රටේ නීතිය අනුව මහපාරේ යතුරුපැදි රේස් පැදිය හැකිද ?

යතුරුපැදි පුහුණුවීම් සඳහා හෝ විනෝදාස්වාද කටයුතු සඳහා රාත්‍රී කාලයේ මාර්ග යොදා ගැනීමට හැකියාවක් තිබේද ?

ඊට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, “කිසිම අවස්ථාවක මහාමාර්ගය ඒ ආකාරයේ කටයුත්තක් සඳහා යොදා ගන්න බෑ. වාහන අඩු වෙලාවට මේ වගේ රේස්යන්න උප සංස්කෘතියක් ඇතැම් ප්‍රදේශවල නිර්මාණය වෙලා තියෙනවා තරුණයෝ අතර. ඒ සඳහා කිසිසේත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ.” යනුවෙනි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මාර්ගවල රාත්‍රී කාලයේ අනතුරුදායක ලෙස අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

“අපේ නීතිය අනුව 450CC ධාරිතාවයට වැඩි යතුරුපැදි ලියාපදිංචි කරන්න බෑ. එහෙම කරනවා නම් ඒ ධාවන පථයක රේස් පදින්න වගේ දේකට පමණයි කරන්න පුළුවන්. එහෙම යතුරුපැදි මාර්ගවල ගමන් කරනවාද කියලා අපි දැඩි සෝදිසියෙන් ඉන්නවා. දෙවෙනි කාරණය විවිධ වර්ගයේ නාද රටා සහිත සයිලන්සර් සවිකරගෙන යන යතුරුපැදි ගැන අපි සොයා බලනවා. විවිධ බල්බ, සැරසිලි ආදිය එකතු කරලා තියෙන යතුරුපැදි ගැන සොයා බලනවා. අපේ රටේ තරුණ පරපුරේ ඇතැම් අය ඔවුන්ගේ විනෝදය, සතුට වෙනුවෙන් රාත්‍රි කාලයේ මෙහෙම කටයුතු කරනවා. එහි ප්‍රතිඵලය අපිට කවදාවත් ගන්න බැරි ජීවිත අහිමි වෙනවා. ඒ නිසා අපි මේ ගැන සොයන්න මෙහෙයුම් ආරම්භ කරලා තියෙනවා. ඊයේ දවසේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි 20ක් පමණ අත්අඩංගුව ගෙන තිබුණා,” යනුවෙන් ද අජිත් රෝහණ මහතා පැවසීය.