ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 38ක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් බේරා ගැනේ
ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් ඉවත් කරගැනීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.
විදේශ අමාත්‍යාංශය, ඉතියෝපියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය සමඟ සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදවා ගෙන ඇත.
ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් ටයිග්‍රේ සිට ඉතියෝපියාවේ අෆාර් ප්‍රදේශය වෙත රැගෙන ගොස්, එතැන් සිට අඩිස් අබාබා අගනුවර වෙත රැගෙනවිත් තිබේ.
ඉතියෝපියාවේ ඇඟලුම් කර්මාන්තයේ නියුතු මෙම සියලුම ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනකදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ටයිග්‍රේ ජනතා විමුක්ති පෙරමුණට (TPLF) අයත් ප්‍රාදේශීය හමුදා ෆෙඩරල් හමුදා කඳවුරකට පහර දීමෙන් පසුව, ඉතියෝපියාවේ රජය 2020 නොවැම්බර් 04 වැනි දින ටයිග්‍රේ කලාපයේ හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇත.