කන්තලේ ගුවන් අනතුරෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි කැඩෙට් නිලධාරි ශාලින්ද අමරකෝන්

කන්තලේ – සූරියපුර – ජනරංජන වැව ආසන්නයේදී අද පස්වරුවේ අනතුරට ලක්වූ ගුවන් යානයේ සිරවී සිටි පුහුණු වන නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ත්‍රිකුණාමලය රෝහලේ අධ්‍යක්ෂ ජගත් චන්ද්‍රරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අදාළ නියමුවා රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ත්‍රිකුණාමලය – චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයෙන් මෙම ගුවන් යානය අද පස්වරුවේ ගුවන් ගත වී තිබුණේ පුහුණු ගුවන් සැසියක් සඳහායි.

පුහුණුවන කැඩෙට් නිලධාරි ශාලින්ද අමරකෝන් විසින් එම ගුවන් යානය පදවා තිබෙනවා. අදාළ යානය ගුවන් ගත වී කන්තලේ සූරියපුර ප්‍රදේශයට ඉහළින් පියාසර කරමින් තිබියදී ගුවන් යානය සහ පාලක මැදිරි අතර සියලු සබඳතා බිඳ වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ කියා සිටියේ.

ඒ වනවිට ගුවන් යානය ගුවන් ගත වී මිනිත්තු 15 ක් පමණ ගත වී තිබෙනවා.

පසුව ගුවන් යානය කන්තලේ – සූරියපුර – ජනරංජන වැව ආසන්නයේදි මෙලෙස අනතුරට ලක්වුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පී.ටී.සික්ස් වර්ගයේ පුහුණු ගුවන් යානයක් වන මෙය කඩා වැටෙන අවස්ථාවේදී එහි රැදී සිටියේ පුහුණුවෙමින් සිටි අදාළ නියමුවා පමණයි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුහුණුවන කැඩෙට් නිලධාරියා රුවන්වැල්ල – මාපිටිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක්.

චීනයේ නිෂ්පාදිත පී.ටී.සික්ස් වර්ගයේ මෙම ගුවන් යානය ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීම සඳහා භාවිත කිරීමට හඳුන්වා දී ඇත්තේ 2001 වසරේදීයි.