20 විවාදය නොවැම්බර් මුල් සතියේ

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය නොවැම්බර් මස මුල් සතියේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ජේ‍යෂ්ඨ කැබිනට් ඇමැතිවරයකු ඉරිදා ‘මව්බිම’ට පැවැසීය.

ඔහු පැවැසුවේ අය – වැය යෝජනාවට පෙර ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගෙන සම්මත කරගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරන බවයි. අය – වැය යෝජනා නොවැම්බර් මස දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අනුව නොවැම්බර් 3,4,5,6 දිනවලින් දින 2ක හෝ දින 3ක විවාදයක් ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පවත්වා එය 2/3ක බහුතරයකින් සම්මත කරගැනීම රජයේ අපේක්ෂාව වී තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත්කරන ලද කමිටු වාර්තාව මඟින් ඉදිරිපත් කර ඇති සංශෝධන ගැන තවදුරටත් සාකච්ඡා කර කාරක සභා අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව කැබිනට් අමාත්‍යවරයකු ඉරිදා ‘මව්බිම’ට ප්‍රකාශ කළේය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීමට මේ වනවිට විපක්ෂයේ මන්ත්‍රිවරුන් 10දෙනකුට ආසන්න පිරිසක් එකඟතාව පළකර ඇති බවත් ඔවුන් සමඟ ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් පවත්වන ලද සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවත් එම කැබිනට් අමාත්‍යවරයා සඳහන් කළේය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රජයේ ඉදිරි කටයුතු සඳහා අත්‍යවශ්‍ය වී ඇති නිසා එය පාර්ලිමේන්තුවේදී 2/3ක බහුතරයකින් සම්මත කරගැනීමෙන් අනතුරුව 2021 වර්ෂය සඳහා වන අය – වැය නොවැම්බර් මස 10 වැනිදා පමණ බොහෝදුරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවද වාර්තා වේ.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය 22 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එය යම් හෙයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි ව්‍යවස්ථාව යටතේ ශේ‍ර්ෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කිරීමක් සිදුවුවහොත්, එය දෙවැනි වර කියවා විවාද කිරීමට සති තුනක කාලයක් හෝ ඒ පිළිබඳව ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මතය සති දෙකක් තුළ ප්‍රකාශයට පත් කෙරෙන තෙක් බලා සිටීමට සිදුවන බව නීති අංශ පෙන්වා දෙයි.

කිසිවකු අධිකරණ ක්‍රියාමාර්ගයකට නොගියහොත් පනත් කෙටුම්පත,පාර්ලිමේන්තුවේදී 22 වැනිදා පළමු වර කියවා ඉදිරිපත් කිරීමෙන් පසු, සතියකට පසුව දෙවැනි වර කියවා විවාද කිරීම සාමාන්‍යයෙන් සිදුකෙරේ.