සාදික්කා අධි මාත්‍රාව ශරීරයට විෂ සහිතයි – ධනපාල පැණිය සෞඛ්යාරක්ෂිතද? (VIDEO)
මේ වන විට කොරෝනා රෝගය සුව කිරීම සඳහා යැයි ඉදිරිපත්ව තිබෙන දේශීය ඖෂධ සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කඩිනමින් නිසි නියාමනයක්,අධික්ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය අවධාරණය කරයි.
එම සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ මහතා අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ නව ඖෂධයක් නම් අනිවාර්යයෙන්ම රසායනාගාර පරීක්ෂාවක්,සත්ව පරීක්ෂාවක් සහ නිරෝගී වැඩිහිටියෙකුට ලබා දී එම පරීක්ෂාවෙන් පසු ලැබෙන නිර්දේශ මත රෝගීන්ට ලබා දීම සිදුකළ යුතු බවයි.
සාදික්කා යොදාගෙන කරන ලද සත්ව පරීක්ෂණයේදී තහවුරු වී තිබෙන්නේ අධි මාත්‍රාවක් භාවිතා වුවහොත් එය විෂ සහිත තත්ත්වයක් ඇති වන බව යැයි ද හෙන්දාවිතාරණ මහතා කියා සිටියි.
එම නිසා එවැනි ඖෂධ හිතුමනාපයට නොගන්නා ලෙසත් අධි මාත්‍රාව ශරිරියට අනිවාර්යයෙන්ම අහිතකර බවයි ඔහු කියාසිටින්නේ.
එමෙන්ම ඇතැමුන් මෙම ඖෂධ නිවසේදී සාදාගන්නා ආකාරය ගැන සමාජ මාධ්‍ය හරහා විමසා තිබුණ අතර නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව සදා සෞඛ්‍ය ගැටළුවක් මතු වුවහොත් එහි වගකීමද එය භාවිතා කළ අය විසින්ම ගත යුතු බවද හෙන්දාවිතාරණ මහතා සඳහන් කරයි. එමෙන්ම ඒවාට අනවශ්‍ය ප්‍රචාරයක් දෙන කණ්ඩායම්ද එහි වගකීම ගත යුතු බව ඔහු අවධාරණය කරයි.
”අපි මෙතැනදී කියන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේවා සම්බන්ධයෙන් නිසි නියාමනයක් සහ නිසි අධීක්ෂණයක් කරන්න ඕනේ. වෛද්‍ය ආචාර ධර්ම අනුව වුවත් මේ විදිහට ඖෂධයක් හොයා ගත්තා කියලා මෙහෙම කියන්න බැහැ. නව ඖෂධයක් නම් අනිවාර්යයෙන් රසායනාගාර පරික්ෂාවත් සත්ව පරීක්ෂාවත් සහ නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුට දී එම පරීක්ෂාවෙනුත් පසු තමයි රෝගී තැනැත්තෙකුට දෙන්නේ ඕනේ.”
විශේෂයෙන් දේශීය හා පාරම්පරික ඖෂධ අතර දැනටමත් භාවිතා කරන ඖෂධවල වැඩි දියුණුවක් කර තිබෙනවානම් එය ලබා දීමේ ගැටළුවක් නැති බවත් මන්ද එය කලානුරූපීව අත්හදා බලා තිබෙන නිසා යැයි හෙන්දාවිතාරණ මහතා සඳහන් කරයි.
දැනට දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා අනුමැතිය ලබා දී තිබෙන්නේ මේ වනවිටත් භාවිතා වන ඖෂධ සඳහා පමණක් වන අතර මේ වන විට බොරැල්ල ආයුර්වේද රෝහලේ අටමහල් ගොඩනැගිල්ල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන බවත් එය ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම සඳහා කටයුතු කරන ලෙසත් ඔහු බලධාරීන්ගෙන් ඉල්ලාසිටියි. එහි රෝගීන් 600 පමණ එකවර ප්‍රතිකාර කළ හැකි බවයි හෙන්දාවිතාරණ මහතා සඳහන් කරන්නේ.
දේශීය වෛද්‍ය ක්‍රමවලට ප්‍රතිකාර ගැනීමට යමෙක් බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා දැනට අනුමත චිකිත්සක පද්ධති වෙත යොමුවන ලෙස ද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ වන විට බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලින් වැලිකඩ හා කොළඹ මැගසින් බන්ධනාගර වෙත ඖෂධ ලබාදෙන බවත් එම ඖෂධ මගින් බන්ධනාගර තුළින් රෝගීන් මතුවීම වෙනදාට වඩා අඩුවී ඇති බවත් එමෙන්ම පල්ලෙකැලේ ආයුර්වේද රෝහලේද මේ වන විට කොරෝනා රෝගීන් සඳහා ආයුර්වේද චිකිත්සක කටයුතු ආරම්භ කර බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.
”ඒවාට තමා අනුමැතිය තිබෙන්නේ. ඒ නිසා එම තැන්වලට යොමුවන්න. එසේ නැත්නම් ප්රාදේශීයව සිටිනවා ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්. ඔවුන් වෙත යොමුවීමෙන් වුවත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර ලබා ගත හැකියි.” යනුවෙන් හෙන්දාවිතාරණ මහතා වැඩිදුරටත් කියාසිටියි.
මේ වනවිට කොළඹ මහ නගර සීමා බල ප්‍රදේශයේත් එලෙස ඖෂධ බෙදාහැරීම සිදුවෙයි.
LNW