන්තාවක් බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් ඔවුන්ට හානියක් සිදුවී නැත.

සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ අතුරුදන් වූ කාන්තාවගේ මව.

“වුණු දේ හීනයක් වගෙයි. මම හෝටලයේ වැඩකරන දුවත් එක්ක හෝටලයේ කාමරයේ නිදාගෙන හිටියා. එහා කාමරයේ පුතයි, දුවයි, දරුවයි නිදාගෙන හිටියා.

උදේ පහට විතර පොළව දෙදරගෙන ලොකු සද්දයක් ආවා. මොනවත් පෙනුනේ නැහැ. අපේ කාමරේ බිත්ති කඩාගෙන. ඇඳ ළඟටම හේත්තු වෙලා තිබුණේ. හතර වටේ මොකුත්ම පෙනුනේ නැහැ.

ඇඳ ළඟ තිබුණ ෆෝන් එක අතට අහුවුණා. ඒකෙන් 119 අංකයට ඇමැතුමක් අරන්, ගේ කඩාගෙන වැටුණා කියලා කිව්වා. ඊට ටික වේලාවකට පස්සේ පොලිසිය එතන්ට ආවා.

ලණුවකින් කට්ටියක් අපි හිටපු තැනට බැහැලා, ඒ ලණුවල ගැටගහලා අපිව උඩට ගත්තා. පුතයි, දුවයි, දරුවයි හිටපු කාමරේ සම්පූර්ණයෙන් ම යටවෙලා.”