කොරෝනා ආසාදිත ගුරුවරියක් හමුවීම නිසා නෝර්වුඩ් දෙමළ විදුහල වසා දමයි

කොවිඩ් 19 ආසාදිත ගුරුවරියක් හමුවීම හේතුවෙන් නෝර්වුඩ් දෙමළ මහ විදුහල හෙට (07) සහ අනිද්දා (08) දින දෙකේ වසා දමා එම ගුරුවරියගේ සමීපතයන් PCR පරීක්ෂාවන්ට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා පැවැසීය.

එම ගුරුවරිය ඉගෙන්වීම් සිදු කරන ලද පන්තිවල සිසු සිසුවියන් හා ඇය සමීපතව ඇසුරු කරන ලද ගුරුවරුන් ඇතුළු තෝරා ගත් පිරිසකට මෙසේ PCR පරීක්ෂණ සිදු කරනු ලබන බවත් එම වාර්තා ලැබීමෙන් පසුව එම ප්‍රදේශයේ තවත් අවදානම් පාසල් පැවැතියහොත් එම පාසල්ද මතුව ඇති අවශ්‍යතාවයන්ට අනුව වසා දැමීමට පියවර ගන්නා බවද ප්‍රතාපසිංහ මහතා සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ අද (06) වනවිට කොවිඩ් ආසාදිතයන් 208 ක් වාර්තා වී ඇති බවත් පුද්ගලයන් 4000 කට අධික පිරිසට PCR පරීක්ෂණ සිදු කොට පුද්ගලයන් 311 ක් නිරෝධායනයට ලක් කොට ඇති බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැලිඔය වත්තේ දඩුකැලේ කොටස, බොගවානා වත්තේ ලීස්ටන් කොටස හා බ්ලැක්වෝටර් වතු ප්‍රදේශ මේ වනවිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කොට ඇති බවත් විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියේය.